Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අපේ පාර්ලිමේන්තුව මොන්ටිසෝරියකට අන්ත වූ අවස්ථා පහක්

ලංකාවේ පාර්ලි‌‌මේන්තුව කියන්නේ අපේ රටේ ඉන්න ජාතික නායකයෝ ටික එක්කහු වෙලා ජාතික ගැටළු ගැන වාද විවාද කරන නීති හදන ක්‍රියාවට නංවන, කොටින්ම කිව්වොත් අපේ රට පාලනය කරන විදිය ගැන තීන්දු තීරණ ගන්න කේන්ද්‍රස්ථානය නේ. මැති ඇමතිවරු දෙසියයකට වඩා මේකට ඇතුළත්. මෙයාලා පත් කරලා මෙතැනට යවන එකේ වගකීම බොහෝදුරට තියෙන්නේ අපේ අතෙයි.

මේ කොහොම වුණත්, මේ කට්ටිය, ඒ කියන්නේ ජාතියේ හරපද්ධතීන් දිවිහිමියෙන් රකින්න කියලා (??) අපි පාර්ලි‌‌මේන්තුවට යවපු මේ පුද්ගලයන් ඒ දේ ඇත්තටම කරනවා ද කියන එක ගැටළුවක්. ඒ වගේම රටක නිතියක් ප්‍රතිපත්තියක් හදන්න ඇපකැප වෙච්ච පිරිසක් හැසිරෙන්න ඕනෑ විදියට මෙයාලා හැසිරෙනවාද කියන එක තමයි අනෙක් ප්‍රශ්නය. පාර්ලි‌‌මේන්තුවේ ඉන්න වැඩි දෙනෙක්ගේ අධ්‍යාපනික සුදුසුකම් ගැන වුණත් ගොඩක් කට්ටිය ප්‍රශ්න කරන බව ප්‍රසිද්ධ රහසක්. හැබැයි අපි ඒ තරම් දුරට මේක ගෙනියන්න උවමනාවක් නැහැ. මොකද කෙනෙකුගේ උගත් කමත්, එහෙම නැත්නම් උසස් අධ්‍යාපනික සුදුසුකම් වලත් ඒ කෙනාගේ හැදියාවත් අතර එච්චරම ලොකු සම්බන්ධතාවයක් නැහැ. වැඩිය ඕනෑ නැහැ, තැනකට ගිහින් කොහොමද හරියට හැසිරෙන්නේ කියන එක වුණත් ඇත්තටම අපි ඉගෙන ගන්නේ ඉස්කෝලේ යන්නත් කලින් අපේ දෙමව්පියන්ගෙන්. සමහර වෙලාවල් වලට අපේ පාර්ලිමේන්තු සභිකයෝ හැසිරෙන විදිය දැක්කම එයාලාට අපේ ජාතියේ උන්නතිය වෙනුවෙන් වැඩ කරන්න හැකියාවක් තියෙනවාද කියලත් ඇත්තටම අපිට සැක හිතෙනවා. එයාලාට ලොකු ලොකු තීන්දු තීරණ එහෙම ගන්න තියෙන හැකියාව වගේ දේවල් ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. ඉස්සෙල්ලා වැදගත් විදියට කතා කරන්න හැසිරෙන්න පුළුවන් වෙන්න ඕනෑ, මේ කට්ටිය අඩුම ගානේ මොන්ටිසෝරියේ ස්ටෑන්ඩර්ඩ්ස් වත්, ඒ කිව්වේ, මිනිස්සුන්ට හොඳට කතා බහ කරලා ඉන්න, විනීත වෙන්න, ආචාරශීලි වෙන්න, කවුරු හරි කතා කරන කොට ඇහුම්කන් දෙන්න මැදට පනින්න එපා, නොහික්මුණු විදියට හැසිරෙන්න එපා වගේ ප්‍රාථමික පන්තියේදී අපි ඉගෙන ගන්න මූලික පුරුදු ටිකවත් තියෙන බවක් නම් කරන කියන වැඩ වලින් අපට පෙන්නේ නැහැ.

මේ සම්බන්ධයෙන් ගත්තම පාර්ලිමේන්තුවේ අයගේ වැඩකිඩ නිසා අපව සෑහෙන්න කළකිරවපු අවස්ථා කිහිපයක් ඔබ වෙත ගෙන්න අපි අදහස් කළා

1. විරෝධය පළකරන්න එලි වෙනකම් පාර්ලි‌‌මේන්තුව ඇතුලේ  නිදාගත්ත අපේ මැති ඇමතිවරු

තමන්ට ඕනෑ දේ නොදුන්නාම මොර තියලා යටිගිරියෙන් කෑ ගහලා හරි වැඩේ කරගන්න පුරුද්ද තියෙන්නේ අතදරුවන්ට කියලා අපි හිතුවාට ලංකාවේ නම් පාර්ලිමේන්තු සභිකයන්ගේත් මේ පුරුද්ද නොඅඩුව තියෙනවා.

පාර්ලිමේන්තු සභිකයෙක් ද? මොනවා හරි කෙරෙන්න තියෙනවද? පාර්ලිමේන්තුව ඇතුලේ බිම ඉඳගෙන අතපය එහාට මෙහාට වනලා ඉතින් චුට්ටක් කෑ මොර තියලා බලන්නකෝ (gossip-lanka.com)

පාර්ලිමේන්තු සභිකයෙක් ද? මොනවා හරි කෙරෙන්න තියෙනවද? පාර්ලිමේන්තුව ඇතුලේ බිම ඉඳගෙන අතපය එහාට මෙහාට වනලා ඉතින් චුට්ටක් කෑ මොර තියලා බලන්නකෝ (gossip-lanka.com)

පාර්ලිමේන්තුවේ හැමදාම වගේ කෑ කෝ ගහගන්න අපේ ඇමතිගොල්ල මේ ලඟදි අලුත් සෙල්ලමක් පටන් ගත්තනේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයත්, නාමල් රාජපක්ෂ ඇතුළු නිදහස් සන්ධානේ මැති ඇමැතිවරුත් වංචා දූෂණ කමිටුවකට කැඳවන එක ගැන ටිකක් තරහ ගියපු ඇමති පිරිසක් ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ පාර්ලිමේන්තුව ඇතුලේ එලි වෙනකම් ඉඳගෙන විරෝධය පාන්න පටන් ගත්තා.  මේ විරෝධතාවය චායාරුප ගත කරද්දී පාර්ලි‌‌මේන්තුව ඇතුලේ බිම ඉඳගෙන, පැත්ත වැටිලා නිදාගෙන ඉන්න අපේ ඇමති වරු මේ විදියට කැමරාවට හසු වෙලා තිබුණා.

2. සෙංකෝලය උස්සපු අවස්ථා(ව)

විරෝධතා පෙන්නන්න බෑ වගේ, විරෝධය වචනයෙන් පළ කරලා මදි වගේ හිතුණොත් අපේ ඇමතිවරු චුට්ටක් බාලාංශ පන්තියේ ළමයින්ගේ ටෙක්නික්ස් පාවිච්චි කරන්න බලනවා. ඒ කිව්වේ පාර්ලි‌‌මේන්තුවේ වැඩ කඩාකප්පල් කරන එක. මේකට ලස්සනම උදාහරණය තමයි සෙංකෝලය උස්සන එක. සමහර වෙලාවට මේ උපක්‍රමය සාර්ථක වෙලත් තියෙනවා.

සෙංකෝලය කියන්නේ පාර්ලි‌‌මේන්තුවේ ආධිපත්‍යය සංකේතවත් කරන විශේෂ අංගයක්. සෑම සභා වාරයක්ම පටන් ගන්න කලින් වේත්‍රධාරිවරයා කතානායකවරයාට ඉස්සරහින් මේ සෙංකෝලය අරගෙන ඇවිත් ඒක සභා ගර්භයේ තැන්පත් කරනවා

මැති ඇමතිවරුන්ගේ මේ වැඩකිඩ නිසා අපේ සෙංකෝලයත් සෑහෙන කරදර විඳලා තියෙනවා. (ft.lk)

මැති ඇමතිවරුන්ගේ මේ වැඩකිඩ නිසා අපේ සෙංකෝලයත් සෑහෙන කරදර විඳලා තියෙනවා. (ft.lk)

මේ ජාතියේ කලබැගෑනි වලට හොඳම හොඳ උදාහරණයක් අපට ආරංචි වුණා 2004 වර්ෂයේ දී. ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු සභිකයෙක් දිව්රුම්දෙන්න හදන කොට ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු ඒකට විරුද්ධ වෙන්න ගිහින් වැඩේ ටිකක් දරුණුවට දුර දිග ගියා. වෙච්ච කලකෝලාහලය අතරේ එවකට හිටපු අපේ විදුලිබල සහ බලශක්ති නියෝජ්‍ය ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා සෙංකෝලය ඉස්සුවා කියලා තමයි ආරංචිය. කලබලය සමථයකට පත්වෙන්න පැය 4ක් විතර ගතවුණාලු. ඒ අතරේ අදාළ බලධාරීන් සෙංකෝලය කොහොම හරි හොයාගෙන නියමිත ස්ථානයේ තැන්පත් කළාලු. වෙච්ච දෙයක්!

සන්ඩේ ලීඩර් පුවත්පතෙන් එදා සිද්ධ වෙච්ච් සිදුවීම සම්පුර්ණයෙන්ම ආවරණය කළා, කැමති නම් ඒ ගැන මෙතැනින් කියවන්න. (එදා සෑහෙන සෑහෙන දේවල් සිද්ධ වුණු දවසක්, ඒ නිසා සෙංකෝලයට වෙච්ච හදිය ගැන විශේෂයෙන් කියවන්න ඕනෑ නම් ටිකක් පහළට කියවගෙන යන්න).

ලංකාවේ යුධ අපරාධ ගැන හොයන්න කියලා මානවහිමිකම් එකෙන් ලංකාවට ඔලුව දාන්න යද්දීත් ගිය ඔක්තෝබර් වල පාර්ලිමේන්තුවේ උණුසුම් සාකච්ඡා ඇති වුණා. මේ වගේ වෙලාවක සන්ධානේ ඇමති කෙනෙක් වුණු දිනේෂ් ගුනවර්ධන මහත්තයත් සෙංකෝලය උස්සගෙන සභා ගර්භයෙන් පැනල යන්න උත්සාහ කළාලු. එකෙන් මේකෙන් පාර්ලිමේන්තු සභාවාරය එදාට අත්හිටුවා දාන්නත් සිද්ධ වුනාලු.     

3. අපේ ඇමති කෙනෙක්ගේ අවාසනාවන්ත ප්‍රකාශයක් නිසා රටට ලැබුණු අනවශ්‍ය අවධානය  

ලංකාවේ ඇමතිවරයෙක් කරලා තිබෙන ප්‍රකාශයක්, 2013 ජුනි 14 වැනිදා The Guardian  සඟරාවේ පළවුණු ලිපියක සඳහන් වෙලා තිබුණු ආකාරයට, කාන්තාවන්ට විෂම ලෙස සලකලා දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ පුද්ගලයන් විසින් කරපු ලෝකේ තිබෙන දරුණුම ප්‍රකාශන 10ටත් ඇතුළත් වුණා. නරකම නැහැ නේද. අපි ආසියාවේ ආශ්චර්ය වෙන්න යනවා කියලා කිව්වේ කට කහනවට නෙමෙයි.  

මේ ලැයිස්තුවට ලංකාවෙන් නියෝජනයක් ලැබුණේ අපේ හිටපු ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම මහත්තයා 2012 දෙසැම්බර් මාසයේදී රෝසි සේනානායක පාරිලිමේන්තු මන්ත්‍රීවරියට කියපු කතාවක් හින්දයි. සේනානායක මහත්මිය වෙල්ගම මහත්තයාගෙන් ප්‍රශ්නයක් ඇහුවම වෙල්ගම මහත්තයා මෙහෙම උත්තර දුන්නලු “මම පාර්ලිමේතු ඇවිල්ල අවරුදු 19 ක් වෙනවා. අද තමයි මම ඉතාමත්ම සන්තෝස වෙන දවස. මේ වගේ රූමත් නෝනා මහත්මයෙක් මගෙන් ප්‍රශ්න අහනවට මම අද ගොඩාක් සන්තෝස වෙනවා……. පොඩ්ඩක් ඉන්න මාව තාම වෙව්ලනවා වගේ…දැන් මට කතාකරගන්නත් බැහැ” ඒ මදිවට තව මෙහෙමත් කිව්වලු “මට මෙතන මගේ හැඟීම් ප්‍රකාශ කරන්න බැහැ .. නමුත් ඔබතුමිය පාර්ලිමේතුවේ පිටතදී හමුවුනොත් මම කියන්නම්”

මෙන්න ඒ සිද්ධිය ඇතුළත් වීඩියෝ පටය.

සේනානායක කියන්නේ හිටපු විවාහක රූ රැජිනක් වුණත් පස්සේ ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් සහ කාන්තා අයිතීන් වෙනුවන් නැගී සිටින කෙනෙක් විදියට ඇය කා අතරත් ප්‍රසිද්ධ වුණු චරිතයක්. වෙල්ගම ඇමති තුමා කරපු මේ ප්‍රකාශය තමන්ට කරපු ‘අපහාසයක්’ විදියට සලකන බව ප්‍රකාශ කරපු ඇය තවදුරටත් කිව්වේ තවමත් තමන්ට රූ රැජිනක් විදියට සැලකුවත්, තමන් මහකොමසාරිස්වරියක් වෙලා ඉඳලා තිබෙන බව සහ සෑහෙන කාලයක් දේශපාලනික ක්ෂේත්‍රයේ රැඳී ඉඳලා තිබෙන කෙනෙක් බවයි. තමන් කාන්තාවක් වුණු නිසා, ඉස්සර කොච්චර ලස්සනට හිටියාද කියලා කියනවා මිසක් මේ තරම් දෙයක් කරලා තිබෙන කෙනෙක් විදියට තමන්ට සලකන්නේ නැති බව තමයි ඇය කියන්නේ.

මේ අතරේ වෙල්ගම මහත්මයා මේකට පිළිතුරු දුන්නේ මේ විදියටයි “මම කවදාවත් කාන්තාවන්ට අපහාස කරන්නේ නැහැ කියලා හැමෝම දන්නවා.”  මේ සිද්ධිය අපේ පුවත්පත් වල එහෙමත් වාර්තා වුණා. Daily Mirror එක මේ සිද්ධිය ගැන කියපු විදියත් කියවලා බලන්නකෝ.

4. අතින් පයින් ගහගෙන ජැකී චෑන් වගේ ප්‍රශ්න විසඳීමේ ක්‍රමය භාවිතා කෙරුණු අවස්ථා

සාමාන්‍යයෙන් ලංකාවේ පාර්ලිමේන්තුව ඇතුලේ අසභ්‍ය වචනයෙන් බැනගන්න එක, එක්කෙනෙක් කතා කරන කොට මැදට පනින එක, කඩාකප්පල්කාරී ක්‍රියා වගේ දේවල් ඒ තරම් අසාමාන්‍ය නැහැනේ. මේ නිසා ඒ වගේ දේවල් අපිට වැඩිය ගාණක් නෑ දැන්. ඒ කොහොම වුණත්, අතින් පයින් ගහගෙන තල්ලු කරගෙන ප්‍රශ්න විසඳන්න යද්දී නම් අපි පොඩ්ඩක් මේ ගැන හිතලා බලන්න ඕනෑ. මේ තියෙන්නේ අපේ මැති ඇමතිවරු අතේ පයේ හිරිඇර ගත්ත ඒ වගේ අවස්ථාවකට හොඳ උදාහරණයක්.

මේ විදියට ගහමරාගන්නේ නැතුව කොහොමද අනේ රටේ තියෙන ප්‍රශ්න විසඳන්නේ?

මේ හැම කලබැගෑනියක්ම පරාදයි 2011 වසරේ දී අපි දැකපු නාඩගමට:

5. අයවැය කතාව ඉදිරිපත් කරද්දී පාර්ලිමේන්තුව ඇතුලේ යකා නටපු අවස්ථාව

2011 නොවැම්බර් මාසයේ 21 වැනිදා අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේදි අයවැය වාර්තාව ඉදිරිපත් කරන්න නැගී හිටියාම විනාඩි පහෙන් පහටම අපේ පාර්ලිමේන්තු සභිකයන් මැදට පැන පැන එතුමාට බාධා කරේ තමන්ගේ බාලාංශ පන්තියට ඔබින හැසිරීම් රටාවල් ලෝකෙටම විදහා දක්වමින්.

2011 වර්ෂයේ දී ජනාධිපති තුමන්ගේ අයවැය කතාව ඉදිරිපත් කරන ඒ සාඩම්බර මොහොත Image courtesy lankastuff.blogspot.com

2011 වර්ෂයේ දී ජනාධිපති තුමන්ගේ අයවැය කතාව ඉදිරිපත් කරන ඒ සාඩම්බර මොහොත Image courtesy lankastuff.blogspot.com

මෙන්න මේ ලිපියේ ඩී.බී.එස්. ජෙයරාජ් කියලා තිබෙන විදියට මේක ගුටිබැට හුවමාරු වීම්, සාරි වලින් ඇදිලි, වතුර බෝතල් දමා ගැසීම්, තර්ජන ගර්ජන අසභ්‍ය වචන සහ කෑකෝ ගැසීම් වලින් පිරිච්ච හරිම  “ලජ්ජා සහගත දර්ශනයක් ” වුණාලු.

පාර්ලිමේන්තුව ඇතුලේ වෙන්නේ මොනවාද කියන එක ගැන ටිකක් අවධානයෙන් ඉන්න (ඒ වගේම අනිත් අයට වඩා අමතක වෙන ලෙඩේ අඩු) ඔයාලාට අපි පාර්ලිමේන්තු යවපු අපේ ඇමතිවරු පාර්ලිමේන්තුව ඇතුලේ හැසිරෙන විදිය ගැන (මේ කට්ටිය එළියේ හැසිරෙන විදිය ගැන අමතක කරමුකෝ) මීටත් වඩා හොඳ උදාහරණ මතක් වෙනවා ඇතිනේ. පහතින් ප්‍රතිචාරයක් විදියට අපට ඒ ගැන කියලා යන්න අමතක කරන්න එපා. අවසාන වශයෙන් අහන්න තියෙන්නේ, හැසිරීම අතින් කවුද වැඩිය හොඳ? අපේ ඇමතිවරුද මොන්ටිසෝරි ළමයි ද?

Related Articles