මාදු ගඟ සහ දළදා වහන්සේ සඟවා තැබූ බවට සැලකෙන කොත්දූව

දකුණු පළාතේ පිහිටා ඇති සංචාරක ආකර්ෂණය බහුල ව දිනා ගත් ස්ථාන අතර මාදු ගඟ සහ ඒ ආශ්‍රිත පරිසර පද්ධතිය ප්‍රධාන තැනක් ගනී. බොහෝ දෙනකු මාදු ගඟේ බෝට්ටු සවාරියක අත්දැකීම විඳගැනීමට කැමැත්තක් දක්වයි. මාදු ගඟ ආශ්‍රිත ව පිහිටි කඩොලාන ශාක සහිත පරිසර පද්ධතිය සහ දූපත් සමූහය දෙස් විදෙස් සංචාරකයින් වඩ වඩාත් ඊට ආකර්ෂණය කර ගනී.

අතීතයේ දී මාදු ගඟේ දූපත් රාශියක් පිහිටා තිබුණත් වර්තාමනය වන විට දැකිය හැක්කේ ඉතා සුළු දූපත් ප්‍රමාණයක් පමණි. කෙසේ වෙතත් මේ සෑම දූපතක් පිළිබඳ ව ම පාහේ ඊටම ආවේණික කතන්දර සහ සිදුවීම් තිබෙන අතර එක්තරා යුගයක දී ශ්‍රී දළදා වහන්සේ පවා සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා මෙම මාදු ගඟ ආශ්‍රිත ව පිහිටි එක් දූපතක සඟවා තැබූ බවට පොත පතෙහි සඳහන් වේ. මෙම ලිපිය ඒ කතන්දරයත්, මාදු ගඟ, එහි පරිසර පද්ධතිය සහ ඒ හා සබැඳි තවත් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳ ව යි.

මාදු ගඟ –  දිනමිණ

මාදු ගඟේ විශේෂත්වය 

ශ්‍රී ලංකාවේ ඇති බොහෝ ගංගා මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වී පහළට ගලා යෑම සිදුවන නමුත් දකුණු පළාතේ ඇති මාදු ගඟ අනිකුත් ගංගාවලින් වෙනස් වන්නේ එය රටේ පහළ කොටසේ සිට, එනම් දකුණු පළාතෙන් ආරම්භ වීම නිසා ය. ගාල්ල දිස්ත්‍රික්කයට අයත් ඌරගහ ප්‍රදේශයේ පිහිටි පොල් අතු කන්ද ප්‍රදේශයෙන් ආරම්භ වන මෙය කිලෝමීටර් හතරක් වැනි කෙටි ගමනකින් අනතුරු ව මහ සයුරට එක් වෙනු දැකිය හැකි ය.

මෙරට අනෙකුත් ගංගා ආරම්භක ප්‍රදේශවල සිට පහළට ගලායමින් තවත් ප්‍රදේශ ගණනාවක් පෝෂණය කරමින් ගොස් අවසානයේ සාගරයට එක් වීමක් දක්නට ලැබුණ ද, මාදු ගඟ සීමිත ප්‍රදේශයක් හරහා ගලා ගොස් අවසානයේ බලපිටිය ප්‍රදේශයෙන් මහ සයුරට එක් ව සිය ගමනාන්තය සනිටුහන් කරයි.

මාදු ගඟ ආශ්‍රිත පරිසර පද්ධතියේ දැකිය හැකි ජෛව විවිධත්ව වටිනාකම නිස එය 2003 වසරේ දී රැම්සා තෙත් බිමක් ලෙස නම් කර ඇත. එය ශ්‍රී ලංකාව තුළ නම් කළ තෙවන රැම්සා තෙත් බිම වන අතර ඒ හැරුණු විට බූන්දල ආදී රැම්සා තෙත්බිම් කීපයක් ම ශ්‍රී ලංකාවේ පවතී. ඊට අමතර ව 2006 වසරේ දී මාදු ගඟ ආශ්‍රිත ප්‍රදේශය අභය භූමියක් ලෙස ද නම් කෙරිණි.

මාදු ගඟ ආශ්‍රිතව පිහිටි කඩොලාන – srilankatravelandtourism.com 

සුවිශේෂී වෘක්ෂ සහිත පරිසර පද්ධතියක්

මාදු ගඟ පිළිබඳ ව අසන ඕනෑම අයකුට නිතැතින්ම සිහියට නැගෙන්නේ ඒ ආශ්‍රිත ව පිහිටි කඩොලාන ශාකවලින් සැදුම්ලත් පරිසර පද්ධතිය යි. ශ්‍රී ලංකාවේ සමස්ත කඩොලාන ව්‍යාප්තිය හෙක්ටයාර 10,000 ක පමණ වන අතර ඒ අතරින් දුර්ලභ ගණයේ කඩොලාන ශාක විසිතුනක් පමණ පවතින්නේ මාදුගඟ ආශ්‍රිත ව පිහිටි කඩොලාන ව්‍යාප්තිය තුළ යි.

තවත් සුවිශේෂී කරුණක් ලෙස අන් කඩොලාන පද්ධතිවල දැකිය නොහැකි, මාදු ගඟට ආශ්‍රිත පරිසර පද්ධතියට පමණක් ආවේණික වූ කඩොලාන ශාකයක් මේ ප්‍රදේශයේ දක්නට ලැබීම හැඳින්විය හැකි ය. එය “රත්මිල්ල” නමින් හඳුන්වන අතර වෙනත් කිසිදු ස්ථානයකින් මේ වන තෙක් මෙම ශාකය සොයාගෙන නොමැත. මාදු ගඟ ආශ්‍රිත ව ද එම ශාක පවතින්නේ 50ක පමණ ප්‍රමාණයක් වීම එහි දුලබ බව කොතෙක් ද යන්න කියාපායි.

ජෛව විවිධත්වය

මාදු ගඟ ආශ්‍රිත පරිසර පද්ධතිය තුළ ශාක කුල 96කට පමණ අයත් ශාක විශේෂ 300ක් වැනි ප්‍රමාණයක් වාර්තා වී තිබෙන අතර ඒවායෙන් ශාක වර්ග 19ක් පමණ මෙරටට ආවේණික ඒවා වේ. කෙසේ නමුත් ඉන් ශාක විශේෂ අටක් පමණ මේ වන විටත් වඳ වී යාමේ තර්ජනයට ලක් ව ඇති බවට හඳුනාගෙන ඇත. ඊට අමතරව ගඳපාන, වෙල් අනෝදා, මැහෝගනී, ජපන් ජබර, හයිඩ්‍රිල්ලා සහ සැල්විනියා වැනි ආක්‍රමණශීලී ශාක ද මෙම පරිසර පද්ධතිය ආශ්‍රිත ව දැකිය හැකි ය.

සත්ත්ව විශේෂ ගණනාවක්

ශාක විශේෂවලට අමතර ව මාදු ගඟ ආශ්‍රිත පරිසර පද්ධතිය තුළ සත්ත්ව විශේෂ ද ගණනාවක් දැකිය හැකි ය. රැම්සා තෙත් බිමක් ලෙසින් නම් කර ඇති මෙම පරිසර පද්ධතියට පිටරටවල ශීත කාලය තුළ දී පක්ෂි විශේෂ දහ තුනක් පමණ සංක්‍රමණය වන බව ද සොයාගෙන ඇත.  කරදිය, මිරිදිය සහ කිවුල් දිය යන අවස්ථා තුන යටතේ ම කල් ගෙවන මත්ස්‍යයන් විශාල ප්‍රමාණයක් ද මෙහි ජීවත් වේ. ගංඟරා සහ ඉරි හඳයා මෙම ප්‍රදේශයට ආවේණික මත්ස්‍යයන් වන අතර තවත් මත්ස්‍ය විශේෂ කිහිපයක් වඳ වී යාමේ තර්ජනයට ද මුහුණ දී තිබේ.

වර්තමානය වන විට මාදු ගඟ ආශ්‍රිත ව කිඹුලන් වර්ධනය වීමක් පෙනෙන්නට තිබෙන අතර පිඹුරන් හා කබරගොයන් ද බහුල ව ගැවැසේ. ක්ෂීරපායි වර්ගයට අයත් සත්ත්වයන් විස්සකට වඩා වැඩි ප්‍රමාණයක් මෙම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන අතර විල් මුවා, කොලදිවියා, උනහපුලුවා ඒ අතරින් විශේෂ ය. ගොළුබෙලි වර්ග දහ හතරක් පමණ ද එහි දැකගත හැකි වේ.

මාදු ගඟේ කිඹුලෙක් – Calamansicovevillas.com

මාදු ගඟේ පිහිටි දූපත් සහ ඒවා සම්බන්ධ සුවිශේෂී කරුණු

මූලාශ්‍රයන්හි සඳහන් කරුණුවලට අනුව අතීතයේ මාදු ගඟ ආශ්‍රිත ව දූපත් 50කට වැඩි ප්‍රමාණයක් තිබී ඇති අතර එතරම් විශාල දූපත් ප්‍රමාණයක් පිහිටීමට හේතුව ලෙසින් පරිසරවේදීන් සඳහන් කරන්නේ අතීතයේ සිදු වූ භූ චලනයන්හි ක්‍රියාකාරකම් බව යි. අවාසනාවකට මෙන් අද දිනයේ ඉතිරි ව ඇත්තේ ඉන් ඉතා සුළු දූපත් සංඛ්‍යාවකි.

මාදු ගඟේ පිහිටා ඇති දූපත් අතර ප්‍රසිද්ධ දූපතක් ලෙස කුරුඳු දූව හැඳින්විය හැකි ය.  නමට සරිලන ලෙසින් ම මද පවනේ කුරුඳු වේලා ගැනීම මෙන්ම ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු මෙම දූපතේ සිදු කෙරෙන අතර කුරුඳු තෙල් සිඳීම වැනි කටයුතු මේ ආශ්‍රිත ව සිදු වන අයුරු දැක බලා ගත හැක.

මාදු ගඟ සංචාරයේ දී බොහෝ දෙනකු නැරඹීමට නොයන දූපතක් ති‌බෙන අතර එය නයිදූව ලෙසින් හැඳින්වේ. එය වනාන්තරයක් මෙන් දිස්වන අතර මාදු ගඟ ආශ්‍රිත ව ජීවත්වන පැරැන්නන්ට අනුව එකල ගම්මානවලට පැමිණි සර්පයන් අල්ලා මෙම දූපතට අත්හරින නිසා එය නයි දූව ලෙසින් හඳුන්වයි. මාදු ගඟ මැද පිහිටි තවත් එක් දුපතක් ලෙස සත පහ දූව හැඳින්විය හැකි අතර එය ගඟ මැද ඇති කුඩා ම දූව ලෙසින් නම් කළ හැකි ය. මෙහි කුඩා දේවාලයක් පවා පිහිටා තිබෙන අතර ගම්මුන් පවසන පරිදි එම දේවාලය තුළ අතීතයේ දී ජනතාව  විවිධ පුද පූජා පවත්වා ඇත.

සත පහ දූව/ Yamu.lk

දළඳා වහන්සේ සඟවා තැබූ බවට සැලකෙන කොත්දූව

මාදු ගඟේ පිහිටි දූපත් අතර කොත්දූවට හිමි වන්නේ වැදගත් ස්ථානයකි. එම දූපතේ පිහිටි කොත්දූව රජමහා විහාරය දීර්ඝ අතීතයකට උරුමකම් කියන ඓතිහාසික සිද්ධස්‌ථානයක් වන අතර එහි වර්තමානයේ දක්නට ලැ‌බෙන විහාරස්‌ථානය ක්‍රිස්තු වර්ෂ 1881 දී පමණ ඉදි කරවා ඇත.

දෙවන පරාක්‍රමබාහු රජ දවස දකුණේ පාලකයා ව සිටි දේවපතිරාජ නම් ඇමැතිවරයා මෙම රජමහා විහාරයේ බෝධි වෘක්‍ෂයක් රෝපණය කළ බවට ඉතිහාස කතා ප්‍රවෘත්තිවල සඳහන් වන අතර කෝට්ටේ රාජධානි සමයේ වීදිය බණ්‌ඩාර කුමරුගේ කාලයේ දී සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා දළදා වහන්සේ ද මෙම දූපතෙහි තැන්පත් කර තිබූ බව මූලාශ්‍රයන්හි සඳහන් වේ.

මෙහි වර්තමානයේ දැකිය හැකි විහාරස්‌ථානය එවකට බලපිටිය මහා කප්පින වලව්වේ විසූ  ශ්‍රීමත් කළුහත් සැම්සන් ද ආබ්‍රේව් විජය ගුණරත්න රාජපක්‍ෂ මහ මුදලිතුමන්ගේ අනුදැනුම මත එම බිරිය  එවක රුපියල් දසදහසක පමණ මුදලක්‌ වැය කොට ඉදි කරවා ඇත.

සැම්සන් රාජපක්ෂ මුදලිතුමා – Google Map- Prasanna Lakmal

කොත්දූව දූපතේ විහාර ආරාම ගැන ජනප්‍රවාදයක්  

මහා කප්පින වලව්වේ සැම්සන් රාජපක්ෂ මුදලිතුමාට ධීවරයන්ගෙන් ලැබුණු ආරංචියක් මාර්ගයෙන් මාදු ගඟ මධ්‍යයෙහි වූ දූපතක පැරණි බෝධින් වහන්සේ නමක් සහ නටබුන් ති‌බෙන බව දැනගැනීමට ලැබී ඇත. ඒ අනුව මුදලිතුමන් එහි සත්‍ය අසත්‍ය බව සොයා බැලීමට පොහෝ දිනක අඟුලක නැගී සේවකයන් කිහිප දෙනකු සමග කොත්දූවට ගොස් තිබේ. දූපතට ළඟා වූ මුදලිතුමා කැලෑවට යට වී තිබූ නටබුන් දුටු අතර, ගෙන ආ මල් බෝධීන් වහන්සේට පූජාකොට, පහනක්  ද දල්වා යළි වලව්ව බලා යාමට අඟුලට ගොඩ විය.

ගඟ මැදට ගොස් ආපසු දූපත දෙස බැලූ විට දුටු දසුනින් මුදලිතුමන් බියට පත් වූ අතර ඔහු දුටුවේ කොත්දූව දූපත ම ගිනි ගෙන දැවෙන බව යි. බියට හා කලබලයට පත් මුදලිතුමා වලව්වට යාම පසෙක තබා යළි දූපත දෙසට අඟුල පදින ලෙස සේවකයන්ට කීවේ ය. තමා දල්වා ආ පහනින් මෙම ගින්න ඇති වන්නට ඇතැයි මුදලිතුමව් සිතූ අතර වහා දූපතට ගොඩ වී බෝධිය අසලට ගිය ඔහුට තමා දැල්වූ පහන නිරුපද්‍රිතව දැල්වෙමින් තිබෙන අයුරු දක්නට ලැබිණි.

ඉන් පසුව මෙම දූපතේ හා බෝධියේ හාස්කම් ඇතැයි සිතූ මුදලිතුමන් මෙම ස්ථානයේ විහාරස්ථානයක් ඉදි  කිරීමට සිතා වර්තමානයේ මෙම දූපතේ දැකිය හැකි විහාරය කරවා තිබේ. විහාරස්‌ථානය අසල වූ දාගබේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතු නිදන් කර ඇතැයි ඉතිහාස තොරතුරුවල සඳහන් වන අතර තවමත් මුදලිතුමන් ඉදි කළ පැරණි ගොඩනැගිලි කිහිපයක් මෙම දූපතේ දැක ගත හැකි ය.

සීමා මාලකය

1872 වසරේ දී බුරුමයේ ශ්වේජින් නිකායේ ගණසමුට්ඨාපක ජාගර නම් මහතෙරුන් වහන්සේ මෙරට සිද්ධස්ථාන වන්දනාමාන කිරීම සදහා පැමිණි අවස්ථාවේ දී උන්වහන්සේ පිළිගත් මහා කප්පින වලව්වේ රාජපක්ෂ මහමුදලිතුමා උන්වහන්සේ වලව්වට වැඩම කරවා සත්කාර කර ඇත. එකල කොටස් තුනකට පමණ බෙදී වෙන්ව තිබූ අමරපුර නිකාය සමගි කිරීමට මුදලිතුමන් ජාගර හිමියන්ගේ උපකාර පැතූ අතර ඒ අනුව ජාගර හිමියන් එහි වැඩ වෙසෙමින් ලාංකික ගිහි- පැවිදි දෙපිරිසට ම ධර්මානුශාසනා පැවැත්වී ය.

සංඝයා සමගි කරවීම සඳහා කාටත් පිළිගත හැකි ආකාරයේ උදකුක්ඛේප සීමාවක් මුදලිතුමාගේ අනුග්‍රහයෙන් සහ ජාගර හිමියන්ගේ අනුශාසනාවෙන් මහා කප්පින වලව්වට නුදුරු මාදු ගඟ මැද ප්‍රදේශයේ ඉදිකරවිණි. උන්වහන්සේට කරන උපහාරයක් ලෙස එම සීමාවට “ශ්වේජින් සීමා” යන නාමය තැබිණි. එහි ප්‍රථම උපසම්පදා උත්සවය 1872 වසරේ දී ජාගර හිමියන්ගේ මූලිකත්වයෙන් සිදු කළ අතර වර්තමානයේ දී අමරපුර ශ්‍රී සද්ධම්මවංශ නිකායේ වාර්ෂික උපසම්පදා උත්සවය පැවැත්වෙන්නේ එහිදී ය.

ස්වේයිජින් සීමාමාලකය -Google Map- Sherman Silva 

කවරයේ පින්තූරය- දළදා වහන්සේ සඟවා තැබූ බවට සැලකෙන කොත්දූව - watchinglanka.com

මූලාශ්‍ර:

ලංකාව බැබළවූ මහ සිටුවරු 2- හේමන්ත ද සිල්වා

විඩා නෙතට සුව ගෙන දෙන මාදු ගඟේ සිරි අසිරිය- රජිත බස්නායක

බුදු සසුන පුබුදු කළ ශ්‍රී ලංකා ශ්වේජින් නිකාය සියවස- පණ්ඩිත කේ.බී.ඒ. එඩ්මන්ඩ් - සී. තනිප්පුලිආරච්චි

Related Articles