මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.

දැඩි මූල්‍ය අර්බුදයකට ලක් වී ඇති ශ්‍රී ලංකාවට ජපානය, අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ආධාර දීමට මැලිවන බවයි පසුගිය දා වාර්තා වුණේ. එයට හේතු ලෙස ජපානය නම් දක්වා තිබුණේ ආධාර මුදල් පාලකයන් අවභාවිත කිරීමට ඉඩ ඇති නිසා ලබාදීමට නොහැකි බව යි.

මේ ආණ්ඩුව වංචා දූෂණවලට නම් දරාපු බව පසුගිය කාලයේ සිදුවීම් රාශියක් හරහා හෙළි වී තිබෙනවා. මෙම සිදුවීම් ජාත්‍යන්තර වශයෙන් ද අවධානයට ලක්වුණා. මේ පසුගිය 2021 අවුරුද්දේ හෙළි වූ එවැනි කුප්‍රකට වංචා කිහිපයක් ගැන පසු විපරමක්.

 සීනි වංචාව රටටම ලජ්ජාවක්- Prasad Welikumbura -Twitter.com

1). සීනි බදු වංචාව

විපක්ෂය නිතර චෝදනා එල්ල කරන ආණ්ඩුවේ ප්‍රධානත ම වංචාවක් වන්නේ සීනි බදු වංචාව යි. ජාතික විගණන කාර්යාලය කළ විගණන වාර්තාවක් මගින්ද පසුව මේ වංචාව ගැන තොරතුරු එළිදරව් වුණා.

2020 වනවිට සීනි ආනයනය කිරීමේ දී කිලෝ ග්‍රැම් එකකට රු. 50ක් බැගින් බද්දක් පනවා තිබුණා. රජය මඟින් 2020 ඔක්තෝබර් මාසයේ දී පාරිභෝගිකයාට සහනයක් ලබා දීමේ අරමුණින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50සිට ශත 25 දක්වා අඩුකිරීමට කටයුතු කළා. වෙළෙඳපොළේ සීනි මිල පාලනය කිරීම සඳහා සීනි සඳහා පාලන මිලක් ද පාරිභෝගික කටයුතු අධිකාරිය නියම කළා. ඒත් සීනි මිලෙහි වෙනසක් සිදු වුණේ නැහැ. 

ඒ නිසා බද්ද අඩුකිරීමේ වාසිය පාරිභෝගික ජනතාවට නම් ලැබුණේ නැහැ.  සීනි බදු මුදල අඩුකිරීම මාර්ගයෙන් ආණ්ඩුවේ දේශපාලනඥයන්ට හිතවත් එක්තරා සමාගමක් කෝටි ගණනක විශාල මුදලක් උපයාගත් බවට චෝදනා එල්ල වුණා. බදු අඩු කළේ ජනතාවට සහන සැලසීමට නොව සමාගම පොහොසත් කිරීමට බවයි කියවුණේ.

සීනි බදු වංචාව කාටුන් ශිල්පියකුගේ ඇසින් - ft.lk

විගණන වාර්තාව

සීනි මගඩිය පිළිබඳ ව ජාතික විගණන කාර්යාලය මගින් විශේෂ විගණනයක් සිදු කළා.සීනි බද්ද ශත 25 දක්වා අඩු කිරීමෙන් පසු මාස 04ක් හා දින 14ක කාලයක් තුළ දී රජය රුපියල් මිලියන 16763ක බදු ආදායමක් අහිමි කර ගත් බව ඉන් හෙළිවුණා.

මේ නිසා රාජ්‍ය ආයතනයක් වන ලංකා සතොස ආයතනයට ද 2020 ඔක්තෝබර් මස 14 දින සිට 2021 පෙබරවාරි මස 08 වැනි දින දක්වා කාලය තුළ රුපියල් මිලියන 102ක පාඩුවක් සිදු වී තිබුණා. ඒ, වැඩි මිලට පෞද්ගලික අංශයෙන් සීනි මිලදී ගැනීමට සිදු වූ නිස යි. මේ පාඩු සහ ආදායම් අහිමිවීම තවත් සමාගමක ලාභයක් වුණා.

 සීනි ගබඩාවක් - lankadeepa.lk

 

සාමාන්‍යයෙන් වර්ෂයකට ශ්‍රී ලංකාවට සීනි මෙට්‍රික් ටොන් 5,96,000ක් පමණ ආනයනය කරනවා.  බදු මුදල අඩු කිරීමෙන් පසු ප්‍රධාන ආනයනකරුවන් 09 දෙනකු සහ සුළු ආනයනකරුවන් මෙරටට ගෙන්වා ඇති සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 277,715 ක්. ඒ 2020 ඔක්තෝබර් මස 14 දින සිට පෙබරවාරි මස 28 දක්වා කාලය තුළදීයි. එය ඉතා ඉහළ වැඩිවීමක්.

මෙම සීනි තොගයෙන් සියයට 45ක් පමණ ආනයනය කොට ඇත්තේ එක් පුද්ගලික සමාගමක් බව විගණන වාර්තාවේ සඳහන් වෙනවා. ඔවුන් එසේ විශාල සීනි තොග ගෙන්වා ඇත්තේ පසුව වැඩි මිලට විකුණා ලාබ ලැබීමට යි.

සීනි බද්ද අඩු කිරීම මඟින් රජයට අහිමි වූ බදු ආදායම, එම වාසිය ලබා ගත් පාර්ශවයන්ගෙන් නැවත අය කර ගත යුතු බව ජාතික විගණන කොමිසම රජයට නිර්දේශ කළා. නමුත් එය සිදුවුණෙත් නැහැ.

 විස පොල් තෙල් ගෙනවිත් - lankasara.com

2). විස පොල් තෙල් වංචාව

පිළිකා කාරක විස රසායන අඩංගු පොල්තෙල් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බවට 2021 මාර්තුවල රට පුරා මහත් ආන්දෝලනයක් හට ගත්තා. මාර්තුවේ දී පිරිපහදු නොකළ පොල්තෙල් වෙනුවට ගෙන්වූ ආදේශක තෙල් බහලුම් 13ක් පරීක්ෂා කිරීමේදී එම පොල්තෙල් මිනිස් පාරිභෝජනයට නුසුදුසු බවට හෙළි වී තිබියදීත් මාර්තු 23 වැනි දා රාත්‍රියේ දී පාරිභෝජනයට නුසුදුසු තවත් පොල්තෙල් මෙට්‍රික් ටොන් 8000 ක නැවක් නිදහස් කර ඇති බව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය චෝදනා කර සිටියා.

එම පොල්තෙල් ගැන මාර්තු 29 වැනි දා ප්‍රකාශයක් කළ ප්‍රමිති ආයතනය, එම පොල්තෙල් වල විස රසායනික ඇතැයි දෙවෙනි පරීක්ෂණයෙන් ද තහවුරු වූ බව පැවසුවා. ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය ප්‍රමාණය ඉක්මවා පැවතීම හේතුවෙන් තත්ත්ව පරීක්ෂණ වාර්තා අසමත් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කර සිටියා.

 නැතුව ම බැරි පොල් තෙල් - news.lk

පිළිකාකාරක පොල් තෙල් රට පුරා බෙදාහරිමින් සිටින බව එකල විපක්යෙන් චෝදනා එල්ල වුණා. විස පොල් තෙල් මුදා හැර නැති බව එවක කැබිනටි ප්‍රකාශක රමේෂ් පතිරණ එකල පැවසුවත් ඔහු ප්‍රකාශය කර පැය කිහිපයක් යන්නට මත්තෙන් විස පොල් තෙල් බවුසර් දෙකක් අල්ලා ගැනීමට සමත් වුණා.

සීනි වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සමාගම් සමූහයට අයත් එක් සමාගමක් මෙරටට මහා පරිමාණයෙන් පොල් තෙල් ගෙන්වීමේ නිරත ව සිටින බවත්, එම සමාගමේ හිමිකරු මෙම විස පොල්තෙල් මුලින් ම පරීක්ෂාවට ලක් කළ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ එවක සභාපතිවරයා හා ඉතා සමීප මිතුරන් බවටත් සමහරුන් චෝදනා කළා. පිළිකාකාරක විස පොල්තෙල් වෙළෙඳපොළට ඇතුළු වීම වැලැක්වීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මුලින් ම ගත් පියවර සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් මතු වන බවත් එකල පැවසුණා.

ඒ අනුව මෙම විස සහිත පොල්තෙල් සැලසුම් සහගත ව වෙළඳපොළට මුදා හැර දැවැන්ත ජාවාරමක් සිදු කරනු ලැබුවේ ද යන කරුණ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් මතු වූ කරුණක්. කෙසේ වුවත් විස පොල්තෙල් ශ්‍රී ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සමාගම් සම්බන්ධයෙන් දැඩි පියවර ගත යුතු වුවත් රජය ඒ සම්බන්ධයෙන් අනුගමනය කළේ දියාරු ප්‍රතිපත්තියක්. ඉන් හෙළිදරව් වන්නේ මේවා පිටුපස රාජ්‍ය බලය තිබෙන බව යයි එකල චෝදනා එල්ල වුණා.

 ගුවනින් ගෙනා නැනෝ පොහොර - dailymirror.lk

3). නැනෝ දියර පොහොරවලින් මිලියන අටදහසක්

කාබනික පොහොර ප්‍රතිපත්තිය නිසා වැලේ වැල් නැතිවු ගොවි ජනතාවට නයිට්‍රජන් අඩංගු කාබනික දියර පොහොරක් ලෙස ඉන්දියාවෙන් නැනෝ යූරියා දියර පොහොර ආනයනය කළා. මෙම දියර පොහොර තොගය පිටුපස රුපියල් මිලියන අටදහසක වංචාවක් සිදු ව ඇති බවට චෝදනා එල්ල වුණා. ඉන්දියාවේදී මිලි ලීටර් 500 ක අසුරණයක් ඩොලර් තුනට විකුණන නැනෝ යූරියා දියර පොහොර ලංකාවට එනවිට ඩොලර් 12.50 ක් වී ඇති බවත් එකල පැවසුණු කතාවක්.

පසුව නැනෝ දියර පොහොර නිපදවන ඉන්දියානු ගොවි පොහොර සමූපාකාර සමාගමේ තාක්ෂණ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණියා. එහි නියෝජිත අනිල් යාදව්  මේ පිළිබඳව 2021 නොවැම්බරයේ දී මාධ්‍ය හමුවක් පැවැත්වූවා. එහිදී ලංකාවේ රසායනික පොහොර තහනම් කළ බව පැවසුණත් මේ ගෙන එන පොහොර දියරය පැහැදිලිව ම නැනෝ තාක්ෂණයෙන් බිහි කළ රසායනික පොහොරක් මිස ස්වභාවික කාබනික පොහොරක් නොවන බව ඔහුගේ කතාවෙන් පැහැදිලි වුණා.
 පොහොර මිලි ලීටර් පන්සීයක මිල ඉන්දියානු රුපියල් 240 ක් බව ඔහු ප්‍රකාශ කළා. එවිට මෙහි ලීටරයක මිල ඩොලර් 06 කට ආසන්න ප්‍රමාණයක්.

මේ පොහොර ලීටර් මිලියන 2.1 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 52 ක මුදලක් වැය කරන බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙලා තියෙනවා. එවිට එක ලීටරයක්,  ඩොලර් 25 කට ආසන්න මුදලකට තමයි ගෙන්වා තිබෙන්නේ. ඒ හරහා විශාල වංචාවක් වුණු බව එකල විපක්ෂ දේශපාලනඥයන් මෙන් ම සිවිල් ක්‍රියාකාරීන් ද පෙන්වා දුන් කරුණක්. එවකට කෘෂිකර්ම ඇමැතිවරයා වශයෙන් සිටි මහින්දානන්ද අලුත්ගමගේ මේ ගැන පැහැදිලි ප්‍රකාශයක් ජනතාවට ලබා දුන්නේ නැහැ. මෙසේ විශාල වංචා මැද වගාවලට යෙදීමේ හදිසිය නිසා නැනෝ පොහොර ගෙනාවේ ගුවන් මගින්. නමුත් මෙසේ ඩොලර් මිලියන ගණනින් වැයකර ගෙන්වූ නැනෝ පොහොරවලින් වගාවලට බලාපොරොත්තු වුණු තරම් ප්‍රතිඵලයක් ලැබුණෙත් නෑ.

 චීන පොහොර නැවෙනුත් ලොකු කොමිස් - gossiplankanews.com

4). කාබනික පොහොර නැව

චීනයෙන් ගෙන ආ කාබනික පොහොර නැව පිළිබඳත් ඉන් පසුව ප්‍රශ්න මතු වුණා. එහි වූ කාබනික පොහොරවල වගාවට අහිතකර බැක්ටීරියා අඩංගු බව හෙළි වූ නිසා ඒ පොහොර මෙරටට ගොඩබෑවේ නැහැ. එම නැවට මුදල් ගෙවීම අවශ්‍ය බව චීන සමාගම ඉල්ලා සිටියා. පසුව එයට මුදල් ගෙවූ බව ද වාර්තා වුණා.
නිසි ප්‍රමිතියට නොමැති බව කියමින් ආපසු හරවා යැවූ කාබනික පොහොර ආනයනය කළ චීන සමාගම ජාත්‍යන්තර වාණිජ්‍ය අධිකරණයේ නඩු පැවරීමට ගෙන තිබෙන තීරණය මත එම සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 6.7 ක් ගෙවා දමා වාණිජ්‍ය කොන්දේසි මත සමථයකට පත් කිරීමට ඉකුත් කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දුන්නා. ඒ 2021 දෙසැම්බර්වලදි යි.

චීනයේ ක්වින්දා ඕ බයෝටෙක් සමාගමෙන් ආනයනය කළ කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000 ක් අඩංගු නෞකාවෙන් ලබාගත් සාම්පලවල බැක්ටීරියාවක් ඇතැයි ශ්‍රී ලංකා පැළෑටි නිරෝධායන සේවය නිගමනය කළා. පසුව එම පොහොර තොගය ප්‍රතික්‍ෂේප කිරීමට පියවර ගත්තා. මෙම තොගය, කෘෂිකර්ම අමාත්‍යාංශය  ආරම්භ කළ රුපියල් බිලියනයකට වඩා වැඩි වටිනාකමකින් යුත් ටෙන්ඩර ක්‍රියාවලියකින් ලබා ගත් නැව්ගත කිරීමක කොටසක්.

චීන කාබනික පොහොර යළි මෙරටට

යල කන්නය සඳහා චීන කාබනික පොහොර යළි මෙරටට ගෙන එන බව එවක කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ පසු ව පැවසුවා. මෙලෙස මෙරටට රැගෙන ඒමට නියමිතව තිබුණේ ඉකුත් වර මෙරට දැඩි ආන්දෝලනයට තුඩුදුන් කාබනික පොහොර තොගය ආනයනය කළ සමාගමෙන්ම යි. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම පොහොර තොගයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් මෙරටදී මෙන්ම විදේශ රටවලදී ද පරීක්ෂණ සිදුකරන බව යි. කෙසේ නමුත් එවන් පොහොර නැවක් මෙරටට පැමිණි බවට අද දක්වා ම ආරංචියක් නම් නෑ.

චීන පොහොර නැව පිටුපස කොමිස් තිබුණු බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් ජයසිංහ මාධ්‍යවලට පසුව අනාවරණය කළා. එක රැයෙන් කාබනික පොහොර භාවිතයට යෑම මෝඩ තීන්දුවක් බව පැවසූ මහාචාර්යවරයා තමා ඒ තීන්දුවට මුල සිට ම විරුද්ධව සිටි බව ද නිතර පැවසුවා.

කවරයේ ඡායාරූපය - සීනිවලින් පොල්තෙල්වලින් මහා වංචා - groundviews.org

මූලාශ්‍ර :
divina.lk
lankatruth.com
bbc.com
lankadeepa.lk