රත්නවල්ලිගෙ දරුවෝ හෙවත් ගාඩි ජනතාව ගැන සෙවිල්ලක්

රොඩී කුලය ලංකාවේ කුලවලින් පහත් ම කුලය විදිහට අතීතයේ සැලකුණා. උඩරට රජ කාලෙ දි නම් රොඩී රැහැට පිටමං කිරීම විශාල දඬුවමක් ලෙසත් සැලකුණා.  මේ කුලය කොච්චර පහත් විදිහට සැලකුණා ද කියනවනම් පුරාණයේ පන්සලකටවත් රොඩී කුලයේ අය වද්දගත්තෙ නැති බවයි පැවසෙන්නේ.

කොටින් ම රොඩි මිනිසෙක්  මුහුණට මුහුණ හමුවීමක් හෝ සිරුරේ ස්පර්ශ වීමක් මුළු දවස ම අසුබ වීමට හේතුවක් යයි සැලකුණා. අද වනවිට නම් ඒ දරුණු තත්ත්වය දැකගන්න නෑ. තවමත් කොළපත් කැබැල්ලක් අරගෙන සිඟමන් යදින රොඩී යාචකයන් ඉඳහිට දකින්න ලැබෙනවා.

පුරාණ රොඩී ගම්මානයක්- Wikipedia.org

 රොඩී හෙවත් ගාඩි

රොඞී, ගාඩි සහ හුලවාලී, චණ්ඩාල ආදී විවිධ නාමයන්ගෙන් හඳුන්වන මේ  ජන කොට්ඨාසය බුද්ධ කාලීන සමාජයේ සිට ඉන්දියාවේ පැවති බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්.  මෙම ජන කොටස ගාඩි යන නාමයෙන් ඔවුන් හැඳින්වීමට දැඩි ලෙස ප්‍රිය කරන බව පේනවා. මේ බැව් ඔවුනතර ”මහ ගාඩියා, ගාඩි බිළිඳා’’ සහ ගාඩි බිලින්දි ආදි යෙදුම් භාවිතය මඟින් පැහැදිලි වෙනවා.

පුරාණ රජ දව‌සේ පටන් ‌රොඩීන්ට ස්ථාවර නිවාස තනා ගැනීමට ‌හෝ ගම්වැද ජීවත්වීමට ‌හෝ අවසර තිබුණේ නැහැ.  එ‌හෙත් පසුකාලීන ව, ඔවුන්ට ම ‌වෙන් වූ ගම්මාන බිහි වුණා.  ඒවා ‘ගුබ්බෑයම්’ ලෙසින් හඳුන්වනවා. රොඩී ජනතාව අයත් වන්නේ ගෝත්‍රික සමාජයකට. ඔවුන්ගේ කණ්ඩායමේ ප්‍රධානියා හඳුන්වන්නේ හුලවාලියා කියල යි. නමුත් පසුකාලීන ව පිරිස් විවිධ රැකියාවලට පිටත්ව යාම වැනි කටයුතු නිසා නායකයාගේ බලතල සීමා වුණා.

එම්. ඩී. රාඝවන්, නන්දදේව විජේසේකර, සයිමන් කාසිචෙට්ටි වැනි විද්වතුන් පසුගිය සියවසේ දී රොඩී ජන සමාජය ගැන සොයා බැලූ විද්වතුන් අතර සිටිනවා. මේ අතරින් රාඝවන්ගේ අධ්‍යයනය ඉතා විශිෂ්ට යි.

මහනුවර අවට පුරාණ සමයේ රොඩි ගමක තරුණීයන්- Rarebooksofindia.com

 ජනප්‍රවාද

12 වන ශත වර්ෂයේ දී පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජුට මස් සපයන පුද්ගලයාට එක් පුන් පොහොය දිනයක දී මස් සපයාගත නොහැකි වුණා. මේ නිසා කුඩා දරුවකු මරා මස් කර රජුට සැපයුවා. පැරකුම් රජුගේ දියණිය වූ රත්නවල්ලී කුමරිය එම මාංශයට ගිජු වූ බැවින් දිනපතා  කුඩා දරුවන් මරා රජගෙට සැපයීම සිදු කළා. මේ පිළිබඳ පුවත් රජුට හෙළි වූ  බැවින් රජගෙට මස් සපයන පුද්ගලයා සහ තම දියණිය දීනයන් (රෝඩියන්) ලෙස සලකා දිවි තිබෙන තුරු ගෙයින් ගෙට සිඟමනේ යමින් දිවි ගැට ගසා ගැනීමට නියෝග කරන ලද බැව් පැවසෙනවා.

මේ රොඩී සම්භවය පිළිබඳ එක් ජනප්‍රවාදයක් පමණ යි. තවත් ජනප්‍රවාදයක දැක්වෙන්නේ කෝට්ටේ රාජධානි සමයෙහි රජකළ හයවැනි පරාක්‍රමබාහු රජ සමයේ දී සැඬොල් කුලයට අයත් චණ්ඩාල කුලයක් ලෙස රොඞී ජනතාව හඳුන්වන්නට ඇති බව යි. එහිදී රජ මාලිගය ඇමදූ ”රොඞ්ඩා’’ හා පැරකුම් රජ දියණිය වූ රත්නවල්ලී කුමරිය අතර වූ සබඳතාව හෙළි වීම නිසා රාජ කුමාරිකාව රොඞ්ඩාට අඹුකමට දී රාජ මාළිඟාවෙන් පිටුවහල් කළ බව පැවසෙනවා.

මේ ඒ ගැන සඳහන් ජන කවියක්:

උඩු මාහලෙන් බැසපන්     රත්නවල්ලියේ
සළු පළදින්න බැසපන්      රත්නවල්ලියේ
මුතු පළදින්න බැසපන්      රත්නවල්ලියේ
රොඩ්ඩට දෙන්න බැසපන් රත්නවල්ලියේ

කොතනක සිටන් එන්නෙ ඇල්ලි  මෑල්ලියේ
රුහුනේ සිටන් එන්නෙ ඇල්ලි     මෑල්ලියේ
දෙපයේ දාපු ගිගිරිත් සෙල්ලි     සෙල්ලියේ
පැරකුම් රජුගෙ දුව නවරත්න     වල්ලියේ

ගාඩි ජන පිරිසක්- facebook

 

ගාඩි ජන වෘත්ති

ඔවුන්ගේ ජීවනෝපාය උදෙසා එක් බෙර ඇසක් පමණක් ඇති ”එකැස් බෙරය’’ යැයි හඳුන්වන රබාන සහ තැටිය නම් වූ භාණ්ඩ භාවිත කිරීමට අවසර හිමිවූ බව ද පැවසෙනවා. ගාඩි සමාජයේ එකැස් බෙර වාදනය, තැටි කැරකවීම, කබේ නැටුම, බෝල උඩ දැමීම වැනි සංස්කෘතිකාංග දැකගත හැකි වුණා.

ඒ ආශ්‍රිතව ප්‍රාසාංගික ඉදිරිපත් කිරීම් මගින් ඔවුන්ගේ දිවි රැක ගැනීමට රට පුරා ගම්මාන හරහා ගමන් කර තිබෙනවා.  මළ මිනී බැහැර කිරීම, ඇතුන් ඇල්ලීම, වරමුදු සැකසීම, කුළු, ලාභ පෙට්ටි, කිරි ගොටු ආදී වේවැල් භාණ්ඩ සැකසීම මොවුන්ගේ රැකියා ලෙස සඳහන් වෙනවා.  කුලීනයන් ලෙස සමාජයේ හැඳින් වු පිරිසගේ ලිංගික අවශ්‍යතා සඳහා රූමත් රොඩී තරුණියන් භාවිත කිරීමේ සිරිතක් ද පුරාණයේ පැවති බව පේනවා.   ඒ අවස්ථාවේ දී නීච කුලයේ සිරුරුවල දොසක් කුලවන්තයන්ට පෙනී නැහැ.

 දුටුගැමුණු රජු පුත් සාලිය කුමරු විවාහ වී ඇත්තේ ”හෙල්ලෝලි ගම’’ විසූ රොඞී කුල රූමතියක සමඟ (අශෝකමාලා) බවත් සාලිය කුමරු රජකම අත හැර තම පෙම්වතිය සමඟ කල්ගත කළ බවත් ඉතා ප්‍රකට ජනප්‍රවාදයක්.

තම පාරම්පරික කර්මාන්ත වෙනුවට පසුගිය කාලයේ ඔවුන් ඉදල්, කොහු තැනීම, පිහියාවලට මිට ගැසිම වැනි කටයුතුවලට යොමු ව සිටියා. ඉන් අනතුරුව විවිධ කුලී වැඩ, තේදළු නෙළීම, ගොයම් කැපීම, සුළු කර්මාන්ත කිරීමට යොමු ව සිටිනවා. 1978 විවෘත ආර්ථිකයෙන් පසු ව අයෝජන ප්‍රවර්ධන කලාපයන්හි කම්හල්වල රැකියාත් ඔවුන්ට හිමි වුණා. සමහරුන් විදේශ රැකියා සඳහා විදෙස්ගත වීමත් සිදු වුණා.

උඩුකය නොවැසූ රොඩී තරුණියන් –  lankapura.com

 රොඩීන්ට හිමි අයිතිය

අතීතයේ රොඩීන්ට උඩුකය වැසෙන ලෙස ඇඳීමට හා වස්ත්‍ර ඉණෙන් පහළට ගැටගසා ඇඳීම තහනම් වී තිබූ බව පැරණි මූලාශ්‍රවල දැක්වෙනවා. ඊට පස්සේ යුරෝපීය ආක්‍රමණ හමුවේ මිෂනාරීන් පූජකවරුන්ගේ පැමිණීමත් එක්ක බොහෝ රොඩීන් කතෝලික ආගමට හැරී තිබෙනවා. ඒ එක්ක ම ඔවුන්ට වස්ත්‍ර ඇඳීමේ අයිතියත් ස්ථිර ව එක තැනක ජීවත්වීමේ අවස්ථාවත් හිමි ව තිබෙන බව පැවසෙනවා.  

ඉංග්‍රිසින්ගේ පාලනයෙන් රට තුළ පැවති කුල භේදය නොසලකා හැරුණා. මේ වන විට රොඩීන් ඉතිහාසයේ සිදු කළ පරිදි කොන් කිරීමක් හෝ පහත් කිරීමක් වන බවට සොයා ගත නොහැකි යි.  යම් ගම් ප්‍රදේශ රොඩීන් වෙනුවෙන් එවකට වෙන්ව පැවතිය ද අද වන විට ඔවුන් සාමාන්‍ය ජන ජීවිතයකට යොමු ව  සිටිනවා. සුළු පිරිසක් පමණක් යාචක වෘත්තියෙන් ජීවත් වන බව පේනවා. රත්නවල්ලිය පිදීම ඉතිහාසගත  පුරාවෘත්තයක් බවට අද වන විට පත් ව තිබෙනවා.

රොඩී කාන්තාවක් එදිනෙදා වැඩ කටයුතු කරමින් – Histclo.com

ඉංග්‍රීසි පාලන කාලයේ වැඩවසම් ක්‍රමය අහෝසියත් සමඟ විවිධ හිංසා පීඩාවලට ලක් වූ රොඩී ජනයාට විශාල අස්වැසිල්ලක් ලැබෙන්නට වුණා. කුලවතුන්ට ම වෙන් ව සිටි රොඩී තරුණියටන්ටත් යහපත් කලක් උදාවුණා. පාලකයන්ට හා කුලීනයන්ට තමන්ට රිසි සේ ඔවුන්ට හිංසා පීඩා කිරීම නීතියෙන් තහනම් වුණා. සිරුර වැසෙන සේ ඇඳුම් ඇඳීමට, වගා කටයුතුවල යෙදීමට හා රට තුළ  සංචරණයට තිබුණු බාධා ලිහිල් වුණා.

අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාවත් ගාඩි ජනයාට පසු කලෙක හිමි ව තිබෙනවා. ඉංග්‍රීසි පාලන කාලේ දී ඔවුන්ට ම පැල්පත් බිත්ති දෙකකින් යුක්තව ඉදිකර ගැනීමටත් ගෘහ භාණ්ඩ කිහිපයක් තබා ගැනීමටත් අවසර හිමිවුණා. ඉඩම් සහ හරකබාන තමන් සන්තකයේ තබා ගැනීමටත් අවසර ලැබුණා. නමුත් උසස් කුල ඇත්තකු ඉදිරියේ දණින් වැටී ආචාර කිරීම ද, ඔවුන්ට යාමට මඟ ඉඩහැර පසෙකට වීම ද එසේම පැවතුණු බව සඳහන්.

ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමේ වරම උදාවුණේ නිදහස් අධ්‍යාපනයත් සමඟ යි. ක්‍රමක්‍රමයෙන් රොඩී දරුවන් අතර අධ්‍යාපනයට දක්ෂ පිරිසට සමාජයේ ඉදිරියට ගොස් රැකියා ලබාගැනීමේ හැකියාවත් ලැබුණා. මේ වනවිට විවිධ ව්‍යාපාරික ක්‍රමවලින් විශාල ධනවතුන් බවට පත් වූ රොඩී ජන කොටස් ගැන අසන්නට ලැබෙනවා. නමුත් ඔවුන් තමන් රොඩී ගෝත්‍රිකයන් යන කරුණ සඟවන බවයි පේන්නේ.

 පින්තුර තැපැල්පත්වලට ගිය රොඩී තරුණියන්- Wikipedia.org

රොඩී බස

ලංකාවේ රොඩී ජනතාවගේ භාෂාව හැඩ ගැසී තිබුණේ ඉල්ලන් කෑම සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා යි. ඔවුන්ගේ පැවැත්ම රඳා පැවතුණේ සිංහල බස වහරන සමාජය සමඟ යි. මහනුවර යුගයේ දී ඔවුන්ට ගොවිතැන තහනම් වූ අතර දඩයම ද තහනම් කර තිබුණා. මේ නිසා සිංහලයන්ට දුක කියා ඔවුන්ගෙන් ආහාර ලබා ගැනීමට සිදු වුණා. රොඩී බස ද සිංහල බසට සමාන උප භාෂාවක් සේ වර්ධනය වි තිබෙනවා. ඔවුන්ගේ මුල් බස ඔවුන් අතර පමණක් අදහස් හුවමාරු කර ගැනීමට යොදා ගන්නා රහස් බසක් බවට පත්ව තිබෙනවා. රොඩී වාග් කෝෂයේ වචන සීමිත යි.  එක් වදනක් අදහස් කිහිපයක් පැවසීමට යොදා ගැනීමත් දැකගත හැකි යි. මේ රොඩී වචන කිහිපයක්-

බුස්සා (බල්ලා)

බූලෑවා (වඳුරා)

ලුද්දා (මීහරකා)

පෙකනවා (දකිනවා)       

ලතු (රතු)

රොඩී පරම්පරා

රොඩී ජනතාව ගැන අධ්‍යයනය කළ විද්වතුන් එවුන් ප්‍රධාන පරම්පරා දෙකකට බෙදා දක්වනවා. නාහල්ල හෙවත් උඩකටුව කාණ්ඩය සහ නවරත්නවල්ලි හෙවත් වන්නි කාණ්ඩය යනුවෙන්. නාහල්ලේ කාණ්ඩය උඩරට රාජධානියට අයත් කඳුකර ප්‍ර දේශවල වාසය කර තිබෙනවා. වන්නි කාණ්ඩය ජීවත්ව ඇත්තේ වන්නිකරය, දෙමළ හත්පත්තුව සහ සත් කෝරළය ප්‍රදේශවල යි. මේ  අතරින් අමිශ්‍ර රුධිරයෙන් යුත් රොඩී ජන කොටස ලෙස හියු නෙවිල් සලකන්නේ නවරත්න වල්ලි පරපුර යි. වන්නි රොඩී ජනයා අතර 1900 ආසන්න කාලෙ පැවති පෙළපත් 12ක් ගැනත් නෙවිල් සඳහන් කරනවා. මේ පෙළපත් නාමවලින් පේන්නේ ඒවා රොඩී කුප්පායම් අනුව නම් කර ඇති බව යි.

මහප්පොල, තිරිංග, මිතන්ගල, තලින්න, නාපොල, ඌව, වාපොල්ල, නුවරගම, ගලවෙල, තම්මන්කඩ, මන්ගම, අල්පාල (හල්පෙ) එම පෙළපත් වෙනවා. පසුකාලීනව මේ පෙළපත් නාමමාත්‍රික බවට පත්ව අහෝසි වී ගොස් තිබෙන බවයි පේන්නේ.

 නිරූපිකාවන් වූ රොඩී ළඳුන් – Wikipedia.org

 

පසුගිය සියවසේ මැද භාගය දක්වාම කතුන් රොඩී ගම්මානවල සිටින අවස්ථාවලදී උඩුකය වැසීම කළේ නැහැ. ඔවුන් ගමනක් යනවිට පමණක් උඩුකය වසා හැට්ටයක් ඇඳි බව පේනවා. ඉංග්‍රීසි කාලයේ පින්තුර තැපැල් පත් රාශියක රොඩී තරුණියන්ගේ උඩුකය නිරුවත් පින්තූර දැකගත හැකි වුණා. ඔවුන් නිරූපිකාවන් ලෙස භාවිතයට ඉංග්‍රීසි ඡායාරූප ශිල්පීන් කැමැත්තක් දැක්වූ බව පේනවා. මෑත අතීතයේ දී නම් මේ ජනකොටස ගැන සොයා බැලීමට විද්වතුන් පවා එතරම් උනන්දු වූ බවක් පේන්නෙ නැහැ.

කවරයේ ඡායාරූපය- රොඩී තරුණියක්- lankapura.com

මූලාශ්‍ර:

ගාඩි ජන වත- චන්ද්‍ර ශ්‍රී රණසිංහ

Divaina.com

Related Articles