බෙල් පාටියෙන් අපේ යටගියාව ගොඩ ගත් එච්. සී. පී. බෙල්

ලංකාවේ පුරාවිද්‍යාවත්, බෙල් කියන නමත් හරියට ගහට පොත්ත වගේ. ලංකාවේ පළමුවැනි පුරාවිද්‍යා කොමසාරිස් වුණේ දිස්ත්‍රික් නඩුකාර එච්. සී. පී. බෙල්. ඔහු ගැන අපි දන්නා දේට වඩා නොදන්නා දේ බහුලයි. මේ ජාතික පුරාවිද්‍යා දිනය සමරන කාලෙ පුරාවිද්‍යා පුරෝගාමී බෙල්ගේ චරිතය හාරා අවුස්සා බැලූ අවස්ථාවක්.

ජීවන තතු

අයර්ලන්ත  හා ස්කොට්ලන්ත  යුවළකට දාව 1851 සැප්තැම්බර් 21 වන දින හැරී චාර්ල්ස් පර්විස් බෙල් උපන්නේ ඉන්දියාවේ ඒඩන්හි දීයි. ඒ කාලෙ බෙල්ගේ පියා සේවය කළේ යටත්විජිත ඉන්දියාවේ හමුදා මේජර්වරයෙක් ලෙසයි.  හැරී චාල්ස් තමයි දරු දෙදෙනකුගෙන් යුත් ඒ පවුලේ බාලයා වුණේ.  ඔහු කුඩා කලෙදි ම අධ්‍යාපනය සඳහා එංගලන්තයට යවනවා. හැරී සහ ඔහුගේ අය්යා වූ ඇලෙක්, චෙල්ටෙන්හම්  ප්‍රදේශයේ පාසලකට ඇතුළත් කෙරෙනවා.  චාල්ස් පාසල් කාලෙ පටන් ම  ඉතිහාසය නැතිනම් පැරණි දේවල් ගැන උනන්දුවෙන් සිටි බවයි පැවසෙන්නේ.

 බෙල් සිය පවුලේ සාමාජිකයන් සමඟ -උරුමයක අරුණ එදා අද , පුරාවිද්‍යා දෙපා. කෘතියෙනි.

 

හැරී චාල්ස් පාසල් ගමන නිම කරන්නේ 1870 දී. ඉන් පසු ඔහු සිවිල් සේවා විභාගයට පෙනී සිට එය සමත් වෙනවා.  අනතුරුව ලංකාවේ සේවයට කැමැත්ත පළ කර  1873 දී මෙරටට ගොඩ බසිනවා. ඒ ආධුනික සිවිල් නිලධාරියක ලෙසයි. ඉන් පසු යළිත් මාලදිවයිනට ටික කලකට යන්නේ 1879 දියි. එහි රේගු නිලධාරියකු වශයෙන් කටයුතු කරමින් සිටින බෙල්ට මාලදිවයිනෙහි ඉතිහාසය, සංස්කෘතිය හා භාෂාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට උනන්දුවක් හට ගන්නවා.

ලංකාවට පැමිණෙන ඔහු එවකට ඉතිහාසයට ළැදි උගතුන් කිහිප දෙනකු පවත්වාගෙන ගිය රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සාමාජිකත්වය ලබා ගන්නේ   1880 දියි.  එම වසරේදී ම බෙල්ට එම සංගමය මගින් වාර්ෂික ව නිකුත් කරන සඟරාවේ සංස්කාරක ධුරය ද හිමිවෙනවා.   ඔහු 1914 වසර තෙක් ම එම වාර්ෂික සඟරාවේ සංස්කාරක ධුරය දරා තිබෙනවා.

 පුරාවිද්‍යාවට පෙම් බැඳි එච්. සී. පී. බෙල්- Wikipedia.org

බෙල් පාටිය

ලංකාවේ පුරාවිද්‍යා කටයුතු සඳහා මූලික පදනම දමන්නේ සර් හර්කියුලස් රොබින්සන් ආණ්ඩුකාරවරයාගේ කාලයේදී  එනම් 1861 වසරේ දී යි. යටත්විජිත පාලකයන් මෙරට පැරණි ස්මාරක ආරක්‍ෂා කිරීම හා සංරක්‍ෂණය කිරීම සඳහා ප්‍රාථමික ගවේෂණ කටයුතු රාශියක් ඒ වන විට ආරම්භ කර ක්‍රියාත්මක කරමින් තිබුණා. උගතුන්ගේ ඉල්ලීම මත පුරාවිද්‍යා කටයුතු සඳහා වෙන ම ආයතනයක් ඉංග්‍රීසි ආණ්ඩුව පිහිටවනවා. එහි මුල් ම කොමසාරිස් ලෙස 1890 දී පත් කෙරන්නේ එච්. සී. පී.බෙල්. ඔහු පුරාණ ශිෂ්ටාචාර පිළිබඳවත්, ග්‍රීක් – ලතින් වැනි භාෂාවන් ගැනත් විද්වතකු ලෙසිනුත් ප්‍රකට ව සිටියා.

 බෙල්පාටිය 1896 දී සීගිරියේදී – Archaeoloy.lk

 

මේ සමය වන විට බෙල් කෑගල්ල දිස්ත්‍රික්කයේ විනිශ්චයකාරවරයකු වශයෙන් කටයුතු කරමින් සිටි අතර ඔහු මුලින් ම කෑගල්ල  දිස්ත්‍රික්කයේ පුරාවස්තු  සම්බන්ධයෙන් ගවේෂණයක් ආරම්භ කරනවා. මේ අතර   Archaeology survey Department නමින් ආරම්භ කළ පුරාවිද්‍යා දෙපාර්ත්මේන්තුවේ මූලස්ථානය පිහිටුවන්නේ වැඩි ම නටබුන් සංඛ්‍යාවක් තිබූ අනුරාධපුර නගරයේයි.

ඒ. එච්. ගෝර්ඩන් ආණ්ඩුකාරයාගේ නියමය පරිදි ඔහු අනුරාධපුරයට පැමිණ පුරාවිද්‍යා කටයුතු නිල වශයෙන් ආරම්භ කළේ 1890 ජූලි 7 දායි. ඒ නිසා ජාතික පුරාවිද්‍යා දිනය ලෙස සෑම වර්ෂයකම ජූලි 7 දා සමරනවා.

 බෙල් අනුරාධපුරයේ දී නවාතැන් ගත් පුරාවිද්‍යා බංගලාව – උරුමයක අරුණ එදා අද , පුරාවිද්‍යා දෙපා. කෘතියෙනි.

 

ඒ කාලයේ  මුලින් ම කළ යුතු වූයේ වනයෙන් වැසී පැවති අනුරාධපුරයේ නටබුන් එළිපෙහෙලි කර පාදා ගැනීමයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමන්විත වුණේ කොමසාරිස් හැරුණු විට සහකාර යුරෝපීය නිලධාරියෙක්, ලිපිකරුවෙක්, සිතියම් අඳින්නන් තුන් දෙනෙක් සහ සියයක් පමණ වූ කම්කරු පිරිසකගෙන්.

හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න බෙල් පිළිබඳ ව මෙසේ සඳහන් කර තිබෙනවා:

1890 පෙබරවාරි මාසයේ පුරාවිද්‍යා කොමසාරිස් ධුරයට පත්වීමට පෙර කෑගල්ලේ දිස්ත්‍රික් නඩුකාරයා ලෙස කටයුතු කළේය. මෙම පුරාවිද්‍යා කටයුතු ඇරඹූ එතුමාගේ කණ්ඩායම සාමාන්‍ය ජනතාව විසින් හඳුන්වන ලද්දේ  “බෙල් පාටි” යන නාමයෙනි. කෑගලු වාර්තාව හැරුණු විට බෙල් මහතා විසින් 1890 සිට 1912 දක්වා වාර්ෂික වාර්තා ද ප්‍රොග්රෙස් රිපෝට් හෙවත් වැඩකටයුතු ගැන වාර්තා ද ලියන ලද්දේය. 1896 දී එකල කිසිදු යුරෝපීය නිලධාරියෙක් නොගිය තැනක් වන විල්පත්තුවේ සංචාරයක නිරත විය. එහි සොබා සෞන්දර්ය දුටු එතුමා මිහිපිට සුරපුරක් වේ නම් ඒ මෙතැනයයි ලියා තැබීය. ( ලංකා පුරාවිද්‍යාවේ ඉතිහාසය -ඩබ්ලිව්. සද්ධාමංගල කරුණාරත්නෙ)

අනුරාධපුර කැණීම්

බෙල් අනුරාධපුරයට යන විට පුරාණ දාගබ්, විහාර, මහා වනාන්තරයෙන් වැසී වන සතුන්ගේ වාසස්ථාන බවට පත්ව තිබුණා. ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි සෑය පමණයි තරමක් හෝ බැතිමතුන් පැමිණෙන ස්ථාන ලෙස තිබුණේ. ඔහු අනුරාධපුරයේ කඳවුරු බැඳගෙන මහාවිහාර සංකීර්ණයේ දාගබ්, මහ ආරාම එළිකිරීම ආරම්භ කළා. 

 බෙල්ගේ උතුරුමැද පළාත් පුරාවිද්‍යා වාර්තාවෙන්- Kusumsiri Wijayawardhana

ඉන් පසු ඒවායේ සැලසුම් ඇඳ වාර්තාගත කරමින් හැකි පමණ සංරක්ෂණයත් කිරිමට උත්සාහ කළා. මුලින්ම ඔහුගේ අවධානය දිනාගත්තේ නටබුන් කඳු වශයෙන් පැවති ජේතවනාරාමය සහ  අභයගිරිය යන දාගබ්. 1895-1898 ථූපාරාමය, 1899-1902 රුවන්වැලිසෑය, 1902-1903 මිරිසවැටිය ආදී දාගබ් ද ගවේෂණය කර ඔහු පාදා ගත්තා.  විශාල පුරාවස්තුන් ප්‍රමාණයක් පොළොවෙන් මතුපිටට මතු කර ගැනීමටත් බෙල් සමත් වුණා.

අනුරාධපුර පැරණි නගරය, පන්කුලිය, කිරිබත්වෙහෙර, තොලුවිල, එළාර සොහොන ( දක්ඛිණ ථූපය)  පුලියන්කුලම හා රන්මසු උයන ආශ්‍රිත නටබුන් ගවේෂණයත් සිදු කළා. නැවත ඔහු අනුරාධපුරයට පැමිණෙන්නේ 1906 වසරේදියි. 1906 සිට 1910 දක්වා වෙස්සගිරිය, ලංකාරාමය, අභයගිරිය සම්බන්ධ ගවේෂණ තවදුරටත් සිදුකර වාර්තා සකස් කරනවා. 

 රිටිගල ගවේෂණය අතරතුර විවේක ගනිමින්- උරුමයක අරුණ එදා අද , පුරාවිද්‍යා දෙපා. කෘතියෙනි

 

මේ කාලයේම අනුරාධපුරයට නුදුරින් පිහිටි රිටිගල ආරණ්‍යය, මානාකන්ද ආරණ්‍යය වැනි ස්ථාන ද ගවේෂණය කර වාර්තා ගත කරනවා. මේ කාලයේ පුරාවිද්‍යා කැණීම් සිදුවුණේ පුරාවිද්‍යා මූලධර්මවලට අනුව නොවෙයි. නටබුන් මතුකර පාදා ගැනීම තමයි සිදු වුණේ.

සීගිරිය  

වර්ෂ 1895 වසරේ ආරම්භ කරන සිගිරිය ආශ්‍රිත කැණීම්වලින් ගල පාමුල පිරී තිබූ පස් ඉවත් කර සිංහ පාදය පාදා ගැනීම විශේෂ අවස්ථාවක් වුණා. කඹවල ආධාරයෙන් සීගිරි පර්වතයට නැග බිතුසිතුවම් ඡායාරූපගත කිරීමට ද ඔහු පියවර ගන්නවා.

 සීගිරියේ සිංහ පාදය මතුකරගත් පසු- Archaeoloy.lk

 

එවකට දෙපාර්තමේන්තුවේ සටහන් සකස් කරන ශිල්පියා වශයෙන් කටයුතු කල ඩී.ඒ.එල්. පෙරේරා ලවා සිගිරි චිත්‍ර පිටපත් කිරීමත් විශේෂ සිද්ධියක්.  එම චිත්‍ර සංරක්ෂණයටත්, ආරක්ෂා කිරීමටත් විවිධ පියවර ගෙන තිබෙනවා.

සීගිරිය පර්වතය මත එකතු වී තිබූ පස් ඉවත්කර රජ මාලිගා නටබුන් පාදා ගැනීමටත් බෙල් කටයුතු කරනවා.  බෙල් තම කුඩා දරුවා සහ බිරිය ද සමඟ කඹවල එල්ලී සීගිරි ගල තරණය කරනු දැක්වෙන පැරණි ඡායාරූපවලින් පැහැදිලි වෙන්නේ ඔහු සීගිරියට දැක්වූ විශාල කැමැත්තයි.

 බෙල් සිය බිරිය සහ පුතා සමඟ සීගිරි පර්වතය මත – උරුමයක අරුණ එදා අද , පුරාවිද්‍යා දෙපා. කෘතියෙනි.

 

පොළොන්නරුවට යයි

පොළොන්නරුව ආශ්‍රිතව බෙල්ගේ කැණීම්  කටයුතු ආරම්භ වන්නේ 1900 න් පසුවයි. මේ කාලයේ පොළොන්නරුවේ තිවංක පිළිම ගෙය ඇතුළු  වැදගත් ගඩොල් ගොඩනැගිලි බොහොමයක් විශාල ගස්වැල් වැවී කඩාවැටීමේ තර්ජනයට මුහුණපා තිබුණා.    මුළු පොළොන්නරුව ම වන සතුන් පිරි ඝන කැලෑවක් විදිහටයි තිබුණේ. පොළොන්නරුවේ ස්ථාන රාශියක් කැලෑව කපා කැණීම් කර ඔහු පාදා ගත්තා.  පරාක්‍රම සමුද්‍රය අවට නටබුන්, නිශ්ශංක දාන විනෝද මණ්ඩපය, හින්දු දේවාලය, රජ මාලිගා පරිශ්‍රය, රන්කොත් වෙහෙර, පොත්ගුල් වෙහෙර, ශිව දේවාලය අංක 02, ශිව දේවාලය අංක 01, ගල් විහාරය, තිවංක පිළිමගෙය, කිරි වෙහෙර, ලංකාතිලකය ආදී නටබුන් එයට ඇතුළත් වුණා. මෙම ස්ථානවල ඡායාරූප ද ගත් අතර ඒවා තවමත් අපට දැකගත හැකියි.

 පළමු පුරාවිද්‍යා කොමසාරිස් සමරු මුද්දරය- srilankastamps.lk

 

1910 හා 1911 කාල වකවානුවේදී බෙල්ගේ අවධානය වැඩි වශයෙන් යොමු වුණේ යාපහුවට සහ මිහින්තලා කන්දටයි.  යාපහුවේ   ගල් පඩිපෙළ ඔහු වැඩි කැමැත්තක් දැක්වූ තවත් තැනක්.  මෙම නටබුන් ස්ථානවලට අමතරව නාලන්ද ගෙඩිගේ, සීතාවක බැරැන්ඩි කෝවිල, කෑගල්ලේ අලවතුර ගනේගොඩ විහාරය, මැදගොඩ පත්තිනි දේවාලයේ කැටයම් ආදිය ගැනත් ඔහු අවධානය යොමු කරනවා. බෙලිගල, බෙලිගල් කෝරලය, පේරාදෙණි නුවර යනාදී කෑගල්ල දිස්ත්‍රික්කයේ ස්ථානවල ද බෙල් තම පර්යේෂණ සිදු කරනවා.   කෑගලු වාර්තාව නමින් බෙල්  ලියූ පුරාවිද්‍යා වාර්තාව අදත් පර්යේෂකයන්ට වැදගත් මූලාශ්‍රයක්. තමන් අනාවරණය කරන සෙල්ලිපිවල අර්ථ විවරණය කරමින් පළ කිරීමට   ඩි.එම්.ඩි. වික්‍රමසිංහ සංස්කාරක ලෙස පත්කර  සම්පාදනය කළ Epigraphia Zeylanicaත්  අගනා ශාස්ත්‍රීය කෘති පෙළක්. බෙල්ට සහාය වුණු නිලධාරින් අතර ජෝන් ස්ටිල් ප්‍රධානත්වයක් ගන්නවා.

 සීගිරියේ ගල්පඩි පෙළ සංරක්ෂණය කරමින් – Archaeoloy.lk

 

පුරාවිද්‍යාවෙන් සමු ගනී

බෙල් පුරාවිද්‍යා කොමසාරිස් ධුරයෙන් 1912 වසරේ දෙසැම්බර් මස 08 වන දින විශ්‍රාම යනවා.  එම අඩුව පුරවන්නේ තරුණ සිවිල් නිලධාරියෙකු වූ ඊ.ආර්. අයර්ටන්. බෙල් ඔහුට වසර දෙකක පුහුණුවක් ලබා දී තිබුණා. මුල් කාලීන ව අනුරාධපුරයේ නිල නිවසක ජීවත් වූ බෙල්   සිය ජීවිතයේ අවසන් සමය ගත කිරීමට තෝරාගෙන තිබුණේ මහනුවර නගරයයි. 1920 දී මාලදිවයිනට ගිය දූත පිරිසට අයත් වූ බෙල් එරට පුරාවස්තු ගැන ගවේෂණය කර අගනා කෘතියක් ලියා තිබෙනවා. 1937 වසරේ  සිය ජීවිත ගමන ඔහු අවසන් කළත් තවමත් බෙල්ගේ නාමය පුරාවිද්‍යාවට අතීත උරුමයට උනන්දුවන කවුරුත් මතක් කරනවා. ඔහුගේ පැරණි වාර්තා, ලිපි නිතර පරිශීලනය කරනවා.  

 කෙනත් බෙල් බුදු පිළිමය සමඟ -divaina.com

බෙල් ගෙන ගිය බුදු පිළිමය

බෙල් පුරාවිද්‍යාවට දැක්වූ කැමැත්ත නිසාම මෙරට පුරාවස්තු එකතු කිරීමත් සිදු කළ බව පෙනෙනවා.  එසේ සිටින අතර ලීයෙන් නිම කළ මහනුවර සම්ප්‍රදායට අයත් බුදු පිළිමයක් මාතලේ මහදිසාවේ විසූ නිලගම සීලක්ඛන්න නම් හාමුදුරුවන් ඔහුට තෑගි කර තිබෙනවා. එසේ සියවසකට වැඩි කලකට පෙර 1912 දී එංගලන්තයට ගෙන ගිය පිළිමය බෙල්ගේ මුණුපුරු කෙනත් බෙල් යළිත්2019 දී ලංකාවට රැගෙන පැමිණ දළදා මාලිගාවට පුජා කළා.

මහනුවර ශ්‍රී දළදා මැඳුරට පැමිණි කෙනත් බෙල්   සහ ඔහුගේ දරුවන් වූ ඇන්ඩෲ සහ ෆියෝනා  දියවඩන නිලමේ නිලංග දෑල  වෙත එම පිළිමය පිරිනැමුවා.  එම පිළිමය දළදා මැඳුරේ පුරාවස්තු සුරැකීමේ කුටියේ තැන්පත් කර තිබෙනවා. 

කවරයේ ඡායාරූපය: බෙල් තම පුතු සහ බිරිය සමඟ සීගිරියේ පලංචියක- britishempire.co.uk

මූලාශ්‍ර:

ලංකා පුරාවිද්‍යාවේ ඉතිහාසය -ඩබ්ලිව්. සද්ධාමංගල කරුණාරත්න

Archeaogical Survey of Ceylon – Annual Report- 1891,

Archeaogical Survey of Ceylon – Annual Report- 1892 Kegalle District

Archaeoloy.lk

Divaina.lk

Related Articles