ගංදෑලේ ජන ජීවිතය සමඟ බැඳුණු කැලණි ගඟේ තතු විත්ති

කිලෝ මිටර 145ක් දිගින් යුත් වර්ග කිලෝ මිටර 2292ක ජල පෝෂක ප්‍රදේශයක් ඇති කැලණි ගඟ බස්නාහිර පළාතේ පානීය ජලය ලබාදෙන ප්‍රධාන ගංගාවක්. කැලණි ගඟ පුරාණයේ පටන් ම ගංදෑලේ ජන ජීවිතය ගඟ සමඟ බැඳී පැවතුණා.  සමනළ කන්ද මුදුනේ සිට උපත ලබා පැමිණෙන මේ ගඟ දෙපස ඇති කර්මාන්ත ශාලා නිසා මේ වනවිට ශ්‍රී ලංකාවේ ඉතා ම දූෂිත ගංගාව බවට පත් ව අවසන්.  මේ ගඟේ තොරතුරු සොයා බැලීමට ගත් උත්සාහයක්.

 කැලණි ගඟේ ත්‍රාසජනක චාරිකා- කිතුල්ගල- tripadvisor.com

 

ගඟක ඇරඹුම

කැලණි ගඟ අපේ  ගංගා පද්ධතියේ ඇති සිවු වන විශාලත ම ගංගාව යි. කෙහෙල්ගමු ඔය හා මස්කෙළි ඔය එක්ව ඇරඹෙන කැලණි ගඟ කොළඹ නගරය අසල මෝදරින් මහමුහුදට එක්වෙනවා.

සමනළ කඳුවැටියේ අප්කොට් ප්‍රදේශයේ කඳු බෑවුම්වලින් තමයි ගඟේ මුල් දියත උපදින්නේ. එසේ පටන් ගන්නා කැලණි නදිය  තවත් අතු ගංගාවල ජලයත් එකතු කරගෙන දිගු ගමනක් ආරම්භ කරනවා.  කිතුල්ගලට එනතෙක් ගඟේ යෞවන අවස්ථාවේ දී පිරිසුදු දිය ප්‍රවාහයක් රැගෙන ගලනා එය අවිස්සාවේල්ලෙන් පසු ජනගහනය අධික ප්‍රදේශවලට පිවිසෙත් ම ටිකින් ටික දූෂණය වන්නට පටන්ගන්නවා.  මෑතක සිට එම දූෂණය දෙගුණ තෙගුණ වී ඇති බව වාර්තා වෙනවා.

තොටළඟ පාරු තොටුපොළ – lankapura.com

 කැලණි ගඟේ පාරු

ගඟේ භාණ්ඩ ප්‍රවාහනයට අතීතයේ මුලින් ම භාවිත කළේ පාරුයි. කැලණි ගඟේ ප්‍රධාන පාරු තොටුපොළ පිහිටියේ තොටළඟ යි. දැන් එතැන තොටළඟ පාලම පිහිටා තිබෙනවා.කරවනැල්ල, අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල සිට එන පාරුවල නවාතැන වුණේ තොටළඟ යි. රබර්, බුලත්, එළවළු, පොල් වගේ දේවල් විතරක් නොවේ, ගඩොල් පවා කොළඹට ගෙන ගොස් ඇත්තේ පාරු මඟින්. ගඟේ දෙපස පිරිස් කැලණි විහාරය වන්දනා කිරීමට ද පාරුවලින් යාමේ සිරිතක් පැවතුණා. මේ වන්දනා පාරු ගොක්කොළවලින් අලංකාර ලෙස සරසා තිබුණු බවත් සඳහන්.

කරවනැල්ල පසුකරමින් ගලනා නදිය- facebook

 එදවස ගමෙන් කොළඹට යැවෙන පුවක්, පෙති පුවක්, කරුංකා, කොප්පරා, කරාබු නැටි ආදී සියලු ද්‍රව්‍ය කොළඹ බලා ගියේ පාරුවෙන්. මේ පාරු ආපසු එන විට හිස් අතින් ඒමක් වුණේ නැහැ. කොළඹ සිට ප්‍රාදේශීය නගරවල වෙළෙඳසල්වලට එන පරිප්පු, අර්තාපල්, කඩල, සහල්, මිරිස් ආදිය ද පාරුවෙන් ම  ප්‍රවාහනය කෙරුණා.  මේ නිසා ගඟ දිගට ම පාරු තොටුපොළ පිහිටා තිබුණා.

පාරු 21ක් නැංගුරම් ලා අඩි 500කට ආසන්න දිගට සාදා තිබූ පාලම – wasithaya.blogspot.com 

 

පාරිභෝගික ද්‍රව්‍යවලට අමතරව කිතුල්ගල, යටියන්තොට, කරවනැල්ල ප්‍රදේශවල සිට කොළඹට දැව ප්‍රවාහනය කළෙත් ගඟ දිගෙ යි. දැව කොටන් විශාල පාරුවක් ලෙස සවිකර රිටි මගින් කොළඹ බලා යාත්‍රා කර තිබෙනවා. දැව ප්‍රවාහනය 1980 දශකය තෙක් සිදුවුණේ ගඟ ඔස්සේ යි. දැව පාරුවක් දින දෙකකින් කොළඹට ගොස් තිබෙනවා. කොළඹ දී පාරුවේ දැව විකිණුනු විට පාරුකරුවන් බස් එකක නැගී ගමට පැමිණීම සිරිතක් වුණා.

ලක්ෂපාන විදුලි බලාගාරය- Wikipedia.org

 ජල විදුලියට කැලණි ගඟ

රටේ ජල විදුලිය නිෂ්පාදනයට මුලින් ම දායක  වුණෙත් කැලණි ගඟ යි. 1950 දී පැරණි ලක්ෂපාන ජලාශය ආරම්භ කර තිබෙනවා. ඉන් පසුව පොල්පිටිය, කැන්යොන්, විමලසුරේන්ද්‍ර, නව ලක්ෂපාන සහ සමනළ යන බලාගාර කැලණි ගඟේ අතු ගංගා වන මස්කෙලිය ඔය සහ කෙහෙල්ගමු ඔය ආශ්‍රිත ව ඉදිකර තිබෙනවා. ඒ අනුව අප රටේ ජල විදුලියට වැඩි ම දායකත්වයක් දක්වන නදියක් ලෙසත් කැලණි ගඟ වැදගත් වෙනවා.

වර්ෂ 1755 දී තොටළඟ පෙදෙසේ කැලණි ගඟ – defonseka.com

ගං මෝය

සමනළ අඩවියෙන් ආරම්භ වන නදියේ ගමන නිමා වන්නේ කොළඹ මෝදර කදිරාන පාලම අසලින්. පාලම අසල  ඉවුරු දෙක අවට සිටින ජනයා කැලණි ගඟ ආශ්‍රිත ව මිරිදිය මත්ස්‍ය කර්මාන්තයෙන් යැපෙනවා.  පාරු සහ බෝට්ටු ආධාරයෙන් ගඟට පැමිණ මසුන් ඇල්ලීමට මුහුදු යාම ද සිදු වෙනවා. මීගමුව කළපුව තෙක් ගමන් කරන හැමිල්ටන් ඇළේ ආරම්භය ද කදිරාන පාලම අසල පිහිටා තිබෙනවා.   වත්තල ඇළකන්ද මත්ස්‍ය වෙළෙඳපොළට මසුන් රැගෙන එන බෝට්ටු සියල්ල දියඹට යන්නෙත් කැලණි ගඟ හරහා යි.

මාබිම ජල පවිත්‍රාගාරය අසලින් ගලනා ගග – facebook

 

කෝප් කමිටුව

පසුගිය දා පැවති කෝප් කමිටු රැස්විමක දී මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර ඇත්තේ කැලණි ගඟ ආශ්‍රිත ව බස්නාහිර පළාතේ පිහිටා ඇති කර්මාන්ත 294ක් අතරින් ඒ කාණ්ඩයේ කර්මාන්තවලින් 41ක් පරිසර ආරක්ෂණ බලපත්‍ර නොමැති ව ක්‍රියාත්මක වන බව යි. මේ නිසා කර්මාන්ත 205ක බලපත්‍ර අත්හිටුවා ඇති බවත් කිසිදු සටහනක් නොමැති ඉහළ අවදානමක් සහිත කර්මාන්ත 17ක් පවතින බවත් එහිදී පැවසුණා. 

 කැලණි ගඟට නුදුරින් පිහිටි සීතාවක කර්මාන්ත කලාපයේ කම්හල් 37ක පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීම සතුටුදායක මට්ටමක නැති බව ද පැවසෙනවා. මෙම කර්මාන්ත අතරින් 15ක් අප ජලය නිකුත් කරන කර්මාන්ත වීම  නිසා සිද්ධියේ බරපතළකම අපට පැහැදිලි වෙනවා.  මෙහිදී අනාවරණ වූ තවත් කරුණක් නම් සීතාවක අපනයන සැකසුම් කලාපය සඳහා වසර 8ක කාලයක් පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා දී නැති බව යි.

 කොළඹට ආසන්නව ගඟ දුෂණය වන අවස්ථා- dinamina.lk

 

ගංගා දූෂණය

අවිස්සාවේල්ල නගරයේ සිට කොළඹට එන තෙක් කැලණි නදියේ ජල දූෂණය අධික යි. එයට හේතුව ගඟ දෙපස කර්මාන්ත ශාලා, ව්‍යාපාරික ස්ථාන අධික විම යි.   අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ අපද්‍රව්‍යයත් අවසානයේ එක්වන්නේ කැලණි ගඟට ම යි.  

සමහර අවස්ථාවලදී අවිස්සාවේල්ල අවටදිත් මිනිසුන් ගඟේ ජලය ස්නානය කළ විට සිරුර කසන බව අවුරුදු කිහිපයකට පෙර කළ සමීක්ෂණයකදී හෙළිදරව් වුණා. පෑලියගොඩ ප්‍රදේශයෙන් ජලය තැවරුණු විටත් සිරුර කසන බව පසුගිය කාලේ සුලබ ව වාර්තා වුණු කරුණක්.

රණාල අවට ඉවුරු ඛාදනය- lankadeepa.lk

ජල දුෂණයට නිවාස, ව්‍යාපාරික ස්ථාන ආදිය සමඟ ම, කර්මාන්තශාලා ද විශාල වශයෙන් දායක වී තිබෙනවා. කැලණි ගංගාධාරයේ විශාල පරිමාණයේ කර්මාන්තශාලා 11700කට අධිකව ද, මධ්‍යම පරිමාණ කර්මාන්තශාලා 14200ක් පමණ ද පිහිටුවා තිබෙන බව වාර්තා වෙනවා.

සපුගස්කන්ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අසලින් ආරම්භ වන පට්ටිවිල ඇළ ඔස්සේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අපද්‍රව්‍ය කළුතෙල් කැලණි නදියට එක්වීම නිසා එහි පානීය ජලයට තෙල් රසයක් එක්වීම වසර කිහිපයකට පෙර වාර්තා වුණා. එම ඇළ ගංගාවට වැටෙන්නේ පට්ටිවිල ජල පවිත්‍රාගාරය අසලින්.

අඹතලේ ජල පොම්පාගාරය අසලින් කැලණි ගඟට ලවණ ජලය මුසුවීම ද තවත් පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබෙනවා. එයට විසඳුමක් ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජලය අඩුවන විට රඳවා ගත හැකි පරිදි ඇකිලිය හැකි වේල්ලක් ඉදිකිරීමට සැලසුම් සකස් කර ඇති බවද අනාවරණය වුණා. 

 පට්ටිවිල ජල පවිත්‍රාගාරය- facebook

 

පානීය ජලය

කොළඹ අවට නාගරික හා උප නාගරික ජනතාවගේ ජල අවශ්‍යතා සඳහා පානීය ජලය ලබාදෙන්නේ කැලණි නදිය යි. කොළඹ හා ගම්පහ ජීවත් වන ජනතාවගෙන් සියයට 80ක්ම කැලණි ගඟේ ජලය පානයට ලබා ගන්නවා. එසේ පානීය ජලය සැපයෙන්නේඅඹතලේ ජල පවිත්‍රාගාරය, බියගම පට්ටිවිල පිහිටි ජල පවිත්‍රාගාරය, මාබිම ජල පවිත්‍රාගාරය ආදී ස්ථානවලින්. කඩුවෙල, මාලඹේ, බත්තරමුල්ල, කැලණිය, මාබිම, සපුගස්කන්ද, කිරිබත්ගොඩ, දොම්පේ, දෙල්ගොඩ, වැලිවේරිය වැනි ප්‍රදේශවල ලක්ෂ සංඛ්‍යාත පිරිසකට පානීය ජලය එසේ සැපයෙනවා. වර්ෂ 2016 දී කැලණි ගඟ දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කළ අතර ඒ ඔස්සේ ජාඇල, මහර, කටාන දක්වා ජලය ලබාදීම ද සිදුවෙනවා.

බියගමින් ගලන නදිය – facebook

සුරකිමු ගංගා සුරැකුණාද?

පරිසර අමාත්‍යංශය මගින් සුරකිමු ගංගා වැඩසටහන ආරම්භ කළේ දූෂණය  වන ගංගා ආරක්ෂා කර ගැනීමට යි. එය කැලණි ගංගාව සම්බන්ධයෙන් ද ක්‍රියාත්මක වුණා. එහෙත් එය බොහෝ තැන්වල නමට පමණක් සීමා වී ඇති බව පෙනෙන කරුණක්. අනවසර අල්ලාගැනීම් වැලැක්වීමට ගැසට් නිවේදනයක් මගින් ගංගා රක්ෂිතය නිර්වචනය කර එම රක්ෂිතය රජයට පවරාගත යුතු බවත් කෝප් කමිටුවේ දී  නිර්දේශ වී තිබෙනවා. 

 එළඹෙන 2022 වසරේ කැලණි ගඟ සංරක්ෂණය සදහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී තිබෙන බව පසුගිය දා වාර්තා වුණා. ගඟෙහි ජලය පානයට සුදුසු තත්ත්වයට පත් කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ යුතු බවත්, විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමග සම්බන්ධීකරණය කරමින් ඔවුන්ගෙන් ද ව්‍යාපෘති ලබා ගත යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය පසුගිය කාලයේ අපේ රටේ සමස්ත ගංගා පද්ධතිය ආශ්‍රිතව පුළුල් සමීක්ෂණයක් සිදු කළා. එහි අරමුණ වූයේ ගංගාවලට අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන හඳුනා ගැනීම යි. ඒ අනුව සමස්ත ගංගා පද්ධතියට ම අපද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 10,733කට වඩා පවතින බව හඳුනා ගත්තා. වැඩිපුර ම අපද්‍රව්‍ය එක් රැස් වන ගංගාව වන්නේ කැලණි ගඟ බවත් හෙළි වුණා.කොළඹ නගරය ආශ්‍රිත ව කැලණි ගඟ දූෂණය වන ස්ථාන 797කුත්, ගම්පහ දිස්ත‍්‍රික්කය ආශ්‍රිත ව ස්ථාන 577 කුත් ඇතුළත් ව ස්ථාන 1374ක් මගින් කැලණි ගඟට දූෂිත අපද්‍රව්‍ය එක්රැස් වන බව තහවුරු වී තිබෙනවා.

කවරයේ ඡායාරූපය- කැලණි පාලම යටින් කොළඹට පිවිසෙන කැලණි ගඟ

මූලාශ්‍ර:

කැලණි ගඟේ ජල දූෂණය පිළිබඳ පරිසර විගණන කෝප් කමිටු වාර්තාව - www.parliament.lk/uploads/comreports/1617691729015501.pdf

Divaina.com

Lankadeepa.com

cea.lk 

Related Articles