වෙසක් තොරණේ යටගියාව ගැන විමසිල්ලක්

ගෞතම බුදුන්වහන්සේගේ තෙමඟුල සමරමින් ඉදිවෙන වෙසක් සැරසිලි අතර වෙසක් තොරණට හිමිවන්නේ සුවිශේෂ තැනක් බව අපි දන්නවා. සෑම අවුරුද්දකම විශාලම මෙන්ම අලංකාරම තොරණ ඉදිවන්නේ කොළඹ නගරය අවට යි. පොසොන් කාලෙට මේ තොරණ රටේ වෙනත් ප්‍රදේශවල ප්‍රදර්ශනය සඳහා අලෙවි කරනවා. නමුත් දැන් අවුරුදු තුනක් තිස්සේ තොරණ ප්‍රදර්ශනයක් නොකෙරුණු නිසා තොරණ කර්මාන්තයේ යෙදෙන විශාල පිරිසකුත් අසරණ වෙලා. ඉතින් තොරණ නොබලන සමයක තොරණේ පුරාවත සොයා යාමට අපි අදහස් කළා.

පුරාණ කාලෙ

ඉන්දියාවේ සාංචි තොරණක් -mapio.net

ඉන්දියාවේ මහාභාරත වීර කාව්‍යය කෘතියේ පුරාණ යාග පර්වතයේ මාර්ග මිණි තොරණින් අලංකාරව පැවති බව සඳහන් වෙනවා. තොරණ විජයග්‍රහණයේ සංකේතයක් ලෙස පුරාණ ඉන්දියාවේ සලකා තිබෙනවා. ඉන්දියාවේ පාඬි පාලකයන් යම් ප්‍රදේශයක් යටත් කරගත් විට දෙවියන්ට තබන පූජා හැඳින්වුණේ ද තොරණ කියල යි. එහිදී අලුතෙන් අත්පත් කරගත් ප්‍රදේශ මායිමේ තනන තෙරණක් අබියස දේව පූජා පැවැත්වුණා. කිසියම් මායිමක් සලකුණක් වශයන් මුලින්ම තැනූ තොරණ පසුව සිද්ධස්ථාන සහ රජ මාලිගා අලංකාර කර ගැනීමට යොදාගෙන තිබෙනවා.

සාංචි දාගැබේ තොරණ

සාංචි තොරණේ කතා පුවත් -wikipedia.org

අශෝක රජ සමයට අයත් ඉන්දියාවේ සාංචි දාගැබ වටා පිහිටි ශෛලමය තොරණ පුරාණම තොරණවලට සාධක සපයනවා. සාංචියේ තොරණක උස අඩි 35ක් සහ පළලින් අඩි 12ක් පමණ වෙනවා. උඩ කොටසේ හරස්කඩ තුනක් යොදා ඒවායේ ඉදිරිපස හා පිටුපස සියුම් කැටයමින් සරසා තිබෙනවා. තොරණ මුදුනේ ධර්මචක්‍රය හා ත්‍රිශූලයක් දැකගත හැකියි. එක් පැත්තක මුදුන අලංකාර කර තිබෙන්නේ සිංහ රූපයකින්. බෝසත් චරිතයේ වැදගත් සිද්ධීන් හා එකල රජුන්ගේ සිදුවීම් පවා තොරුතුරුත් සාංචි තොරණවල කැටයම් කර තිබෙනවා. මේ නිසා දඹදිව බුද්ධාගමේ විශාල ඉතිහාසයම සාංචි තොරණවල ගැබ්ව ඇතැ යි කිව හැකියි. සාංචි තොරණවලට ප්‍රධාන වස්තු විෂය වූයේ බුද්ධ චරිතය හා බෝසත් කථා පුවත් බව මේ කැටයම්වලින් පෙනෙනවා.

මකර තොරණ

සමනල අඩවියේ මකර තොරණ – srilankafinder.com

සාංචි තොරණේ ආභාෂය ලබමින් බිහිවූ මකර තොරණ භාරතයේ මෙන්ම ලංකාව, කොරියාව, තායිලන්තය, කාබ්බෝජය, බුරුමය, චීනය ආදී ආසියාතික රටවල්වලට ද පැතිර ගියා. සාංචි තොරණවල රජවරු, බිසෝවරු, දැසිදැස්සෝ, පිරිවැජියෝ, යුද නිලධාරියෝ, ගැහැනු පිරිමි ළමුන්ගේ ඇඳුම් පැළදුම්, යක්ෂයෝ, දෙවිවරු, නාගයෝ, පශූ පක්ෂීහු, තාපසාරාම යනාදි දෛනික ජීවිතයේ උපකරණ ද ඇතුළත් වී තිබෙනවා. පසුව විහාරවල වාහල්කඩවල මෙන්ම දොරටු ඉහළිනුත්, බුදු පිළිම ඉහළිනුත් දෙවි දේවතාවන් පිරිවරාගත් මකර තොරණවලින් අලංකාර වුණා.  ගම්පොළ සහ උඩරට රාජධානි කාලයේ අප රටේ මකර තොරණ විහාරවල අනිවාර්ය අංගයක් වන තරමට ප්‍රචලිත වුණා.

වෙනත් තොරණ

අදත් යොදාගන්නා පොල් තොරණ- divaina.com

බුලත් තොරණ, පොල් තොරණ, රඹ (කෙසෙල්) තොරණ වැනි විවිධාකාරයේ තොරණ ආගමික මෙන්ම සමාජ උත්සවවල දී යොදාගෙන තිබෙනවා. නමුත් බුදු සිරිතේ විවිධ සිද්ධි තොරණ ආකාරයෙන් ඉදිවීමට නම් එතරම් ඉතිහාසයක් නැහැ. අනුරාධපුර යුගයේ බුද්ධ චරිතයේ සිද්ධි චිත්‍ර ලෙස එල්ලා තිබුණු බව සඳහන් වෙනවා.

වෙසක් තොරණ

වෙසක් තොරණට පිවිසි බුදු සිරිත- dreamstime.com

අපේ රටේ වෙසක් සැරසිලි අතරට බුදු සිරිත සහ ජාතක කතා චිත්‍ර සහිත තොරණ පිවිසියේ 1950 දශකයෙන් පසුව යි.  ශ්‍රී ලංකාවේ පැරණිම වෙසක් තොරණ ලෙස සැලකෙන්නේ තොටළඟ ශ්‍රී වෛශ්‍යාලෝක සමිතිය ඉදිකරන වෙසක් තොරණට යි. එය මුලින්ම ඉදිවූයේ 1955 වසරේ දී යි. එදා තොටළඟ ඉදිවූ තොරණින් මහා භද්‍ර කල්ප කතාවස්තුව නිරූපණය වුණා. එම තොරණ තැනීමට මුල් වුණේ එවකට තොටළඟ ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කළ හෙට්ටිආරච්චිගේ විල්බට් පෙරේරා යි. මේ තෙරණේ දළ සැලැස්ම නිර්මාණය කළේ කොල්වින් පීරිස්. තොටළඟ තොරණට මුලින්ම බරපැන යෙදවූයේ ද විල්බට් පෙරේරා ඇතුළු වෙළෙඳ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්.  

තොටළඟ තොරණ උස අඩි 85 යි

පළමු තොටළඟ තොරණ – the truth fb page

කැලණි ගංතෙරේ තොටළඟට රටේම අවධානය යොමුවීමට මේ වෙසක් තොරණ හේතුවුණා. එදා විදුලි බලය නොතිබූ කාලයේ එයට විදුලිය ලබාගෙන තිබෙන්නේ ජෙනරේටර් යන්ත්‍රවලින්. මුල්ම තොරණ උස අඩි 85ක් කියල තමයි සඳහන් වෙන්නේ. විදුලි බුබුළු 25000ක් විතර එයට සවිකර තිබෙනවා. මුල් කා‍ලේම මේ තොරණට ලක්ෂ 5-6ක් විතර වැයවී තිබෙනවා. ඒ කා‍ලේ වැඩිපුරම මුදල් අව්‍යශවී තිබෙන්නේ විදුලි බලය ලබා ගැනීමට යි. මුල්ම තොටළඟ තොරණ කතා වස්තුව පටිගත කර තිබුණේ ප්‍රවීණ ගුවන්විදුලි නිවේදක කරුණාරත්න අබේසේකරගේ කටහඩින්.

තොරණ විවෘත කිරීමේ උත්සවයට පැමිණ තිබෙන්නේ අගමැති එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක යි. තොරණ විවෘත කරද්දී හෙළිකොප්ටරයකින් පහළට මල් විසුරුවූ බවත් සදහන් වෙනවා.

නවලෝක තොරණ – dzonelive.wordpress.com

පසුකාලීනව දින 10කට අධිකව ප්‍රදර්ශනය කෙරෙන  තොරණට විදුලි ආලෝකය සැපයුවේ ආරියදාස නම් විදුලි කාර්මිකයා යි. පසුව විදුලි බුබුලු හැටදහසකට වඩා තොරණ අලංකාර කිරීමට යොදාගත්තා. තොරණේ විස්මිත විදුලි රටා දක්නට තිබුණා. ඒවා නිකම්ම නිකම් විදුලි රටා නොව තොරණ ජාතකයට අදාළ වන ලෙස සකස් කරන ලද විදුලි රටා යි. මෙම විදුලි රටා එදවස හඳුන්වන ලද්දේ පොඩි ආරියදාසගේ විදුලි රටා ලෙස යි.  

චිත්‍ර ඇන්දේ පුෂ්පානන්ද දෙනිපිටිය යි. තොටළඟ තොරණ ඉදිවන කාලයේ කොළඹ බහුලව තිබුණේ ට්‍රෑම් කාර්. මේ ට්‍රැම් කාර්වල අවසාන නැවතුම වන්නේ ද තොටළඟ යි. 80 -90 දශක වනතෙක්ම තොටළඟ තොරණ නැරඹීමට දුරබැහැරින් පවා බැතිමතුන් පැමිණියා.

කොළඹ සැරසූ තවත් තොරණ

දෙමටගොඩ තොරණ -youtube.com

ලංකාවේ තවත් පැරණිම තොරණක් වන නවලෝක තොරණ මුලින්ම හැදුවේ 1956 දී යි. ඒ පෑලියගොඩ නවලෝක සමූහ ව්‍යාපාරය ඉදිරිපිට යි. අලංකාර මෙන්ම නවීන තාක්ෂණික විදුලි උපක්‍රම භාවිතයටත් මේ තොරණේ ශිල්පීන් කටයුතු කළ බව ඉතිහාසය විමසන විට පේනවා.

පිටකොටුව තොරණ – flickr.com

දෙමටගොඩ එක්සත් වෙළෙඳුන්ගේ වෛශඛ්‍යදාන සමිතිය ඉදිකරණ තොරණ ආරම්භ වුණේ 1974 දී යි. එයත් කොළඹ ඉදිවන දර්ශනීය තොරණ අතරට එක් වෙනවා. අඩි 60කට වඩා විශාලව ඉදිකරන මෙම තොරණ නරඹන්නන් අතර ඉතා ජනප්‍රිය වුණා. කොස්ගස් හන්දිය, පිටකොටුව එක්සත් බෝධිරාජ සමිතිය, පිටකොටුව මැනිං මාකට් ඇතුළු ස්ථාන රාශියක් වෙසක් තොරණවලින් හැඩවුණා.

වෙසක් නරඹන චාරිකා –  trip2lanka.com

කොළඹ තොරණ නැරඹීමට වෙසක් දිනවල බස්වල, වෑන්වල නැගිලා දුරබැහැර ඉඳන් පිරිස් එනවා. දන්සල්වලින් කෑම කනවා. සිසිල් පැන් බොනවා. අද ඒ වෙසක් අසිරිය අහිමි වෙලා. වෙසක් සිරිය නිවෙස්වලට සීමාවීමත් සමග වෙසක් තොරණ නිර්මාණකරුවන් ද නිවෙස්වලටම කොටුවෙලා. එයින් සිදු වන්නේ ජනතාවට නැරඹීම සඳහා වෙසක් තොරණ අහිමි වීම පමණක් නොවේ, තොරණ නිර්මාණකරුවන්ගේ ආදායම ද අහිමි වී යෑම යි. වසර තුනක් මුළුල්ලේ ඔවුන්ගේ ආදායම් මාර්ගය ඇහිරී යෑම ඔවුන්ගේ ජීවිත කඩාවැටීමට හේතුවක් බව කිවයුතු නොවේ.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

ceylonradio.co.uk

dinamina.lk

silumina.lk

Cover-  කොළඹ වෙසක් අසිරිය -flickr.com

Related Articles