රජරට වැව් රැකදෙන කඩවර උපන් හැටි

රජරට වැව් ගම්මානවල පුල්ලෙයාර් දෙවි වගේම අදහන තවත් දෙවියෙක් තමයි කඩවර කියන්නේ. මේ දෙවි විටෙක දෙවියකු ලෙසත්, විටෙක යක්‍ෂයකු ලෙසත්  පෙනී සිටින බවට වැව් බැඳි රාජ්‍යයේ ගැමි ජනතාව විශ්වාස කරනවා. මොහු දෙවියකු ලෙස හැසිරෙන්නේ දහවල් කාලයේ බව පිළිගැනීමයි.

දේව ස්වරූපයෙන් සිටින විට කඩවර අසරණ මිනිසුන්ගේ දුකට පිහිට වෙමින් උපකාර කරන බව විශ්වාසයයි. යක්ෂ ස්වරූපයෙන් සිටින විට ඔහු ඉතාම දරුණු වන අතර නරක ඉල්ලීම් පවා ඉටුකර දෙන බව සැලකෙනවා. මේ ඒ අපූරු වන්නිහත් පත්තුවේ දෙවියන්ගේ තොරතුරු සොයා බැලීමට ගත් උත්සාහයක්.

කඩවර රකිනා කලා වැව – Silumina.lk

 කඩවර දේව සංකල්පය

ධාතුසේන රජු කරවූ කලා වැවට අධිපති දෙවියන් ලෙස සැලකෙන්නේ ද කඩවර යි. කඩවර උපත ලබන්නේ ද කලාවැව හා සම්බන්ධ සිද්ධියකින් බව ජනප්‍රවාදවල සහන් වෙනවා. මේ දෙවියන් සමස්ත වාරි කර්මාන්තයටත්  අධිගෘහිත යයි විශ්වාස කරන අතර  රජරට ගොවිතැනටත්, එළ ගව, මී ගව සම්පතටත් දිවැස් හෙළා සිටින බව කඩවර දෙවි අදහන පිරිස් අතර විශ්වාසයක් පවතිනවා.

මේ කඩවර දෙවි ගැන සඳහන් ශාන්තිකර්ම කවියක්:

රන්තොරණේ මුරකර සිටිනා    කඩවර
වම් අතිනේ ගෙන යන මුගුරු සැර වැර
එන් නිතියේ මල්සැර දේව       කඩවර
රන් විමනේ දොර හැර එන්ඩ   අවසර

 සෙල්ලකතරගම ඇති කඩවර පිළිමයක්-sasthara.lk

 

මේ දෙවියන් නිරූපණය කරන්නේ දකුණත වක් කැත්තක් ද, වමත පන්දමක් ද දරා සිටින භයංකාර යක්‍ෂ මුහුණක් සහිත පුද්ගලයකු ලෙස යි. ඔහුගේ වාහනය සේ සැලකෙන්නේ මී ගවයා යි. කඩවර දෙවියන් අසරණය මිනිසුන්ට එල්ල වන කරදර, විපත් දුරුකරන බවට ගොවි ජනතාව අතර විශ්වාසයක් පවතිනවා.

කඩවර දේව පුදපූජා තැබීම හඳුන්වන්නේ කඩවර ගොටු පිදීම ලෙස යි. මේ දෙවියන්ගේ තවත් විශේෂත්වයක් නම්  පුද දෙන ඕනැම දෙයක් පිළි­ගන්නා අතර ම හොඳ මෙන් ම නරක ඉල්ලීම්වලට ද ඇහු­ම්කන් දෙමින් ඒවා ඉටු කර දෙන බවට අදහන්නන් තුළ ඇති විශ්වාසය යි.  මේ කඩවර දේව කන්නලව් කවියක්:

ජල­කඳ සමු­දුර නිති          හර­වන්නේ
ඇළ දොළ ගංගා­වල වැඩ      ඉන්නේ
බල තෙද අණ­සක කෙලෙස කියන්නේ
දළ කඩ­වර සාමිනි          වඩි­මින්නේ

 කලාවැව් බැම්මේ කඩවර දේවාලය –  Kusumsiri Wijayawardhana

කඩවර උපත

ධාතුසේන රජු වැවක් තැනීමට ස්ථානයක් සොයමින් සිටියා. මේ අතර බිරිය හා අමනාප ව වනගත වී මුව රංචුවක් සමඟ දිගු කලක් වනයේ ජීවත් වූ කඩවර හෙවත් සෙනෙවිරත්න නම් මිනිසකු වැවකට ස්ථානයක් සොයමින් වනයේ ගමන් කළ හේවායන්ට හමු වුණා. ඔහු කැලේ මැද තිබුණු ස්වභාවික ජලාශයක් ගැන රහසක් හේවායන්ට හෙළි කළා. කලා ඔය කල වැලකින් හිරවී තමයි ඒ ජලාශය නිර්මාණය වී තිබුණේ. පසුව එය හරස් කර බැම්මක්  බඳවා ධාතුසේන රජු කලාවැව කරවා තැනවූ බවයි ජනකතාවල දැක්වෙන්නේ. ඉන්පසු රජු කඩවර  මාලිගයට ගෙන්වා කලා වැව් ආරක්ෂා කිරීමේ තනතුර ලබාදී තිබෙනවා.

වැසි කාලයට කලා වැවේ ජල මට්ටම දැන ගැනීම සඳහා ඔහු මැටි භාජනයක් තබා තිබුණා. ඔහුගේ නිවසේ පිරිත් දේශනාවකට වැඩම කළ සංඝයා වහන්සේ නමක ගේ කුඩයක් වැදීම හේතුවෙන් එම භාජනය සිදුරු වීම නිසා කඩවර ජල මට්ටම ගැන සිතූ ආකාරය වැරදි වුණා. ඔහු වැව අසලට ගොස් බලන විට වැවේ ජලය බැම්මටත් උඩින් උතුරා වැව විනාශ වී යන්නට පටන් ගෙන අවසන්.

තම ප්‍රමාද දෝෂය ගැන කලකිරීමට පත් කඩවර වැවට පැන දිවි නසා ගත් බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. වෛරයෙන් මිය ගොස්  යක්ෂ ආත්මයක් ලබා ඔහු ජනතාවට පිහිට වන බවට රජරට ගැමියන් විශ්වාස කරනවා. කඩවර භික්ෂූන් වහන්සේලා සමඟ ඇයි හොඳයියක් නැති දෙවි කෙනෙක් විදියටයි සැලකෙන්නේ.

කඩවර දෙවියන්ට තැබූ පූජාවක් – facebook.com

ගම්මඩු, ගිනි මඩු,තොවිල්, ශාන්ති කර්ම ආදී කවර කටයුත්තක දී වූව ද කඩවර දෙවියන් උදෙසා කඩවර ගොටුව පිරිනැමීමට තොවිල් ඇදුරන් කටයුතු කරනවා. කඩවර දේවතාවා උදෙසා ඉදි කළ මහාකඩවර දේවාලයක් කලා වැවේ වැව් බැම්ම මත දක්නට ලැබෙනවා.

එහි පැවති කුඩා දේවාලය වෙනුවට මෑත අතීතයේ දී විශාල ගොඩනැඟිලි සහිත දේවාලයක් ඉදි කර තිබෙනවා. කඩවර පිහිට පතා විශාල පිරිසක් එහි ඇදී එනු දැකගත හැකි යි. මෙහි ඉතා උත්කර්ෂවත් අන්දමින් වාර්ෂික කඩවර දේවතා මංගල්‍යයක් ද පවත්වනවා.  

 කඩවර දේව රුවක්- facebook.com

වැව් රකිනා දෙවි

කඩවර දෙවියන්ගේ ප්‍රධාන කාර්යය සේ සැලකෙන්නේ ගොවිතැනට දියවර සපයන වැව් අමුණු ආරක්ෂා කර දීම යි. එම කාර්යය වෙනුවෙන් ගොවි ජනාව කඩවර දෙවියන්ට අවුරුදු පතා මංගල්‍ය පැවැත්වීම හා කංකාරි පැවැත්වීම සිදු කරනවා.

කඩවර දෙවියන් වෙත ජනතාව ඉදිරිපත් කරන ඉල්ලීම්  සලකා බලා ඒවා ඉෂ්ට  කරදෙන බව ඔවුන්ගේ විශ්වාසය යි. කඩවර දෙවියන්ට ජනතාව වෙනුවෙන් මෙහෙයක් කිරීම සඳහා වරම් දෙන්නේ කතරගම දෙවියන් බව දේව පුරාණෝක්තිවල පැවසෙනවා.

තොටකඩවර අවතාරය- Deities and Demons Magic and Masks- part 11- Nandadeva Wijesekara කෘතියෙනි.

 කඩවර අවතාර

විෂ්ණු දෙවියන්ට දස අවතාරයක් ඇති බව දේව පුරාණෝක්තිවල පැවසෙනවා. එලෙස ම දේශීය දේව සංකල්පයක් වන කඩවරට ද අවතාර හෙවත් ස්වරූපයන් රාශියක් පවතිනවා. කඩවර දේවපූජා පවත්වන්නේ රාත්‍රි කාලයේදී යි. කඩවර සත්කට්ටුවකට පූජාවේ දී ආරාධනය කරනවා. එහිදී කඩවර හත්දෙනකුගේ නම් මේ අයුරින් කියවෙනවා.

ඒ තෙල්කඩවර, මල්කඩවර, ගොපළු කඩවර, සඳුන් කඩවර, අඳුන්කඩවර ලේකඩවර හා සොහොන් කඩවර යි. තොටකඩවර, වැදි කඩවර, තනි කඩවර, දෙමළ කඩවර ආදී වශයෙන් ද තවත් කඩවර අවතාර රාශියක් දක්නට ලැබෙනවා.

මල්වර වූ කාන්තාවන්ට ලෙඩ කරවනුයේ දළ කඩවර සහ පුළුටු කඩවර බැවු වැව්ගම්වාසීන්ගේ විශ්වාසය යි. කඩවර උදෙසා කරන ශාන්ති කර්මයේ දී පුළුටු ගොටුව දෙන්නේ එම දෙදෙනාට යි.   කඩවර ගොටුව පුද දිය යුතු ආකාරය ගැන කඩවර ගොටුවේ කවිවල සඳහන් ව තිබෙන්නේ මේ විදිහට යි:

දෝතින් මැන සහලින් දෝතක් ගෙන –කසාදියේ සහලුත්     නහවාගෙන
මුකවාඩම් බැද බත් පිසවාගෙන –මේ ලෙස කඩවර ගොටුව   සදාගෙන
මාළු හතක් රත් ඇඹුලක් ගන්නේ –පුළුටු පසක් රඹ කැන්       අරගන්නේ
පස් පැණි පස් තෙල් කැවිලි පුදන්නේ –මේ ලෙස කඩවර ගොටුව පුදන්නේ 

 කඩවර ශාන්තිකර්මයකට සූදානම් වෙමින් – facebook

කඩවර ගොටුව

කඩවර දෙවියන් කතරගම දෙවියන්ගේ මඟුල් ගෙදරට ගිය බවත් එහි දී කතරගම දෙවියන් ඔහුට යම් කාර්යභාරයක් පැවරූ බවත් දේව කතාවල සඳහන් වෙනවා.   කඩවර ගොටුව පිළියෙළ වන්නේ  කතරගම දෙවියන් මඟුල් ගෙදර දී කෑමට දුන් ආකාරයට බවයි පැවසෙන්නේ. මඟුල් ගෙදරට සහභාගි වූ කඩවරට, කතරගම දෙවියන් ගම්පත්තු, වැව් අමුණු හා මිනිසුන්ගේ භව බෝග ආරක්ෂා කර රැක​ දීම පැවරූ බව විශ්වාස කෙරනවා.

දස කඩවර මද්දීම සොමි     පුල්ලා
දල මල්සයනේ ගොටුවද      ඉල්ලා
මෙ ලංකාවේ රෝ දුක්   හැරපල්ලා
දල කඩවර එයි ගොටුවක්    ඉල්ලා

අදටත් මහා වැසි කාලවල  වැව් අමුණු උතුරා යන විට වැව් වාන් දමන අවස්ථාවල දී  වැව් අමුණු  විනාශ වේ යයි සිතන ගොවියන් කඩවර දෙවියන්ට බාරහාර වන්නේ වැව් ආරක්ෂාකර දී ගොවිතැන රැකදෙන ලෙසට යි.  එසේ බාරවන්නේ කඩවර දෙවියන්ට මෙසේ කන්නලව් කිරීමෙන්:  

‘‘පස්වාන් දහසකට තෙද වරම් බල වරම් අණ වරම් ඇති සෙනෙවිරත්න මුල් කඩවර දේවතාවුන් වහන්ස, රාහුලු දාහක් ලෝහුලු දාහක් ද  නිමෙනා අතර තුරේදී කතරගම කන්දස්වාමින් වහන්සේ කැටුව මුහුදු කරදිය වළල්ලේ සත් වාරයක් ගමන් කරමින් ඇසුර භවනයට වැඩ අසුරයන් සමග යුධ කොට දිනා සූර්ය මණ්ඩලය උණු කරවා කතරගම අදෘශ්‍යමාන දිව්‍යමය රන් තොරණේ මුරතේවේ වැඩ වසන සෙනෙවිරත්න කඩවර හාමුදුරුවනේ, ඔබවහන්සේගේ ගං කොටුවේ සිටින මෙම දරුවන්ට උන්ගේ දුක් කම්කටොලු බලා වදාරා පුද පූජා බලා ඒ කෙරේ බැල්ම ලා අභිමතාර්ථ ඉෂ්ඨ කර දෙන්ටත්…

කඩවර පූජාව සඳහා දොල ලෙසින් පූජා කරන්නේ බත්ගොටු යි. කරුවල සිට වූ ගොටුවලට එම පූජා තැබීම සිදුවෙනවා.  පූජා සඳහා කැවිලි සකසන්නේ පිරිමින් පමණයි. ගැහැනුන් ඒ කටයුත්තට එක් කර ගන්නේ නැහැ.  ගොටුවලට පැණි රස, පුලුටු රස, මිරිස් රස බැදුම් රස ආදී බොහෝ රස සහි ආහාරත් පලතුරු ආදියත් සමහරවිට රා ආදී බීමත් යොදා ගන්නවා.

කඩවර දෙවියන්ට දොල ගොටු තබන්නේ ඊසාන දිගට යි.  ඒ කඩවර‍ගේ දිසාව යි. මේ සඳහා ගොටු තබන කණු ලෙස රුක්අත්තන ලීයකින් තනාගත් කණු   යොදා ගැනීම සිදුවෙනවා.

පුරාණයේ දී වැව් ගම්මානවල ගොවි ජනතාව කඩවර දෙවියන් ඇදහීම සිදු කළත් අද වන විට කොළඹ නගරයේ පවා කඩවර දේවාල පවත්වාගෙන යන බව පේනවා. මිනිසුන් කෙතරම් දියුණු වුණත් දේව ඇදහීම ඉවත් නොවන බවට ඉන් උදාහරණ සපයනවා. එයට හේතුව ලෙස අපට නම් පෙනෙන්නේ මිනිසාගේ අසීමිත ආසාවන් හා බලාපොරොත්තු එයට බලපා ඇති බව යි. අන්තර්ජාලයේ ද කඩවර පූජා පවත්වන ස්ථාන ගැන ඕනෑතරම් සඳහන්.

කවරයේ ඡායාරූපය- කඩවර දෙවියෝ - facebook.com

මූලාශ්‍ර:

Aruna.lk   -  ධර්මරත්න තෙන්නකෝන් සැපයූ ලිපිය

Mawratanews.lk

Silumina.lk

කඩවර යක්‌ කංකාරිය හා සමාජය- ආචාර්ය වසන්ත කේ. දිසානායක

කඩවර සංකල්පය- ශාස්ත්‍රපති රංජිත් ජයසිංහ

Deities and Demons Magic and Masks- part 11- Nandadeva Wijesekara

Related Articles