Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොළඹ පැත්තේ රාමසාන් සැමරෙන හැටි – පින්තූර අැසුරෙන්

ලොව පුරා ජීවත් වන මුස්ලිම් ජනතාවට රාමසාන් මාසය කියන්නේ පාන්දර ඉඳන් රෑ වෙනකල්ම උපවාසයේ යෙදෙනවායින් එහාට ගිය සුවිශේෂී කාලයක්. පල්ලිවලට එකතු වෙලා අාගමික කටයුතු කිරීම වැදගත් තැනක් ගන්නවා වගේම ඉෆ්තාර් එක, එහෙමත් නැතිනම් උපවාසය අවසන් කරලා ගන්න කෑම වේලත් රාමසාන් එක සුවිශේෂී අවස්ථාවක් බවට පත් කරන්න හේතු වෙනවා.

කොළඹ නගරයේ සමහර පැතිවල තිබෙන හෝටල් අැතුළු භෝජනාගාරවල ඉෆ්තාර් එක වෙනුවෙන්ම විවිධ කෑම වට්ටෝරු හැදෙන අතරේ අනිත් ප්‍රදේශවලත් පාර අසල හවස් වෙනවාත් එක්ක විවිධ කෑම වර්ග විකුණන කඩ සහ වෙළෙන්දන් ප්‍රමාණය ඉහළ යනවා දකින්න පුළුවන්. ප්‍රජා එ්කක සහ සමිතිවලින් සංවිධානය කෙරෙන ඉෆ්තාර් උත්සව එහෙමත් මේ කාලෙට ගොඩාක් ජනප්‍රියයි. මේවාට කුල මල, පන්ති භේද වගේම සමහර විට අාගමික බෙදීම් පවා අමතක වෙලා කවුරුත් සමගියෙන් සහභාගි වෙනවා.

Roar අපිත් කොළඹ නගරයේ විවිධ ප්‍රදේශවල වීදි අැවිදලා මේ කාලයේ රාමසාන් සැමරෙන සුවිශේෂී අාකාරයන් අපේ කැමරාවලට හසු කර ගත්තා.

මුස්ලිම් ජනතාවගෙන් වැඩි දෙනෙක් රාමසාන් තිබුණත් නැතත් දවසට පස් වතාවක් අාගමික වතාවත්වල යෙදෙනවා. කොහොම නමුත් සාමාන්‍ය දවස්වලට වඩා රාමසාන් කාලයේ යාඥා වේලාවන්වලදී මුස්ලිම් ජනතාව වැඩි පිරිසක් පල්ලිවලට එකතු වෙනවා දකින්න පුළුවන්.

පල්ලියේදී කුරානය කියවන බැතිමතෙක්.

කොම්පඤ්ඤ විදිය ප්‍රදේශයේ පල්ල‍ියක යාඥා කටයුතුවලට සහභාගි වීමෙන් පසුව නිවස බලා යන වැඩිහිටි වයසේ පුද්ගලයෙක්.

“කන්ජි” කියලා හැඳින්වෙන මේ උකු කැඳ (porridge) වර්ගය ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ ඉෆ්තාර් අාහාර අතර වැදගත් තැනක් ගන්නා එකක්. හැම මුස්ලිම් පල්ලියක්ම වගේ මේ කන්ජි එක විශාල පරිමාණවලින් සකස් කරලා ප්‍රජාව අතර බෙදා හරින්න කටයුතු සංවිධානය කරනවා. මුස්ලිම් නොවන අය වුණත් මේ කන්ජි කෝප්පයක් රස විඳින්න නැවතිලා යනවා නිතර දකින්න පුළුවන්, මොකද ඕනෑම කෙනෙකුට කිසිම භේදයක් නැතිව නොමිලේම කන්ජි රස බලන්න අවස්ථාව තියෙනවා.

පල්ලියෙන් ලැබුණු කන්ජිවලින් පිරුණු බඳුනක් සහ ළඟපාත තිබෙන කඩයකින් ෂෝට් ඊට් වගයක් රැගෙන යන කාන්තාවක්. ඉෆ්තාර් උත්සව වේලාව ලං වෙනකොට මේ වගේ කන්ජි රැගෙන යන නිවෙස් බලා යන කාන්තාවන් සුලබව දකින්න පුළුවන්.

රාමසාන් සමය කියන්නේ සමෝසාවලට ලොකු ඉල්ලුමක් එන කාලයක්. මේ දකින්න ලැබෙන්නේ ඉෆ්තාර් උත්සවය සඳහා මිලට ගන්න ෂෝට් ඊට් අැතුළු වෙනත් මඟතොටදී ගන්න කෙටි අාහාර වර්ග පිරුණු කෑම කඩයක් දාන වෙළෙන්දෙක්.

තමන් මිලට ගත් කෑම වර්ග පාර්සල් කර දෙන තුරු රැඳී සිටින කාන්තාවක් සහ අැගේ දියණිය.

සමෝසා හැදෙන හැටි.

ශ්‍රී ලාංකිකයන් ක්‍රිකට්වලට කැමැත්තක් දක්වනවා කියන එක රහසක් නෙවෙයි. රාමසාන් කාලයට පල්ලිවල පැවැත්වෙන කුරානය ඉගෙනීමේ පන්ති කලින් අවසන් වෙන්නේ මේ දරැවන්ට තමන් අාසම කරන ක්‍රීඩාවේ යෙදෙන්න වැඩි කාලයක් ලබා දෙමින්.

අැඟපත වෙහෙසලා රැකියා කරන අයට රාමසාන් කාලයට වැඩ කරන එක අමාරු වෙන්න පුළුවන්.

රටඉඳිවල ස්වභාවික සීනි සාන්ද්‍රණය අධික නිසා ක්ෂණිකව ශක්තිය ලබා ගන්න එය හොඳ ක්‍රමයක්, මේ නිසාම උපවාසය අවසන් කරලා ගන්න ඉෆ්තාර් කෑමවලට රටඉඳි එක් කිරීම ඉතා සුදුසුයි. එ් වගේම මේක මුස්ලිම් ජනතාවට මුහම්මද් නබි තුමාගේ සම්ප්‍රදායන් අනුගමනය කිරීමක් හැටියටත් වැදගත් වෙනවා. එතුමාත් උපවාසය අවසන් කළේ රටඉඳි අනුභව කිරීමෙන්.

කොළඹ නගරයේ හොඳම සමෝසා ගන්න එක නොනවතින අරගලයක් වගේ.

පිටකොටුවේ රතු මුස්ලිම් පල්ලිය අසල සාම්ප්‍රදායික තොප්පි, සුවඳ විලවුන් සහ මෙහෙන්දි (හෙනා) විකුණන වෙළෙන්දෙක්. මුස්ලිම් කාන්තාවන් රාමසාන් අවසානය සනිටුහන් කරන ඊද් (Eid) උත්සවයට පෙර තම අත්වල අලංකාර රටා අඳින්න මෙහෙන්දි පාවිච්චි කරනවා.

ෂෝට් ඊට් වර්ග වගේම මී කිරි සහ කිතුල් පැණිත් ඉෆ්තාර් සමරන අයගේ කෑම ලැයිස්තුවට ඇතුළත් වෙනවා.

රාමසාන් කාලයේ තවත් ජනප්‍රියම අාහාරයක් වන ෆලූඩා.

මාසයේ අවසන් දවස් උදා වෙනවාත් එක්කම ඊද් උත්සවය වෙනුවෙන් පිටකොටුවේ සාප්පු සවාරි යන එකත් ලහි ලහියේ සිද්ධ වෙනවා.

පිරිමි, කාන්තා, ළමා, වැඩිහිටි කවුරු කවුරුත් ඊද් එක වෙනුවෙන් අළුත් අැඳුම් සහ සපත්තු මිලට ගන්න රංචු ගැසෙනවා.

පිටකොටුවේ අැතැම් වෙළඳසැල් ඉර බහින්න කලින් වැසෙන්නේ එ්වායේ උදවියටත් තමන්ගේ පවුලේ අය එක්ක ඉෆ්තාර් සමරන්න අවස්ථාවක් දෙන්නයි, එ්ත් හැමෝටම එ් අවස්ථාව ලබා ගන්න බැහැ. යාඥාවට කැඳවන හඬ අැසෙනකොට පිටකොටුවේ බිස්නස් කරන මේ කණ්ඩායමත් රටඉඳි, ෂෝට් ඊට්, වතුර සහ කන්ජි ටිකක් අරගෙන උපවාසය අවසන් කරන්න රැකියා කරන තැනටම එකතු වෙනවා.

ඉෆ්තාර් එකට කලින් කඩ වහන්නේ නැති අය කන්ජි රස විඳින්න රැකියා කරන තැනම තෝරා ගන්නවා.

කොම්පඤ්ඤ වීදියේ පදිංචිකරුවන් සර්ව ආගමික ප්‍රජා ඉෆ්තාර් උත්සවයක් සංවිධානය කරනවා. එ් අවට ජීවත් වෙන කවුරු කවුරුත් මේ ඉෆ්තාර් එකට කැප වෙලා සහයෝගය ලබා දෙනවා.

අාගමික නායකයන් අැතුළුව හැම ජන සමාජයක්ම මේ ප්‍රජා ඉෆ්තාර් උත්සවයට සහභාගී වෙනවා.

ඉෆ්තාර් එක කියන්නේ හැමදාමත් වගේ දරුවන්ට සතුටු හිතෙන (උදා වෙන තුරු ඔවුන් මඟ බලාගෙන ඉන්න) කාලයක්. ළමයින් උපවාසයට සහභාගී වීම අනිවාර්ය නැතත් ඔවුන් බොහෝ දෙනෙක් උවමනාවෙන්ම උපවාසය රකින්න උත්සාහ කරනවා, එ්ක ඔවුන් වැඩි වියට පත් වුණාම රාමසාන් උපවාසයට අනුගත වෙන්න පහසුවක්.

කොළඹ නගරයේ ඉර බැස යනකොට මේ විදිය කෙළවරක් නොපෙනෙන තරම් දුරට පෝලිමක් හැදිලා ඉෆ්තාර් අාහාරයක් රස විඳින්න ඉන්න සියලු අාගම්, ජාතිවල මිනිසුන්ගෙන් පිරී ගිහින්.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ

Related Articles