හාරිස්පත්තුවේ අප්‍රකට රාජමහා විහාර 3ක්

මහනුවර රාජධානි යුගයේ දී අගනුවර වුණු සෙංකඩගල හෙවත් මහනුවර නගරය වටා පිහිටි පාලන ප්‍රදේශ හැඳින්වුණේ කන්ද උඩ පස්රට කියා යි.  එම පස්රටට උඩුනුවර, යටිනුවර, දුම්බර, හාරිස්පත්තුව හා හේවාහැට යන ප්‍රධාන මධ්‍යස්ථාන අයත් වුණා. රජුගේ බලපෑම නිතර මේ පළාත්වලට ලැබුණු නිසා බෞද්ධ ප්‍රබෝධයක් ද දැක ගත පැවතියා.

මහනුවර රාජධානි සමයේ ආරම්භ වුණු රාජ මහා විහාර රාශියක් ම මේ ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. ඒ අතරින් හාරිස්පත්තුවේ පිහිටි, වැඩි දෙනකු නොදන්නා මහනුවර යුගයට අයත් රජමහා විහාර කිහිපයක් ගැන විමසන්නටයි මේ උත්සාහය. උඩරට සිතුවම් කලාවේ වෙනස්වීම් මෙන්ම ප්‍රතිමා ගැන හැදෑරීමටත් මේ විහාරවල දී ඉඩ ලැබෙනවා.

පොත්ගුල් විහාර ගෙය- රජදවස facebook page

අත්තරගම පොත්ගුල් විහාරය

මහනුවර කටුගස්තොට සිට මැදවල පාරේ කිලෝ මීටර් 5ක් දුරින් පිහිටි රජමහා විහාරයක්. මෙය ගෝනිගොඩ නුදුරින් අත්තරගම ගමේ පිහිටා තිබෙනවා. මහනුවර යුගයේ පූජනීය ස්මාරක නාමාවලියක් වන විහාර අස්න හෙවත් නම්පොතේ ද මෙම විහාරය සඳහන් ව තිබෙනවා.

මෙහි ශෛලමය සඳකඩ පහණ, මල් සැරසිලි සහිත පුවරු, කැටයම් පුවරු රාශියක් ද දැකගත හැකි යි. අඩක් නිමා කළ කැටයම් පුවරු ද මෙහි තිබෙනවා. මේ විහාරය 18 වන ශතවර්ෂයේ අවසාන භාගයේ අත්තරගම ගමේ විසූ  කවියකු මෙන්ම ප්‍රභූ වරයකු වූ අත්තරගම රාජගුරු බණ්ඩාර ගේ නිර්මාණයක් බවට ද මතයක් පවතිනවා.

 

විහාර බිමේ සඳකඩ පහණක්- රජදවස facebook page

 

පොත්ගුල් විහාරය යන නම ලැබී ඇත්තේ ද පැරණි පුස්කොළ පොත් විශාල ප්‍රමාණයක් මෙහි තිබෙන නිසා යි. ගමට අත්තරගම ලෙස නම ලැබීමට හේතුව වන්නේ කුරුණෑගල සිට නුවරට ගමන් කළ අතීත මාර්ගය ගම මැදින් වැටී තිබු නිසා බවයි පැවසෙන්නේ.

පුරාණ මාර්ගයට සාක්ෂි ලෙස පැරණි අම්බලම් හා ඒ සමඟ ඇති පිංතාලි කිහිපයක්ද අද දැකගත හැකි වෙනවා.

කළුගල්  පවුර සහිත බෝධි වෘක්ෂය- රජදවස facebook page

 

කළුගලින් කළ පැරණි බෝධි ප්‍රාකාරයක් සහිත බෝධි වෘක්ෂයක්, හින්දු සහ ඕලන්ද ගෘහ නිර්මාණ ලක්ෂණ හෙළි කරන පොත්ගුල් විහාර ගෙය පියස්ස මත දාගබ ඉදිකර තිබෙනවා. මේ ගොඩනැගිල්ල ගෙඩිගේ සම්ප්‍රදායට අනුව18 වැනි සියවසේ තැනූ විහාරයක්. එය මානව රූප, විවිධ මල් රටා ආදී බදාමෙන් තැනූ කැටයම්වලින් සරසා තිබෙනවා.  

දේවාලයක් ද පැරණි දාගබක් ද විහාර බිමේ තිබෙනවා. 2002 නොවැම්බර් 22 දා අත්තරගම පොත්ගුල් විහාරය, අටුවිහාර ගෙය, දාගබ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලෙස නම් කර තිබෙනවා.

කුළුගම්මන විහාර ගෙය- Kusumsiri Wijayawardhana

කුළුගම්මන රජ මහා විහාරය

මහනුවර දිස්ත්‍රික්කයේ කුළුගම්මන සියපත්තුවට කුළුගම්මන ගම අයත් වෙනවා. තැනින් තැන කුඩා කඳුවැටි හා ගල්පර්වත පිහිටි මේ ගම ඉතා සුන්දර වටපිටාවක පිහිටා තිබෙනවා. කටුගස්තොට සිට ගොහාගොඩ හරහා හල්ඔලුවට යන මාර්ගයේ කුළුගම්මනට පැමිණිය හැකි යි. කුළු හෙවත් පර්වත පැතිර ඇති ගමක් නිසා කුළුගම්මන වූ බව තමයි කියවෙන්නේ.

විහාරයේ නිල ගොඩමඩ ඉඩම් නිල පංගුකරුවන් භාවිත කර තිබෙන අතර ඔවුන්ට නියමිත රාජකාරි වූයේ බුද්ධ පූජාව තැබීම, වෙසක්, පොසොන් උත්සව පැවැත්වීම, උළුසෙවිලි කිරීම, විහාරස්ථානය අලුත්වැඩියා කිරීම, හුණුගෑම, මළුව ඇමදීම ආදී කටයුතු යි.

අද මෙම පුරාණ රාජකාරී අනුපිළිවෙළින් ඉටුවන්නේ නැහැ. දානය පිළිගැන්වීම, විහාර සංවර්ධන කටයුතු හා භික්ෂූන් වහන්සේලාගේ කටයුතු ඉටුවන්නේ දායක සභාව මගින්.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු- කුළුගම්මන- Kusumsiri Wijayawardhana

 

මෙම රාජමහා විහාරයේ ඉතිහාසය සෙංකඩගල මහනුවර රාජධානිය බවට මුලින් ම පත්කර ගත් සේනාසම්මත වික්‍රමබාහු රජ ( 1469-1511)  කාලයේ සිටි වාසල බණ්ඩාර නම් ඇමතිවරයා දක්වා දිව යනවා. එම ඇමතිවරයා සාරසිය පත්තුව බලා යන ගමනේ දී මේ ගල්කුලු බහුල ස්ථානය දැක පැහැදී විහාරයක් ඉදිකිරීමට මුල් වූ බව ජනප්‍රවාදවල එනවා. මුලින් පැවති විහාරය 1844 වන විට ජරාවාස ව පැවති නිසා දැන් තිබෙන විහාරය එකල ඉදි කර තිබෙනවා. මේ විහාරය කෙටස් දෙකකට බෙදෙනවා. ඒ වැඩ සිටින පිළිම ගෙය සහ සැතපෙන පිළිමගෙය වශයෙනු යි.

විහාරස්ථානය පිහිටා ඇත්තේ ස්වභාවික කළුගල් තලාවක මත යි. එයට පිවිසීමට දෙපසින් ම පියගැට ඉදි කර තිබෙනවා. පියගැට පාමුල නෙළුම් මල් කැටයමක් සහිත සඳකඩ පහණක් දැකගත හැකි යි. විහාර උළුවස්ස කළුගලින් කළ එකක්. එයට ඉහළින් මකර තොරණක් තිබෙනවා. දොරටුව දෙපස දොරටුපාල රූ දෙකක් ද තනා තිබෙනවා. වැඩ සිටින පිළිම ගෙයි ප්‍රධාන ප්‍රතිමාව දෙපස හිටි බුදු පිළිම දෙකක් ද දැක ගත හැකි යි. එයට අමතරව විෂ්ණු සහ සමන් දේව ප්‍රතිමා ද එහි තිබෙනවා.

මහනුවර යුගයේ බිතුසිතුවම්

බිත්තිය තීරුවලට බෙදා කළ මහනුවර යුගයේ බිතුසිතුවම් විහාරය අලංකාර කරනවා. නවීකරණය නිසා ඒවාට හානි පැමිණි බවයි අප දුටුවේ. සූවිසි විවරණය සහ රහත් හිමිවරුන්ගේ සිතුවම්වලින් විහාර බිත්ති සරසා තිබෙනවා. විහාරයේ පිටත බිත්තිය  අලංකාර කර තිබෙන්නේ වෙස්සන්තර ජාතක කතාවෙන්. පුරාණ ස්වරූපයෙන් පවතින එම චිත්‍ර මැකී යමින් පවතිනවා. මුල දී කුඩා චෛත්‍යයක් විහාරය ආසන්නයේ තිබී ඇති අතර එම පුරාණ දාගැබ මැදිකර වත්මන් චෛත්‍යය ඉදිකොට තිබෙනවා.

මකර තොරණ- කුළුගම්මන- Kusumsiri Wijayawardhana

 

පැරැණි සංඝාවාසය වෙනුවට නව සංඝාවාසයක්, ධාතු මන්දිරයක්, කෞතුකාගාරයක් හා පුස්තකාලයක් වර්තමානයේ ගොඩ නඟා තිබෙනවා. මෙහි  මෑත ඉදිකිරීම් අතර අටවිසි බුද්ධ ප්‍රතිමා, බෝධි ප්‍රාකාරය, හා විෂ්ණු ප්‍රතිමාවක්ද දක්නට ලැබෙනවා.

විහාරස්ථානයේ වත්මන් සඟපරපුර අයත් වන්නේ මල්වතු විහාරවාසී මැණික්දිවෙල ශ්‍රී පේමරතන අනු නා හිමියන්ගෙන් පැවත එන සංඝ පරම්පරාවට යි. වත්මන් විහාරාධිපති ඇකිරියේ ගුණරතන හිමියන් 1975 දී උපසම්පදාව ලබා මල්වතු මහා විහාරයේ සිට 1978 දී මෙහි පැමිණ තිබෙනවා. 

විහාර ගෙය- Kusumsiri Wijayawardhana

මාලගම්මන රාජමහා විහාරය

මහනුවර කුරුණෑගල මාර්ගයේ තිත්තපජ්ජල බෝධිය අසලින් හැරී නුගවෙල ජාතික පාසල පසු කර ගෙන මීටර500 ක් ගමන් කළ විට මාලගම්මන විහාරය අප නෙත ගැටෙනවා. කඳුවැටිවලින් වට වූ තැනිතලා බිමක තමයි විහාරය පිහිටා තිබෙන්නේ. කන්ද උඩරට ඇසළ පෙරහරට සහභාගි වන පාරම්පරික නර්තන ශිල්පීන් ද  මේ ගමේ ජීවත් වෙනවා.

මේ විහාරය ගම්පොළ රජ කළ හතරවන බුවනෙකබා රජතුමන් විසින් කරවන ලද පැවසෙනවා.  රජතුමා හාරිස්පත්තුව ගම්නියම්ගම්වල සංචාරය කළ අවස්ථාවේ දී බිසවට උදරාබාධයක් වැලඳී ඇති බවත්, මාලගම්මන පත්තිනි දේවාලයේ කපුමහතා කළ ප්‍රතිකර්මවලින් එය සුව වීම නිසා ඇය තම කර පැළඳි මාලය පූජා කළ බවත් එම මාලය නිදන් කොට  විහාරය ඉදිකළ හෙයින් මාලගම්මන නාමය ලැබුණු බවත් ජනප්‍රවාද පවසනවා.

විහාර ප්‍රවේශයේ අලංකාරය- Kusumsiri Wijayawardhana

 

මහනුවර රජ පැමිණි කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහය විහාර මන්දිරයට නැවත ලැබුණු බව සඳහන් වෙනවා. ඒ රජු අලංකාර ලී පේකඩ සහිත ශක්තිමත් දැව කුලුනු යොදා විහාරගෙය ප්‍රතිසංස්කරණය කර වූ බව සඳහන්.  විහාර මන්දිරයේ ප්‍රධාන උළුවස්ස කළුගලින් නිමවූ කැටයම් සහිත අපූරු නිර්මාණයක්.

විහාර බිමට ඇතුළුවන තැන ඉංග්‍රීසි පාලන සමයේ තැනූ තොරණක් පිහිටා තිබෙනවා. විහාර  බිමේ පැරණි බෝධි වෘක්ෂයක් ද විහාර මන්දිරය සහ දාගබක් ද දැකගත හැකි යි. විහාරය ඉදි කොට ඇත්තේ පොළොවේ සිට අඩි 5 ක් පමණ උස වේදිකාවක් මත යි. දැනට ඇති ගල්කණුවලින් පැහැදිලි වන්නේ එය පැරැණි ටැම්පිට විහාරයක් බව යි. ඉංග්‍රීසින් 1818 කැරැල්ල කාලේ  විනාශ කළ මෙම විහාරය පසුව 1870 දී පමණ නුගවෙල දිසාව මැදිහත් ව ප්‍රතිසංස්කරණයට ලක්කොට ඇති බව පැවසෙනවා. අද දක්නට ලැබෙන්නේ එසේ ප්‍රතිසංස්කරණයට ලක් වූ විහාරය යි.

සාම ජාතකය- Kusumsiri Wijayawardhana

 

මෙහි එකට සම්බන්ධ පිළිම ගෙවල් දෙකක් දැකගත හැකි යි. සැලසුම අතින් මේ විහාරයත් කුළුගම්මන විහාර ගෙයට සමාන යි. නමුත් එයට වඩා ප්‍රමාණයෙන් විශාලයි. මෙහි බිතුසිතුවම් ද එයට වඩා නිර්මාණාත්මක බවක් පළ කරනවා. එක් පිළිම ගෙයක මකර තොරණ යට වැඩහිඳි පිළිමය පිහිටා තිබෙන අතර අනෙක් පිළිම ගෙය වෙන් ව ඇත්තේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවට යි. සමන් දේව පිළිමයක් සහ විෂ්ණු දේව ප්‍රතිමාවක් ද වැඩ සිටින ප්‍රතිමාව සහිත විහාර ගෙයි තිබෙනවා.

මෙම ප්‍රතිමා සහ සිතුවම් මහනුවර සම්ප්‍රදායේ පසුකාලීන ලක්ෂණ පළ කරනවා. සූවිසි විවරණ චිත්‍ර මෙහි දැකගත හැකි යි. සත් සතිය, රාහුල කුමාරෝපත්තිය, අභිනිෂ්ක්‍රමණය ආදී සිතුවම් ද පිළිම ගෙය අලංකාර කරනවා. පිටත බිත්ති සරසා තිබෙන්නේ සාම ජාතකය, කට්ඨහාරී ජාතකය, ක්ෂාන්තිවාදී ජාතක සිත්තම්වලින්. පිටත එක් බිත්තියක් වෙන්කර තිබෙන්නේ අපායේ දර්ශනවලට යි. ඉතා අපූරු ආකාරයේ අපායේ දර්ශන මෙහි දැකගත හැකි යි.

අපාය සිත්තම්- Kusumsiri Wijayawardhana

 

විහාර මන්දිරයේ ඉදිරිපස බිත්තිවල නොයෙක් වේශයෙන් ආයුධ රැගත් මාර සේනාව දැක්වෙන සිතුවම්, අපාය විදහා දක්වන සිතුවම් හා ආදී සිතුවම් විශාල ප්‍රමාණයක් ඇති අතර ඒවායින් බොහොමයක් විනාශවෙමින් පවතිනවා.

විහාර මන්දිරයේ පිළිමගෙවල් දෙකකි. ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවන පිළිමගෙයි නුවර යුගයේ ආභාෂය ලැබූ බුද්ධ ප්‍රතිමා වහන්සේ ද ශ්‍රී විෂ්ණු දේව ප්‍රතිමාව ද සහිත ව බිත්ති සතරේ උඩු වියනේ ද නිර්මාණගත සිතුවම් රැසක් පවතිනවා. බිත්තියේ පිටත සිතුවම්වලින් අපායේ දී විඳින්නට සිදුවන දෙතිස් වධ දැක්වෙනවා.

කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ රුව ද මෙහි චිත්‍රයට නඟා තිබෙනවා. මෙහි චිත්‍ර මූර්ති සියල්ල හිඟුල්වල මූලාචාරීයා, කුළුගම්මන කජුගහවත්තේ මූලාචාර්ය සහ ඇඹුල්පුරේ කිරිහාමි යන ශිල්පීන් නිර්මාණය කළ බව තමයි සඳහන් වන්නේ. මෙම ශිල්පීන් තිදෙනා ම හාරිස්පත්තුවේ වැසියන් ලෙස සැලකෙනවා.

කවරයේ ඡායාරූපය: කුළුගම්මමන විහාරය සහ අත්තරගම සඳකඩ පහණක්-facebook-Kusumsiri Wijayawardhana

මූලාශ්‍ර:

Budusarana.lk

කඳුරට ප්‍රවේණිය- එච්. ඒ. පී. අභයවර්ධන

Related Articles