හෙළයේ ප්‍රචලිත බුලතේ වත ගොත

අපේ චාරිත්‍ර වාරිත්‍රවලදී බුලතට හිමි වන්නේ සුවිශේෂී වැදගත්කමක්. බුලත අප සංස්කෘතියේ වැදගත් ම සශ්‍රීකත්වය පෙන්වන සංකේතයක් ලෙස පුරාණේ භාවිත වුණා. අදත් බොහෝ සුබ කටයුතුවලදී බුලත් අත ඉදිරියට පැමිණෙන අයුරු දැකගත හැකි යි. ඒ අතරම බුලත්විට කෑම ද පුරාණයේ පටන් ම පැවති සිරිතක්.                                    

බුලතේ උපත

බුලත් කොළයට ඉංග්‍රීසි බසින් යෙදෙන Betel යන්න පෘතුගීසි පදයකින් බිඳී ආවක් ලෙස සැලකෙනවා. බුලත්වලට සංස්කෘතයෙන් කියන්නේ තාබ්බූල කියල යි. පාලි බසින් එය හඳුන්වන්නේ තම්බූල කියා යි.

 සරුසාර බුලත් වගාවක්-  yaya.lk

බුලතේ උපත මහා සම්මත රජු දවස දක්වා දිව යනවා. පුරාවෘත්තවල සඳහන් වන අන්දමට මැණික් පාලී නම් බිසවකට උපන් දොළදුක් සංසිඳවීමට නාග ලෝකයෙන් පැමිණි නාග කන්‍යාවක බුලත් කොළය මනු ලොවට ගෙන ආ බවත් එය ගෙන ආවේ නටුවෙන් හා තුඩෙන් අල්ලාගෙන බවත් කියැවෙනවා.

මේ හේතුවෙන් බුලත් කොළයේ එම කොන් දෙකේ නයි විෂ ඇතැයි මතයක් අදටත් පවතිනවා. එනිසා බුලත් කොළයේ දෙකොන කඩා ඉවත් කර කෑමට ගැනීම ගැමියන්ගේ සිරිතක්. බුලත්වල මූලාරම්භය මැලේසියාවේ හෝ නැගෙනහිර ආසියානු කලාපයේ යැයි විශ්වාස කෙරෙනවා. එය  චීන හා අරාබි වෙළෙන්දන් ශ්‍රී ලංකාව සහ අනෙකුත් දකුණු ආසියානු රටවලට හඳුන්වා දුන් බව පැවසෙනවා.

බුලත් වැලක්- dinamina.lk

බුලත් වැල

බුලත් කියන්නේ වැල් වර්ගයක්. ශ්‍රී ලංකාව පුරා වැඩෙන සදාහරිත, බහු වාර්ෂික ශාකයක්. බුලත්වල කොළ විටක් ලෙස හැපීමට ගන්නා අතර විවිධ සංස්කෘතික කටයුතුවලට ද භාවිත කරනවා. බුලත් වැල් වර්ග දහයක් පමණ ශ්‍රී ලංකාවෙන් හමුවෙනවා.

වර්තමානයේ බුලත් දේශීය පරිභෝජනය සඳහා ගන්නා අතර ම සුළුඅපනයන බෝගයක් ලෙසත් පිටරටවලට යවනවා. බුලත් වගා කරන ප්‍රධාන රටවල් වන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය සහ බංගලාදේශය යි. ශ්‍රී ලංකා බුලත් අපනයනය කරන ප්‍රධාන ම රට පකිස්තානය යි. ඊට අමතර ව ඉතා ම සුළු ප්‍රමාණයකින් මහා බ්‍රිතාන්‍යය, කැනඩාව, ප්‍රංශය, ජපානය හා මැදපෙරදිග රටවලට ද බුලත් අපනයනය කරනවා.

බුලත් භාවිතයෙන් බුලත් මිශ්‍ර මදුරු විකර්ෂක දඟර සහ ක්‍රීම්, දන්තාලේප, මුඛ සේදීමේ දියර, ෂැම්පූ සහ ක්ෂණික බුලත් විට ආදී නිෂ්පාදන සකස් කිරීමත් අද වනවිට සිදුවෙනවා.

සෞඛ්‍යයට හානිකර බුලත් විට- ada.lk

 වගා කරන ප්‍රදේශ

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයක ම  බුලත් වගා කළහැකි වුවත් පහතරට හා මැදරට ප්‍රදේශවලදී  ඉන් වැඩි අස්වැන්නක් ලබා ගත හැකිවෙනවා. අපනයනය සඳහා වගා කරන බුලත් හඳුන්වන්නේ කළු බුලත් කියල යි. කළු බුලත්වල කොළ විශාල වන අතර එය තද කොළ පැහැයෙන් යුක්ත යි. බුලත් අපනයනයේ දී ප්‍රවාහනය සිදු කරන්නේ ගුවන් මඟින්.

මේ නිසා දැනට ප්‍රධාන වශයෙන් ම ගුවන්තොටුපළට ආසන්න දිස්ත්‍රික්ක වන කුරුණෑගල, ගම්පහ, කළුතර සහ කොළඹ කළු බුලත් වගා කරනවා. බුලත් කොටුවලින් කඩාගන්නා බුලත් වර්ග කර අත් වශයෙන් සකසා කෙසෙල් කොළ සහිත තට්ටුවල බැඳ වෙළෙඳපොළට ඉදිරිපත් කරනවා. මේ ප්‍රදේශවල බුලත් අලෙවිකරුවන් සහ වගාකරුවන් මුණගැසෙන බුලත් පොළවල් ද පාන්දර ජාමේ ක්‍රියාත්මක වෙනවා.

4 සුබ කටයුතුවලට ගන්නා බුලත් අත- silumina.lk

බුලත් වර්ග

පුරාණ සමාජයේ බුලත් වර්ග 10ක් පැතිර තිබුණා. ඒවා නම් නාගවල්ලි, මහ මානේරු, රටදළු බුලත්, ගල්දළු බුලත්, වැල් බුලත්, මැටිපලා බුලත්, කහ කිරිය බුලත්, ගැටකෝටු බුලත්, ගත් බුලත්, ගැරඩි මානේරු බුලත් ආදී වශයෙන්.

මේ අතරින් බුලත්විටට සුදුසු බුලත් ලෙස මානේරු, රටදළු, ගල්දළු, ගැටතෝඩු, සහ මැටිපලා  යන බුලත් වර්ග දැක්විය හැකි යි. ඒවා අතරින්  මානේරු සහ රටදළු  වාණිජමය වශයෙන් වගා කෙරෙනවා.  නාරම්මලී සහ නාරම්රතී යනුවෙන් හැඳීන්වෙන නව බුලත් වර්ග දෙකක් නාරම්මල බුලත් පර්යේෂණ ආයතනය මඟින් එළිදක්වා තිබෙනවා.

5  පැරණි බුලත් හෙප්පුවක්- facebook

බුලත් සංස්කෘතිය

අතීතයේ බුලතට සුවිශේෂී ස්ථානයක් හිමි ව තිබ බව පෙර රජ දවස තතු විමසීමේ දී අනාවරණය වෙන කරුණක්. රජතුමාට බුලත් සැපයූ තැනැත්තා බුලත් වඩන්නා හෙවත් බුලතා නම් වුණා. සොරබොර වැව තැනුවේ දුටුගැමුණු රජුගේ බුලත් වඩන්නා බව ජනප්‍රවාදයේ පැවසෙනවා.

උඩරට රාජධානි කාලේ දී  කුලවතෙක් හෝ කුල කතක් සමාව දිය නොහැකි බරපතල වරදක් කළ විට රොඩී රැහැට පාවාදීම නමින් සිරිතක් ක්‍රියාත්මක වුණා. එහිදී කර ඇත්තේ රොඩියකු එම කුලවතාට හෝ කුලවතියට බලෙන් බුලත් කැවීම යි.  මෙය උපරිම මට්ටමේ නින්දාවක් ලෙස එකල සමාජය සැලකුවා.  ඊට පසු ඔහු හෝ ඇය රොඩියකු ලෙස පිළිගෙන පහත් කොට සැලකීම උඩරට සිරිත වූ බව සඳහන් වෙනවා.

බුලත් විටට ඇවැසි දෑ- subasetha.lk

 

පන්සලේදී දැහැත් වට්ටිය නිවසේදී බුලත් හෙප්පුව ලෙස හඳුන්වනවා. මංගල උත්සවයේ බුලත් තට්ටුව වන මෙය මළගෙදර දී හඳුන්වන්නේ ඉලත්තට්ටුව කියලයි. බුලත සාමාන්‍ය ව්‍යවහාරයේ බුලත් විට, බුලත් අත, බුලත් හුරුල්ල ආදී ලෙස නම් කරනවා. පුරාණ ගැමියා ගමනක් යනවිට ගමනේදී බුලත් හැඹිලිය හෝ බුලත් මඩිස්සලය රැගෙන යාම අනිවාර්ය වුණා. ගෙට ගොඩවන අමුත්තන්ට බතින් සංග්‍රහ කළ පසු බුලතින් සංග්‍රහ කිරීම ද පැරණි සිංහල සිරිතක්. මේ නිසා සෑම පුරාණ නිවසක ම පාහේ බුලත් හෙප්පුවක් බරාඳයේ තබා තිබුණා.

මළගෙදරකදී ඉලත් තට්ටුව සකස්කරන්නේ බුලත් කොළ කනපිට හරවමින්. සාංඝීක දානවලට  මෙන් ම සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා සඳහා ද, ධර්ම දේශනා සඳහා ද භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරන්නේ විහාරයට ගොස් දැහැත් වට්ටියක් පිළිගැන්වීමෙන්. සාමාන්‍යයෙන් දැරියක මල්වර වු විට මල්වර පලාපල විමසීමට යෑමේදී බුලත් අතක් රැගෙන යනවා. ඥාතීන්ට මංගල උත්සවවලට ආරාධනා කරන්නේ ද බුලත් කොළයක් පිළිගැන්වීමෙන්.

මහනුවර යුගයට අයත් හුණු කිල්ලෝටයක්- උරුමය facebook page

බුලත ගැන ලියවුණු ජනකවි රාශියක් අපට හමුවෙනවා. මේ ඒ අතරින් එක් කවියක්:

කොළත් මලුත් මිස ගෙඩි නැත මෙකපට

දළුත් කොළත් මලත් එක සරි     කෑමට
මෙලක් බූමියේ පැල උනි           අළු පිට

බුලත් කියා නම තිවුනා              රජ සිට

බුලත් කෑම හා සම්බන්ධ උපරකරණ කිහිපයක් ම පුරාණ ජන සමාජයේ භාවිත වුණා. අදත් මේ උපකරණ ගැමි ගෙවල්වල වගේ ම විහාරස්ථාන ආවාසවලත් දැක ගැනීමට ලැබෙනවා.  බුලත් හෙප්පුව, හුණු කිල්ලෝටයගිරය ඒ අතර තිබෙනවා. පුරාණයේ භාවිත කළ මේ උපකරණ අපේ රටේ කෞතුකාගාරවලදි නැරඹිය හැකි යි.

අඩුක්කු දානයකට තැබූ බුලත්විට- රංගන කුරුවිට – facebook page

බුලත් විට

සාමාන්‍ය බුලත් විටේ අඩංගු වන්නේ බුලත්, පුවක්, හුණු, දුම්කොළ ආදියයි. එයට අතිරේක ව සාරවිටේ කරාබු නැටි, ඉඟුරු පියලි, කොත්තමල්ලි, සිහින් ව ගා ගත් වර්ණක සීනි පැණි යෙදූ කොප්පරා, සූදුරු, මහදුරු වැනි දෑත් අඩංගු කර තිබෙනවා. බොහෝවිට සාර විට සඳහා හුණු, දුම්කොළ යොදා ගන්නේ නැහැ.

නමුත් මෑතක සිට මුඛ පිළිකාව සඳහා බුලත් විටේ අඩංගු හුණු සහ දුම්කොළ ප්‍රධාන වශයෙන් හේතු වන බව සොයා ගැනීමත් සමඟ එයට සෞඛ්‍ය අංශ වෙතින් විරෝධයක් එල්ල වුණා. ඒත් ගමේ බුලත් කෑම නම් අඩු වී ඇති බවක් පේන්නෙ නැහැ.

බුලත් අත් සකසමින්-  adobestock.com

බුලත් අත

සාමාන්‍යයෙන් බුලත් අතකට තබන බුලත් කොළ සංඛ්‍යාව40ක්. එහෙත් බුලත් 20කින් යුතු බුලත් අත් භාගය ද භාවිත වන අවස්ථා දැක ගත හැකි යි. එකිනෙකට වෙනස් කාර්යයන්වලට භාවිත කරන බුලත් අතේ කොළ සංඛ්‍යාව වෙනස් වෙනවා.

බුද්ධ පූජාව සඳහා බුලත් කොළ 40යි.

මවුපියන්ට පිළිගන්වන බුලත් අතට බුලත් කොළ 40යි.

දේව පුජාව සඳහා බුලත් කොළ 35යි.

ගුරුවරුන්ට පිළිගන්වන බුලත් අතේ බුලත් කොළ 30යි.

ග්‍රහ පූජා සඳහා නැකැත් 27ට අනුරූප ව බුලත් 27යි.

මංගල බුලත් හෙප්පුවේ බුලත් 21යි.

 පූජා වට්ටියකට තැබූ බුලත්- –  adobestock.com

බුලත් තහංචි කවි

පැරණි මඟුල් ගෙවල්වල  බුලත් තහංචි කවි නම් කවි විශේෂයක් කිය වූ බව සඳහන් වෙනවා. මේ ඒ අතරින් එක් කවියක්:

පළමුව මේ කප නැසෙනා කාලෙදි බුලත් ගෙනාවේ කවුද කියන්

දෙවනුව මහ සම්මත රජ මඟුලට බුලත් ගෙනාවේ කවුද කියන්

පත්තිනි පාලඟ සහයට ගත්දා බුලත් බෙදුවේ කවුද        කියන්

අසනුව මේ පද තෝරා මිස අද බුලත් හෙප්පුවට අත නොතියන්

 බුලත් කන වියට්නාම් කතුන් –  medium.com

 ආයුර්වේදයට අනුව බුලත

බුලත් කොළය කුළු රස ද තිත්ත රස ද උෂ්ණ හා මිහිරිද කසට හා ක්ෂාර රස ද සහිතයි. වා සෙම් නසයි. පණුවන් දුරු කිරීම ද කාමාග්නිදීපන ද කතුන් ප්‍රිය කතාවෙහි සැරසීම ද ඇලීම ද සහිත යි. බුලතෙහි ගුණ 13ක් සඳහන් වෙනවා.  දුක සිඳ දමයි. දිව්‍ය ලෝකයෙහි ද දුර්ලභයි. බුලත් කොළ තියුණු උෂ්ණ බව ද කුළු රස ද කට ශුද්ධ කරන ගුණය ද තිබෙනවා.  වාතය හා සෙම නැසීම ද පිත වැඩීම ද මිදීම ද ස්වර වර්ධනය ද අග්නි ඇති කිරීම ද කෙරෙනවා.

17 වැනි සියවසේ දී සිරකරුවකු ලෙස ලංකාවේ අවුරුදු 20ක් ගතකළ රොබට් නොක්ස් සිංහලයාගේ බුලත් කෑම ගැන මෙසේ සඳහන් කරනවා:

අන් සෑම දෙයකටම වඩා ඔවුහු බුලත් හැපීමට ආශා ඇත්තෝය. නින්දට යනවිට බුලත් විටකින් කට පුරවා ගන්නා ඔවුහු අවදි වන විටත් එම හපය සුරැකිව මුව තුළ ඇද්දැයි පරීක්ෂාකාරීව බලති. නොකා නොහැඳ සිටියත් බුලත් විටක් නොකා නම් සිටින්නට නොහැකිය යනු ඔවුන්ගේ කතාවකි ( එදා හෙළදිව- පරි. ඩේවිඩ් කරුණාරත්න).

සිංහල කම්කරුවන් වැඩක නොයෙදී සිටින විට හෝ විවේකී අවස්ථාවල කතාබහේ යෙදෙන විට නිරතුරුවම බුලත් හැපීමේ යෙදෙන බව ශ්‍රී ලංකාවේ එකොලොස් වසක් කෘතිය ලියූ මේජර් ෆෝබ්ස් ද සඳහන් කර තිබෙනවා.

කවරය- බුලත් - cdn11.bigcommerce.com 

 මුලාශ්‍ර:

බුලත්විට සහ සිංහලයා- ප්‍රැන්සිස් බුලත්සිංහල

www.dea.gov.lk

Subasetha.lk

Silumina.lk 

Related Articles