කොග්ගල ගැමියන් පහන් දැල් වූ ගම්පෙරළියේ හිරිගල් දේවාලය

මෙරට සාහිත්‍යයට අනුපමේය සේවාවක් ඉටු කළ හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් උපන් ගම වූ කොග්ගල සහ ඒ ආශ්‍රිතව පිහිටි සුවිශේෂී ස්ථානවල තතු බොහොමයක් ඔහුගේ ම පොතපතේ සඳහන් ව තිබේ. ඔහු ලියූ ගම්පෙරළිය, මඩොල්දූව සහ උපන් දා සිට වැනි ග්‍රන්ථ බොහොමයකට ප්‍රස්තුත වූයේ එකල කොග්ගල සහ අවට ප්‍රදේශවල ජීවත් වූ අයගේ ජන ජීවිතයයි.

ඔහු ලියූ ගම්පෙරළිය නවකතාවේ එක් පරිච්ඡේදයක “හිරිගල් දේවාලය” නම් වූ දේවාලයක් පිළිබඳ ව සඳහන් වන අතර එය අතීතයේ පටන් එම ප්‍රදේශයේ ජනතාවගේ පුදපූජාවට ලක් වූ ස්ථානයකි. මෙම දේවාලය පිහිටා තිබූ කළුගල් පර්වතය දෙවැනි ලෝක යුද සමයේ දී කොග්ගල ගුවන් පථය ඉදි කිරීමේ කටයුතුවලට බාධාවක් වූ හෙයින් ඉන් විශාල කොටසක් ඉවත් කර තිබිණි. වර්තමානයේ එහි දැකිය හැක්කේ විහාර මන්දිරයක් සහ චෛත්‍යයක් පමණි. මෙම ලිපිය ඒ ඓතිහාසික දේවාලය සහ ඒ හා සබැඳි විශේෂ කරුණු කිහිපයක් පිළිබඳවයි.

දේවාලය පිහිටි බිමේ පැරැණි ඡායාරූපයක්/ www.budusarana.lk

පිහිටීම

ගාල්ල- මාතර ප්‍රධාන මාර්ගයේ හබරාදූව උප නගරයට නුදුරු ව කොග්ගල ගුවන් පථයට යා ව පිහිටි කළු ගල්කුලක පිහිටි විහාරස්ථානය හිරිගල් දේවාලය ලෙස හඳුන්වයි. එක් පසෙකින් මුහුදට ඉතාම ආසන්නවත්, අනික් පසින් කොග්ගල කළපුවට මායිම්වත් පිහිටා ඇති මෙම දේවාලය ඉරුගල් දෙවොල, හිරුගල් දෙවොල, දේවාලයේ ගොඩ පන්සල යන නම්වලින් ද හඳුන්වයි.

වර්තමානයේ මෙම ප්‍රදේශය කොග්ගල ලෙස පොදුවේ හැඳින්වුව ද  පුරාණයේ කොග්ගල, උප ගම් රාශියකින් සමන්විත වූ ප්‍රදේශයක් විය. එම උපගම් අතුරින් මලලගම නමින් හැඳින්වූ ග්‍රාමයේ මෙම හිරිගල් දේවාලය පිහිටි අතර එම ගම්මානය පිහිටා තිබූ ප්‍රදේශයේ වර්තමාන කොග්ගල ගුවන් පථය පිහිටා ඇත.

ඈත ඉතිහාසය හා දේව සම්බන්ධතා

මෙම දේවාලයේ ඉතිහාසය පිරික්සීමේ දී එය රාම- රාවණා කථා ප්‍රවෘත්තිය සමඟ ද සම්බන්ධ වේ. ඊට සම්බන්ධ යැයි සැලකෙන රූමස්සල කඳුවැටිය කොග්ගලට නුදුරින් පිහිටා තිබීම එසේ කතා ප්‍රවෘත්ති ගොඩ නැගීමට හේතු වූවා යැයි සිතිය හැක.

එම ජනප්‍රවාදවලට අනුව එකල දකුණ පාලනය කර ඇත්තේ ‘සමන’ නම් ප්‍රාදේශීය රජ කෙනකු වන අතර, රාවණා රජු ඔහුට විවිධ ප්‍රසාද පිරිනැමූ බව ද සඳහන් වේ. සමන රජු කර වූ සෙල් ලිපි ත්‍රිත්වයක් කොග්ගල කළපුවේ පිහිටා ඇති බවට එම ප්‍රදේශයේ ජනතාව විශ්වාස කරන අතර ඉන් එකක දක්නට ලැබෙන ලාංජනය විශේෂ එකක් වේ. මූලාශ්‍රයන්ට අනුව එක් සෙල් ලිපියක හීයක් තුඩින් ගත් කොකකුගේ ලාංඡනයක් ඇති අතර එය සමන රජුගේ ලාංජනය බව කියැවේ.

දේවාලය පිහිටි බිම ඈතින් දිස්වන අයුරු –  agoda.com

සමන රජුගේ මරණයෙන් අනතුරුව ප්‍රදේශවාසී ජනතාව ඔහුට දේවත්වයෙන් පුද පූජා කළ බව සැලකේ. සීනිගම දෙවොල් දෙවියන් ඇතුළු පිරිස මෙරටට ගොඩ බැසීමට උත්සහ කළ ස්ථාන අතරට කොග්ගල ද අයත් වන අතර ගොඩබැසීමට උත්සහ කළ සෑම තැනකදී ම ඒ ඒ ස්ථානවලට අරක්ගෙන සිටි දෙවිවරුන් ඔවුන්ට බාධා කර ඇත. ඒ අනුව කොග්ගල දී එම පිරිසට බාධා කළ දෙවියන් වූයේ හිරිගල් බණ්ඩාර දෙවියන් බව පවසයි.

හිරිගල් දෙවොල හිරු දෙවොලක් ද?

ඇතැමුන්ගේ මතය අනුව මේ ස්ථානයේ පිහිටා ඇත්තේ හිරු දෙවියන් වන්දනා කිරීම සදහා තැනවූ දේවාලයකි. ගත්කතුවරයකු වූ අරිසෙන් අහුබුදු රචනා කළ ‘හෙළ අවුරුදු වත’ නම් ග්‍රන්ථයට අනුව මාර්තු 21 – අප්‍රේල් 13 අතර කාලයේ දී මෙම ස්ථානයට හිරු මුදුන් වේ. මෙම හේතුව නිසා අතීතයේ පටන් මේ ආශ්‍රිත ව සූර්ය හෙවත් ඉරු දෙවි වන්දනාව පැවති බවට සිතිය හැකි ය. පුරාතනයේ ඉරු දෙවි වන්දනාව උදෙසා කැප කරන ලද දේවාල හතරක් ශ්‍රී ලංකාවේ පැවැති බව ද සූර්ය මංගල්‍යය මුල් කරගෙන එම දේවාලවල විවිධ පුද පූජා පැවැත්වූ බව ද ජනප්‍රවාදයන්හි සඳහන් වේ.

කොග්ගල කළපුව – minube.com

 කිනම් දේව සංකල්පයක් මේ ආශ්‍රිත ව පැවතිය ද එම දේව සංකල්පය ඉතා බලවත් බව කොග්ගල සහ ඒ අවට ගම්වාසීන්ගේ මතය වූ නිසා තමන්ට දුකක් කරදරයක් පැමිණි විට දී කන්නලව් කිරීමට ද, සොරකමක් අසාධාරණයක් වූ විට පළි ගැසීමට (වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලා කන්නලව් කිරීමට) ද පැමිණියේ මෙම දේවාලය වෙත ය.

දේවාලය අසල පිහිටි දේවගිරි විහාරස්ථානය

18 වන සියවසේ අගභාගයේ හෝ 19 වන සියවසේ මුල් භාගයේ මෙම ස්ථානය මූලික කරගෙන විහාරස්ථානයක් ආරම්භ වී ඇති අතර ඒ සදහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ තල්අරඹේ ධම්මක්ඛන්ධ නම් හිමි නමකි. එකල මෙම විහාරස්ථානය හිරිගල් දේවාලගොඩැල්ලේ විහාරස්ථානය, තාලාරාමය යනාදී නම්වලින් ද හඳුන්වා ඇත.

විහාරයේ පිවිසුම් දොර – Facebook- සන්නස

උන්වහන්සේගෙන් පසු මෙම විහාරස්ථානයේ විහාරාධිපතීත්වයට පත් මඩිහේ සිරි සුමිත්ත නාහිමියන් විශාල සාහිත්‍ය සේවාවක් කළ හිමි නමකි. උන්වහන්සේ පඤ්චායුධ ජාතකය ඇසුරින් කව්මිණිරන්දම, සමුද්ග ජාතක කාව්‍යය, සුතනු ජාතක කාව්‍යය, මුනිගුණලධංකාරය, මහ උමංදා කව, දළඳා පුද, දහම් ගැටය ආදී කාව්‍ය ග්‍රන්ථ ගණනාවක් රචනා කොට තිබේ.

මාතර සාහිත්‍ය යුගයේ දී ඇති වූ “සව් සද්දම්වාදය”ට ද දේවගිරි විහාරය සහයෝගය දැක්වූ බව සඳහන් ව ඇත. විහාරස්ථානය ඉදි කිරීමේ දී මෙම පර්වතය මුදුනේ නුවර ශෛලියට අනුව බුද්ධ මන්දිරයක් ඉදි කොට ඇති අතර එහි තිබෙන සිතුවම් අතර නවග්‍රහ සිතුවම් සහ මෛත්‍රය බෝධිසත්වයන්ගේ සිතුවම සුවිශේෂී වේ.

නවග්‍රහ සිතුවම් –  Facebook- Bandaranayake Pathmakumara

දෙවැනි ලෝක යුද සමය සහ දේවාලය කඩා බිඳ දැමීම

සියවස් ගණනාවක් පුරාවට ගම්වැසියන් පුද පූජා කළ ලැබූ හිරිගල් දේවාලය විනාශ වීම කෙරෙහි බලපෑ ප්‍රධානත ම සාධකය ලෙස දෙවැනි ලෝක යුද්ධය හැඳින්විය හැකි ය.

දෙවෙනි ලෝක යුද උණුසුම වර්ධනය වීමත් සමඟ බ්‍රිතාන්‍ය රජය ගත් ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස 1942 මාර්තු 24 වැනිදා පැය විසි හතරක් වැනි කෙටි කාලයක් තුළ කොග්ගල සම්පූර්ණ ගම්මානය ම රජයට පවරා ගනිමින් විශේෂ නියෝගයක් නිකුත් විය. ඒ අනුව සියලු ගම්වැසියන්ට එම භූමියෙන් ඉවත් වීමට සිදු වූ අතර ‌බොහොම ඉක්මනින් එහි වූ නිවාස ඉවත් කොට යුද හමුදා කඳවුරක් හා ගුවන් පථයක් ඉදි කර තිබිණි. ඊට අමතර ව ජලචර ගුවන් යානා ගොඩ බැස්සවීම සදහා කොග්ගල ඔය භාවිත විය. ගුවන්පථය ඉදි කිරීමේ දී ඔවුන්ට හිරිගල් දේවාලය සහිත මෙම ගල් පර්වතය බාධාවක් වූ බැවින් එය කඩා, කඩා ඉවත් කළ කළුගල් ගුවන්පථය ඉදිකිරීම සඳහා යොදා ගෙන ඇත. මේ ක්‍රියාව හේතුවෙන් සියවස් ගණනාවක් සුරැකි ව පැවති හිරිගල් දේවාලය විනාශ විය.

හෙළයේ මහා ගත්කරු දුටු හිරිගල් දේවාලය

කොග්ගල මහා ප්‍රාඥයා සහ හෙළයේ මහා ගත්කරු ලෙස විරුදාවලි ලත් මාර්ටින් වික්‍රමසිංහයන් 1944 වසරේ දී මුද්‍රණ ද්වාරයෙන් එළි දැක්වූ “ගම්පෙරළිය” නවකතාවේ ආරම්භ සදහා ඔහු යොදා ගන්නා ලද්දේ ද මෙම හිරිගල් දේවාලයයි. ඒ පිළිබඳ ව ඔහු ‘ගම්පෙරළිය’ ග්‍රන්ථයේ පෙරවදනේ දී මෙසේ සදහන් කරයි.

මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්/ pothsl.com

මනුෂ්‍ය වාසයක් වූ තැන් පටන් මේ ගමෙහි ඉතිහාසය කියන නටඹුන් කිසිවක් නොදක්නා ලැබෙතත් බිම් කඩක් වශයෙන් එහි ඉතිහාසය කියන මහ හිරිගල් කඩක් දක්නා ලැබේ. ගැමියන් මේ මහගල හැඳින්වූයේ ‘හිරිගල් දේවාලය’ ‘දේවාලේ ගල’ යන නම්වලිනි. තවමත් සම්පූර්ණයෙන් සුන්- බුන් නො කළ හැකි වූ මේ මහ හිරිගලෙහි අරටුව, කුළුගෙඩියකින් ද ඩයිනමයිටයෙන් ද ලබන පීඩනය, කුඩා දරුවකු මිටින් දෙන පහර සිනාසෙමින් ඉවසන යෝධයකු සේ, ඉවසමින් ඇන තියාගෙන සිටිනු, දුම්රියෙන් ගම පසු කොට යන අංකුර කවියෙක් දැනුදු දකියි. යුද්ධ නිලධාරීන්ගේ අණපිට මේ හිරිගල කැඩීමට වෑයම් කළ වුන්ගෙන් කිහිප දෙනෙකුන් හිටි හැටියේ මියගිය බව ගැමියකු මීට හත් අට මසකට පෙර කියනු මවිසින් අසන ලදී.

ඒ ගලෙහි ආනුභාව, ගැමියා මෙසේ ව්‍යංගයෙන් කියනු ඇසූ මගේ සිතට ඒ මහ හිරිගලෙහි ස්වරූපය ද, එකල ඒ ගල අසල වූ පාන් පැල, එහි දැල්වූ පහන, දණ ඇනගෙන යැදුම් පිදුම් කළ ගැමියා හෝ ගැහැනිය, යන මොවුන්ගේ ස්වරූප ද නැංගේ ය. කුඩා කල හවස් වරුවේ ඒ ගල ළඟින් ගිය මා, පාන් පැල හා පහන ද යදින ගැමියකු හෝ ගැහැනියක ද නුදුටුවේ කලාතුරකිනි. පුදන ගැමියන් ගේ දුක් දොම්නස්, හැඬීම්, වැලපීම්, සිනාසීම් ඇසුවේ, දුටුවේ ඔවුන් විසින් සිත්පිත් ඇත්තකු සේ ගෙන පුදන ලද මේ හිරිගලය. මේ කථාවස්තුව ඒ ගලෙහි ඉතිහාසය කීමෙන් පටන් ගන්නා ලද්දේ එහෙයිනි,” -‘ගම්පෙරළිය’ ග්‍රන්ථයේ පෙරවදන

 පුරාණ රිටි පන්න ධීවර ක්‍රමය කොග්ගල දී අද ද දැකිය හැකියි –  Buddhika Weerasinghe/Getty Images 

 

වර්තමානය

අතීතයේදී අක්කර දෙකක් පමණ විශාල භූමි ප්‍රදේශයක පිහිටි හිරිගල් දේවාලය විනාශ වූ පසු අද එම පර්වතය මත පිහිටා ඇත්තේ දේවගිරි විහාරයේ බුද්ධ මන්දිරය සහ චෛත්‍යය පමණි. එම භූමි ප්‍රමාණය පර්චස් කීපයකට සීමාවී ඇත. වර්තමානයේ හිරිගල් දේවාලය නොමැති වුව ද විහාර මන්දිරය අභ්‍යන්තරයේ වම් පස විෂ්ණු සහ කතරගම දේව  ප්‍රතිමාත්, දකුණු පස දෙවොල් සහ පත්නිනි දේව ප්‍රතිමාත් සහිත දේවාල දෙකක් දක්නට ලැබේ. වාර්ෂිකව සියලු දෙවිවරුන් උදෙසා අගෝස්තු මාසයේ දී ඇසළ මංගල්‍යය පවත්වා පින් අනුමෝදන් කිරීමට ද ප්‍රදේශවාසීන් කටයුතු කරයි.

කවරයේ පින්තූරය: ගාලු මාතර ප්‍රධාන මාර්ගයට හිරිගල් දේවාලය දැන් පෙනෙන හැටි - bbcsinhala.com

මූලාශ්‍ර:

කොග්ගල දේවගිරි විහාරය - නිමල් අල්ගෙවත්ත

කොග්ගල ගුවන් තොටට වැළලී ගිය ඉපැරැණි හිරුගල් දෙවොල - සුමතිපාල දීයගනගේ

සිරිදම් රැකි පරපුර - තංගල්ලේ දිරිලකුරු හිමි

ගම්පෙරලිය - මාර්ටින් වික්‍රමසිංහ

Related Articles