Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2020 වසරට මානව සංවර්ධන දර්ශකයේ රටවල් පෙළගැස්ම

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් මානව සංවර්ධන දර්ශකය (Human Development Index (HDI)) හඳුන්වා දෙන්නේ 1990 වසරේ දී යි. එතෙක් ලෝකයේ රටවල සංවර්ධනය මැනීම සඳහා සමබර දර්ශකයක් තිබුනේ නෑ. බොහෝ වෙලාවට යම් රටක එක පුද්ගල දළ ජාතික ආදායම ඉහළ නම්, ඒ රට සංවර්ධිත රටක් ලෙස පිළිගැනෙනවා. සංවර්ධනය මැනීමේ සාධාරණ දර්ශකයක් ලෝකයට හඳුන්වාදීමට එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතනයක් වන සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ මෙම සමයේ දී යි. මානව සංවර්ධන දර්ශකය නිර්මාණය කිරීම සඳහා එවකට ලෝකයේ සිට ප්‍රසිද්ධ ආර්ථික විද්‍යාඥයන් දෙදෙනෙකු වන පාකිස්ථාන ජාතික මහබූබ් උල් හක් හා ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය ලබාගත් ඉන්දියානු ජාතික අමර්ත්‍යා සෙන් මූලිකත්වය ගනු ලැබුවා.

මානව සංවර්ධන දර්ශකය නිර්මාණය කිරීම සඳහා කටයුතු කළ මහබූබ් උල් හක් නම් පාකිස්ථාන ආර්ථික විද්‍යාඥයා (trtworld)

එවර ඒ දක්වා පැවති ආර්ථික ක්ෂේත්‍රය පිළිබඳව පමණක් අවධානය යොමුකරමින් සංවර්ධනය මැනීම වෙනුවට, මානව සංවර්ධන දර්ශකයට අධ්‍යාපනය හා සෞඛ්‍ය යන ක්ෂේත්‍රයන් ද අන්තර්ගත කෙරෙනවා. මානව සංවර්ධන දර්ශකයේ ප්‍රධාන උප සංරචක සඳහා එම ක්ෂේත්‍රවල සංරචක යොදා මැනීමට ලක් කරනවා. “ඒක පුද්ගල දළ ජාතික ආදායම” යන සංරචකය ආර්ථික ක්ෂේත්‍රය නියෝජනය කරන අතර, උපතේ දී ආයු අපේක්ෂාව සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරනවා. සාක්ෂරතාවය හා අපේක්ෂිත පාසල් යාමේ වර්ෂ ගණන අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරනු ලබනවා. ඒවා මානව සංවර්ධ දර්ශකයේ උප සංරචක ලෙස හඳුන්වනු ලබනවා.

වසරින් වසර ගණනය කෙරෙන මානව සංවර්ධන දර්ශකය 

2020 වසරේ මානව සංවර්ධන වාර්තාව (tockholmresilience)

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සෑම වසරකම එහි සාමාජික රටවල මානව සංවර්ධන දර්ශකය ගණන කර ලකුණු ලබා දී ලැයිස්තුගත කරනවා. මානව සංවර්ධන දර්ශකයේ ලකුණු 0-1ත් අතර දශම ස්ථාන තුනකට ලබා දෙන අතර, මානව සංවර්ධන දර්ශකයෙන් ඉහළම රටවල් 1ට ආසන්න ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නවා. මානව සංවර්ධන දර්ශකයෙන් පහළම රටවල් ලබාගන්නේ 0ට ආසන්න ලකුණු ප්‍රමාණයක්. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන 2020 වසර සඳහා මේ වන විට සිය සාමාජික රටවල මානව සංවර්ධන දර්ශකය ගණනය කර ලැයිස්තු ගතකර අවසන්. රටවල් 189ක් මේ ගණනය සඳහා යොදාගෙන තිබෙනවා. 

සුපුරුදු පරිදි මෙවරත් ලොව ඉහළම මානව සංවර්ධන දර්ශකය සහිත රට බවට පත් වී තිබෙන්නේ නොර්වේ රාජ්‍යය යි. 2020 වසරේ පහළම මානව සංවර්ධන දර්ශකයක් සහිත රට බවට පත්ව තිබෙන්නේ නයිජර් රාජ්‍යය යි. මැනීම් සඳහා යොදාගෙන තිබෙන්නේ 2019 වසරේ දත්ත යි. 

ඉතා ඉහළ, ඉහළ, මධ්‍යම, හා පහළ මානව සංවර්ධන දර්ශකයක් සහිත රටවල් 

මානව සංවර්ධන දර්ශකයෙන් පළමු ස්ථානය ලබා සිටින්නේ නොර්වේ රාජ්‍යයි (twincities)

මෙවර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ලයිස්තුවේ පළමු රටවල් 66 “ඉතා ඉහළ මානව සංවර්ධන දර්ශකයක් සහිත රටවල්” ලෙස නම් කර තිබෙනවා. “ඉහළ මානව සංවර්ධනයක් සහිත රටවල්” ලෙස රටවල් ලයිස්තුවේ 67 වැනි රටේ සිට 119 දක්වා වූ රටවල් හඳුන්වා දී තිබෙනවා. ලයිස්තුවේ 120 සිට 156 දක්වා වූ රටවල් “මධ්‍යම මානව සංවර්ධන දර්ශකයක් සහිත රටවල්” ලෙසත්, 157 සිට 189 දක්වා වන රටවල් “පහළ මානව සංවර්ධන දර්ශකයක් සහිත රටවල්” ලෙසත් නම් කර තිබෙනවා.

2019 වසරේ මෙන්ම 2020 වසරේ ද ලයිස්තුවේ ප්‍රථම ස්ථානය ලබා සිටින නොර්වේ රාජ්‍යය මෙවර මානව සංවර්ධන දර්ශකයේ ලකුණු 0.957ක් ලබාගෙන තිබෙනවා. අයර්ලන්තය (0. 955) හා ස්විට්සර්ලන්තය (0.955) පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථානයන් ලබාගෙන තිබෙනවා. මානව සංවර්ධන දර්ශකයෙන් අවසන් ස්ථානයට (189) පත්ව ඇති නයිජර් රාජ්‍යය ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 0.394ක්. ශ්‍රී ලංකාව ලැයිස්තුවේ 72 වන ස්ථානය හිමි කරගෙන ඇති අතර, ලබාගෙන ඇති ලකුණු ප්‍රමාණය 0.782ක්. 

ආසියාවේ හා දකුණු ආසියාවේ තත්ත්වය 

මානව සංවර්ධන දර්ශකයේ අවසන් ස්ථානය ලබා සිටින්නේ නයිජර් රාජ්‍යය යි.(weforum)

මානව සංවර්ධන දර්ශකය අතින් ආසියානු මහද්වීපයේ පළමු ස්ථානය හිමිකරගෙන සිටින්නේ හොංකොං (සමස්ත ලෝකයෙන් හතරවන ස්ථානය). නමුත් එය ස්වාධින රාජ්‍යයක් නොවන අතර, අදටත් චීනය එක රටක් – පාලන ක්‍රම දෙකක් යටතේ පාලනය කරන ප්‍රදේශයක්. ඒ හේතුවෙන් හොංකොං හැරුණුකොට ලෝකයෙන්ම 11 වන ස්ථානය හිමිකරගෙන සිටින සිංගප්පූරුව, ආසියා මහද්වීපයේ මානව සංවර්ධන දර්ශකයෙන් ඉහළින්ම සිටින රට ලෙස නම් කළ හැකි යි. ලෝකයෙන්ම 19 වන ස්ථානය ලබා සිටින ජපානය ආසියාවෙන් දෙවන තැනට පත්ව තිබෙනවා.

2019 වර්ෂයේ මෙන්ම 2020 වසරේ ද දකුණු ආසියානු කලාපයේ ඉහළම මානව සංවර්ධනයක් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවෙන්. දකුණු ආසියානු කලාපයෙන් දෙවන ස්ථානයට පත්ව තිබෙන්නේ ලකුණු 0.740ක් ලබාගෙන ලෝකයෙන්ම 95 වන ස්ථානය ලබාගෙන ඇති මාලදිවයින්. කලාපයෙන් තෙවන ස්ථානය ලබාගැනීමට සමත්ව තිබෙන භූතානය ලකුණු 0.654ක් ලබා ලයිස්තුවේ 129 වන ස්ථානයට පත්ව තිබෙනවා.

කවරයේ පින්තූරය - un-ilibrary.org

මූලාශ්‍රයයන් - http://hdr.undp.org

Related Articles