ඇත්ගාලක පිහිටි ලෙන් පිරුණු ලෙනවර පන්සල

කැලණි ගංගා මිටියාවතේ පිහිටි කුඩා කඳුගැටයක් ආශ්‍රය කරගෙන පිහිටි අකරවිට ලෙනවර ලෙන් විහාර බිම අදටත් නිස්කලංක සුන්දරත්වයකින් යුක්ත යි. අතීතයේ බවුන් වැඩූ භික්ෂුන් වහන්සේ වැඩ සිටි ලෙන් මෙන් ම පුරාණ ඇත් ගාලක ස්වභාවික දොරටුවක් ද මෙහි තිබෙන බව පැවසෙනවා. අපි මේ බිමට ගමන් කර  ඒ ගැන සොයා බලමු.

 විහාර බිම -google maps 

ගමන් මඟ

හංවැල්ල පසු කළ විට හමුවන අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ කළුඅග්ගල හන්දියෙන් වමට හැරී  කැලණි ගංගාව අසලින් වැටී ඇති පාරේ කිලෝ මීටර් 6ක් ගමන් කර අකරවිටට පැමිණිය හැකි යි.  කොස්ගම සාලාව යුද හමුදා කඳවුර අසලින් ඇරඹෙන අකරවිට පාරේ කිලෝ මීටර දෙකක් ගිය විටත් මේ විහාරයට ළඟාවීමට පුළුවන්. මාර්ගය ඇදී යන්නේ විහාර බිම දෙකඩ කරමින්. වම්පස උස් කඳුගැටයේ ලෙන් විහාරය හා ධර්ම ශාලාව පිහිටා තිබෙනවා. දකුණුපස පහත් බිමෙහි සංඝාවාසය සහ දානශාලාව ආදී ගොඩනැඟිලි අපට දැකගත හැකි යි.

 පාර අද්දර පිහිටි බණ මඩුව – tripadvosor.com

රයිගම් බණ්ඩාර

ගමේ පැතිර ඇති ජනප්‍රවාදවල කියවෙන්නේ සීතාවක රාජසිංහ රජ කාලයේ ජීවිත අවදානමක් නිසා රයිගම් බණ්ඩාර නම් සෙනෙවියකු මේ ප්‍රදේශයට පැමිණ කැලෑවේ සැඟවී සිටි බව යි. එවකට ජනශුන්‍යව පැවති අකරවිට ගම පසුව  ඔහුගෙන් පැවතෙන්නන්ගෙන්  ජනාවාස වී ගමක් බිහිවුණු  බව පැවසෙනවා. ප්‍රාග් ඓතිහාසික යුගයේ ද මෙබිම පුරා මානවයන් ජීවත් වූ බවට සාධක, විහාරයට ආසන්න ව පිහිටි අස්මඬල ලෙන් කැණීම්වලින් හෙළිවුණු කරුණක්. පෘතුගීසි ආක්‍රමණ කාලේ වනගත ව තිබූ මේ ලෙන් විහාරය යළිත් පූජනීය බිමක් බවට පෙරළෙන්නේ මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ කාලේ වැලිවිට සරණංකර හිමියන්ගේ ශාසනික ප්‍රබෝධය නිසා බවයි කියවෙන්නේ.

 විහාර මළුව – Imagessrilanka.blogspot.com

ලෙන් විහාර ගෙය

විහාර ලෙන වගේ ම තවත් කටාරම් කෙටූ ගල්ලෙන් අටක් ද විහාර බිමේ පැතිර පවතිනවා. විහාර කර්මාන්තයට කළුගල් ලබාගත් ගල්බිඳුම් ස්ථාන කිහිපයක් ද මේ බිමේ ඓතිහාසික ස්මාරක අතර තිබෙනවා. කටාරම් කෙටූ ලෙනෙහි මුලින් ම තිබූ පිළිමගෙය 19 වන සියවසේ ඉදිකරන ලද්දක්. එම පිළිමගෙය වෙනස් කර 1941 දී ප්‍රතිසංස්කරණයට ලක්කර තිබෙනවා. පිළිමගෙය පිහිටි ලෙන උසින් අඩි 26 අඟල් 4ක් ද  ගැඹුර අඩි 29ක් ද පළල අඩි 56ක් ද  වෙනවා. පිළිමගෙය ඇතුළු මාලය සහ පිට මාලය වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකියි. විහාර ගෙයි ඇතුළු මාලයේ සැතපෙන බුදු පිළිමයක් ද හිඳි බුද්ධ ප්‍රතිමාවක් සහ හිටි පිළිමයක් ද පිහිටා තිබෙනවා.

විශාල නාථ දේව පිළිමයක් ද මෙහි ඉදිකර තිබෙනවා. නූතන පිළිම වුණත් ඒවා අලංකාර යි. විහාරවල දුලබ සිද්ධියක් වු බුදුන් වහන්සේ සංකස්ස පුරයේ සිට හිණිමඟින් බසින ආකාරය අලංකාර අයුරින් මේ විහාරයේ නිරූපණය කර තිබෙනවා. බිත්තිවල ඇඳ ඇත්තේ රහත් රූප යි. ලෙන් වියන නෙළුම් මල් ඇතුළු මල් මෝස්තරවලින් අලංකාර කර තිබෙනවා. මේ විහාරයට ම සම්බන්ධ වන සේ පසුකාලීන ව තැනූ පංචමහා දේවාලයක් ද තිබෙනවා. පිළිම ගෙයි දැකගත හැක්කේ නූතන සිතුවම් සහ මූර්ති යි. වක්‍රාකාර ලෙන වටේට ම කටාරම් කොටා තිබෙනවා. ලෙන අසල පර්වත අතර බෝධි වෘක්ෂය යි. එයට නුදුරින් මෑත අතීතයට අයත් වන දාගබයි. විහාර මළුව සුන්දර යි. ඈතින් පෙනෙන දසුන එම සුන්දරත්වය තවත් ඉහළ නංවනවා.

 ලෙන් පිහිටි වටපිටාව- google map

කටාරම් කෙටූ ලෙන්

පිළිමගෙය හැරුණු විට අනෙක් ලෙන් තිබෙන්නේ වනගත ව යි. විහාරගෙයි සිට අඩි 35ක් පමණ දුරින් ස්වභාවික ගුහා ආවරණයක් දැකගත හැකි යි.  පිළිම ගෙයට වයඹ දෙසින් තවත් කටාරම් සහිත ලෙනක් දැකගත හැකි යි. එහි අනවසර කැණීමක් කර ඇති අතර ලෙන්බිමෙහි ශිලාමය දොර උළුවහු කොටස්, යටලිපත්, පඩිගල් ආදිය දැක ගැනීමට පුළුවන්.

විහාර මළුව අවට පැතිර යන්නේ රබර් වත්තක්. එය තැනින් තැන විශාල ගල්පර්වත සහිත යි. විහාර ලෙනට අඩි 350ක් පමණ දුරින් තවත් කටාරම් කෙටූ ලෙනක් තිබෙනවා. එහි උතුරු හා දකුණු දෙසින් ලෙන් විවර දෙකක් සහිත යි. ලෙන් විහාරයට අඩි 250ක් පමණ ඊසාන දෙසින් පිහිටි හුදෙකලා ගල්කුලක කටාරම් කෙටූ තවත් ලෙනක් හමු වෙනවා. විහාරය අවට පිහිටි පෞද්ගලික ඉඩම්වල ද කටාරම් කෙටූ ලෙන් තුනක් දක්නට ලැබෙනවා. ස්වභාවික ගුහා ආවරණ පහක් ද ඒවායෙහි පැතිර තිබෙනවා. මේ ගුහාවල ප්‍රාග් ඓතිහාසික මානවයා වාසය කළ බව සිතිය හැකි යි.

 අලංකාර ධර්ම ශාලාව – Kusumsiri Wijayawardhana

ධර්ම ශාලාව

පිටිසර ව පිහිටි විහාරයක් වුණත් මෙහි විශාල ධර්ම ශාලාව පවසන්නේ විශාල සැදැහැවතුන් පිරිසක් අතීතයේ පටන් ම විහාරයට පැමිණි බව යි. එය මාර්ගයට යාබද ව විහාර ලෙන පහළින් දැකගත හැකි යි.  බණමඩුව ඉංග්‍රීසි පාලන යුගයේ තනා ඇති අතර අවුරුදු 100ක් පමණ පැරණි බව පේනවා. එය තනා තිබෙන්නේ 1900 මුල් කාලයේ ජනප්‍රිය  ධර්ම ශාලා සැලසුමක් වන පියස්ස තෙමහල් ආකාරයෙන් දිස්වන විදිහට යි. කොට බිත්ති සහිත ගොඩනැඟිල්ලේ පියස්ස දරා සිටින්නේ ගඩොල් කුලුනුවලින්.

 හේවිසි ගල ගුවනින් පෙනෙන අන්දම – google maps

හේවිසි ගල‍

විහාරයට නැඟෙනහිරින් කඳු මුදුනේ පිහිටා ඇත්තේ සමතලා ගල් පර්වතයක්.  ලෙන් විහාරය අසල සිට කන්ද නැඟීමෙන් එය අසලට ළඟා වීමට පුළුවන්. ගල්තලාවේ මුදුන හඳුන්වන්නේ හේවිසිගල කියල යි.  පුරාණ කාලයේ විහාරයේ පිංකම්වල දී ගල මුදුනේ සිට හේවිසි වැයීම සිදුවන බවත් එම හඬ හේවාගම් කෝරළයේ මෙන් ම සියනෑ කෝරළයේ ද   විශාල පෙදෙසකට ඇසුණු බවත් කියවෙනවා. ගල්පව්වේ නැගෙනහිර බෑවුමෙහි ස්වභාවික ගල්කෙමියක් ද තිබෙනවා. පර්වතය මතට තැනිත් තැන උස් ව නැඟෙන කඳුගැට හා තැනිතලා භූමිත්, කෙත්වතු ආදියත් සහිත කැලණි ගංගා නිම්නය ඈතට ඇදී යන අන්දම අපූරුවට දැකගත හැකි යි.

 ඉපැරණි සංඝාවාසය- Kusumsiri Wijayawardhana

පුරාණ සංඝාවාසය

විහාර මළුවෙන් පහතට පැමිණ  පාරෙන් අනෙක් පස ඇති සංඝාවාස සහිත බිමට පිවිසීමට නම්  වහල්කඩක් යටින් ගමන් කළ යුතු වෙනවා. එම වාහල්කඩ 1944 දී ඉදි කළ එකක් වුණත් මෑතකදී අලුත්වැඩියාවට ලක් කළ බව එහි සඳහන් කර තිබෙනවා.  විහාරයේ සංඝාවාස දෙකක් පිහිටා තිබෙනවා.  පැරණී ආවාසය ලන්දෙසි යුගයේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිත යි. එයට පිවිසීමට කැටයම් රහිත සඳකඩ පහණක් ද තිබෙනවා. එම ගෙඩනැඟිල්ල දැව සොල්දරයක් සහිත යි.

ඉස්තෝප්පුවේ බොරදම් සහිත වෘත්තාකාර කුලුනු පෙළක් තිබෙනවා. ඉස්තෝප්පුවේ සිට ඇතුළු වන්නේ ශාලාවකට යි. එහි පිහිටි අර්ධ කවාකාර ආරුක්කු සහිත දොරටු මෑතක දී නවීකරණය කර තිබෙනවා. වරිච්චි බිත්ති බැඳ ඇති ගොඩනැඟිල්ලේ පියස්ස පල දෙකකට තනා තිබෙනවා. සෙවිලි කර ඇත්තේ සිංහල උළු යි. මෙහි කටාරම් කෙටූ ගල්ලෙන් 2008 ජූනි 6 දින පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසත් පැරණි සංඝාවාසය 2009. 01. 23 දින පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

 ඇත්ගාලේ ගල් දොරටුව – google maps

ලෙනවර ඇත්ගාල

හංවැල්ලට නුදුරින් 1800 ගණන්වල පැවති ඇත්ගාල් ගැන ඉංග්‍රීසි වාර්තාවල දැක්වෙනවා. ලබුගම ඇත්ගාල ඒ අතරින් ප්‍රකට යි. ජෝන් කැපර් සිය Old Ceylon කෘතියේ සඳහන් කරන්නේ කැලණි ගඟ අද්දර හංවැල්ලට නුදුරු  කැලෑවක ඇත්ගාලක් නැරඹීමට 1840 ගණන්වල ගිය බව යි. එය පිහිටි තැන නම ඔහු ලියා නැතත් ඒ ලෙනවර ඇත්ගාල වීමට ඉඩ තිබෙනවා.

එම ඇත්ගාල විහාරස්ථානය අසලම අතීතයේ පැවති බව ජනප්‍රවාදවල දැක්වෙන කතාවක්. අදටත් ඒ බිම අයිති විහාරයට යි.  එම ඇත්ගාලේ විශේෂත්වය නම් එහි දොරටුව ගල් පර්වතය ස්වාභාවිකව ම දෙපලුව පැවති ස්ථානයකින් යුක්ත වීම යි. එහි පිටත සිට අලියකුට පහසුවෙන් රිංගා යාමට හැකි අතර ඉන්පසු බේරීයාමට අපහසුයි. මේ නිසා අලි ඇතුන් මෙම ගාලට කො‍ටු කර ගැනීම පහසුවූ බව පැවසෙනවා. ඇත්ගාලේ දොරටුව ලෙස හඳුන්වන ගල් විවරය විහාර ලෙනට නුදුරින් දැකගත හැකි යි.

කවරයේ ඡායාරූපය -  ලෙන් විහාර ගෙය - Kusumsiri Wijayawardhana 

මූලාශ්‍ර:

පුරාවිද්‍යා ස්ථාන නාමාවලිය, කොළඹ දිස්. පුරාවිද්‍යා දෙපා.

කෝපි කාලෙ ලංකාව (Old Ceylon) - ජෝන් කැපර්, පරි. කුසුම්සිරි විජයවර්ධන 

Related Articles