මහා නික්ම යෑමකට සූදානම් වන ශ්‍රීලාංකික ශ්‍රමිකයෝ

පාස්පෝට් පෝලිමේ සිටගෙන සිටින සුවෙන්ද්‍රා මේරි දින පහකින් සිය ඇඳුමවත් මාරු කර තිබුණේ නැහැ. ඇය සමඟ තවත් හය දෙනෙක් බදුල්ලේ සිට දුර කතර ගෙවා ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවට පැමිණියේ විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම් කිරීමේ බලාපොරොත්තුවෙන්. මේරි සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස රැකියාවක් සොයා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවට අත් වූ දරුණුත ම ආර්ථික ඛේදවාචකයේ වින්දිතයන් වූ තම පවුලේ පැවැත්මට මුදල් සොයා දීම ඇයගේ එකම අරමුණ යි. ඇය වැනි තවත් සුරේන්ද්‍ර මේරිලා විශාල සංඛ්‍යාවක් එකම හීනයක් වෙනුවෙන් පීඩාකාරි පාස්පෝට් පෝලිමේ කල් වරමින් රැඳී සිටියා.

 “මං හිතුවා අපේ ගමන් බලපත්‍ර ටික දවසකින් වගේ ගන්න පුළුවන් වේවි කියලා. ඒත් අපි දැන් දවස් කිහිපයක් තිස්සේ පෝලිමේ රැඳිලා ඉන්නවා. වැස්සක් ආවත්, තද අව්වක් ආවත්, අපි කුඩයක් යටට වෙලා ඉන්නේ අපේ තැන අත් අරින්න බැරි නිසා. අපි මෙතනින් එහාට ගියොත්, වෙන කෙනෙක් මෙතනට එනවා.”

මේ සියලුදේ සිදුවන්නේ ශ්‍රී ලංකාව උග්‍ර ආර්ථික හා ඉන්ධන අර්බුදයකට මුහුණ දෙන අතරතුරේදී යි. රොකට්ටුවක් මෙන් ඉහළ යන උද්ධමනය හමුවේ මිනිසුන්ගේ හීන දවසින් දවස අඩපණ වෙද්දී විදේශගත වීම එක ම විසඳුම ලෙස දැකීමේ ප්‍රවණතාව ඉහළ යෑම අරුමයක් නොවෙ යි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අවට රාත්‍රියේ දී පවා පෝලිම් තිබුණා – www.aljazeera.com 

මහා නික්ම යෑමක් ද?

33 හැවිරිදි වියේ පසුවන එක්තරා ඇගලුම් සේවිකාවක් කුවේට් දේශයේ රැකියාවකට යාමේ බලාපොරොත්තුවෙන් පාස්පෝට් පෝලිමට පැමිණියේ තම සැමියාට රැකියාව අහිමි වීමෙන් පසුව යි. ඇය ගේ සැමියා අවන්හලක කෝකියෙක් ලෙස සේවය කළා.

“ඉවුම් පිහුම් කර ගන්න ගෑස් නැති නිසා සැමියාට අවන්හල් රැකියාව අහිමි වුණා. ආහාරවල මිලත් දැන් බොහොම වැඩි යි. රැකියාවක් සොයා ගන්නත් දැන් හරි අමාරු යි. රැකියාවක් ලැබුණත් ඒවාට දෙන වැටුප් බොහොම අඩු මට්ටමක තියෙන්නේ.”

 දරුවන් දෙදෙනකු සිටින මවක ලෙස ඇයගේ ආදායම පවුලේ නඩත්තුව සඳහා කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නැහැ.

මෙවැනි හුදෙකලා කතා රාශියක් ඔබට පවා සොයා ගැනීමට අපහසු වන්නේ නැහැ. එදිනෙදා සමාජයේ හැසිරෙන කොයි කාටත් තමාගේ ම කියා කියන්නට කතාවක් තිබෙන තරමට ආර්ථික අර්බුදය උග්‍ර වී හමාර යි. පාස්පෝට් පෝලිමෙන් ඇසෙන හුදෙකලා කතා එක තැනකට ගතහොත්, ආර්ථික අර්බුදයට එහා ගිය කඨෝර සත්‍යයක් ඒවායේ පෙනෙන්නට තිබෙනවා. අර්බුදයෙන් මිදීමට ඇති එක ම මඟ ශ්‍රී ලංකාව හැර යෑම ලෙස මුල් බැස ගනිමින් තිබෙන වාතාවරණයක අපේ ම මිනිසුන් මහා නික්ම යෑමකට සැරසෙනවා ද කියාත් සැක සංකා මතු වෙනවා. සංඛ්‍යා දත්ත දෙස බැලූ විට එවැනි සැකයක් මතු වීම ස්වභාවික යි.

උග්‍ර ආර්ථික අඟහිඟතා හමුවේ විදෙස්ගත වීම එකම විසඳුම ලෙස දකින ප්‍රවණතාව ඉහළ ගොස් තිබෙනවා – www.reuters.com අපි හැමෝම දැන් අර්බුදයක වින්දිතයෝ –  www.reuters.com 

රැල්ලට පාස්පෝට් හැදීම..?

රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව මේ වසරේ ජනවාරි සිටි ජුනි 15 දක්වා කාලය තුළ 329,000 කට අධික පිරිසක් විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කර තිබෙනවා. පසුගිය වසරේ විදේශ ගමන් බලපත්‍ර 382,504 ක් නිකුත් කර ඇති අතර, 2020 වසරේ එම සංඛ්‍යාව 207,692 ක් ලෙස දැක්වුණා. ඒ අනුව පසුගිය වසර දෙකක කාලය නිකුත් කළ ගමන් බලපත්‍ර සංඛ්‍යාවේ ශීඝ්‍ර වැඩි වීමක් දක්නට ලැබෙනවා. 2022 වර්ෂයේ මුල් මාස හය තුළ පමණක් ලක්ෂ තුනකට අධික ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කිරීමෙන් පෙනී යන්නේ වර්ෂය අවසාන වනවිට මෙම අගය වාර්තාගත අන්දමින් ඉහළ යෑමේ හැකියාවක් පවතින බව යි.

මේ සියල්ලන් ම දැන් රට අතහැර ගොස් ඇති බව ඉන් අදහස් වන්නේ නැහැ. විදේශ ගත වීම සඳහා මූලික අවශ්‍යතාවක් වන විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමෙන් පසු ඔවුන් විදෙස් රැකියාවක් සොයා ගැනීම සඳහා විශාල උත්සාහයක් නොදරාවියැ යි කිව හැක්කේ කාට ද? පසුගිය කාලයේ පාස්පෝට් පෝලිම දෙස බලා පැවසූ “රැල්ලට පාස්පෝට් හැදීම” වැනි කතා ප්‍රායෝගික නොවන්නේ ඒ නිසා යි. බරපතල ම ගැටලුව වන්නේ විදෙස්ගත වීමට කිසිදු අදහසක් නොතිබූ අය පවා මෙම පෝලිම්වල කල් මරමින් සිටීම යි. ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අදහස් කරගෙන තිබූ අනාගත සැලසුම් කොපමණ ගණනක් අතහැර ඇද්දැයි කිව හැක්කේ කාට ද? එම සැලසුම් අතහැර දැමීමෙන් රටට සිදු වන බලපෑම තක්සේරු කළ හැක්කේ කෙලෙස ද?

උග්‍ර ආර්ථික අඟහිඟතා හමුවේ විදෙස්ගත වීම එකම විසඳුම ලෙස දකින ප්‍රවණතාව ඉහළ ගොස් තිබෙනවා – www.reuters.com 

දුක යි. ඒත් යන්න වෙනවා!

අනාගත සැලසුම් උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ දිය වී ගිය වෘත්තිකයන් අතර සංචාරක කර්මාන්තයේ නියුතු වූ පුද්ගලයන් ප්‍රමුඛ ස්ථානයක් ගන්නවා. ඔවුන් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නේ පසුගිය පාස්කු ප්‍රහාර මාලාවෙන් ඇරඹුණු කාල සීමාවේ සිට යි. එතැන් පටන් හැකි සෑම ප්‍රයත්නයක් ම යොදා මේ කර්මාන්තය රැක ගැනීමට ඔවුන් උත්සහ කළා. දැන් ඔවුන් සිටින්නේ ඒ වෑයම් අත හරිමින්!

පොළොන්නරුවේ පදිංචි 39 හැවිරිදි චින්තක වෘත්තියෙන් ගෘහ පාලන අධීක්ෂකයෙක් ලෙස සේවය කළ අයෙක්. තම දරු තිදෙනාගේ අනාගතය ගැන වද වෙන ඒ  ඔහු, අකමැත්තෙන් වුණත් විදෙස්ගත වීමේ බලාපොරොත්තුවෙන් පසු වෙනවා.

“ඒක ලෙහෙසි පහසු කාරණයක් නෙවෙයි. මගේ බාලයාගේ වයස යන්තම් අවුරුදු එකහමාරක් විතර යි. ඒත් මං ශක්තිමත් ව ඉන්න ඕනෑ. නැත්නම් මුළු පවුලට ම දුක් විඳින්න සිද්ධ වෙනවා.”

සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම මත සැලකිය යුතු මට්ටමෙන් යැපෙන අපේ රට හැර යන එකම පුද්ගලයා චින්තක නොවෙයි. මේ දක්වා සංචාරක කර්මාන්තයට අහිමි වූ චින්තකලා ගණන 15,000 පමණ වන බව සඳහන් වෙනවා.

“තවත් කට්ටිය යන්න ඉන්නවා. අපි (හෝටල් හිමියන්) ඒ ගැන ඉන්නේ බොහොම කනස්සල්ලෙන්. ඒත්, ඔවුන්ට රැඳෙන්න කියලා බල කරන්න පුළුවන්කමක් අපිට නැහැ. අපි දැන් මුහුණ දෙමින් සිටින්නේ අභියෝගාත්මක කාල පරිච්ඡේදයකට.”

ශ්‍රී ලංකා හෝටල් සංගමයේ හිටපු සභාපතිවරයා ගැටලුවේ ගැඹුර දකින්නේ එලෙසින්.

තම වාරය පැමිණෙන තුරු – www.aljazeera.com

ඉපැයිය නොහැකි විශ්වාසය

මෙරට සංචාරක කර්මාන්තයේ නියුතු වූ බොහෝ වෘත්තිකයන් මාලදිවයින, ඩුබායි, කටාර් හෝ වෙනත් මැද පෙරදිග රටවල රැකියා සෙවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති අතර, කාර්මික ක්ෂේත්‍රවල නියුතු පිරිසෙන් සැලකිය යුතු කොටසක් ද විදෙස් රැකියා සොයන පිරිස අතර සිටිනවා.

මේ වසරේ දැනටමත් ලියාපදිංචි ශ්‍රමිකයන් 138,460 ක් පමණ විදේශගත වී සිටිනවා. පසුගිය වසරේ එම අගය දැක්වුණේ  122,321 ක් ලෙස යි. විදෙස්ගත වී ගෘහ සේවයේ යෙදීමට කැමති කාන්තාවන් ගේ නීත්‍යානුකූල වයස අවුරුදු 25 සිට 21 දක්වා අඩු කිරීමේ යෝජනාවක් පසුගිය ජුනි 20 වැනිදා අමාත්‍ය මණ්ඩලය සම්මත කළ අතර, මේ සියලු ක්‍රියාදාම හරහා විදෙස් රැකියා සඳහා යන සංක්‍රමණික ශ්‍රමිකයන් රජයේ ලියාපදිංචි වීමත් අපේක්ෂා කරනවා. 

ලෝකයේ ඉහළ ම ප්‍රේෂණ ලබන්නනෝ – www.weforum.org 

 රටට විදේශ ප්‍රේෂණ අවශ්‍ය ම මොහොතක විදෙස් රැකියා සෙවීමේ නැඹුරුතාව ඉහළ යෑම යහපත් වුවත්, ලැබෙන විදේශ මුදල් ප්‍රවාහය නිසියාකාරයෙන් කළමනාකරණය කිරීමේ දී ආණ්ඩුව කෙරෙහි මිනිසුන් තබා ඇති විශ්වාසය දරුණු ලෙස බිඳ වැටීම යහපත් දෙයක් නොවෙ යි. ආණ්ඩුවේ වැඩසටහන්වලට එපිටින් ස්වාධීන ක්‍රම හරහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන් වෙතින් විදෙස් මුදල් ගලා ඒම නිසි පරිදි සිදුවේ ද යන්න ද සැක සහිත යි.

නිහඬව ම නික්ම යන අපේ මිනිස්සු

 විදෙස්ගත ව රැකියාවක් කිරීමේ අවශ්‍යතාව සඳහා අතීතයේ පටන් ම ශ්‍රී ලාංකිකයාට උත්තේජනය සැපයූවේ ආර්ථික අගහිඟකම් සහ සිය වෘත්තියට නිසි වටිනාමක් නොලැබීමේ අපේක්ෂා භංගත්වය පමණ යි. ඇතැම් උගත් වෘත්තිකයන් ඉන් එහාට ගොස් ශ්‍රී ලංකාව තුළ අත් විඳිය නොහැකි මානව නිදහසක් සහ නීතියේ විනිවිදභාවයක් අපේක්ෂාවෙන් ද ශ්‍රී ලංකාව අත් හැරියා.

විදේශගත වූ බොහෝ දෙනෙක් සිය සමීපතමයන් ගේ අවශ්‍යතා සඳහා එවූ මුදලට අමතර ව ශ්‍රී ලංකාව තුළ යම් යම් අයෝජන සිදු කිරීමේ ප්‍රවණතා පසුගිය දශකය තුළ දක්නට ලැබුණත්, පවතින ආර්ථික අර්බුදය හමුවේ එවැනි ආයෝජනවල වටිනාකමක් ඔවුන් තවදුරටත් දකිවීදැ යි සහතික කළ නොහැකි යි. අද වනවිට මැද පෙරදිග රටවලට පවා ඇතැම් ශ්‍රමිකයන් සංක්‍රමණය වන්නේ තම දිගු කාලීන සැලැස්මේ එක් අදියරක් වශයෙන්.

2018 දී ඉන්දියාවට වැඩිම විදෙස් මුදල් ප්‍රේෂණය සිදු වූ රටවල් – www.xpressmoney.com 

 ඕස්ට්‍රේලියාව, කැනඩාව සහ යුරෝපා සංගමයට අයත් රටවල් වැනි ජනප්‍රිය සංක්‍රමණ අන්තවල රැකියා වෙළඳපොළට ඇතුළු වීමේ දුෂ්කරතා නිසා ඇතැමුන් මැද පෙරදිග කලාපයට ගොස් ජාත්‍යන්තර ව රැකියා අත්දැකීම් ලබා ගනිමින් සිය සැබෑ සංක්‍රමණ ඉලක්කය සපුරා ගැනීමට උත්සහ කරනවා. මෙම ප්‍රවණතාව දැන් පෙරටත් වඩා වැඩි යි. ඔවුන් උපයන සියල්ල ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට උනන්දුවක් දක්වාවියැ යි සිතිය නොහැකි යි. ඉතින්, අපට මේ වටිනා වෘත්තිකයන් නොදැනීම අහිමි වෙනවා. ඔබ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සේවය කරන කෙනෙක් නම් මේ ගැටලුවේ ගැඹුර අත්දැකීමෙන් ම ඔබ දන්නවා ඇති.

සරලව ම පැවසුවහොත්, ශ්‍රී ලංකාවේ සිදුවන විදේශ සංක්‍රමණය කිසියම් උපාය මාර්ගික සැලැස්මක් අනුව සිදු වන්නේ නැහැ. උපාය මාර්ගික සැලැස්මක් අනුව ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමේ හොඳ ම උදාහරණයක් වන්නේ ඉන්දියාව යි.

ආයෝජන සහ එදා වේල ටුවර්

ඉන්දියාව යනු ලෝකයේ විශාලත ම සංක්‍රමණික ජනගහනයක් සතු රාජ්‍යයක්. ලොව පුරා විහිදුණු දැවැන්ත ඩයස්පෝරාවක් ද ඉන්දියාව සතු යි. ඔවුන් ඒ ඒ රටවල විවිධ ව්‍යාපාර සහ ආයෝජන සිදු කරමින් විශාල පරිමාණයේ රැකියා උපදවන්නන් බවට අද පත් වී තිබෙනවා. 2020 දී මිලියන 17.9 ක් ලෙස දැක්වෙන ඉන්දියානු සංක්‍රමණිකයන් ගෙන් අඩකටත් වඩා ගල්ෆ් කලාපයේ ජීවත් වන අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පමණක් මිලියන 3.5 කට ආසන්න ඉන්දියානුවන් ගණනක් ජීවත් වෙනවා. ඉන්දියාව මෙලෙස ශ්‍රමිකයන් සපයන්නේ ගෘහ සේවය හෝ කම්කරු රැකියා පමණක් ඉලක්ක කරගෙන නොවෙයි. සෞඛ්‍ය සේවා, විද්‍යා සහ තොරතුරු තාක්ෂණ, ඉංජිනේරු, බැංකු සහ මූල්‍ය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඔවුන් පුහුණු ශ්‍රමය ලබා දීමට කටයුතු කරනවා.

කෙනකුට මෙය ඉතා විශාල බුද්ධි ගලනයක් සේ පෙනෙන්න පුළුවන්. නමුත්, කාලයාගේ ඇවෑමෙන් ඉන්දියාවේ බලයට පත් වූ ආණ්ඩු මේ සුවිශාල සංක්‍රමණික ජනගහනය සහ ඉන්දියාව සම්බන්ධ වන ආකාරයේ බහු පද්ධති ගොඩ නැඟීමට සමත් වුණා. ප්‍රේෂණ ලෙස එවන විදෙස් මුදල්, ග්‍රාමීය කුටුම්භවල මූල්‍ය තත්ත්වයන් වැඩි දියුණු කිරීම සහ ආදායම් විවිධාංගීකරණය කිරීම සඳහා උපාය මාර්ගික ව යොදා ගත් අතර, විදෙස් ශ්‍රමිකයන්ට හෝ ඔවුන් ගෙන් පැවත ගෙන එන අයට ඉන්දියාවට පැමිණ හෝ වෙනත් ආකාරයකින් මුදල් ආයෝජනය කිරීමේ පහසුකම් ද ඇති කළා. ඒ අතරතුර නිෂ්පාදන ආර්ථිකය වැඩි දියුණු කිරීමට උත්සහ කළ නිසා ඉන්දියාව තුළ විශාල පරිමාණයෙන් රැකියා උත්පාදනය වූ බැවින්, මහා පරිමාණ බුද්ධි ගලනයෙන් සිදු වන අනිසි ප්‍රතිඵලවලට මුහුණ දුන්නේ නැහැ.

වැඩිම සංක්‍රමණිකයන් සංඛ්‍යාවක් දරාගෙන සිටින රටවල් සහ මිනිසුන් වැඩිපුර විදෙස්ගත වීමේ ප්‍රවණතාව ඇති රටවල් – www.statista.com

විදෙස් ප්‍රේෂණ, අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය හෝ එදිනෙදා අවශ්‍යතා සඳහා යොදා ගැනීම වැනි ප්‍රාථමික ක්‍රියාකාරකම්වලට පමණක් ලඝු නොකොට, සිය විදෙස්ගත ශ්‍රමිකයන් වටිනා ආයෝජන බවට පත් කර ගැනීමට ඉන්දියාව සමත් වුණා. අද ඉන්දියානුවන් ලෝකයේ කුමන රටකට සංක්‍රමණය වුවත්, සේවය කරන්නේ ඉන්දියාව වෙනුවෙන්. ඊට හොඳ ම උදාහරණය වන්නේ 2021 දී ඉන්දියාවට ලැබුණු දැවැන්ත විදෙස් ප්‍රේෂණ අගය යි. අමෙරිකානු ඩොලර් බිලියන 87 ක් පමණ වන මෙම ප්‍රේෂණ, ලෝකයේ විශාලත ම මුදල් ප්‍රවාහයක් ලෙස සැලකුණා. ලෝක බැංකුවට අනුව මෙම ප්‍රවාහය, අඩු සහ මධ්‍යම ආදායම් ලබන සියලු ම රටවල සිදුවන ගෝලීය හුවමාරුවලින් 15% කට ආසන්න යි. 

අපිට සැලැස්මක් තිබුණ ද?

ශ්‍රී ලංකාවේ විදෙස් ශ්‍රමිකයන් රටේ උන්නතිය වෙනුවෙන් සැකසූ උපාය මාර්ගික සැලැස්මක කොටසක් වශයෙන් විධිමත් වූ ආකාරයක් දකින්නට නැහැ. මෙවැනි සන්දර්භයක දිගින් දිගට ම ශ්‍රී ලාංකිකයන් විදෙස්ගත වීමෙන් බුද්ධි ගලනයක අනිසි ප්‍රතිඵල අපට අත්දැකීමට සිදුවන්නේ නිරායාසයෙන් ම යි. රට හැරයන පුද්ගලයන් අතර බොහෝ ක්ෂේත්‍රවල අත්දැකීම් බහුල වෘත්තීයවේදීන් ද සිටින බව අමතක නොකළ යුතු යි. ඔවුන්ට පෙරළා සිය රටට උදව් කරමින් ප්‍රතිලාභ ලැබිය හැකි ආයෝජන වටපිටාවක් හෝ ශක්තිමත් ආර්ථිකයක් රට තුළ නැත්නම්, සැලකිය යුතු මට්ටමකින් විදෙස් ප්‍රේෂණ එවීමට දිරිමත් වන්නේ ද නැහැ.

රටක සංවර්ධනය තීන්දු කරන මූලික සාධක තුනක් තිබෙනවා. රටකට හිමි භෞතික සම්පත් ප්‍රමාණය, ප්‍රාග්ධන ශක්තිය සහ මානව සම්පත ලෙස මෙම සාධක තුන  දැක්විය හැකි යි. නූතන ලෝකය තුළ වඩාත් වැදගත් ම සාධකය වන්නේ මානව සම්පත යි. රටක ජනගහනය මානව සම්පත ලෙස නොසලකන අතර, මානව සම්පත ලෙස සලකන්නේ පුහුණු ශ්‍රමය යි. වර්තමානයේ දී පුහුණු ශ්‍රමය ඉල්ලුම ඇති කලාපවලට යවා ආදායම් ගෙන්වා ගැනීම බොහෝ රටවල සිදු වුණත්, ඒ ඒ රටවල දේශපාලන වාතාවරණය අනුව විදෙස් ප්‍රේෂණවල පලදායීතාවත් වෙනස් වෙනවා. ඕනෑම ක්ෂේත්‍රයක් නියෝජනය කරන දක්ෂ ශ්‍රී ලාංකික වෘත්තිකයන් ලෝකය පුරා සිටියත්, ඔවුන් ගෙන් නිසි ප්‍රතිලාභ අපට ලබාගත නොහැකි වූයේ මේ දේශපාලන වාතාවරණය නිසා යි.

 අප මේ දිනවල අත් විඳිමින් සිටින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස විදෙස්ගත ශ්‍රමිකයන් වැඩි කිරීම සත්‍යයක් වන්නේ අර්ධ වශයෙන්. ආපසු එන්නට හිතෙන රටක් පමණක් නොව, කලාපයේ ආයෝජනයට සුදුසු ම රටක් බවට ශ්‍රී ලංකාව පත් වූ විට ඉතිරි අර්ධයත් සත්‍යයක් ලෙස දැකීමට හැකි වේවි. 

කවරයේ ඡායාරූපය: ශ්‍රී ලංකාව මුහුණ දෙන උග්‍ර ආර්ථික අර්බුදයත් සමඟ විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමේ උනන්දුවත් ශීඝ්‍ර ලෙස වැඩි වුණා - letizo.com

මූලාශ්‍ර:

 www.theguardian.com

 www.reuters.com 

 mawbima.lk 

 www.dinamina.lk 

Related Articles