ලංකාවේ පැරණි ම සෙල්ලිපි හමු වන මිහින්තලේ

දෙවන පෑතිස් රජ කළ ක්‍රි.පූ 247 දී මහින්ද මහ­ර­හ­තන් වහන්සේ ප්‍රමුඛ ධර්ම­දූ­ත­යන් පිරිස පොසොන් පුන් පොහෝදා මිහි­න්ත­ලේට වැඩම කර­වී­මෙන් පසුව මිහි­න්තලේ බුදු­ද­හමේ තොටිල්ල බවට පත් වුණා. ­මිහින්තලේ කඳුවැටිය ආශ්‍රිත ඝන වනාන්තරය ඉන් පසු භික්ෂුන් වහන්සේට සෙවණ දුන් ලෙන් ආශ්‍රමයක් බවට පත් වුණා.

මෙම පූජනීය ස්ථානයේ ඓතිහාසික වෙනස්කම් ගැන නිශ්චිත ව හෙළි කරන මූලාශ්‍ර විදිහට මිහින්තලේ හමු වන සෙල්ලිපි හඳුන්වන්නට පුළුවන්. ලෙන්වල කෙටූ සෙල්ලිලි වගේ ම ගල්පර්වතවල කෙටූ ගිරි ලිපිත්, ගල් පුවරුවල කෙටූ පුවරු ලිපිත් මිහින්තලෙන් හමුවෙනවා.

 මිහින්තලේ කන්දට පිවිසෙන පියගැට පෙළ-N.H. Samarasingha, Archaeology.lk

ඓතිහාසික පසුබිම

මහා­වං­සයේ සඳ­හන් වන ආකා­ර­යට මිහි­න්ත­ලාව මුලින් ම හඳුන්වා තිබෙන්නේ චේති­ය­ගි­රිය කියල යි. මහින්ද මහ රහ­තන් වහන්සේ සමඟ මෙර­ටට වැඩම කළ සුමන සාම­නේර හිමි­යන් රැගෙන ආ ධාතූන් වහන්සේ මිහි­න්ත­ලාවේ වඩා­ හි­ඳු­වා දාගබ් ඉදි කළ අතර එහි සෑම කඳු මුදුනක ම දාගබ් තනා තිබෙනවා. චෛත්‍ය පර්ව­තය හෙවත් චේති­ය­ගි­රිය හෙවත් සෑගි­රිය ලෙස මේ කන්ද අනුරාධපුර යුගයේ හඳුන්වා තිබෙන්නේ ඒ නිස යි. අදත් මේ දාගබ්වල කටබුන් අපට දැකගත හැකි යි.

 ලෙන්වල කෙටූ ලංකාවේ පැරණිම අකුරු-N.H. Samarasingha, Archaeology.lk

මිහින්තලේ සෙල්ලිපි

ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ බුදුදහම ලැබුණු කාලයට ආසන්න කාලයේ සිට අනුරාධපුර රාජධානියේ දියුණු ම කාලය වුණු 10 වැනි සියවස දක්වා සෙල්ලිපි මිහින්තලෙන් හමුවෙනවා. 10 වැනි සියවසින් පසු මිහින්තලෙන් සෙල්ලිපි හමුවන්නේ නැහැ. ඉන් ටික කලකට පසු රාජධානිය අනුරාධපුරයෙන් පොළොන්නරුවට සංක්‍රමණය වීමත් සමඟ, මිහින්තලය හා සම්බන්ධව වැදගත් සිදුවීම් දක්නට නොමැතිවීම නිසා එසේ සෙල්ලිපි කෙටීම නැවතෙන්නට ඇති බව පේනවා. ලංකාවේ පැරණි ම සෙල්ලිපි හමුවන්නේත් මිහින්තලයෙන්.

ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ පටන් ක්‍රිස්තු වර්ෂ පළමු සියවස දක්වා වූ කාල පරිච්ඡේදයකට වැටෙන සියවස් හතරකට අයත් වන බ්‍රාහ්මී සෙල්ලිපි 106ක් පමණ මිහින්තලා භූමියෙන් සොයා ගෙන තිබෙනවා. සමහර ලෙන්වල කටාරම අසලත් ලෙන තුළත් ලිපි කොටා තිබෙනවා. සමහර ලෙන්වල සෙල්ලිපි කිහිපයක් ද දැක ගත හැකි යි. මිහින්තලා කන්ද රාජගිරි ලෙන කන්ද, මිහින්තලා ආනයිකුට්ටි කන්ද සහ ඇත්වෙහෙර කන්ද යන තැන්වල සෙල්ලිපි හමු වෙනවා.

එම ශිලාලේඛන සියල්ලක් ම පාහේ බ්‍රාහ්මී අක්‍ෂරවලින් නිර්මාණය කර ඇති අතර, ක්‍රිස්තු වර්ෂ දහවන සියවසේ රචිත මිහින්තලේ පුවරු ලිපිය මේ සියලූ ම සෙල්ලිපි අතරින් දීර්ඝත ම වූත්, ප්‍රශස්ත වූත් ලේඛනයක් වශයෙන් වැදගත් වෙනවා. ඒවාට අමතර ව කණ්ඨක චේතිය, සේල චේතිය, ඇත්වෙහෙර කන්ද යන තැන්වලින් සෙල්ලිපි හමු වී තිබෙන අතර ඉඳිටකටු සෑය දාගබ කැණීමේ දී තඹ තහඩුවල කෙටූ ලේඛන හමුවුණා.

 පුරාණ ආවාස වුණු ලෙන්-lanka -excursions- holidays.com

ලෙන් වලින් හමුවෙන බ්‍රාහ්මී ලිපි

මිහි­න්තලේ දක්නට ලැබෙන පැර­ණි ම වාස්තු­විද්‍යා නිර්මාණ අත­රට අට­සැට ලෙන් වශ­යෙන් හඳු­න්වන ලෙන් ආරාම අයත් වෙනවා. ආර­ම්භයේ දී සංඝාරාම ඉදිකිරීමේ සිරිතක් නොපැවති නිසා මහින්ද මහ රහත්න් වහන්සේ ඇතුළු භික්‍ෂූන් වහන්සේ කඳු බෑවුමේ පිහිටි එම ලෙන්වල වැඩ­වා­සය කළ බව මහා­වං­සයේ සඳ­හන් වෙනවා. රජවරුන් සහ ප්‍රභූවරුන් මෙන් ම උපාසක උපාසිකාවන් ද එම ලෙන් පිරිසුදු කර වැසි ජලය ගුහාව තුළට පැමි­ණීම වලක්වා කටාරම් කොටවා භික්ෂුන්ට පූජා කළ බව සඳහන් කිරීමටයි ලෙන් ලිපි කොටා තිබෙන්නේ. එම ලෙන් සකස් කර භික්‍ෂු සංඝයා සඳහා පූජා කළ පුද්ග­ල­යාගේ විස්තර ද කටා­ර­මට පහ­ළින් සෙල්ලිපියේ සඳ­හන් කර තිබෙනවා.

සෙන­රත් පර­ණ­වි­තානයන් රචනා කර ඇති Inscriptions of Ceylon Vol. I ග්‍රන්ථයේ සඳ­හන් තොර­තුරු අනුව මිහි­න්තලේ ආරාම සංකී­ර්ණයේ පූර්ව බ්‍රාහ්මී හා අපර බ්‍රාහ්මී ලෙන් ලිපි 75ක් පමණ පව­තින බව වාර්තා කර තිබෙනවා. මහාචාර්ය ආරිය ලගමුව මිහින්තලේ සෙල්ලිපි ග්‍රන්ථයේ අලුතින් සොයාගත් ලිපි ද ඇතුළත් ව ලෙන් ලිපි 106ක් ගැන විස්තර කරනවා.

 අටසැටක් ලෙන් අතර ලෙනක් – youtube.com

 

එම සෙල්ලිපි අනුව හෙළීවන්නේ මහ­රජ, ගපති (ගෘහපති), උප­ශික (උපාසක), පරු­මක (ප්‍රමුඛ පුද්ගයන්), බත, ගමික (ගම් ප්‍රධානින්), ගමණි (ගාමිණීවරු) සහ බ්‍රාහ්මණ යන පදවි දැරූ පුද්ග­ල­යන් එම ලෙන් පූජා කර ඇති බව යි. මිහි­න්තලේ ඇති පූර්ව හා අපර බ්‍රාහ්මී අභි­ලේ­ඛන අතර රාජ­කීය පද­විය සහිත මහ­රජ හෝ රජ පද­විය දැරූ පුද්ග­ල­යන් ද කිහිප දෙනෙක් සිටිනවා. මහ­රජ ගමණි තිස්ස, දෙව­න­පිය මහ­රජ, දීප­රජ, ගමණි ධම්ම­රජ, ගමණි උති මහ­රජ යනු­වෙන් සඳ­හන් වන රජ පදවි දැරූ පුද්ග­ල­යන් ගැන එහි  දැක්වෙනවා.

දෙවන පිය ගමණි තිස යනුවෙන් රජවරුන් කිහිපදෙනෙක්ම පාවිච්චි කළ නිසා මෙහි දෙවන පෑතිස් රජුගේ නම තිබේදැයි නිශ්චිත ව පැවසීම අසීරු යි. මෙහි ගමණි උති මහරජ ලෙස සෙල්ලිපිවල දක්වා ඇත්තේ දේවානම්පියතිස්සගෙන් පසු ව රජ වූ ඔහුගේ සොයුරු උත්තිය රජු බව මහාචාර්ය පරණවිතාන සඳහන් කරනවා.

මේ ඔහුගේ නම සඳහන් සෙල්ලිපියක්:
‘‘ගමණි උත මහරජහ ජිතබි තිශය ලෙණෙ දශ දිශශ ශගශ දිණෙ
ගාමිණී උත්තිය මහරජුගේ දුව තිස්සා කුමරියගේ ලෙන දසදිග සංඝයාට දෙන ලදී‘‘

 මිහිඳු රජුගේ ලිපි පිහිටුවා ඇති ආකාරය- wikipedia.org

මිහිඳු රජුගේ පුවරු ලිපි

මෙම පුවරු ලිපි දෙක මිහින්තලේ කඳු පාමුල දාන ශාලාව අසල දී කාටත් දැකගත හැකි පරිදි සවිකර තිබෙනවා. පුරාණයේ එය සවිකළ පරිදි ම අදත් පවතිනවා.
පැත්තක පේළි පනස්අට බැගින් යුක්ත ව මටසිළුටු කර ගත් ගල්පුවරු දෙකක කෙටා ඇති මේ සෙල්ලිපිය මඟින් පුරාණ තොරතුරු රාශියක් හෙළි වෙනවා. සිරිසඟබෝ අභය මහ රජතුමා හෙවත් සිව්වන මිහිඳු (ක්‍රිස්තු වර්ෂ 956-972) රජ සමයෙහි මිහින්තලා සෙල්ලිපිය නිර්මාණය වූ බව සෙල්ලිපියෙහි ම සඳහන්.

සෙල්ලිපියෙහි අක්‍ෂරයක් අඟලත්, අඟල් එකයි කාලත් අතර විශාලත්වයකින් යුක්ත යි. දැනට හමුවන සුවිශාල ම සෙල්ලිපියක් ලෙසත් වැදගත් වන මේ ලේඛනය මඟින් එම යුගයේ විහාර පාලනයේ සංවිධානාත්මක බව පිළිබිඹු කරනවා.

පුවරු ලිපි අංක එක මගින් විහාර ආදායම් වියදම්වල සම්පූර්ණ ගිණුම් පිළියෙළ කිරීම සම්බන්ධ ව සඳහන්. ආදායම් හා වියදම් වාර්තා පවත්වා ගැනීම, මාසික ගිණුම් පිළියෙළ කිරීම, වාර්ෂික ගිණුම් පිළියෙළ කිරීම හා ප්‍රසිද්ධියට පත් කිරීම ආදිය මෙමඟින් රාජ නීතියක් බවට පත්කර තිබෙනවා.

 සෙල් පුවරුවේ තවමත් පැහැදිලි අක්ෂර- lanka -excursions- holidays.com

 

පුවරු ලිපි අංක දෙකේ සටහන් කර ඇත්තේ චේතියගිරි විහාරයේ (මිහින්තලය) පාලක ස්වාමීන් වහන්සේ හා සෑම තරාතිරමක ම සේවකයන් වෙනුවෙන් ලබා දිය යුතු දීමනා නියම කිරීම හා එම දීමනා සම්බන්ධ තොරතුරු යි. එය මිහින්තලා විහාරාරාම පරිපාලනය, භික්ෂූන්වහන්සේ කෙරේ බලපවත්වන නීති රීති, භික්ෂූන් සම්බන්ධ විෂයයෙහි රාජ්‍ය මැදිහත්වීම්, අරම්වැසි සේවක කාරකාදීන්ගේ වේතන හා දීමනා, ආරාමික ආදායම් මාර්ග හා වෙහෙර දාගෙය ආදී වශයෙන් විහාර බිමේ ම පරිපාලන කටයුතු පිළිබඳ තොරතුරු රාශියක් අඩංගු යි.

මෙම ලිපිවලට අනුව එකල මිහින්තලේ විහාරයේ සේවකයන් 170 දෙනකු සිටි බව පැවසෙනවා. විහාරය සතු ඉඩකඩම් කිසිම විටක උගස් නොකළ යුතු බවත් මෙහි සඳහන් කරුණක්.

 සේල චේතිය -lanka -excursions- holidays.com

සේල චේතිය සෙල් ලිපිය

මිහින්තලේ වටදාගෙය සහිත කුඩා දාගබ සේල චේතිය යි. එම දාගබ් මළුවේ ගල්පව්වක මෙම සෙල්ලිපිය කොටා තිබෙනවා. එය අඩි 27ක් දිගින් ද, අඩි 15ක් පළලින්ද යුක්ත යි. ගල මට්ටම් කර අකුරු පේළි 19ක් කොටා තිබෙනවා. මෙම සෙල්ලිපිය කරවා ඇත්තේ මහාදාඨික මහානාග රජු බව පරණවිතානගේ පිළිගැනීම යි. විහාරයට පූජා කළ වැව්, ගම් හා ඉඩම් සමූහයක් ගැන විස්තර මෙහි ඇතුළත්. මෙහි ඇතුළත් දීමනා මිහින්තලේ වැඩසිටින භික්ෂුන්ට පමණක් නොව සතරදිගින් වඩින භික්ෂූන්ට ද හිමිවිය යුතු බව දක්වා තිබෙනවා.

 කඳු මත පිහිටි ඇත්වෙහෙර – lanka -excursions- holidays.com

ඇත් වෙහෙර කන්ද සෙල්ලිපිය

මිහින්තලේ කඳු යායේ වැඩි ම උසකින් පිහිටි ඇත්වෙහෙර කන්ද මත කුඩා නටබුන් දාගබක් දැක ගත හැකි යි. මෙහි දාගබට ගොඩවීම සඳහා කළුගල් පියගැට පෙළක් ඉදිකරවා තිබෙනවා. පියගැට පෙළ පසෙක පර්වතයේ තමයි සෙල්ලිපිය කොටා තිබෙන්නේ. පේළි හතරකින් යුත් සෙල්ලිපියේ අරමුණ වන්නේ පරිභණ්ඩ නම් ස්තූපයට දුන් දීමනා ගැන පැවසීම යි. වලදන නම් ගමෙන් රජයට ගෙවිය යුතු ආදායම් මාර්ග දෙකක් සහ උපලව නම් වැව යටතේ තිබුණු කුඹුරු ද නක මහරජු   විහාරය වෙනුවෙන් වෙන්කර තිබෙනවා. මෙහි සඳහන් වන රජු මහාදාඨික මහානාග රජු යි.

කවරයේ ඡායාරූපය  - මිහින්තලේ වන්දනාවට පැමිණි භික්ෂුන් වහන්සේ - lanka -excursions- holidays.com 

මූලාශ්‍ර:
මිහින්තලේ සෙල්ලිපි- ආරිය ලගමුව
dinamina.lk
silumina.lk 

Related Articles