Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජාතික පොලිස් කොමිෂන් සභාව ඔබ වෙනුවෙනි

ජාතික පොලිස් කොමිෂන් සභාව කියන්නෙ මොකක්ද, ඒ හරහා සිද්ධ වෙන්නෙ මොකක්ද කියන කාරණා ගැන කතා කිරීම තමයි මේ ලිපියේ අරමුණ. නමුත් පොලිස් කොමිෂම ගැන විවේචනයක් හෝ එහි වැරැදි අඩුපාඩු  ගැන සාකච්ඡා කරන්න මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ජාතික පොලිස් කොමිෂන් සභාව හරහා සිද්ධ වෙන්නෙ මොනවාද කියන එක සම්බන්ධයෙන් පාඨක ඔබව දැනුවත් කිරීම පමණයි මේ ලිපිය හරහා අප බලාපොරොත්තු වෙන්නෙ.

පොලිස් කොමිෂම කියන්නෙ මොකක්ද ?

සරළව ම කිව්වොත් පොලිස් නිලධරයකුට හෝ පොලිස් සේවයට විරුද්ධව මහජනයාගෙන් ලැබෙන පැමිණිලි සහ අතෘප්තියට පත් යම් තැනැත්තකු විසින් ඉදිරිපත් කරනු ලබන පැමිණිලි භාර ගැනීමේ හා ඒවා විමර්ශනය කිරීමේ කාර්ය පටිපාටි ය තමයි මූලික වශයෙන් පොලිස් කොමිෂම හරහා සිද්ධ වෙන්නෙ.

අපි බලමු පොලිස් කොමිෂමේ අරමුණු සහ දැක්ම මොන ආකාරයේ එකක්ද කියලා. ඔවුන් විසින් අරමුණු තුනක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ තමයි,

  1.    පොලිස් සේවාවේ මානව සම්පත් ඵලදායී ලෙසත්, කාර්යක්‍ෂම ලෙසත්, කළමණාකරණය කිරිම තුලින් ගුණාත්මක ප්‍රතිපත්ති සහ යහපත් පරිචයන් ක්‍රියාවට නංවමින් වෘත්තීයමය වශයෙන් උසස් සහ තෘප්තිමත් පොලිස් සේවයක් ඇති කිරීම.
  1.    කිසිදු නොමනා අගතියකින් හෝ අනුග්‍රහයකින් මෙන්ම වෙනස් කොට සැලකීමකින් තොරව මානව අභිමානය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ අරමුණ ඇතිව පොලිසියට ඵරෙහිව ඇති මහජන පැමිණිලි වේගවත්ව විමර්ශනය කිරීම මගින් මහජන අභිලාශයන්ට ප්‍රතිචාර දැක්වීම සහ වගවීම.
  1.    මානව සුරක්ෂිතතාව ඇති කිරීම සහ අපරාධ වැළැක්වීම අවධාරණය කරමින්, වෙනත් පාර්ශවකරුවන් සමඟ සමීප සහයෝගීතාවයකින් යුක්තව විවිධ පියවරයන් සැලසුම් කරමින් සහ ක්‍රියාවට නංවමින් පොලිස් සේවයේ කාර්යක්ෂමතාව සහ ස්වාධීනත්වය වැඩි දියුණු කිරීම සඳහා සාකල්‍යමය ප්‍රවේශයක් අනුගමනය කිරීම.

පොලිස් කොමිෂමේ දැක්ම බවට පත් වෙලා තිබෙන්නෙ,  විශ්වසනීය වූත්, ස්වාධීන වූත්, වෘත්තීයමය පොලිස් සේවාවක් තුළින් සුරක්ෂිත, නිරුපද්‍රිත සහ සාමකාමී සමාජයක්  බිහි කිරීම කියන කාරණය. ඊට අමතරව මානව අයිතිවාසිකම් වලට ගරු කරන සහ සුරකින, මහජන වගවීම සහතික කරන, නීතියේ ආධිපත්‍ය දිරිගන්වන, කාර්යක්ෂම, පාරදෘශ්‍ය සහ මහජන අභිලාශයන්ට ප්‍රතිචාර දක්වන සේවාවක් ලෙසට ශ්‍රී ලංකා පොලිසිය පරිණාමනය කිරීම තමයි පොලිස් කොමිෂමේ මෙහෙවර බවට පත් වෙලා තිබෙන්නෙ.

පොලිස් කොමිෂමට පැමිණිලි කළ හැක්කේ කෙසේද?

අපි දැන් බලමු පොලිස් කොමිෂමේ වැඩ කටයුතු සිද්ධ වෙන්නෙ කොහොමද කියලා. මූලික වශයෙන් පොලිස් නිලධරයකුට හෝ පොලිස් සේවයට විරුද්ධව මහජනයාට පොලිස් කොමිෂමට පැමිණිලි කළ හැකි අවස්ථා දෙකක් තිබෙනවා. ඒ අනුව අගතියට පත් වූ අයකුට තමන් අගතියට පත් වුණ ආකාරය පිළිබඳව පොලිස් කොමිෂමට පැමිණිලි කරන්න පුළුවන්. දෙවෙනි අවස්ථාව තමයි  අගතියට පත් වූ අයකු වෙනුවෙන් ක්‍රියා කරන්නකු හෝ අගතියට පත් වූවකු වෙනුවෙන් ක්‍රියා කරන සංවිධානයකටත් මේ පොලිස් කොමිෂමට පැමිණිලි කළ හැකියි.

එතනදි පොලිස් කොමිෂම විසින් මූලිකව බාර ගන්නෙ, පොලිස් නිලධාරීන් විසින් නිල තත්ත්වයෙන් කරන විවිධ අසාධාරණකම් සහ අනීතික ක්‍රියා පිළිබඳව වූ පැමිණිලි. මහජන පැමිණිලි බාර ගැනීම සහ විමර්ශනය කිරීම සඳහා මහජන පැමිණිලි විමර්ශන අංශයක් අධ්‍යක්ෂවරයෙකු‍ගේ මූලිකත්වයෙන් පිහිටුවා තිබෙනවා. ඊට අමතරව පළාතකට එක බැගින් පළාත් අධ්‍යක්ෂවරු නව දෙනෙක් පත්කරලා තිබෙනවා. මෙම ක්‍රියාවලියට සහාය වීම සඳහා එක් එක් පළාත් කාර්යාල සඳහා විමර්ශන නිලධාරියකුත්  අනුයුක්ත කරලා තිබෙනවා.

පොලිස් කොමිෂම විසින් පොලිස් නිලධාරීන්ට එරෙහිව භාර ගනු ලබන පැමිණිලි වර්ග විසි පහක් ඉතා පැහැදිළිව සහ සෘජුව ප්‍රකාශයට පත් කරළා තිබෙනවා. එම පැමිණිලි වර්ග විසි පහ කරුණු වශයෙන් නම් කිරීම වැදගත් වෙයි කියලා හිතෙනවා.

  1.    මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ ක්‍රියා.
  1.    පොලිස් රැකවරණයේ/ අත්අඩංගුවේ සිටියදී සහ පොලිස් නිලධාරියෙකුගේ කිසියම් ක්‍රියාවක් මගින් මහජනයාගෙන් කෙනෙකුට වද හිංසා පැමිණවීම සහ හෝ කෘර අමානුෂික හෝ අවමන් ලෙස සැලකීම සහ  තුවාල සිදු කිරීම පිළිබඳ චෝදනා.
  1.    පොලිස් රැකවරණයේ/ අත්අඩංගුවේ සිටියදී පුද්ගලයකු මරණයට පත් වීම.
  1.    පොලිස් නිලධරයකු විසින් උසාවියට අසත්‍ය නඩු ඉදිරිපත් කිරීම සහ ව්‍යාජ වාර්තා හා ප්‍රකාශ ඉදිරිපත් කිරීම.
  1.    ජනමාධ්‍ය මගින් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා පුළුල් ප්‍රසිද්ධියක් ලබා දෙන මහජන අවධානය දිනා ගත් කිසියම් චෝදනාවක්.
  1.    පොලිස් නිලධාරීන් විසින් කරන ලද සංඥා වැරදි.
  1.    විමර්ශනයට ලක් කෙරන සිද්ධීන් හෝ විනය පරීක්ෂන හෝ අධිකරණ නඩු වලදී ඔවුන් විසින්ම හෝ යොදාගත් අතරමැදියන් විසින් සෘජුවම අපරාධයට ලක්වූවන් හා සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් මැදිහත් වීම. ඔවුන් බිය ගැන්වීම හා ඔවුන්ට තර්ජනය කිරීම.
  1.    වෛද්‍ය නිලධාරියෙකු හෝ ඕනෑම රාජ්‍ය නිලධාරියෙකු අසත්‍ය වැරදි වාර්තා ඉදිරිපත් කිරීමට හෝ රාජකාරී පැහැර හැරීමට බලයෙන් නම්මවා ගැනීම හෝ බිය ගැන්වීම සාක්ෂි හෝ වාර්තා විනාශ කිරීමට දරණ ඕනෑම ප්‍රයත්නයක්.
  1.    බලය අනිසි ලෙස යෙදීම, රාජකාරී පැහැර හැරීම සහ රාජ්‍ය සේවයට අපකීර්තියක් ගෙන දෙන ක්‍රියා.
  1.    පොලිස් නිලධාරීන් විසින් වෙඩි තැබීමේ සිද්ධීන්.
  1.    නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම.
  1.    පැමිණිලි සටහන් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම.
  1.    පහර දීම බිය ගැන්වීම අපයෝජනය සහ තර්ජනය කිරීම.
  1.    ප්‍රශ්නයක් සටහන් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම/ අසමත් වීම / කල් දැමීම.
  1.    සටහන් කර ඇති ප්‍රකාශ වල කරුණු හිතාමතා විකෘති කිරීම.
  1.    වාර්තා මකා දැමීම හෝ වෙනත් ආකාරයකින් වෙනස් කිරීම මගින් වාර්තා පවත්වාගෙන යාමට අපොහොසත් වීම.
  1.    රාජකාරී කටයුතු සිදු කිරීමේදී දේශපාලන පක්ෂවල සාමාජිකයන් වෙත පක්ෂපාතීත්වය දැක්වීම.
  1.    පොලිස් නිලධාරියකු විසින් සිදු කරන  විෂමාචාරයක් හේතුවෙන් සාධාරණ යුක්තියක් ඉටු නොවීම.
  1.    පොලිස් නිලධාරියකු හෝ පොලිස් වාහනයක් සම්බන්ධ වන මාරක රිය අනතුරු.
  1.    පොලිස් සේවයේ දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් කොට්ඨාස හා දිස්ත්‍රික්ක භාර නිලධාරීන් පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහ සාමාන්‍ය පොලිස් නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය.
  1.    චූදිත පුද්ගලයන්ට එරෙහිව දෝෂ සහගත හෝ අසම්පූර්ණ සාපරාධී චෝදනා ඕනෑකමකින් ඉදිරිපත් කිරීම.
  1.    සාමාන්‍ය ගාස්තු ගෙවීමෙන් පසු යම් පුද්ගලයකුට පොලිසියට කරන ලද ප්‍රකාශ වල ලබා ගත හැකි සහතික කළ පිටපත් ලබා දීම අනවශ්‍ය ලෙස ප්‍රමාද කිරීම.
  1.    පැමිණිලිකරුවන් හෝ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයක් කරනු ලැබීම අධෛර්යමත් කිරීම.
  1.    පැමිණිලිකරුවන්ට හෝ සාක්ෂිකරුවන්ට අසභ්‍ය වශයෙන් බැණ වැදීම තර්ජනය කිරීම හෝ බිය වැද්දීම.
  1.    කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පොලිසිය විසින් පක්ෂපාතීත්වය දැක්වීම සහ ක්‍රියා නොකිරීම.

මෙන්න මේ ආකාරයේ ක්‍රියාවන්ට එරෙහි පැමිණිලි ලිඛිතව සකස් කරලා තමයි පොලිස් කොමිෂමට ඉදිරිපත් කළ යුත්තේ. ඒ විදියට ලිඛිතව සකස් කරන පැමිණිල්ලේ මෙන්න මේ කියන කරුණු අනිවාර්යයෙන්  සදහන් කරන්න අවශ්‍යයි.  ඒ තමයි පැමිණිල්ල කරන අයගේ නම හා ලිපිනය, අගතියට පත් වූයේ වෙන අයෙකු නම් ඔහුගේ නම හා ලිපිනය, සිද්ධිය වූ දිනය වේලාව ස්ථානය, සිද්ධිය පිළිබඳ විස්තරය, සාක්ෂිකරුවන්ගේ නම් හා ලිපිනයන්, සාක්ෂි ලෙස ඉදිරිපත් කරන ලේඛණ පිළිබඳ විස්තරය, මීට පෙර වෙනත් ආයතනයකට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත්ද යන්න.

පැමිණිලි සඳහා ලබා දෙන ප්‍රතිකර්ම

මෙන්න මේ ආකාරයට පොලිස් කොමිෂමට පැමිණිලි කළායින් පසුව එම පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පැමිණිලි විමර්ශනය භාර අධ්‍යක්ෂවරයා වෙත යොමු කරනවා. ඔහුගේ විමර්ශනයෙන් පසුව මෙන්න මේ ප්‍රතිකර්ම සුදුසු පරිදි ලබා දෙනවා.

  1.     අගතියට පත් වූ පාර්ශවය සම්බන්ධයෙන් නියමිත පරිදි රාජකාරී ඉටුකර දීමට මැදිහත් වීම.
  1.    විනය විරෝධී ක්‍රියා කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීම සඳහා පොලිස්පතිවරයාට යොමු කිරීම.
  1.    විනය විරෝධී ක්‍රියා කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව දැනුවත් කිරීම.

පොලිස් කොමිෂම සතු බලතල ගැන සඳහන් කිරීමත් මෙතනදී ඉතාම වැදගත්.  ඉහත සාකච්ඡා කරපු කාරණාවලට අදාලව ඒ පැමිණිලි විමර්ශනය කිරීමේදී සහ ඊට අදාල ක්‍රියාමාර්ග ගැනීමේදී පොලිස් කොමිෂමට තිබෙන බලතල ඉතා ඉහළයි. පොලිස්පතිවරයා හැර පොලිස් නිලධරයන් පත් කිරීමට, උසස් කිරීමට,මාරු කිරීමට, ඔවුන් විෂයෙහි විනය පාලනය පවත්වාගෙන යාමේ සහ ඔවුන් සේවයෙන් පහ කිරීම වැනි විශේෂිත වූ බලතල ගණනාවක් පොලිස් කොමිෂම වෙත හිමියි.

පොලිස් කොමිෂමට බලපෑම් කළ නොහැකි බව

නීත්‍යනුකූල කාර්යය ඉටු කිරීමකදී හැර කොමිෂන් සභාවේ යම් තීරණයකට කෙලින්ම හෝ වක්‍රව කිසිම පුද්ගලයකුට බලපෑම් කරන්න බාධා කරන්න බැහැ. එහෙම කළොත් ඕනෑම තැනැත්තකු වරදකරුවෙක් ලෙස සළකනවා. එහෙම වරදකරුවකු වූ තැනැත්තකුට රුපියල් ලක්ෂයක දඩයකට හෝ අවුරුදු හතක් නොඉක්මවන කාලයකට බන්ධනාගාර ගත වෙන්න සිද්ධ වෙනවා. එසේත් නොමැතිනම් අදාල දඩය සහ බන්ධනාගාර කිරීම යන දඩුවම් දෙකටම යටත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා කිසිම පුද්ගලයකුට කොමිෂන් සභාවේ කටයුතු වලට, තීරණ වලට කුමන හෝ ආකාරයකින් බලපෑම් කළ නොහැකියි. ඒක වරදක්. මීට අමතරව කොමිෂන් සභාව විසින් කරනු ලැබූ යම් නියමයක් හෝ ගනු ලැබූ තීන්දුවක් පරීක්ෂා කිරීමට ඒ ගැන ප්‍රශ්න කිරීමට අයිතිය ඇත්තේ ශේෂ්ඨාධිකරණයට සහ පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරය ට පමණයි. කිසිඳු අධිකරණයකට හෝ විනිශ්චයාධිකාරයකට ඒ සඳහා අධිකරණ බලයක් නැහැ.

පොලිස් කොමිෂමේ සංයුතිය

පොලිස් කොමිෂමේ සංයුතිය සම්බන්ධයෙන් සඳහන් කිරීමත් වැදගත්. පොලිස් කොමිෂම සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සමන්විතයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් තමයි පොලිස් කොමිෂම සදහා සාමාජිකයන් පත් කරන්නෙ. එලෙස පත් කරන සාමාජිකයින් අතුරින් අඩුම වශයෙන් එක් සාමාජිකයකුවත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු වශයෙන් හෝ ඊට ඉහළ ධුරයක් දැරූ විශ්‍රාමලත් පොලිස් නිලධාරියකු විය යුතුයි. කොමිෂන් සභාවේ සභාපතිවරයා පත් වෙන්නෙත් මේ සාමාජිකයන් හත් දෙනා අතුරින්මයි. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත අදාල සාමාජිකයන්ගෙන් එක් අයකු කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබනවා.

නමුත් විශේෂයෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව, පළාත් සභා මන්ත්‍රීවරයෙක්ව හෝ පළාත් පාලන ආයතනයක සභිකයෙක්ව  ජාතික පොලිස් කොමිෂමේ සාමාජිකයෙක් ලෙස පත් කරන්න බැහැ. ඒ වගේම කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් වීමට කලින්  රජයේ නිලධරයකු හෝ අධිකරණ නිලධරයකු වශයෙන් රජයේ සේවයේ නියුක්තව සිටි අයෙක් පොලිස් කොමිෂමේ සාමාජිකයෙක් විදියට පත් වුණොත් ඔහු දරමින් සිටින ධුරය අනිවාර්යයෙන්ම අත්හැරිය යුතුයි. පොලිස් කොමිෂමට පත් වන සෑම සාමාජිකයකුම වසර තුනක කාලයක් එම ධුරයේ අනිවාර්යයෙන්ම රැඳී සිටින්නට අවශ්‍යයි. ඒ වගේම වාර දෙකකට වඩා වැඩි වාර ගණනක් කිසිඳු සාමාජිකයකුට කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කරන්න බැහැ.

කොමිෂන් සභාවේ පූර්ණ අනුමැතිය නොමැතිව කොමිෂන් සභාවේ අනුක්‍රමික රැස්වීම් තුනකට සභාපතිවරයා හෝ සාමාජිකයකු නොපැමිණි අවස්ථාවක ඒ රැස්වීම් අතුරින් තුන්වන රැස්වීමේ සිට  එම සාමාජිකයා ධූරය හැර ගියා සේ සලකනවා. එහෙම වුණොත් ඒ සාමාජිකයාට නැවත පොලිස් කොමිෂමට පත් වෙන්න බැහැ.

කොමිෂන් සභාවේ යම් රැස්වීමක් සදහා ගණපූරණය සාමාජිකයන් හතර දෙනෙක් විය යුතුයි. කොමිෂන් සභාවේ සියළුම රැස්වීම්වල මුලසුන දරන්නේ කොමිෂමේ සභාපතිවරයා විසින්. ඔහු නොමැති අවස්ථාවකදී පැමිණ සිටින සාමාජිකයින් තමන් අතුරෙන් කෙනෙක් මුලසුන දැරීමට තෝරාපත් කර ගත යුතුයි. කොමිෂන් සභාවේ තීරණ ඒ තීරණය ගනු ලබන රැස්වීමට පැමිණ ඡන්දය දෙන සාමාජිකයින්ගේ බහුතර ඡන්දයෙන් තමයි තීරණය වෙන්නෙ. ඡන්දය සම වුණු වෙලාවකදී මුලසුන දරන තැනැත්තාට තීරණ ඡන්දයක් තිබෙනවා.

පොලිස්පතිවරයාට කොමිෂමේ ඕනෑම රැස්වීමකට සහභාගී වීමට අයිතියක් තිබෙනවා.  නමුත් එකී රැස්වීම්වලදී ඡන්දය භාවිතා කිරීමට ‍පොලිස්පතිවරයාට අයිතියක් හෝ බලයක් නැහැ.

පොලිස් නිලධාරීන්ට ඉදිරිපත් කළ හැකි පැමිණිලි

මීට අමතරව පොලිස් නිලධාරීන්ටද තමන්ට රාජකාරී කටයුතු වලදී ඉහළ නිලධාරීන්ගෙන් සිදුවූ අසාධාරණ ගැන පොලිස් කොමිෂමට අභියාචනා කරන්න පුලුවන්. උසස්වීම්, ස්ථාන මාරු වීම්, විනය කරුණු, සේවයෙන් පහ කිරීමේ නියමයන් සම්බන්ධයෙන් වූ අභියාචනා පොලිස් කොමිෂම විසින් භාරගන්නවා. එම අභියාචනා පොලිස් කොමිෂමේ ලේකම්වරයා අමතා කොමිෂම වෙත යොමු කළ යුතුයි. එම අභියාචනා ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරීම හෝ පොලිස් කොමිෂමේ කාර්යාලයට භාරදී ලදු පතක් භාර ගැනීම කළ යුතු යි. විශේෂයෙන්ම අදාල අභියාචනා මාස හයක් ඇතුළත ඉදිරිපත් කරන්න අවශ්‍යයි. මෙලෙස අභියාචනයක් යොමු කළ විට පොලිස් කොමිෂම විසින් පත් කරනු ලබන අභියාචනා මණ්ඩලයක් වෙත එය යොමු කරනු ලබනවා. බැලූ බැල්මට පෙනෙන දුක්ගැනවිල්ලක් අභියාචනයේ ඇතුළත් වේ නම් අභියාචන මණ්ඩලය විසින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරනවා.

අභියාචන මණ්ඩලයේ තීරණය තුළ අදාල දුක්ගැනවිල්ල සම්බන්ධ නිර්දේශිත සහන ඇතුළත් කරන්න පුළුවන්. මීට අමතරව උසස්වීමක්, ස්ථාන මාරුවක්, විනය පිළිබඳ කාරණයක්, සේවයෙන් පහ කිරීමක් සම්බන්ධයෙන් සහ විනය පිළිබඳ කාරණයකදී කොමිෂන් සභාව විසින් කරන ලද නියමයකින් අතෘප්තියට පත් යම් පොලිස් නිලධරයකුට ඊට විරුද්ධව අභියාචනයක් පරිපාලන අභියාචන විනිශ්චයාධිකරණය වෙත ඉදිරිපත් කරන්න හැකියාව තිබෙනවා.

කරන ලද අභියාචනයක් මත ලබා දීලා තිබෙන නියමයන් වෙනස් කිරීම සම්බන්ධයන් විධාන නිකුත් කිරීමට සහ ඒ පරීක්ෂණයම තවදුරටත් පවත්වාගෙන යාමට හෝ වෙනත් පරීක්ෂණයක් පැවැත්වීමට නියම කිරීමේ බලය කොමිෂන් සභාවට තිබෙනවා. ඒ අනුව කොමිෂන් සභාව විසින් කරන ලද යම් නියමයක් හෝ තීරණයක් වෙනස් කිරීමේ බලය සහ  සුළු වශයෙන් වෙනස් කිරීමේ හෝ ප්‍රත්‍යාදිෂ්ට කිරීමේ බලය ඒ විනිශ්චයාධිකාරයට තිබෙනවා.

ජාතික පොලිස් කොමිෂන් සභාව  පාර්ලිමේන්තුවට වගකිව යුතු සහ උත්තර දිය යුතු ආයතනයක්. එක් එක් වර්ෂයේ කොමිෂන් සභාවේ කටයුතු සම්බන්ධයෙන් වූ වාර්තාවන් ඒ ඒ වර්ෂයේදී කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.

ඉතින් මෙන්න මේ දේවල් තමයි ජාතික පොලිස් කොමිෂම හරහා සිද්ධ වෙන්නෙ. මේ කොමිෂමේ තිබෙන වැදගත්ම දේ තමයි මහජනතාවට තමන්ගේ පුරවැසි අයිතිවාසිකම් සාපේක්ෂ වශයෙන් සුරක්ෂිත කරගැනීමට, තවදුරටත් බලාත්මක කර ගැනීමට හැකි වීම. ඉතින් ඒ සඳහා ජනතාව දැනුවත් විය යුතුයි. පුරවැසියා තමන්ගේ බලය තේරුම් ගත යුතුයි. ඔවුන් තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව සොයා බැලිය යුතුයි. මොකද ඒ දැනුවත් වීම සහ එයින් ලබන අවබෝධය හරහා පමණයි පුරවැසියන්ට තමන්ගෙ අයිතිවාසිකම් සුරක්ෂිත කර ගන්න පුළුවන් වෙන්නෙ.

Related Articles