Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලාංකිකයන් දුටු අද්භූතම හඳුනා නොගත් යානා (UFO)

කවදා හරි, මොහොතකට හරි අපි ඇත්තටම මේ විශ්වයේ ඉන්නේ තනියෙන්ද කියලා ඔබට වුණත් හිතුණා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මෑත කාලයේ අපේ සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් තවත් ජීවීන්ට සුදුසු ග්‍රහලෝක සොයා ගත්තු බවට පළ වෙන ප්‍රවෘත්තිත් එක්ක මේ සැකය තවත් වැඩි වෙනවා. ශ්‍රී ලංකාවේදී පවා හඳුනා නොගත් පියාසර වස්තූන්, නැතිනම් UFO දැකගන්න ලැබුණු බවට සමහර වෙලාවට මාධ්‍ය වාර්තා පළ වෙනවා.

විද්‍යාවට අනුව නම් තවමත් පිටසක්වළ බුද්ධිමත් ජීවයක් පවතිනවාද කියන එකවත්, එහෙම නෑ කියන එකවත් නිශ්චිත වශයෙන් ඔප්පු කරලා නැහැ. නමුත් අපේ රටේ කොහේ හරි තැනක පිටසක්වළ යානාවක් පියාසර කරනවා කියලා හරි, ගොඩබාලා කියලා හරි ප්‍රවෘත්ති පළ වෙනකොට සේරම අමතක වෙලා ඒ ගැන තමයි කට්ටිය වැඩි අවධානයක් යොමු කරන්නේ.

බොහොම මෑත කාලයේදී රත්නපුර, හම්බන්තොට, ගාල්ල, මාතර වගේ ප්‍රදේශ වල දකින්න ලැබුණු බවට වාර්තා පළ වුණු පියාසර වස්තුවක රූපයක්. මේ ගැන නිශ්චිත තොරතුරක් නම් තවමත් ලැබිලා නැහැ. රූපය : newsfirst.lk

රී ලංකා හඳුනා නොගත් පියාසර වස්තූන් පර්යේෂක සංගමය, නැතිනම් ටිකක් කියන්න පහසු විදිහට SLUFORA එක (Sri Lanka’s Unidentified Flying Object Research Association – ඔව්, එහෙම එකක් ඇත්තටම තියෙනවා, අඩුම තරමේ ඉස්සර හරි තිබිලා තියෙනවා) තමයි ලංකාවේ දකින්න ලැබුණු හඳුනා නොගත් පියාසර වස්තු (unidentified flying objects – UFO) ගැන තොරතුරු එක්රැස් කරපු එකම පිළිගත් ආයතනය වුණේ.

ඔවුන් රට පුරාම සිදු වුණු බවට තොරතුරු ලැබුණු පැහැදිලි කළ නොහැකි අද්භූත සිදුවීම් ගැන කරුණු එකතු කරලා ඒ ගැන හොයලා බලලා තියෙනවා. 1998 අවුරුද්දේ ආරම්භ වුණු මේ SLUFORA එක “Ufology” නැතිනම් “හඳුනා නොගත් පියාසර වස්තූන් ගැන පළ වෙන වාර්තා, රූප මාධ්‍ය සාක්ෂි, භෞතික සාක්ෂි හා වෙනත් සිදුවීම් ගැන අධ්‍යයනය කිරීමේ විද්‍යාව” ගැන අත්දැකීම් සහිත ලංකාවේ එකම කණ්ඩායම කියලා සැලකෙනවා.

කොහොම වුණත් පසු කාලීනව මේ සංගමය විසිරිලා ගියා. නමුත් ඔවුන් එක්රැස් කරපු තොරතුරු බොහොමයක් 2006 අවුරුද්දේ පොතක් විදිහට පළ කෙරුණා.

මේ පොතේ මුලින්ම දැක්වෙන සිදුවීම් කිහිපයම “පළමු වර්ගයේ ආසන්න අත්දැකීම් – close encounters of the first kind” කියන වර්ගයට අයත් ඒවා. Ufology වලදී පිටසක්වළ සම්බන්ධයක් ඇති බවට සැක කරන්න පුළුවන් සිදුවීමක් ගැන වර්ගීකරණය කරන්න ක්‍රමයක් ඇලන් හයිනෙක් කියන ඇමරිකානු අභ්‍යාවකාශ විද්‍යාඥයා හඳුන්වා දුන්නු හයිනෙක් දර්ශකය (Hynek’s scale) මගින් දැක්වෙනවා.

මේ කියන සිදුවීම් කිහිපය ඒ දර්ශකයට අනුව “පුද්ගලක් හඳුනා නොගත් පියාසර වස්තුවක් ආශ්‍රිත සිදු වීමකට මුහුණ පෑ අවස්ථා” කියන කාණ්ඩයටයි ඇතුළත් වෙන්නේ. 1960 දශකයේ අග භාගයේ ඉඳලා 1970 දශකය පුරාවටම රටේ විවිධ ප්‍රදේශවල දකින්න ලැබුණා කියන සිදුවීම් මේවාට ඇතුළත්. කොහොම වුණත් සාක්ෂි වාර්තා හොයා ගන්න නැති කම නිසා මේ ගැන පැහැදිළි තොරතුරක් කිසිම තැනක නැති තරම්. කොහොම වුණත් ඊට පස්සේ මේ ගැන රට පුරාම ඇති වුණු උනන්දුවත් එක්ක විස්තරාත්මක තොරතුරු සහිතව මේ වගේ සිදුවීම් ගැන වාර්තා පළ වෙන්න ගත්තා.

පොළොන්නරුව – 1984

SLUFORA එකෙන් වාර්තා කරගත්තු මුල්ම ප්‍රධාන සිදුවීම වෙන්නේ 1984 දී පොළොන්නරුව ප්‍රදේශයේ සිදු වුණු බව කියන සිද්ධියක්.

ඔවුන් මේ ගැන සටහන් කර ගත් ප්‍රකාශවලට අනුව එක දවසක් දහවල් 12.30ට විතර පොළොන්නරුවේ මහවැව ප්‍රදේශයට ඉහළ අහසේ නිල් පාට ගෝලාකාර වස්තුවක් දකින්න ලැබිලා තියෙනවා.

සිද්ධියට මුහුණ දුන්නු පාසල් ළමුන් තුන් දෙනා සහ පාසල් ගුරුවරියකගේ ප්‍රකාශයන්ට අනුව මේ වස්තුව අසල පාසලකට ගොඩ බාලා තියෙනවා. ඉන් පස්සේ මිනිසුන්ට සමාන පෙනුමක් තියෙන අමුතුම ජීවියෙක් ඒ තුළින් පිටතට ආවලු. මේ සිද්ධියෙන් බයට පත් වෙලා ඔවුන් හැමෝම ඒ ප්‍රදේශයෙන් පලා ගිහින්.

බණ්ඩාරවෙල – 1998

ශ්‍රී ලංකාවේ පළ වුණු UFO වාර්තා අනුව බැලුවාම මේ වගේ අද්භූත සිදු වීම්වලට නිතරම මුහුණ පෑමට සිදු වෙන ප්‍රධානම කොට්ඨාසය වෙන්නේ පාසල් ළමුන් කියලා හිතන්න පුළුවන්.

SLUFORA ආයතනය ඔවුන්ගේ තොරතුරු ගොනුවල BAN-CE-II කියන කාණ්ඩ අංකය යටතේ දක්වලා තියෙන මේ සිදු වීමත් පාසල් ළමුන් ආශ්‍රිත එකක්. බණ්ඩාරවෙල ප්‍රදේශයේ වයස අවුරුදු 8ක සහ 10ක පාසල් ළමුන් දෙදෙනෙකුට කහ සහ රතු පාට එළි විහිදුවන විශාල රවුම් තැටියක හැඩයේ වස්තුවක් ඔවුන්ගේ පාසල් පිට්ටනියේ ගොඩ බානවා දකින්න ලැබිලා. බිමට ගොඩ බාන්න කලින් ටික වෙලාවක් අහසේ එක තැන රැඳිලා තිබුණු බවත් ඔවුන්ගේ ප්‍රකාශවල දැක්වෙනවා.

එක් සිසුවෙක් කියන විදිහට මේ වස්තුවේ විෂ්කම්භය අඩි 8ක් විතර වගේලු. උස අඩි 7ක් විතර ඇතිලු.

මේ සිසුන් දෙදෙනාට මීට කලිනුත් සමහර අවස්ථාවල පාසලට ඉහළින් අහසේ රැඳිලා තිබුණු වස්තූන් දකින්න ලැබිලා තියෙන බවත් වාර්තාවේ සඳහන් වෙනවා. පිට්ටනියේ ගොඩ බාලා, ටිකක් වෙලා අහසේ රැඳී තිබිලා පිටත් වෙලා ගිය බවට ඔවුන් කියන මේ අද්භූත වස්තුවට ඔවුන් දෙදෙනා කිට්ටු වුණේ නැතිලු. කොහොම වුණත් වාර්තාවේ දැක්වෙන විදිහට ඔවුන් කියපු ස්ථානයේ මේ වගේ වස්තුවක් ගොඩ බාපු බවට සාක්ෂියක් විදිහට පොළොවේ සලකුණු (indentations) නම් තිබිලා නෑ.

කොහොම වුණත් ඔවුන් මේ වස්තුව දැකපු බව කියන කාල වෙලාවේදීම වගේ ඒ ප්‍රදේශයේ තවත් සමහර අය වාර්තාවේ සඳහන් තොරතුරුවලට සමානකමක් දරන වස්තුවක් අහස හරහා වේගයෙන් ඇදිලා ගිහින් නොපෙනී ගිය බවටත් සාක්ෂි ලබා දීලා තියෙනවා.

මේ නිසා SLUFORA එකේ නිගමනයට අනුව මේ සිදු වීම හිතාමතා සකස් කරපු එකක් වෙන්න තියෙන ඉඩකඩ අවමයි කියලා දක්වලා තියෙනවා. ඇසින් දුටු සාක්ෂිවල තියෙන සමාන කම මේකට ප්‍රධාන හේතුවක්.

කොස්ගම – 2000

2000 අවුරුද්දේ ජනවාරි මාසයේ කොස්ගම බෝල්ලත්තෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් තුන් දෙනෙක් දිලිසෙන ගෝලාකාර වස්තුවක් අහස හරහා වේගයෙන් ආදී යනවා දුටු බවට ප්‍රකාශ කරලා තියෙනවා. SLUFORA එක තමන්ගේ KOS-CE-II කාණ්ඩ අංකය යටතේ දක්වලා තියෙන කරුණු අනුව මේ ගෝලාකාර වස්තුවෙන් නිවී නිවී දැල්වෙන නිල් පාට ආලෝකයක් විහිදිලා තියෙනවා. මේ වස්තුව තිබිලා තියෙන්නේ පොළොවේ ඉඳලා ආදී 200ක් විතර ඉහළින්.

මේ වස්තුව අහස හරහා සිග් සැග් ආකාරයට කිහිප වතාවක්ම ගමන් කරලා එක පාරටම නොපෙනිලා ගිහින් තියෙනවා. SLUFORA එකට අනුව මොවුන් තිදෙනා මේ එක සමාන සිදුවීමට මුහුණ දීලා තියෙන්නේ එකිනෙකට වෙනස් ප්‍රදේශ තුනකදී.

SLUFORA එකේ නිගමනයේ මේ සිදු වීමේ සාක්ෂිවල යම් පරස්පර බවක් තියෙනවා කියලා සඳහන් වෙනවා. තමන් දුටු වස්තුව ගැන විස්තර අහද්දී ඔවුන් ඒ ගැන කියලා තියෙන්නේ එකිනෙකට වෙනස් දේවල්. වස්තුවේ විශාලත්වය, එයින් නිකුත් වුණු ආලෝකයේ පාට, ගමන් කළ වේගය වගේ දේවල් ඔවුන් තුන් දෙනා කියලා තියෙන්නේ තුන් විදිහකට.

පොළොන්නරුව – 2002

SLUFORA ආයතනය පරීක්ෂණ පවත්වාපු සුවිශේෂම සිදු වීම වුණේ 2002 අවුරුද්දේ පොළොන්නරුව ප්‍රදේශයේ. මේ අවස්ථාවේදී විශාල කාලයක් පුරාවටම හඳුනා නොගත් පියාසර වස්තු දකින්න ලැබිලා තියෙනවාලු.

SLUFORA කාණ්ඩ අංක POL-CE-II-001 යටතේ සඳහන් වෙන විදිහට මාසයක් පුරාවට තැන් තැන් වලදී දැකපු UFO ගැන පුද්ගලයන් 100කට වැඩි පිරිසක් සාක්ෂි ලබා දීලා තියෙනවා. තනි වස්තූන් වගේම රංචුවක් විදිහට මේ පියාසර වස්තූන් ගමන් කරන අවස්ථා පවා ඔවුන් දැකලා තියෙනවා. අනිත් කාරණාව තමයි බොහෝ වෙලාවට පොළොන්නරුවේ විවිධ ප්‍රදේශවලින් අහන්නට ලැබුණු කාරණා බොහෝ දුරට සමාන වීම. මේ නිසා මේ ගැන හොයා බලපු වැඩි දෙනෙක්ගේ නිගමනය වුණේ මේ සිදු වීම නම් ගොතලා කියපු දෙයක් වෙන්න බැරි බවයි.

ඇසින් දුටු සාක්ෂිවල මේ වගේ හඳුනා නොගත් පියාසරවස්තූන් විශාල ගණනක් අහසේ තැන් තැන්වල නතර කරලා තිබුණු බවටත් සඳහන් වෙනවා. මේවා හැම වෙලාවකම දකින්න ලැබිලා තියෙන්නේ රංචුවක් / පොකුරක් හැටියට. විවිධ වර්ණයේ ආලෝකය විහිදුවමින් පොළොවට ආදී කිහිපයක් ඉහළින් මේ වස්තූන් එක තැන රැඳිලා තිබුණාලු. කිසිම පිළිවෙලකට නැතිව එක එක වේගයෙන් පියාසර කරපු මේ වස්තූන් ටිකක් වෙලා එක තැන තිබිලා වේගයෙන් ඈතට ගිහින් නොපෙනිලා ගියාලු.

මේ සිදුවීමට අන්තර්ජාතික ප්‍රසිද්ධියක් පවා ලැබුණා. අන්‍යෝන්‍ය හඳුනා නොගත් පියාසර වස්තූන් ජාලය (Mutual UFO Network – MUFON) වගේම බ්‍රිතාන්‍ය හඳුනා නොගත් පියාසර වස්තු පරීක්ෂණ සංගමය (British UFO Research Association – BUFORA) කියන ආයතන දෙකම මේ අද්භූත දර්ශනයන් ගැන තොරතුරු එක්රැස් කරන්න තමන්ගේ සාමාජිකයන් පොළොන්නරුව ප්‍රදේශයට එවලා තියෙනවා.

2004 මාර්තු මාසයේ නිවාඩු ගත කරන්නට ශ්‍රී ලංකාවට පැමිණි රාජකීය ගුවන් හමුදාවේ (RAF) නිලධාරී මහතෙකු ලබා ගත් හඳුනා නොගත් වායුගෝලීය සිදුවීමක (unusual atmospheric occurrence) ඡායාරූපයක්. පසුව මෙය UFO එකක් විය හැකිද කියන එකට විවාදයට ලක් වුණා.

තණමල්විල, 2006

SLUFORA එක විසිරී ගිය නිසා ඔවුන්ගේ අවධානයට ලක් නොවුණත් මේ කාරණාව ගැන අපේ රටේ මාධ්‍යවල නම් බොහෝ තොරතුරු පළ වුණා.

ගාල්ලත් ඇතුළුව රටේ විවිධ ප්‍රදේශවල දකින්න ලැබුණු අද්භූත සිදු වීම්වලට පස්සේ ශ්‍රී ලංකාවට පිටසක්වලින් අමුත්තන් පැමිණෙන බවට කතාවක් පැතිරුණා. කුඩා ළමුන් දෙදෙනෙක් සහ ඔවුන්ගේ මිත්තණිය ගඟකින් නාලා ගෙදර එන අතරේ අඩි දෙකක් විතර උස මිනිස් හැඩරුවක් තියෙන ජීවීන් පිරිසක් පාර හරස් කරගෙන ඉඳලා තියෙනවා.කුඩා ළමුන් දෙදෙනා මේ ගැන ප්‍රකාශ කරන කරුණු අනුව මේ “පුද්ගලයන්” තුන් දෙනා අඳුරු පැහැයට හුරු සමක් තියෙන, තොප්පි පැළඳගෙන හිටපු පිරිසක්. කොහොම වුණත් ඔවුන්ට මුණ ගැහිලා වැඩි වෙලාවක් යන්න කලින් ඔවුන් අතුරුදහන් වෙලා තියෙනවා.

තණමල්විල ප්‍රදේශයත් ඇතුළුව තවත් තැන්වලින් මීට සමාන සිදුවීම් ගැන වාර්තා වෙන්න ගත්තාට පස්සේ මේ ගැන පරීක්ෂකවරුන් වැඩිදුර සොයා බලන්න පටන් අරගෙන තියෙනවා. 50 දෙනෙකුටත් වඩා වැඩි ගණනක් මේ ජීවීන් මුණ ගැසුණු බවට ප්‍රකාශ කරලා තියෙනවා. සමහරු ඔවුන්ගේ ආදී සටහන් දැකපු බවට පවා කියලා තියෙනවා.

මේ වාර්තා සියල්ලම පොලීසිය සහ ශ්‍රී ලංකික විද්‍යාඥයන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සමහරුන්ගේ අදහස අනුව මේ මිනිසුන්ව අන්දුන් කුන්දුන් කරන වෙස්වලා ගත් හොරුන් පිරිසක් කියලාත් මත පළ කරනවා. කොහොම වුණත් බොහෝ කාලයක් පුරාවට මේ සිදු වීම් නිසා ගම්වැසියන් බියෙන් සැකෙන් කල් ගෙවලා තියෙනවා.

ඇත්තටම අපි මේ විශ්වයේ තනියෙන්ද?

හ්ම්ම්, ඒකත් හේතුවක් වෙන්න ඇති…

විද්‍යාව පසුගිය කාලය පුරාවටම අතිශයින් දියුණු මට්ටමකට ඇවිල්ලා තිබුණත් තවමත් මේ ප්‍රශ්නයට නම් නිශ්චිත පිළිතුරක් දෙන්න සමත් වෙලා නැහැ. මේ වගේ අද්භූත සිදු වීම් දකින්න ලැබෙන එකට විවිධ සරල හේතු එහෙමත් ඉදිරිපත් වෙලා තියෙනවා.

අමුතු හැඩ වල ගුවන් යානා, වලාකුළු හැඩගැසීම්, කුරුල්ලන්, කෘමී රංචු, මෑත කාලයේදී නිතර දකින්න ලැබෙන ඩ්‍රෝන් වගේම සමහර විට ඕනෑවට වඩා මේ ගැන හිතලා මැවෙන මනෝ රූප එහෙමත් මේවා දකින්න හේතු වන බවට මත පළ වෙනවා.

කොහොම වුණත් මේ වගේ සිදුවීම් ගැන පළ කෙරුණු වාර්තා එක්ක හිතන්න තියෙන්නේ මේ අමුතු ජීවීන් වර්ගවලට වගේම පියාසර වස්තූන්වලටත් (ඒවා ඇත්තටම තියෙනවා නම්) ශ්‍රී ලංකාව ගැන පුදුම උනන්දුවක් තියෙනවා ඇති කියලයි. ඒත් මේ පුංචි දූපත ගැන ඔවුන්ට ඒ තරම් උන්නදු වෙන්න තියෙන හේතු මොනවද? අන්න ඒකත් ටිකක් හිතලා බලන්න ඕන ප්‍රශ්නයක්.

කවරයේ රූපය: BBC

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ 

Related Articles