Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෙර අපර දෙදිග වෙළෙඳාමට යොදා ගත් පැරණි ලක්දිව වෙළෙඳ භාණ්ඩ

අතීත ශ්‍රී ලංකාවේ ආර්ථික ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේහි ලා දායක වූ විවිධාකාර ක්‍රමවේද අතර වෙළඳාමට හිමි වනුයේ සුවිශේෂිත ස්ථානයකි. මුල් ඓතිහාසික යුගයටත් පෙර කාලයේ පවා ලක් වැසියන් වෙළඳ කටයුතුවල යෙදුණු බවට හඳුනාගත හැකි විවිධ පුරාවිද්‍යාත්මක සාධක වත්මනෙහි හමු වී ඇත. ඒ අනුව වෙළඳාම යන ක්‍රියාවලිය ලක්දිව ජනප්‍රිය මුදල් ඉපයීමේ ක්‍රමවේදයක් ලෙස පවතින්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. ලක්දිව ලිඛිත ඉතිහාසයක් ගොඩනැඟිය හැකි රාජධානි බිහි වූ යුගයේ දී වෙළඳාම ලාංකීය සමාජය තුළ ඉතා ඉහළ මට්ටමේ ආර්ථික ක්‍රමවේදයක් ලෙස පැවති බව පැරණි වංශකතා මඟින් පමණක් නොව අනෙකුත් සාහිත්‍යමය මෙන්ම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන්ගෙන් ද හඳුනාගැනීමේ හැකියාව ඇත.

ඒ අනුව අනුරාධපුර යුගයේ ආරම්භයේ පටන් වෙළඳාම ජනප්‍රිය ව පැවති බව කිව හැකි අතර රටේ රජුගේ පටන් ප්‍රභූ පන්තිය හා සාමාන්‍ය ජනයා ද එක්සේ වෙළඳාමට නැඹුරුව සිටි බවට සාක්ෂ්‍ය සුලබ ව හමු වේ. පළමුවරට මෙරට වෙළඳ කටයුතු පිළිබඳව සඳහන් කොට ඇති මූලාශ්‍රය වනුයේ දීපවංශය බව කියැ වේ. ඊට අමතරව මහාවංශය, සීහලවත්ථූපකරණය චූලවංශය වැනි සාහිත්‍ය කෘති මෙන් ම විවිධ රජවරුන් පිහිටැ වූ සෙල්ලිපි, කාසි මෙන්ම නටබුන් මඟින් ද අතීත ලංකාවේ වෙළෙඳ කටයුතු පිළිබඳ තොරතුරු හඳුනාගත හැකි ය.

මේ ලිපිය එවක පෙර අපර දෙදිග වෙළඳාමට ලක්දිව් වැසියන් යොදා ගත් ප්‍රචලිත වෙළෙඳ භාණ්ඩ කිහිපයක් පිළිබඳ යි.

1. මුතු

ලංකාවෙන් විදේශයන්ට යැවූ භාණ්ඩ අතර විශේෂ ස්ථානයක් හිමි වනුයේ මුතු සඳහා බව කියැ වේ. විජය හා දේවානම්පියතිස්ස රජවරුන් ඉන්දියාවට තුටු පඬුරු වශයෙන් මුතු යැවූ බව මහාවංශයේ සඳහන් ය. අට වර්ගයක මුතු එකල ලංකාවේ දක්නට ලැබුණු බව ද එම මූලාශ්‍රවල සඳහන් වේ. ඌරාතොට ආශ්‍රිත කලාපය මුතු කිමිදීම සඳහා භාවිත කළ මුහුදු ප්‍රදේශය වන අතර ටංටායුවන් නම් චීන දේශාටකයා දක්වා ඇති ආකාරයට මුතු කිමිදීමෙන් ලැබෙන මුතු අතුරින් භාගයක් රජුට ලබා දී ඉතිරි කොටස විදේශ වෙළඳාමට යොදවා ඇත.

 පාහියන් හිමියන් “මණි” යනුවෙන් දක්වා ඇත්තේ මුතු පිළිබඳ ව නම් මුතු කිමිදීමේ පූර්ණ අයිතිය රජු සතු වූ බවත් දක්වා ඇත. කෙසේ නමුත් එම දෙදෙනා ම දක්වන තොරතුරු මඟින් පැහැදිලි වනුයේ මෙම කාල පරිච්ඡේදය තුළ ලක්දිව විදේශ වෙළඳාමට යොදා ගත් ප්‍රධාන ම වෙළෙඳ ද්‍රව්‍යයක් ලෙස මුතු පැවති බව යි.

මුතු ඇට
ස්වභාවික මුතු ඇට පැරණි ලක්දිව පමණක් නොව යුරෝපා යටත්විජිත සමයේ ද  ජනප්‍රිය වෙළෙඳ භාණ්ඩයක් වී ඇත.
– www.thepearlsource.com

 

2.මැණික්

 අතීතයේ සිට ම ලක්දිව මැණික් සඳහා ප්‍රචලිත කලාපයක් වී ඇත. කෞටිල්‍ය පවා සිය අර්ථශාස්ත්‍ර කෘතියේ ලක්දිව මැණික් උපදින ස්ථානයක් ලෙස අර්ථ දක්වා ඇති බව කියැ වේ. මැණික්, රජුට අයත් වූවත් එය ගැරීම සඳහා ජනතාවට අවසර තිබූ අතර රජුගේ අනුමැතිය පරිදි විදේශයන්ට අලෙවි කිරීමට ද හැකියාව තිබී ඇත. විශේෂයෙන්ම මෙසේ මැණික් විදේශයට අලෙවි කළ පසු ඉන් බදු අය කර ගැනීම රජුගේ නිලධාරීන් සිදු කළ බව වංශකතා අධ්‍යයනය කිරීමෙන් හඳුනා ගත හැකි ය.

ස්වාභාවික මැණික් වර්ග
 ස්වාභාවික මැණික් සඳහා පෙර අපර දෙදෙග භේදයකින් තොරව විශාල ඉල්ලුමක් එකල පැවතී ඇත – www.bluelankatours.com

 

3. අලි ඇත්තු

මෞර්ය රාජ සභාවේ සිටි මෙගස්තීනිස් නම්  ග්‍රීක තානාපතිවරයා සිය ඉන්ඩිකා කෘතියේ ලක්දිවින් ඉන්දියාවට ඇතුන් ගෙන ආ බව සඳහන් කොට ඇත. අනුරාධපුර හා පොළොන්නරු අවධීන් තුළ මෙම ඇතුන් විදේශයන්ට වෙළඳාම් කිරීමෙන් මහත් වාසි ලබා ගත් බව මූලාශ්‍රයන්හි දැක්වෙයි.  මහා පරාක්‍රමබාහු වැනි ඒ කාල පරිච්ඡේදය ආසන්න සමයේ රජකම් කළ පාලකයන් දකුණු ඉන්දීය චෝළ හා බුරුම රාජ්‍ය වැනි බලවත් රාජ්‍ය සමඟ ගැටුම් ඇති කර ගැනීමට පවා මෙම ඇත් වෙළඳාම හේතුවක් වූ බව සඳහන් වේ. කොස්මස්, ලක්දිව ඇත් වෙළඳාම පිළිබඳ ව කරුණු දක්වා ඇත්තේ මෙසේ ය.

“…දීප වාසීහු දිවයිනේ කැලෑවලින් ලැබෙන දැවවලින් තනා ගත් ඔරුවල නංවා උන් (ඇතුන්) ඉදිරියෙන් පිහිටි ප්‍රධාන දේශයට (ඉන්දියාවට) ගෙනවුත් කාලිංග රජුට විකුණති….”

ඒ අනුව ඇත් වෙළඳාමේ දී මිල නියම කොට විදේශයන්ට විකුණූ බව කොස්මස්ගේ එම වාර්තාවෙන් තහවුරු වේ. ඒ අනුව ඇත් වෙළඳාම සාර්ථක ලෙස පවත්වාගෙන ගිය විදේශ වෙළෙඳාමක් බවත්, එය වටිනාකමින් ඉහළ වෙළෙඳ භාණ්ඩයක් වූ බවත් එමඟින් පැහැදිලි වේ.

වන හස්තීන්
මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ ආනයනය සඳහා ප්‍රධානම වෙළඳ භාණ්ඩයක් ලෙස ඇතුන් යොදා ගෙන ඇත – www.dilmahconservation.org

4. රෙදි පිළි

මෙරටට ආනයනය කළ භාණ්ඩ අතර රෙදිපිළි සඳහා විශේෂ ස්ථානයක් ලැබී ඇත. වැඩි වශයෙන් රෙදි පිළි ගෙන්වා ගෙන ඇත්තේ ඉන්දියාවෙන් හා චීනයෙන් බව කියැ වේ. චීන ග්‍රන්ථකරුවන්ට අනුව නොයෙක්වර ලක්දිවට චීන සළු ගෙනවිත් ඇති අතර මහාපරාක්‍රමබාහු රජු ද ඔහු ඉදි කරවූ සරස්වතී මණ්ඩපයක් අලංකාර කිරීම සඳහා චීන පටසළු ගෙන්වූ බව වංශකතාවන්හි දක්වා අත. ඉන් ගම්‍යමාන වනුයේ බොහෝ විට මෙවැනි සේද සළුපිළි මිලදී ගත්තේ ලංකාවේ විසූ ප්‍රභූන් හෝ රජ පවුලේ පිරිස් බව යි.

අනුරාධපුර අවධියේදී ද ඉන්දියානු කලාපයෙන් මෙරට අවශ්‍යතා උදෙසා රෙදිපිළි ගෙන්වා ගෙන ඇති අතර ලක්දිව නිෂ්පාදනය කොට විදේශයන්ට අලෙවි කළ රෙදිපිළි පිළිබඳ ව තොරතුරු ලැබෙනුයේ අල්ප වශයෙන් බවත් කිව හැකි ය. විශේෂයෙන්ම කාශ්මීර වංශකතාව වූ රාජතරංගනියේහා පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී නම් කෘතියේ ලංකාවේ සිට විදේශයන්ට අලෙවි කළ සළුපිළි පිළිබඳ ව සඳහන් වූවත් ඒවා චීනයෙන් හෝ ඉන්දියාවෙන් ගෙන ආ සළුපිළි වන්නට ඇති බව විද්වතුන්ගේ මතයයි.

ඉසුරුමුණියේ මිනිසා  සහ අශ්ව හිස මූර්තිය –  www.pinterest.com 

 

5. අශ්වයෝ

 ලක්දිව විදේශ වෙළෙඳාමේ දී යොදා ගැනුණු තවත් එක් කැපී පෙනෙන වෙළෙඳ භණ්ඩයක් වූයේ අසුන් ය. ඇතුන් මෙරටින් විදේශයන්ට යවා ඒ වෙනුවෙන් අසුන් මෙරටට ගෙන්වා ගෙන ඇත. ඒ පිළිබඳව තහවුරු කර ගත හැකි සාධක ලෙස මුල් වරට හමු වනුයේ මහාවංශයේ සඳහන් සේන හා ගුත්තික යන දෙදෙනා අශ්ව වෙළෙඳුන් වීම යි. ඉන්දු නිම්න කලාපයට ආවේණික වූ සෛන්ධව නම් අසුන් විශේෂය මෙරටට ගෙන් වූ බව සෛන්ධව නාමය නිතර නිතව වංශකතා තුළ සඳහන් කොට තිබීමෙන් කිව හැකි ය. දුටුගැමුණු රජුගේ සෙනෙවියකු වූ වේළුසුමන භාවිත කළ අසු සෛන්ධව කුලයට අයත් වූ බව මහාවංශයේ දක්වා ඇත. 

පර්සියාවෙන් ගෙන් වූ අශ්වයන්ට සිංහල රජු වැඩි කැමැත්තක් දැක්වූ බව මූලාශ්‍රයන්හි සඳහන් ය. එයට හේතුව වූයේ එම අසුන් ගෙන්වූ වෙළෙඳුන් ඒ සඳහා සාමන්‍යයෙන් අය කරන බදු නොගත් බැවින් යැයි ද දක්වා ඇත. පස්වැනි මිහිඳු රජු දවස චෝළයන් මෙරට ආක්‍රමණය කළේ ද මෙරට පිළිබඳ හොඳින් දැන සිටි අශ්ව වෙළෙඳුන්ගෙන් අසා දැනගෙන බව වංශකතාවේ දැක්වෙයි. පොළොන්නරු සමයේ මහා පරාක්‍රමබාහු රජු චෝළ දේශයට විරුද්ධ ව නැඟී සිටියේත් ඇත් වෙළඳාමට සේම අශ්ව වෙළඳාමට ද චෝළයන් බාධා කළ නිසාවෙන් යැයි කියැ වේ. එබැවින් එම කාල පරිච්ඡේදය තුළ මෙරට විදේශ වෙළඳාමේ දී යොදා ගත් වෙළෙඳ භාණ්ඩ පිළිබඳ අධ්‍යයනයේදී අශ්වයන් ද ඉතා වටිනා වෙළෙඳ භාණ්ඩයක් වූ බව ඉහත කරුණු ඔස්සේ මැනවින් ගම්‍යමාන වේ.

6. ලෝහ වර්ග

ස්ට්‍රාබෝ, ප්ලීනි වැන්නවුන් හා පෙරිප්ලස් ඔෆ් ද එරිත්‍රියන් සී වැනි කෘතීන් තුළ ද මෙරටින් අපනයනය කළ ලෝහ පිළිබඳ ව සඳහන් කොට ඇත. ඒ අතුරින් යකඩ හා වානේ ප්‍රධාන වන අතර රිදියගම, මාන්තායි වැනි කලාපයන්හි තිබී සොයා ගත් යකඩ නිස්සාරණ සාධක ලෝහ වර්ග මෙරට අපනයන වෙළෙඳ ද්‍රව්‍යයක් ලෙස පැවති බව හඳුනා ගැනීමට ඇති ප්‍රබල සාධකයකි.

එම කෘතිය තුළ සඳහන් වන ආකාරයට ඉරානය, මෙසපොතේමියාව, ඊජිප්ත්තුව වැනි රටවල්වල ලක්දිව යකඩ සඳහා විශාල ඉල්ලුමක් තිබී ඇත. රත්‍රන් ලෝහය ද මෙරට විදේශ වෙළඳාම සඳහා උපයෝගී කොටගත් වෙළෙඳ ද්‍රව්‍යයකි. ඉන්දියාවට වඩා ලංකාව රත්‍රන් නිපද වූ බව මෙගස්තීනිස් දැක්වූව ද මෙරටින් රත්‍රන් නිධි ඉතා සුළු වශයෙන් හමුවන අතර බුරුමයෙන් මෙරටට රත්‍රන් ගෙන්වා ගෙන නිෂ්පාදනයන් සඳහා යොදා ගන්නට ඇති බව කිව හැකි ය. සීහලවත්ථූපකරණයේ මෙලෙස සද්ධාතිස්ස රාජ්‍ය සමයේ බුරුමයට ගොස් රත්‍රන් මිල දී ගෙන ආ පුද්ගලයෙක් පිළිබඳ විස්තර සඳහන් ය. 

පැරණි ලංකාවේ භාවිතා කළ යබොර නිස්සාරණ උඳුන්
වත්මන් බලන්ගොඩ ප්‍රදේශයෙන් හමු වී ඇති මෙම උඳුන් අතීතයේ දී යකඩ ලෝහය නිර්මාණය කර ගැනිම සඳහා යබොර නිස්සාරණය කිරීමට යොදා ගෙන ඇත – wilpattuhouse.com

 

7. කුළු බඩු වර්ග

කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි වැනි කුළු බඩු මෙරට විදේශ වෙළෙඳ කටයුතුවල දී ඉතා වැදගත් විය. ක්‍රිස්තු පූර්ව අවධියේ පටන් මෙරට කුරුඳු පලස්තීනයට ආනයනය කළ බව බයිබලයේ සඳහන් වේ. කුළුබඩු වෙළෙඳාමේ නිරතව සිටි වෙළෙඳ ශ්‍රේණියකට අයත් යැයි හඳුනාගැනෙන මූල බ්‍රාහ්මී අක්ෂර සහිත කානීලියන් මුදුවක් අකුරුගොඩ ප්‍රදේශයේ කැණීම් මඟින් සොයා ගැනීම ද මෙලෙස කුළුබඩු වෙළඳාම ලක්දිව විදේශ වාණිජ කටයුතු අතර පැවති බවට සාධකයක් වේ.

කුළු බඩු මෙරට විදේශ වෙළෙඳ කටයුතුවල දී ඉතා වැදගත් විය- jakedolosa.tumblr.com

 

8. ශාක වර්ග හා ශාකමය නිෂ්පාදන

 අපනයන වෙළෙඳ භාණ්ඩ වශයෙන් මෙන්ම ජ්‍යාත්‍යන්තර වෙළෙඳ කටයුතු සඳහා යටිතල පහසුකම් සැපයීමට අවශ්‍ය දෑ වශයෙන් ද ශාක හා ශාකමය නිෂ්පාදන වැදගත් විය. සහල්, ඉඟුරු වැනි දෑ මෙරටින් විදේශයන්ට වෙළඳාම් කළ බව ටොලමි දක්වා ඇති අතර ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් පට්ටිනප්පාලෙයි දකුණු ඉන්දීය කෘතියේ ද මෙරටින් ශාකමය ආහාර ද්‍රව්‍ය අපනයනය කළ බව සඳහන් කොට ඇත.  

පුරාණ ලක්දිව දැව නිර්මාණ – customs.gov.lk

නැව් හා යාත්‍රා නිර්මාණය සඳහා දැව ද අලෙවි කර ඇත. විශේෂයෙන්ම දෙල්, දොඹ, කොස් දැව හා පොල් කෙඳි එලෙස නැව් සඳහා අලෙවි කොට ඇති අතර රෝම ජාතික ඊලියන් වැන්නවුන්ගේ වාර්තා අනුව ලක්දිව දැව මිල දී ගෙන ඒවායින් නිර්මාණය කළ නැව් මඟින් විදේශ වෙළඳාමෙහි නිරත වූ බව ස්වකීය වාර්තාව තුළ ඔහු දක්වා ඇත.

9. සත්ව නිෂ්පාදන

කැස්බෑ ලෙලි හා හක් බෙල්ලන් ආශ්‍රිත නිෂ්පාදන ද මෙරට විදේශීය වෙළෙඳාමේ දී ඉතා වැදගත් වෙළෙඳ ද්‍රව්‍ය වී ඇත. ස්ට්‍රාබෝ, ප්ලීනි වැන්නවුන්ට අනුව කැස්බෑ ලෙලි ඉහළ අපනයන වටිනාකමකින් යුක්ත ද්‍රව්‍යයක් වී ඇත. අකුරුගොඩ ආසන්නයේ සිදු කළ කැණීම් ඔස්සේ මෙය තහවුරු කොට ගත හැකි සාධක හමුවී ඇත. හක් බෙල්ලන් ද විදේශීය වෙළෙඳාමේ දී ඉතා වැදගත් වූ බව මන්නාරම් කලාපය අවටින් සොයා ගත් හක් බෙලි කටුවලින් තැනූ වළලු ආදී ආභරණ මඟින් පෙන්වා දිය හැකි ය.

කැස්බෑ ලෙලි මඟින් සකස් කරනු ලබන විවිධ නිර්මාණ
පුරාතනයේ දී මෙන්ම වර්තමානයේ ද කැස්බෑ ලෙලිවලින් නිර්මාණය කළ දේ මිල දී ගැනීම සඳහා ගැණුම්කරුවන් වැඩි රුචිකත්වයක් දක්වයි – geographythewayoflife.wordpress.com

 

කවරයේ ඡායාරූපය - www.echelon.lk

මූලාශ්‍ර:

geographythewayoflife.wordpress.com

wilpattuhouse.com

www.dilmahconservation.org

www.bluelankatours.com

www.thepearlsource.com

ආරියපාල ඇම්. බී., මධ්‍යකාලීන ලංකා සමාජය, කොළඹ, ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, 1996

ලියනගමගේ ඒ., ගුණවර්ධන ආර්., අනුරාධපුර යුගය,විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 1961

සිරිවීර අයි., රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි, කොළඹ, දයාවංශ ජයකොඩි සහ සමාගම, 2014

Related Articles