Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අළුබඳුන තරග ඉතිහාසයේ විශිෂ්ඨයන් අතරට එක්වුණු ඕස්ට්‍රේලියානුවා

අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ දිනවල එංගලන්තයේ දී පැවැත්වෙන්නේ 71 වැනි වරට යි. එම  තරගාවලිය යටතේ පැවැත්වුණු පළමු ටෙස්ට් තරගයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 251ක දැවැන්ත ජයක් හිමිවුණා. එහිදී ඕස්ට්‍රේලියානුවන් පළමු ඉනිමේ දී 122/8ක් ලෙසින් අසීරු අඩියකට වැටුණු අවස්ථාවේ එක් ඕස්ට්‍රේලියානු පිතිකරුවෙක් සටන්කාමී ශතකයක් ලබාගත්තා. එම ශතකය ලබාගනිමින් නොනැවතුණු ඔහු දෙවන ඉනිමේ දීත් ශතකයක් ලබාගත්තේ සිය කණ්ඩායම ජය මාවතට යොමු කරමින්. එලෙස අළුබඳුන ටෙස්ට් තරගයක දී ශතක 2ක් ලබාගත් ස්ටීව් ස්මිත් තරගාවලි ඉතිහාසය තුළ එම දස්කම දැක්වූ 8 වැනි පිතිකරුවා යි. එම නිසාම මෙම ලිපිය වෙන්වන්නේ අළුබඳුන තරගාවලි ඉතිහාසයේ ටෙස්ට් තරගයක දී ශතක 2ක් ලබාගත් පිතිකරුවන්  පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීමට යි.

වොරන් බාඩ්ස්ලි (ඕස්ට්‍රේලියාව) – 136 සහ 130 (1909 වසරේ දී)

1909 අළුබඳුන තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් පිටියේ දී යි. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුලු 4ම ලකුණු 58ක් තුළ දැවීගිය අවස්ථාවේ ක්‍රියාත්මක වුණු බාඩ්ස්ලි ලකුණු 136ක් ලබාගනිමින් ඕස්ට්‍රේලියානු ඉනිම සවිමත් කළා. ඉන් පසුව දෙවන ඉනිමේ දීත් යළි ලකුණු අතරට පිවිසි බාඩ්ස්ලි ලකුණු 130ක් ලබාගත්තේ අළුබඳුන තරග ඉතිහාසයේ දී පමණක් නොව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දී ත් එම දස්කම කළ මුල්ම පිතිකරුවා වෙමින්.

වැරන් බාඩ්ස්ලි ( gettyimages )

හර්බට් සට්ක්ලිෆ් (එංගලන්තය) – 176 සහ 127 (1925 වසරේ දී)

1925 අළුබඳුන තරගාවලියේ දෙවන තරගය මෙල්බර්න් පිටියේ දී පැවැත්වුණා. එහිදී ඕස්ට්‍රේලියානුවන් පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 600ට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 479ක් ලබාගත්තේ හර්බට් සට්ක්ලිෆ් ලබාගත් අගනා ලකුණු 176 නිසා යි. ඉන් පසුව එංගලන්තයට ලකුණු 372ක ඉලක්කයක් හඹා යාමට සිදුවුණු අවස්ථාවේ නැවතත් ක්‍රියාත්මක වුණු සට්ක්ලිෆ් ලකුණු 127ක් ලබාගත්තත් එංගලන්තයට උරුමවුණේ ලකුණු 81ක පරාජයක්. අළුබඳුන ටෙස්ට් තරගයක පිතිකරුවෙකු ශතක 2ක් ලබාගැනීමෙන් පසුව ඔහුගේ කණ්ඩායම පරාජය වුණු එකම අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසයට එක්වනවා. 

හර්බට් සට්ක්ලිෆ්  ( gettyimages )

වොලී හැමන්ඩ් (එංගලන්තය) – 119* සහ 177 (1929 වසරේ දී)

1928/29 අළුබඳුන තරගාවලියේ සිව්වන ටෙස්ට් තරගය ඇඩිලේඩ් පිටියේ දී පැවැත්වුණා. ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දක්නට ලැබුණු තියුණු ටෙස්ට් තරගවලින් එකක් වුණු මෙම තරගය එංගලන්තය ජයග්‍රහණය කළේ ලකුණු 12කින්. එදා එංගලන්තය ලබාගත් එම ජයග්‍රහණය වෙනුවෙන් විශාල සහායක් ලබාදුන් වොලී හැමන්ඩ් පළමු ඉනිමේ නොදැවී ලකුණු 119ක් ලබාගෙන ඉන් නොනැවතී දෙවන ඉනිමේ දීත් ලකුණු 177ක් ලබාගත්තා. 

වොලී හැමන්ඩ් ( gettyimages )

ඩෙනිස් කොම්ප්ටන් (එංගලන්තය) – 147 සහ 103* (1947 වසරේ දී)

1946/47 අළුබඳුන තරගාවලිය යටතේ ඇඩිලේඩ් ඕවල් පිටියේ දී පැවැත්වුණු ටෙස්ට් තරගය පිතිකරුවන්ට ම වෙන්වුණු තරගයක් වුණා. එම තරගයේ දී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය ලකුණු 460ක් ලබාගත්තේ අංක 5 පිතිකරු ලෙසින් පිටියට පිවිසි ඩෙනිස් කොම්ප්ටන් ලබාගත් ලකුණු 147 නිසා යි. එලෙස පළමු ඉනිමේ දී ලබාගත් ශතකයෙන් සෑහීමකට පත්නොවුණු කොම්ප්ටන් දෙවන ඉනිමේ දී නොදැවී ලකුණු 103ක් ලබාගත්තේ එංගලන්ත ඉනිම සවිමත් කරමින්.

ඩෙනිස් කොම්ප්ටන්  ( gettyimages )

ආතර් මොරිස් (ඕස්ට්‍රේලියාව) – 122 සහ 124* (1947 වසරේ දී)

ඩෙනිස් කොම්ප්ටන් ශතක 2ක් ලබාගත් ඉහත ටෙස්ට් තරගය ඕස්ට්‍රේලියානු පිතිකරු ආතර් මොරිස්ටත් අමතක නොවන එකක් වුණා. එම තරගයේ පළමු ඉනිමේ දී සිය කණ්ඩායම වෙනුවෙන් අගනා ලකුණු 122ක් ලබාගත් මොරිස් සිය නායක බ්‍රැඩ්මන් ලකුණු නොලබා දැවීයාමෙන් සිදුවුණු හානිය අවම කළා. ඉන් අනතුරුව තරගයේ අවසන් දිනයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලකුණු 314ක ඉලක්කයක් හඹා යාමට සිදුවුණා. එම අවස්ථාවේ දී තරමක් වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ මොරිස් තරගය ජයපැරදුමෙන් තොරව නිමාවන විට පන්දු 171කට මුහුණදෙමින් නොදැවී ලබාසිටි ලකුණු ගණන 124ක්.

ආතර් මොරිස් ( gettyimages )

ස්ටීව් වෝ (ඕස්ට්‍රේලියාව) – 108 සහ 116 (1997 වසරේ දී) 

1947 වසරේ දී කොම්ප්ටන් සහ මොරිස් අළුබඳුන ටෙස්ට් තරගයක ඉනිම් 2 දීම ශතක ලබාගැනීමෙන් පසුව වසර 50ක් ගතවන තුරුම එම දස්කම පෙන්වීමට කිසිදු පිතිකරුවෙකුට හැකිවුණේ නැහැ. එලෙස වසර 50ක කාලයක් පැවති දිගු නිහැඩියාව බිඳ දමමින් 1997 අළුබඳුන තරගාවලිය යටතේ මැංචෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේ පැවති ටෙස්ට් තරගයේ දී ස්ටීව් වෝ ශතක 2ක් ලබාගත්තා. එම තරගයේ කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 3ම ලකුණු 42කට දැවීගොස් තිබුණු අවස්ථාවේ ස්ටීව් වෝ පිටියට පිවිසියා. ඉන් පසුව ඉතාමත් වගකීමෙන් පන්දුවට පහරදෙමින් වෝ ලබාගත් ලකුණු 108 ඕස්ට්‍රේලියානු ඉනිම ලකුණු 235ක් දක්වා රැගෙන ගියා. පළමු ඉනිමේ දී සිය රටේ ගෞරවය බේරාගත් වෝට දෙවන ඉනිමේ දී ත් එම කාර්යය කිරීමට සිදුවුණේ ඕස්ට්‍රේලියානු මුල් කඩුලු 3ම ලකුණු 39කට දැවීයාම නිසා යි. එහිදී ඉතාමත් හොඳින් තම වගකීම ඉටුකළ වෝ අගනා ලකුණු 116ක් ලබාගත්තා.

ස්ටීව් වෝ පන්දුවට පහරදෙමින් ( gettyimages )

මැතිව් හේඩ්න් (ඕස්ට්‍රේලියාව) – 197 සහ 103 (2002 වසරේ දී)

2002/03 අළුබඳුන තරගාවලියේ පළමු ටෙස්ට් තරගය පැවැත්වුණේ බ්‍රිස්බේන් නුවර ගැබා පිටියේ දී යි. මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 492ක් ලබාගත්තේ හේඩ්න් ලබාගත් ලකුණු 197හි සවියෙන්. පළමු ඉනිමේ ලබාගත් ලකුණු 197න් නොනැවතුණු හේඩ්න් දෙවන ඉනිමේ දී නැවතත් ක්‍රියාත්මක වෙමින් ලබාගත් ලකුණු ප්‍රමාණය 103ක් 

හේඩ්න් බ්‍රිස්බේන් ටෙස්ට් තරගයේ දී පිත්තෙන් දස්කම් දක්වමින් ( gettyimages )

ස්ටීව් ස්මිත් (ඕස්ට්‍රේලියාව) – 144 සහ 142 (2019 වසරේ දී)

2019 අළුබඳුන තරගාවලියේ පළමු තරගය බර්මිංහැම් නුවර එජ්බැස්ටන් පිටියේ දී පැවැත්වුණා. එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් කඩුලු 8ම ලකුණු 122ක් තුළ දැවීගියේ තරගයේ පාලනය එංගලන්ත කණ්ඩායමට අතට ගනිමින්. නමුත් එම අවස්ථාවේ සටන්කාමී ඉනිමක් ක්‍රීඩාකළ හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් අගනා ලකුණු 144ක් ලබාගත්තේ ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව 284ක් දක්වා ඔසවා තබමින්. ඉන් අනතුරුව ලකුණු 90ක් පිටුපසින් සිට දෙවන ඉනිම ඇරඹූ ඕස්ට්‍රේලියානුවන්ගේ පළමු කඩුලු 2ම ලකුණු 27කට දැවීගොස් තිබුණු අවස්ථාවේ ස්මිත් පිටියට පිවිසියා. එතැන් පටන් එංගලන්ත පන්දු යවන්නන් සිය අණසකට නතු කරගත් ස්මිත් අගනා ලකුණු 142ක් ලබා පිටියෙන් නික්ම ගියේ සිය කණ්ඩායම ජය මාවතට යොමු කරමින්.

ස්මිත් පිත්තෙන් දස්කම් දක්වමින් (gettyimages)

කවරයේ ඡායාරූපය - ස්මිත් පළමු ඉනිමේ දී ශතකය ලබාගත් අවස්ථාව (gettyimages)

Related Articles