පත්තිනි දෙවියන් වෙනුවෙන් අවුරුද්දට ගහන පොරපොල්

පුරාණ ගම්මානවල එදා අද වගේ අවුරුදු කුමාරි තෝරන, පොල්ගාන, පොල්අතු වියන බක්මහ උත්සව තිබුණේ නැහැ. ඒවායේ තිබුණු සම්ප්‍රදායික ජන ක්‍රීඩා බොහොමයක් දේව විශ්වාස මෙන්ම ගොවිතැනේ සෞභාග්‍යය එක්කත් බැඳී පැවතුණා. අං ඇදීම, මේවර කෙළිය, පංචි කෙළිය වගේම පොර පොල් ගැසීමත් පුරාණ සංස්කෘතික අංග අතරට අයත් වූ අවුරුදු අංගයක්. තවමත් පිටිසර ගොවි ගම්මානවල කලාතුරකින් පොර පොල් ගැසීම දැකගත හැකියි.

පත්තිනි දෙවියන්ට අවුරුදු ක්‍රීඩා

පත්තිනි දේවිය -dinamina.lk

 “ඉර බාරයි ඉරවට යන ගිරවුන්ට – හඳ බාරයි හඳවට යන හාවුන්ට

මල බාරයි මලවට යන බඹරුන්ට – අපි බාරයි හත් පත්තිනි දෙවියන්ට”

ඉස්සර කාලෙ සෑම බක්මහ ක්‍රීඩාවක් ආරම්භයේ දීම වගේ ඉහත සඳහන් ජන ගීය ගායනා කර තිබෙනවා. 

ඈත අතීතයේ දී අවුරුදු ක්‍රීඩා බිහිවූයේ ක්‍රීඩාවට ලොල් වූ පත්තිනි දේවිය ඇදහීම වෙනුවෙන් බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඒ අනුව ක්‍රීඩාවට එක්වන ගමේ සියලු දෙනා එකට එක්ව පත්තිනි දෙවියන් ඇදහීම මෙමඟින් සිදුකරනු ලබනවා.

තම සැමියා කෝවලන් සොයාගෙන යන කන්නගී (පත්තිනි) ඒ ගමනේ දී කාලි යකින්න තමා කෑමට ආ විට දී තමාගේ නාමයෙන් මතුවට පවත්වන පූජාවන් ද, කෙළි සෙල්ලම් ද එම යක්ෂණියට පවරා තිබෙන බව දේව කතාවල සඳහන් වෙනවා.

අවුරුද්ද පිළිගැනීමට සූදානමින් -Timeout.com

පත්තිනි දේවිය සිහිපත් කරමින් කරන පූජාවක් විදිහට තමයි පොල්කෙළිය (පොර පොල් ගැසීම) අවුරුදු කාලෙට ගමේ පවත්වන්නේ. ඒ සියල්ල කාලි යකින්න භාරගෙන පත්තිනි දේවියගේ නාමයෙන් රෝග දුරු කරන බව ජන විශ්වාසයේ එනවා.

පොරපොල් ගැසීම ගමක්‌ එක්‌තැන් වන සංස්‌කෘතික උළෙලක්‌ ලෙසත් හැඳින්වීමට පුළුවන්. වී ගොවිතැන කරන විට ඇතිවන අපල, කෘමි උවදුරු ආදිය පොර පොල් ගැසීම මඟින් පලවා හැරිය හැකි බවට ගම්මු විශ්වාස කරනවා. එමෙන්ම  ගමට පවතින නියං සාය ආදිය දුරු කරවා ගැනීම සඳහාත් පොරපොල් ගැසීම දායක වන බවට විශ්වාසයක් පැවතුණා.

පොර පොල් ගෙඩි

පොරපොල් ගෙඩි- wahipodak.blogspot.com 

පොල් තිබුණු පළියට පොර පොල් ගහන්න හැකියාවක් නැහැ. ඒකට තෝරාගන්නේ කටුවේ ඝනකම වැඩි පොල් විශේෂයක්. වතුර අඬන්නේ සෙමින් නම් කියන්නේ පොර පොල් ගෙඩියේ කටුව ගනකම් කියා යි. සමහර ගම්වල පොරපොල්වලට සුදුසු පොල් හැදෙන ගස් ඉස්සර තිබුණා. ඒ ගස් ඒ නිසා පළාතෙම ප්‍රසිද්ධ යි.

දිගැටි පෙනුමක් ඇති පොර පොල් ගෙඩියේ පොල් ලෙල්ලේ පවා විශේෂ ශක්තියක් ඇතැ යි සැලකෙනවා. ඒ වගේම තමයි පොල් ගෙඩියේ විශේෂ කොටස් තිබෙනවා. ඇහැටිය හා පහටිය කියලා තමයි දෙකෙළවර හඳුන්වන්නේ. මැද කොටසේ නාරටි තුනෙන් වෙන්වූ කොටසට කියන්නේ ‘බළ’ කියලා යි.

අවුරුදු මතක් කරන රබන්- serendib.btoptins .lk

පොර පොල් ක්‍රීඩාවට කිසිම අවස්ථාවක ගසින් කඩාගෙන පොල් ගන්නෙ නැහැ. පොර පොල් පැහිලා ගස්වලින් බිමට වැටෙන්නම ඕනෑ. ඊට පස්සේ තමයි ඒවා ක්‍රීඩාවට යොදා ගන්නේ. මේ ආකාරයේ පොර පොල් ගෙඩි වැඩිපුරම මාතර, වැලිගම, දෙවුන්දරින් තමයි සොයා ගැනීමට හැකියාව තිබුණේ. තංගල්ල, ගාල්ල, කොළඹ, බත්තරමුල්ල, වත්තල, මෝදර, වේයන්ගොඩ ආදී ප්‍රදේශවලත් මේවා තිබුණු  බව පැවසෙනවා. 

මෙවැනි පොර පොල් ගසක හිමිකරුවන් ඉතා පරිස්‌සම් සහගතව එම පොල් ගස සුරක්‌ෂිත කරනවා. පොර පොල් ගැසීමට පුරාණයේ තෝරා ගනු ලැබවේ තැඹිලි පොල් වුණත්, පසුකලෙක දී තැඹිලි පොල් වෙනුවට පොල්කටුව ඝනකමින් යුතු කුඩා පොල් තෝරාගනු ලැබුවා. පෙර රජ දවස රාජ අනුග්‍රහයෙන් පවා පවත්වනු ලැබූ පොල්කෙළිය අවසානයේ දී ක්‍රීඩකයන්ට නින්දගම් පවා ලැබුණු බව පැවසෙනවා. පොරපොල් ගැසීමට දක්ෂ තරුණයන් ද ඉස්සර ගම්පළාත්වල ප්‍රකටව සිටියා.

පොර පොල් පිටිය සැකසීම

පොරපොල් පිටියේ පොරපොල් ගසමින්- subasetha.lk

පොර පොල් ගැසීම සඳහා යොදා ගන්නේ දෙවියන් ඇතැ යි විශ්වාස කෙරෙන ගමේ බෝ, නා, නුග වැනි වෘක්‌ෂ ආශ්‍රිත නිදහස් ස්ථානයක්. ක්‍රීඩා උළෙල පැවැත්වීමට මාසයකට පෙර සිටම පොර පොල් පිටිය සුද්ධ පවිත්‍ර කොට සමතලා කොට ගන්නවා. ගොක්කොළ එල්ලා අලංකාර කිරීමත් දැකගත හැකියි. පිටියේ දෙකෙළවර එකිනෙකෙට ප්‍රතිවිරුද්ධ පසින් ගොක්කොළවලින් පහන් පැල් දෙකක් සාදනවා. අවුරුද්දකට වරක් බක් මාසයේ පවත්වන පොරපොල් කෙළිය දිනවල එය ගමට මංගල්‍යයක්‌ බඳු වුණා. ඈත පළාත්වල නැදෑ හිතමිත්‍ර ආදීන් මෙම උත්සවය නැරඹීමට පැමිණියා.

අශුද්ධ දෑ හෙවත් කිලි ආහාර පිටියට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම්. අවමඟුලකට හෝ මල්වර මඟුලකට හෝ මස්‌ ආදිය ආහාරයට ගෙන පැමිණෙන්නන් දෙහි යුෂවලින් සෝදා පිරිසිදු වී පැමිණිය යුතු යි. කපුරාළ දෙවියන්ට යාතිකා කර කහ දියර පිටිය වටා ද ක්‍රීඩකයන්ට ද ඉසීම සිදු කරනවා. මේ පොරපොල් ක්‍රීඩාව හා සම්බන්ධ ජන කවියක්.

පද කර කවි කීවේ ඔබෙ නාමෙට

ලෙඩ රෝ දුක්‌ දුරුවෙයි ඔබ නාමෙට

සියලු රෝග දුරුවෙයි තෙද හළඹට

තෙද වරමක්‌ ලැබුණා පොල් කෙළියට

පොරපොල් කෙළිය

පොරපොල් ක්‍රීඩාවේ උණුසුම-lifie.lk

ක්‍රීඩාව ආරම්භ කිරීමට පළමු අනුමැති රාළ විසින් සෝදා පිරිසුදුකරගත් පොල්වලට කහ දියර ඉස මතුරා පේකර ගැනෙනවා. ක්‍රීඩාවට සහභාගී වන දෙපිලේ ක්‍රීඩකයින් ද ක්‍රීඩාවට එක්වීමට පෙර ස්නානය කොට පිරිසුදු වී කහ දියර හිස මත හා දෙඅත්වල ද ගා පේ වී සූදානම් වෙනවා. පත්තිනි රාළ හෙවත් අනුමැති රාළ ලෙස හඳුන්වන්නේ පොරපොල් ගැසීමේදී නීතිරීති හා උපදෙස් ක්‍රීඩකයින්ට ලබාදෙන වැඩිහිටි තැනැත්තා යි.

ක්‍රීඩාව ඇරඹීමට පළමුව ඉරක් ගහලා දෙපැත්තේ කණ්ඩායම් දෙක ස්ථානගත කළ යුතු වෙනවා. එක් කණ්ඩායමක් යටි පිල ලෙසත් අනෙක් කණ්ඩායම උඩුපිල ලෙසත් හඳුන්වනවා. කණ්ඩායමේ මූලිකයා හැඳින්වුණේ “පොල් වට්ටඩියා” කියලා යි.

කණ්ඩායම් දෙක ඉන්නේ ඒ ඒ කණ්ඩායමේ නායකයාගේ පිටිපස්සෙ යි. ඉන්පසු පිල් දෙකටම සමානව පොල් ගෙඩි ලබා දෙනවා. අතේ තබාගෙන පහර දෙන ගෙඩිය “දීඅත් ගෙඩිය” ලෙසත්, විසිකරනු ලබන ගෙඩිය “විසි ගෙඩිය” ලෙසත් හඳුන්වනවා.

යටි පිලේ මූලිකයා උඩු පිලේ අල්ලාගෙන සිටින පොල්ගෙඩිය ඉලක්ක කර පොලයක් දමා ගසනවා. එවිට උඩු පිලේ අයෙක් එක අතකින් හෝ දෑතින්ම අල්ලාගත් පොලයකින් එසේ එවන පොල් ගෙඩිය පිළිගන්නවා. ඒ පොලය බිඳෙන තුරු ඔහු මෙලෙස යටි පිලේ පොලයට වාර කීපයක් වුව මුහුණ දිය යුතුවෙනවා.

එරන් තැඹිලි අරගෙන සුරත ට

වරම් ලැබුණි ගිනි පත්තිනි අප හ ට

සියලු රෝග දුරුවෙයි ගිනි හළඹ ට

බිඳු නා උඩ පිලයේ පොල් හනිකට 

(ජන කවියකි)

මෙම පොර පොල් විසි කිරීම සහ පොල් ගෙඩි මුහුණට මුහුණ ඇල්ලීම අවදානම් වැඩක්. ඒ සඳහා මනා ඉවසීමක් ද අවශ්‍ය යි. පොල්ගෙඩිය බිඳුණහොත් අලුත් පොලයකින් ප්‍රතිවාදියාට අභියෝග කිරීම කළ යුතු යි. දෙපාර්ශ්වයේ තියෙන පොල්වලින් ඉක්මනින් පොර පොල් අවසන් වුණු පිල පරාජිත පිල විදිහට සැලකෙනවා. මෙහිදී ජයග්‍රාහී පිල ජයගොස නගමින් ගමේ සියලු දෙනා සමග පොරපොල් ගෙඩිය හිස මත තබාගෙන ගම වටා සංචාරය කරනවා.

ක්‍රීඩාවේ වැදගත්කම

වැර යොදා ඉලක්කයට …-  divaina.lk

වැඳ දෙවියන් හට වරම් ලැබෙනවා

උඩු පිලයේ පොල් බිඳී තියෙනවා

තෙද මිණි සළඹෙන් සමා ලැබෙනවා

පොල් කෙළියට වස්‌ නැත දුරුවෙනවා

සාමූහිකව සිදු කරනු ලබන මෙම ක්‍රීඩාව තුළ ඉඳහිට ආරවුල් ඇතිවන බවත් වාර්තාවී තිබෙනවා. ඒ පොරපොල් ගෙඩි වංචා කළ අවස්ථාවල දී යි. අත් ගෙඩිය නිතර දෙවේලේ පරීක්‍ෂාවට ලක්‌කිරීම විරුද්ධ පිලේ ක්‍රියාවලිය යි. එසේ තිබිය දී කාටත් අසු නොවන පරිදි හොරෙන් පොල් මාරු කිරීමට සමහර තරුණයන් කටයුතු කිරීමෙන් විරුද්ධ පිලේ දෝෂයට ලක්වූ අවස්ථාත් ඇසනෙවා.

මෙලෙස පොර පොල් ගැසීම දින 03 ක කාල සීමාවක්‌ පැවැත්වෙන අතර, දින ගණන ඇතැම් ප්‍රදේශවල වෙනස්‌විය හැකියි.

පත්තිනි දේව ප්‍රතිමාවක්- facebook

පොර පොල් ක්‍රීඩාව අවසන් දිනය පත්තිනි දෙවියන්ට ශාන්තිකර්මයක්‌ ලෙස පැවැත්වෙනවා. බවභෝග සඳහා ඇති වී තිබෙන විපත් උවදුරු දුරුකර දෙන මෙන් ගැමියන් කන්නලව්වේ යෙදී ඉල්ලා සිටිනවා. කන්නලව්ව පසුදින උදෑසන අවසන් වෙනවා. ඉන්පසු කිරි ආහාර දෙවියන් බුදුන්ට පූජා කොට සියලුම ගම් වැසියන්ටත් බෙදාදීම සිදු කරනවා.

සති කිහිපයකට පසුව, කපුරාළ පොර පොල් කෙළියෙහි දී බිඳින ලද පොල් එකතුකොට, කොටා තෙල් සිඳීම සිරිතක්. එම තෙල් බෙදාදීම වැඩිහිටි බොහෝ දෙනකුගේ මැදිහත්වීම මත සිදුවන අතර, ගමේ සියලු දෙනා පාහේ හැකි පමණ පොල්තෙල් රැගෙන යනවා. මෙම පොල්තෙල් ආහාරයට නොගන්නා අතර, ආගමික කටයුතු සඳහා පමණක්‌ භාවිත කිරීමට නිවෙස්වල තබා ගන්නවා. 

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

subasetha.lk

divaina.lk

sulumina.lk

කවරය- පොරපොල් ක්‍රීඩා අවස්ථාවක් -හරිමැද fb page

Related Articles