ශ්‍රී ලංකාවේ මැණික් පතල් කර්මාන්තය ආශ්‍රිත දේව ඇදහීම්

මැණික් කර්මාන්තය ආශ්‍රිත දේව වන්දනයේ දී ඒ සඳහා ගෞරවයට පාත්‍ර වන දෙවි දේවතාවුන් ශ්‍රී ලංකාවේ ප්‍රාග් බෞද්ධ අවධිය තුළ සඳහන් වන දෙවි දේවතාවන් කිහිපදෙනකු වන අතර ඒ සඳහා හින්දු දේව සංකල්පයේ සෘජු බලපෑමක් එල්ල වී නොමැත. විශේෂයෙන් ම මැණික් කර්මාන්තය ආශ්‍රිත ව සුමන් සමන් දෙවියන්, කතරගම දෙවියන් හා බහිරව දෙවියන් වන්දනාමාන කරන ආකාරය හඳුනාගත හැකි වේ.

පසු කලෙක පූජාවට පාත්‍ර වූ ප්‍රාදේශීය ජන ප්‍රධානියකු වූ ගම්බාර දෙවියන් ද මැණික් කර්මාන්තය ආශ්‍රිත ව ගෞරවයට පාත්‍ර වේ. ඒ ඔස්සේ මෙම දෙවිවරුන් සිව් දෙනා ප්‍රධාන වශයෙන් ම පුරාතන යුගයේ පටන් වර්තමානය දක්වා ම මැණික් කර්මාන්තය හා සබැඳි ජන පිරිසගේ වන්දනාවට පාත්‍ර වී ඇත.

සමන් දෙවියන්
සබරගමුවට අධිපති සුමන සමන් දෙවියෝ – exploresrilanka.lk

පැරණිත ම ඇදහීම්

ඒ අනුව සුමන සමන් දෙවියන් ඇදහීම මැණික් කර්මාන්තය තුළ නිබඳව ම සිදු කරන ආගමික චාරිත්‍රයකි. ශ්‍රී ලංකාවේ පැවති ඉතා පැරණිත ම ඇදහීම් අතර එකක් ලෙස ද සමන් දෙවි වන්දනය විද්වතුන් අර්ථ දක්වා ඇත. මැණික් ලැබෙන ප්‍රදේශය වූ රත්නපුර කලාපය භාර දෙවියන් ලෙස ද සුමන් සමන් දෙවියන් සලකයි. එබැවින් මැණික් කර්මාන්තය සඳහා සමන් දෙවියන්ගේ පිහිට පැතීම නිරතුරු ව මැණික් පතල් හිමිකරුවන්, කම්කරුවන් සේම මැණික් වෙළෙඳුන් සහ මැණික් මිලට ගන්නා පුද්ගලයන් ද සිදු කරයි. සමන් දෙවි පිහිට හා ආශිර්වාදය ලැබුවහොත් මැණික් වාසනාව හිමි වන බවට විශ්වාසයක් තත් කර්මාන්තය ආශ්‍රිත ව වර්තමානයේ පවතියි.  මැණික් පතල් බැසීම ආරම්භ කිරීමට පෙර සහ මැණික් ලැබීමෙන් පසුව ද සමන් දෙවියන් වැඳ පුදා ගැනීම, බාරහාර වීම සහ බාර ඔප්පු කිරීම, ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීම, දෙවියන් උදෙසා පූජා වට්ටි තැබීම ආදී ක්‍රියා මැණික් කර්මාන්ත ක්ෂේත්‍රයේ යෙදී සිටින පුද්ගලයන් සිදු කරයි.

සමන් දේවාලය වැඳ පුදා ගැනීම

පතල් ආරම්භයට පෙර සමන් දේවාලය වැඳ පුදා ගන්නා මැණික් කර්මාන්තකරුවන් දේවාලයේ කපු මහතකු ලවා යාතිකා කොට පඬුරක් වෙන් කරයි. එහි දී මැණික් ලැබීමෙන් පසුව එම බාරය නිදහස් කරන බවට පොරොන්දු වන අතර එවැනි අවස්ථාවන්හි දී බාරය නිදහස් කර ගැනීම සඳහා පූජා කරන ද්‍රව්‍ය රැසක් ද ඇත. මල් මාලයක් සහිත පූජා වට්ටියක්, තිරයක්, පිත්තල පහනක්, විශාල ප්‍රමාණයේ දේව ප්‍රතිමාවක් හෝ තහඩුවෙන් කළ කුඩා දේව රූපයක්, ආලෝක පූජාවක් ආදි පූජා විධි සුලබ වශයෙන් සිදු කරයි.

වර්තමානය වන විට මෙම පූජා විධි එකිනෙක පුද්ගලයාගේ ආර්ථික ශක්තිය මත අනුගමනය කරන අතර රතු, නිල් හෝ සුදු වර්ණවලින් සකස් කළ මල් මාලයක් සහිත පලතුරු වර්ග පහක් හෝ හයක් ඇති පලතුරු වට්ටියක් සකසා, ඒ මත බුලත් හා පඬුරු අසුරා අලංකාර ලෙස තැන්පත් කොට දෙවියන් උදෙසා වූ බාරය ඔප්පු කිරීම සඳහා දේවාලයට පූජා කිරීම සිදු කරයි. මෙය සමන් දෙවියන් උදෙසා පමණක් නොව කතරගම දෙවියන් උදෙසා ද සිදු කරන අතර පිත්තල පහන් පිදීමේ දී ද අඟල් තුනේ සිට අඩි හය දක්වා විවිධ ප්‍රමාණයෙන්, කැටයමින් හා අලංකාරයෙන් යුතු වූ පිත්තල පහන් පූජා කිරීම මැණික් කර්මාන්තයේ යෙදෙන්නන් සිදු කරයි.

සමන් දෙවියන් අභියස භාරහාර වීම

මැණික් කර්මාන්තයේ යෙදීමට පෙර සමන් දෙවියන් අභියස භාරහාර වීම වර්තමානයේ පමණක් නොව පුරාතන යුගයේ පටන් සිදු වූ කර්තව්‍යයක් වූ බව දඹදෙණි රාජධානි සමයෙන් හඳුනාගත හැකි ය. දෙවන පරාක්‍රමබාහු රජ දවස ආර්යකාමදේව නම් ඇමතිවරයා මැණික් ගැරීම සඳහා සබරගමුවට පැමිණි බවත්, එහි දී ඔහු වෙත වටිනා මැණික් ලබා ගත හැකි වුවහොත් සමන් දෙවියන් උදෙසා තෙමහල් ප්‍රසාදයක් ඉදි කරන ලද බවටත් පොරොන්දු වී ඇත.
                            සුරිඳුනි සිරි බර  –  අප මිනිකම් කරන වර
                            ලදුවොත් මිනි පවර – ගෙයක් කරවමි තුන් මහල් කර 

සබරගමු මහ සමන් දේවාලය
දෙවන පරාක්‍රමබාහු රජ දවස ආර්යකාමදේව ඇමැතිවරයා ඉදි කළ බවට සඳහන් වන සබරගමු මහ සමන් දේවාලය – tourism.sg.gov.lk

 

මෙලෙස සුමන සමන් දෙවියන් වෙනුවෙන් ඉදි කළ තුන් මහල් ප්‍රාසාදය සමන් දේවාලය වන අතර එමඟින් ගම්‍යමාන වනුයේ මැණික් කර්මාන්තය සම්බන්ධ මෙම සමන් දේව ඇදහීම පුරාතන යුගයේ පටන් ම ලාංකේය සමාජ-සංස්කෘතික පද්ධතිය තුළ ක්‍රියාත්මක වූ, එමෙන් ම වර්තමානයේ ද තවදුරටත් ක්‍රියාත්මක වන අභිචාර විධික්‍රමයක් වන බව වේ.

පූර්ව සූදානමකින් තොර ව අනවසරයෙන් සිදු කරන මැණික් ගැරීමක දී සමන් දෙවියන් උදෙසා සිදු කරන මෙවන් විශේෂ වත්පිළිවෙත් සම්ප්‍රදායක් දක්නට නොලැබෙයි. එවැනි අවස්ථාවන්හි දී පතල් ආරම්භ කිරීමට ප්‍රථම සමන් දේවාලය වෙත ගොස් බාර වීම හා විශේෂ පඬුරකින් දෙවියන් යැද මැණික් හිමි වූ පසු පූජාවක් පවත්වා බාරය නිදහස් කර ගනු ලබන බවට ගිවිසා ගනි යි. මැණික් කර්මාන්තකරුවන්ගේ අභිලාෂයන් අනුව මැණික් අලෙවි කර ගැනීමට නොහැකි වූ අවස්ථාවන්හි දී ද එයට නියමිත වටිනාකම ලබා දෙනු වස් සමන් දෙවියන් උදෙසා බාරහාර වීම රත්නපුර ද්‍රිස්ත්‍රිකය ආශ්‍රිත මැණික් පතල් ක්ෂේත්‍රයේ නිරත වන පුද්ගලයන්ගේ චිරාගත සම්ප්‍රදායක් බවට පත් වී ඇත.

සමන් දෙවොලෙහි ඇතුළත දර්ශන
සමන් දෙවොලෙහි ඇතුළත බැතිමතුන් විසින් වන්දනාමාන සිදු කරනා අයුරු – tourism.sg.gov.lk

කතරගම දෙවියන් ඇදහීම ද මැණික් කර්මාන්තය ආශ්‍රිතව දක්නට ලැබෙයි. භූමිය තුළ මැණික් ගොඩ ගැසෙනුයේ කතරගම දෙවියන්ගේ බලය නිසාවෙන් බව ඒ සඳහා පාදක වන විශ්වාසය එයට හේතු වේ. ඒ හේතුවෙන්ම මැණික් පතලය කැපීමට පෙර කතරගම දෙවියන් හා පත්තිනි දෙවියන් වෙත බාරහාර වී පතල් භූමියේ සුබදායී මැණික් පිහිටීමක් ඉල්ලා සිටීමට මැණික් කර්මාන්තකරුවෝ කටයුතු කරති.

කතරගම දේව වන්දනය

දෙවියන්ට පූජා වට්ටි තබා බාර වී, පඬුරු ගැට ගැසීම සිදු කිරීම සම්ප්‍රදාය වේ. තවත් මතවාදයකට අනුව කතරගම දෙවියන් යම දෙවියන් ලෙස අර්ථ දැක්වීම ද, යම දෙවියන් පාතාලය හා පොළෝ අභ්‍යන්තරයේ ඇති වස්තූන් සඳහා අධිගෘහිත ලෙස සඳහන් වීම ද මැණික් කර්මාන්තය ආශ්‍රිත ව කතරගම දේව වන්දනය ප්‍රචලිත වීමට හේතු සාධක වන්නට ඇති බව සඳහන් වේ. වර්තමානයේ ද මැණික් පතලක් ආරම්භ කිරීමට ප්‍රථම හා අපේක්ෂා ඉටු වී මැණික් වාසි ලබා ගත් පසු කතරගම දේවාලය වෙත ගොස් බාරහාර වීම සහ ඔප්පු කිරීම එම කර්මාන්ත කරුවන්ගේ මූලික සිරිතකි. ඉතා භක්තිමත් හැඟීමකින් යුතුව මෙම දේව පූජාව හා සම්බන්ධ වී ඊට අදාළ චාරිත්‍රාංග සිදු කොට දේවාශිර්වාදය ලබා ගැනීමට මැණික් කර්මාන්ත හිමිකරුවන් කටයුතු කරයි.

යම දෙවියන් ලෙස ඇතැමුන් සලකනු ලබන කතරගම දෙවියෝ – kataragama.org

 

භූමියට හා භූමියට අයත් වස්තුවල හිමිකාරීත්වය ඇතැයි සැලකෙන බැවින් මැණික් කර්මාන්ත ක්ෂේත්‍රයේ දී බහිරව දෙවියන් ඇදහීම ද සිදු කරයි. මෙය ද ද ප්‍රාග් බෞද්ධ ලංකාවේ සිට ක්‍රමයෙන් විකාශනය වූ දේව ඇදහිල්ලක් ලෙස හඳුන්වයි. විශේෂයෙන්ම අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටා ඇති භෛරව කෝවිල මෙම දෙවියන් වෙනුවෙන්ම වෙන් වූ කෝවිලක් ලෙස අර්ථ දක්වයි. ඒ හේතුවෙන් ම මැණික් කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් මෙම කෝවිල වෙත ගොස් වන්දමාන කොට ආශිර්වාද ලබා ගැනීම අතීතයේ සිටම සිදු කරන සම්ප්‍රදායක් වේ. එහිදී පතල ආරම්භයට පෙර බහිරව කන්නලව්වක් සිදු කොට භූමිය තුළ මැණික් වාසනාව පිහිටුවීමට බහිරව දෙවියන්ගෙන් ඉල්ලීමක් සිදු කරයි. පතලේ සිව් කොන යා කරමින් පහන් පැල සතරක් සකස් කොට බහිරව දෙවියන් වෙනුවෙන් පහන් දල්වමින් බහිරව දෙවියන්ගෙන් ආශිර්වාදය ඉල්ලා සිටීම වත්මන් පතල් කර්මාන්තය තුළ සුලබ චාරිත්‍රයක් වේ.

බහිරව කන්නලව්ව

මැණික් පතල ආරම්භ කිරීමට පෙර සිදු කරන බහිරව කන්නලව්වේ දී, මහා බහිරවයා, සංහාර බහිරවයා, අසිනාග බහිරවයා, රීරි බහිරවයා, කාල බහිරවයා, ක්‍රෝධ බහිරවයා, තාම්රචුඩ බහිරවයා, රෞද්‍ර බහිරවයා යන බහිරව දෙවියන් සියලු දෙනාට ම එකිනෙක වශයෙන් කන්නලව් කිරීම සිදු කරයි. ඊට අමතර ව පතල් කටයුතු ආරම්භ කිරීමෙන් පසු සෑම දිනක ම මෙම බහිරවයන් වෙනුවෙන් දල්වන පහනක් පතල් වාඩිය අසල තබා ගැනීමට ද කටයුතු කරයි. එම පහනෙහි පවතින සුවිශේෂීත්වය වනුයේ එය ගලකින් නිර්මාණය කොට තිබීම යි. පතල් කටයුතු ආරම්භ කිරීමට පෙර පතල් කම්කරුවෝසෑම දිනයක ම  මෙම පහනට නමස්කාර කොට බහිරව දෙවියන්ගේ ආශිර්වාදය ලබා මැණික් ගැරීමේ කටයුතු ආරම්භ කරයි.

 බහිරව දෙවියන්
භූමියට අධිපති යැයි සළකනු ලබන බහිරව දෙවියෝ – www.facebook.com

 පතලේ ඉල්ලම් සොයා ගත් පසු නාම්බුව බැලීම සඳහා කටයුතු කරන ‘ඉල්ලම් කමත’ තුළ ද බහිරව දෙවියන් උදෙසා පහනක් දැල්වීමේ සම්ප්‍රදායක් ඇතැමුන් තුළ පවතින බව මූලාශ්‍රයන්හි සඳහන් කොට ඇත. බහිරව දෙවියන් උදෙසා සිදු කරන මෙම පොදු සිරිතට අමතර ව පතල් භූමියට කිසියම් දෝෂයක් සිදු වී මැණික් නොලැබෙන බව හැඟී ගියහොත් ඒවැනි අවස්ථාවල විශේෂ පහනක් දැල්වීමට ද කටයුතු කරයි.

 එම පහන රන් තැඹිලි තෙල් යොදා ගනිමින් ‘රත්නචාමුන්ඩය’ හෝ ‘රාජ ගිංගිලියාව’ යන මන්ත්‍රය මතුරා ඒ වෙනුවෙන් කරන පහන් දැල්වීමක් වේ.* මේ ආකාරයෙන් සමන් දෙවියන්, කතරගම දෙවියන් හා බහිරව දෙවියන් ඇදහීම මැණික් කර්මාන්තකරුවන් පොදුවේ මැණික් කර්මාන්තය ආශ්‍රිතව සිදු කරන දේව ඇදහීම් ලෙස හඳුනාගත හැකි බව පැහැදිලි ය. ඉන් පසුව පතල ආරම්භ කිරීමට පෙර තවත් සුවිශේෂී වූ වත් පිළිවෙත් කිහිපයක් ද අනුගමනය කිරීමට කටයුතු කරයි.

කවරයේ ඡායාරූපය - මැණික් - instoremag.com 

මූලාශ්‍ර:

 සබරගමු උදාන-රත්නායක කේ.බී -මැණික් කර්මාන්තය ආශ්‍රිත ආර්ථික සාමාජික හා සංස්කෘතික ගැටලු-නිදහස ස්වණ ජයන්ති ප්‍රදර්ශනය-1998 

මැණික් කර්මාන්තය හා බැඳි වත් පිළිවෙත්-රාජපක්ෂ එස්. -එස්.  ගොඩගේ සහ සහෝදරයෝ-කොළඹ-2003.

මැණික් පුරාණය-මායාදුන්නේ එස් - සරසවි ප්‍රකාශකයෝ-නුගේගොඩ-2007

Related Articles