මුවින් මුවට යන ලාංකේය අපේ උරුමය සහ ප්‍රෞඪත්වය

‘ශ්‍රී ලංකාව’ කියන නම අපිට ලැබුණේ 1972 දී බ්‍රිතාන්‍ය පාලනය ‘සිලෝන්’ ලෙස හඳුන්වමින් සිටිය දී යි. ඊටත් පෙර අරාබි සහ පර්සියන් වෙළෙන්දන් මෙරටට ඉස්සර ‘දෛවය’ හෙවත් Serendipity වචනය ‍එහා මෙහා කරමින් ‘සෙරන්ඩිබ්’ ලෙස නම් තබා තිබුණා. සිලෝන් යන නාමය පසුකාලීනව රාජ්‍ය භාවිතයන්ගෙන් ඉවත් කෙරුණු නමුත් ‘සිලෝන් තේ’ තවමත් එලෙසම අපේ අභිමානය පවත්වා ගෙන සිටිනවා. ඉන්දියන් සාගරයේ මුතු ඇට‍ය කුමන නමකින් හැඳින්වූවත් එය සතු සොබාදහම, පිහිටීම, මුතුන් මිත්තන්ගේ අපූරු වැඩ තවමත් එය ලොව අන් රටවල් අතරින් ඔසවා තබමින් හොඳ නමක් ලබාගෙන සිටිනවා. සේද මාවතේ කේන්ද්‍රස්ථානයක පිහිටීම හෙවත් ඕනෑම රටකට පහසුවෙන් ගමන් කළ හැකි වීම, සමකාසන්නව පිහිටීම නිසා හොඳ දේශගුණයක් හා මැණික් බිහිවීමේ හැකියාව, මුහුදෙන් වටවීම නිසා කැල්සියම් අවශ්‍යතාවන් සපුරා ගැනීමට පහසු බව මෙන්ම සුන්දර වෙරළ තීරයක් අපට ස්වාභාවික වශයෙන් උරුම වී තිබෙනවා. එයට පාරම්පරික උරුමය සහ ආදරණීය ලාංක‌ේය සිනාව නමැති ලුණු මිරිසත් එකතු වුණාම යහ පදමැති කෙසෙල් කොළයක් මත ඉදුණු කිරිබතක්!

අපේ මිනිස්සු හරි වෙනස්. කොච්චර හිතේ තරහා මරහා තිබුණත් කට පුරා හිනාවෙලා තමන්ගේ හෘදයාංගම බව ප්‍රකාශ කරනවා. වෙනත් රටවලට වඩා ආගන්තුක සත්කාරයට ලාංකිකයන් බොහොම ප්‍රියයි. ඕනෑම කෙනෙක්ව හිනාවෙලා පිළි අරගෙන තමන්ගේ පළාත පෙන්වන්නට, හොඳ කෑම වලින් සප්පායම් වෙන්නත් බොහොම නිහතමානීව ඉදිරිපත් වෙනවා. ලංකාව පුරාම සිනාව බෝ වන්නේ ඒ නිසායි.

පොළොස් කරියට ගස් කුකුල්ලු කියන්නේ නිකං නොවෙයි (cnn.com)

වෙනත් රටවලට වඩා වෙනස්ම ආකාරයේ කෑම ජාති අපේ රටේ තිබෙනවා. අපේ රටේම හැදෙන කුරුඳු, කරාබු නැටි, රම්පේ, කරපිංචාවලින් රස පමණක් නොව පෙනුමත් වැඩි වෙනවා. නුවර පොල් හොදි, කොළඹ මස් කරි, රුහුණේ මී කිරි මෙන්ම දෙමළ තෝසේ එක්ක සාම්බාරුත්, මුස්ලිම් වටලප්පම්නුත් මෙරට ආහාර කලාවේ විවිධත්වය පවත්වා ගන්නේ ප්‍රධාන ජාතීන් තුනකගෙන් පෝෂණය වුණු දේශීයත්වයේ රස විදහා දක්වමින්. දැනටත් ‘මාතර බත් කඩේ’ කියලා නම දැමූ කඩයක් හඳට ගියත් හොයාගන්නට පුළුවන් වෙලා තියෙන්නේ ගමේ විධියට කන්න කවුරුත් ආසා නිසා යි. ප්‍රධාන බෝගය ලෙස වී වගාව රට පුරා හරිත බිම් ඇති කරලමින් බත සරි කරද්දී මීදුමින් වැසුණු කඳු අතරින් කඩා හැලෙන දිය දහරාවන් ඇස පිනවා, සිසිලසින් ඇ‍ඟ‍ේ හිරිගඩු මවනවා. ඒ අතරේ වළි කුකුළන්, මොණරුන්, කැහි බෙල්ලන් සහ අලින් මෙරට සිසාරා යන කැමරා කාචයක සුලබ දසුන් බවට පත් වෙනවා.

කුවේරයාගේ ආලකමන්දාව හෙවත් සීගිරිය (imgix.net)

අතීත ශ්‍රී විභූතිය මනාවට කියා පාන සීගිරිය 1982 දී යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුමයක් වශයෙන් ද නම් ලබා ප්‍රෞඪත්වයෙන් නැගී සිටින සිංහයෙක්. කාශ්‍යප රජුගේ මාලිගාව වශයෙන් ක්‍රි.ව. 5වන සියවසේ දී ඉදිවුණු මෙය කුවේරයාගේ ආලකමන්දාව ලෙස ද සලකනවා. මාලිගාවක් සහ බලකොටුවක් ලෙස භාවිතා කරන ලදැ යි අනුමාන කරන මෙහි පඩිපෙල්, වැසි දියෙන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන දියමල් හා පොකුණු, කැටපත් පවුර සහ චිත්‍ර දුටු දුටුවන් දෑස් මවිත කරවනවා. ඉහළ මාලයට නැග්ගාම හාත්පස වනාන්තරයේ අංශක 360ක දසුනක් දැකගන්නට පුළුවන්.‍

අනුරපුරයේ සඳකඩ පහනෙහි හින්දු ආභාෂයක් නොලද නිසා ගවයෙක් සිටියා (travellermusingsblog)

ඓතිහාසික අනුරපුර නගරය අතීතයේ මෙරට ප්‍රධාන නගරයක්ව පැවතුණා. එය තවමත් බෞද්ධයන්ගේ වන්දනීය මධ්‍යස්ථානයක්ව තිබෙන්නේ ජේතවනරාමය, අභයගිරිය, ලංකාරාමය මෙන්ම ලංකාවේ ප්‍රථම දාගැබ ලෙස සැලකෙන ථූපාරාමයත්, දැනට ලොව පැරණිතම (ඉන්දියාවේ බුදුන් පිට දුන් බෝ වෘක්ෂය අභාවයට යාමෙන් පසු) බෝ වෘක්ෂය බවට පත්ව ඇති ශ්‍රී මහා බෝධිය ද මේ ආශ්‍රිතව තිබෙන නිසා යි. වසර 1400ක අනුරපුර යුගයෙන් පසුව බිහිවූ පොළොන්නරු යුගයේ දී මෙරටට පළමුවන පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල වැනි රජවරුන් බිහිවුණා. නිශ්ශංක ලතා මණ්ඩපය, පරාක්‍රමබාහු රජ මාලිගය මෙන්ම පරාක්‍රම සමුද්‍රය ඒ අභිමානය තවමත් පොළොන්නරුවෙහි රඳවාගෙන සිටින්නේ චෝල ශිෂ්‍ටාචාරයෙන් ආ බ්‍රාහ්මණ ඉදිකිරීම් ද සමග යි. මේ දෙනුවරම ලෝක උරුම වශයෙන් පිළිගෙන තිබෙනවා.

ගාලු කො‍ටුවේ පැරණි ඡායාරූපයක් (wikimedia.org)

රටේ පහළ මාලය දෙස බලද්දී මෙරට නිවර්තන වනාන්තරවලින් අ‍ාඪ්‍ය බවට හොඳින් පිළිඹිබු කරන සිංහරාජ වනාන්තරය ලොව ඉතා දුර්ලභ උභය ජීවීන්ට සහ ඒකදේශික සතුන් රැසකට වාසස්ථාන සපයමින් පුළුල් ජෛව විවිධත්වයකට නිවහනක් බවට පත්ව සිටිනවා. කි.මී. 21ක් පුරා පැතිරුණු මෙම රක්ෂිතය පළා පොළඟා, තෙලිස්සා, වත රතු මල් කොහා වැනි සතුන්ට හා ශාක විශේෂවලින් ගහණව තිබෙන්නේ දකුණු පළාත සහ සබරගමු පළාත ද ආවරණය කරමින්. එතැනින් දකුණු ලක අගනගරය වන ගාලු පුරවරය දෙස බලද්දී 16වන සියවසේ දී ලන්දේසීන් අපට උරුම කළ ගාලු කොටුව හමුවෙනවා. එහි තවමත් පැරණි ගෘහ නිර්මාණ ශිල්පයෙන් යුත් නිවාස, පල්ලි දකින්නට ලැබෙන අතර මුහුදෙහි අලංකාර දසුන් සමග කොටු පවුරු බැම්මේ ඉහළ සිට ඉතා ගැඹුරැති මුහුදට පනින තරුණයන්ගේ දස්කම් ද දැකගන්නට අවස්ථාව තිබෙනවා. රාත්‍රියේදී විදේශිකයන්ගෙන් ගහණව වෙනත් රටක් බවට මෙම භූමිය පත් වෙනවා. තවත් රෑ බෝ වෙද්දී අවට සම්පූර්ණයෙන්ම නිහඬ වූවාට පසු සීතල මුහුදු සුළඟින් ගත හිරිගඩු පිපෙද්දී ඒ ඝෝෂාවට කණ යොමාගෙන තරු පිරි අහස දිහා බලාගෙන කොටු පවුර මත හාන්සි වෙලා ඉන්න එක තරම් හිත නිවන දෙයක් තවත් නැහැ.

අම්බලන්ගොඩ වෙස් මුහුණු (nashaplaneta.net)

දකුණු පළාතේ වෙරළබඩ ගම්මානවල ප්‍රසිද්ධ කෝළම් නාට්‍ය සම්ප්‍රදාය ගාල්ලට මඳක් ඔබ්බෙන් වූ වෙස් මුහුණු වලට නම් කරන අම්බලන්ගොඩ අපට සිහි ගන්වනවා. කදුරු, රුක් අත්තන, සමඳරා වැනි සැහැල්ලු ලීයෙන් සකසා ගත් වර්ණවත් වෙස් මුහුණු පැළඳ රඟ දක්වන මේවායේ ආරම්භයේ දී කතාවට අදාල නොවන පාත්‍ර වර්ගයා (චරිත) යොදාගන්නවා. අනතුරුව, කවි සහ හිටිවන සංවාද සමග කථා එකක් හෝ දෙකක් සමග අවසන් කිරීම, ස්ත්‍රීය හාස්‍යයට ලක් කිරීම, මඩුවක් ඉදිරියේ එළිමහන් රංග පීඨයක පැවැත්වීම මෙහි විශේෂ අංග ලෙස දැකිය හැකියි. මේ අතරේ, උඩරට පළාත් වලටත් වන්නියටත් සතර කෝරළේ ඇතැම් පෙදෙස් වලටත් සීමාවූ සොකරි නාටක ගැට බෙරය යොදාගෙන රඟ දක්වනවා. ශෘංගාරය වඩවන සේ සොකරි නමැති ඉන්දියාවෙන් මෙරටට ආ කාන්තාවක් වර්ණනා කරමින් ඇගේ පවුල් ආරවුලක් සහ ඒ වටා ගෙතුණු හාස්‍යජනක නාට්‍යාංගයන්ගෙන් යුතුව මෙම කතාව දිවෙනවා. බටහිර මුහුදුබඩ වෙරළ ද දහනව සියවස මුල් භාගයේදී පිලිප්පු සිංඤ්ඤෝගේ රචනාවලින් ගොඩ නැගුණු ශෛලිගත නාට්‍ය සම්ප්‍රදාය අනුව යන ‘නාඩගම්’ සඳහා නම් දරනවා. සම්පූර්ණයෙන්ම ගීත  මඟින් රඟ දැක්වෙන මේවා පස් ගොඩ ගසා සකසා ගත් රංග භූමියක රඟදැක්වුණා.

ලංකාව පුරා විහිදී ඇති මේ ප්‍රෞඪත්වයේ සිනහව රට පුරා නූතන පරපුරෙහි සිත් සතන්වලට බෝ කරන ‘සිග්නල් සිනා බෝ වේවා’ වැඩසටහන් කළුතර, කොළඹ, කුරුණෑගල, දඹුල්ල, අනුරාධපුර, වවුනියාව, යාපනය, ත්‍රිකුණාමලය, මහනුවර, නුවරඑළිය, මඩකළපුව, රත්නපුර සහ මාතර වැනි නගර බොහොමයක් ආවරණය කරමින් පැවැත්වුණා. වසර 15ක් පුරාවට ශ්‍රී ලාංකිකයන්ගේ දත් කුහර වළක්වන සිග්නල් ‘දත්’ ගැන දැනුම සහ විනෝදය රැගෙන ‘සිනා බෝ වේවා’ වැඩසටහන සමග ලංකාව පුරා ම සංචාරය කළා.

කවරය: https://www.youtube.com/watch?v=GgLQBRyjkoU

Related Articles