අපේ වැව් ගම්මානවල කතුන්ට විශේෂිත වූ සිරිත් විරිත්

දැනට දශක හතරකට පමණ පෙර දක්වා අපේ වැව් ගම්මානවල ගොවි පවුල්වල පැවති සංස්කෘතිය දැන් බොහෝදුරට වෙනස් වෙලා‍. අද කාලෙ සිට බලන විට ඒ කාලේ පැවති සිරිත් විරිත් ගැන තරුණ පරම්පරාවට නම් පුදුමත් හිතේවි. නමුත් අතීතයේ පැවති සරල ජීවිතයත් සමඟ මේවා බද්ධ වී පැවතුණා. 1950 -60 දශකවල මේ සිරිත් සුලබ ව භාවිත වූ අතර ඒවා ක්‍රමයෙන් රජරටින් ඉවත්වීම සිදුවුණේ 1980 දශකයේ විවෘත ආර්ථික ක්‍රමයත් සමඟයි. වයඹ පළාතේ දුෂ්කර ගොවි ගම්මානවල වගේම උතුරුමැද පළාතෙත් මේ ජීවන අංග පැවතුණා. මේ සිරිත් ගැන ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත පශ්චාත් උපාධි අධ්‍යයනයක් ද කර තිබෙනවා. මේ  අතරින් කාන්තාවන්ට විශේෂිත වූ ගැමි සිරිත් කිහිපයක් ගැන කතාකිරීමට තමයි මෙහි උත්සාහ කරන්නේ.

කිලි මුට්ටිය

කිල්ල යනුවෙන් පුරාණයේ අදහස් කළේ අපිරිසුදු වීම හෝ අපිරිසුදුභාවයට ගොදුරුවීමයි. කාන්තාවන්ට ඇතිවන මාසික ඔසප්වීම් කාලය සැලකුණේ කිලි සමයක් විදිහටයි. මේ කාලෙට පුරාණ ගොවි ගෙවල්වල රාත්‍රී කාලයේ දී කාන්තාවන්ට ඇතිවන ශාරීරික අවශ්‍යතාවලට, අපද්‍රව්‍ය ඉවත්කර ගැනීමට වැසිකිළියට යාම බාධාවක් වුණා. ඒ කාල‍යේ සෑම ගොවි නිවසක ම වැසිකිළිය පිහිටා තිබුණේ ගෙදරින් මීටර 10-15ක් දුරින්. දැන් වගේ නිවස තුළ ම නොවෙයි.

 කිලි මුට්ටියට යොදා ගන්නා වළඳක්- dilmaconservation.org 

 

ඒ අවශ්‍යතාවලට යොදාගත් මුට්ටියට තමයි කිලි මුට්ටිය කියන්නේ. කිලිහැලිය කියලත් ඒක හඳුන්වා තියනවා. මේකට යොදා ගත්තේ මැටි මුට්ටියක්. එය කට පළල් මුට්ටියක් විය යුතුයි. බොහෝවිට ඒ සඳහා භාවිත කළේ බත් පිසීමට යොදාගෙන ඉවත් කළ පරණ මුට්ටියක්. මේක නිවෙස්වල කාන්තාවන් රහසිගත ව තමයි භාවිත කළේ. රාත්‍රිය උදාවන විට පිළිකන්නේ සිට ඇතුළුගෙට හෝ වැදුම්ගෙට රැගෙන එන කිලිමුට්ටිය පසුදා උදෑසනින් ම ගෙයින් පිට කරනවා. අපද්‍රව්‍ය ඉවත් කිරීම ද රහස්‍ය ලෙස සිදු කිරීම විශේෂත්වයක්. පිරිමි පාර්ශ්වයට හෝ කුඩා ළමයින්ට එය දැනගැනීමට තබන්නේ නැහැ. එය නිවසේ කාන්තාවන් අතර පමණක් හුවමාරුවන රහසක් ලෙස සැලකුණා.

 පුරාණ ගමක දසුනක්- 19cphoto.com

වැදුම් ලණුව

ගොවි ගෙවල්වල දරු ප්‍රසූතිය සිදු වූයේ නිවසේ ම කාමරයක. ඒකට කිව්වෙ වැදුම් ගේ කියලා. ඒ කාලෙ යමක් කමක් ඇති ප්‍රභූ ගෙවල්වල නම් නිවසේ වෙනම අඳුරු කාමරයක් වැදුම් ගේ වශයෙන් තනා තිබුණා. දුප්පත් ගෙවල්වල නම් ඒ අවස්ථාවේ දී තිබෙන කාමරයක් තමයි වැදුම්ගේ බවට පත් කර ගත්තේ.

ගමේ වින්නඹු අම්මා තමයි දරු උපතට සම්බන්ධ සියලු දේවල් ඉටු කළේ. හැම ගමක ම අත්දැකීම් බහුල වින්නඹු අම්මා කෙනෙක් හිටියා. දරු ප්‍රසූතිය සිදුවන විට ගැබිණි මව ඒ සඳහා ඇඳෙහි සිට වෙරගත යුතු වුණා. ප්‍රසූතිය පහසු කිරීමේ ඖෂධ, වේදනා නාශක ඖෂධ හෝ සිසේරියන් සැත්කම් ඒ කාලෙ තිබුණේ නැහැ. මේ නිසා ස්වභාවික දරු ප්‍රසූතියක දී මවට අත්වන දැඩි වේදනාව විඳ ගත යුතු වුණා. සිරුරින් වීර්යය ගෙන තමයි දරුවා බිහිකිරීමට අවශ්‍ය තෙරපුම උදරය පෙදෙසට මව විසින් ම ලබා දුන්නේ.

 කෙතක සිටින ගැබිණි කතක් -pri.org

වින්නඹු අම්මා පසෙක සිට එයට උපදෙස් දීම සිදු කළා. එසේ වීරිය ලබාගැනීමට ඇඳට ඉහළින් ගෙයි පියස්සේ බාල්කයක ලණුවක් එල්ලා තිබුණා. එයට කිව්වේ වැදුම් ලන්න කියලයි. නැත්නම් විලි රෑන, තිඹිරිපටේ වාගේ නම් ද විවිධ පළාත්වල භාවිත කළා. රියන් අටක් හෝ ඊට ආසන්න දිගකින් යුත් මේ ලණුව වියා ගත්තේ වල්බෙලි  හෝ නාවා ගස්වල පට්ටාවලින්. සමහර විට මුවහම් හෝ ගෝනහම්වලින් කළ වරමදුත් යොදාගෙන තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතේ තිබෙන කොලොන්න මඩුවන්වෙල වලව්වේ වැදුම් කාමරයේ වැදුම් ලණුවක් අදත් දැකගත හැකියි.

 පොල් අතුවලින් තනනා වහං පැල- alarmy.com

වහංපැල

ගොවි ගෙදරවල කාන්තාවක් කැසිකිළි කටයුතුවලට ගියේ වහං පැලටයි. පිරිමි නම් ඒ වැඩේ කළේ ගහකට හෝ පඳුරකට මුවා වෙලා. වහං පැල බොහෝ විට තැනුවේ නිවස පිටුපස ගසක් අද්දර ඉඩකඩකයි. චතුරස්‍රාකාර ආකාරයට තරමක් සවිමත් කෝටු සිටුවා එය පොළොවේ සිට අඩි හයක් පමණ උසක් වන සේ තනා පොල්අතුවලින් ආවරණය කරනවා. එක් පැත්කින්වත් ඇතුළත නොපෙනෙන ආකාරයට ඊට පිවිසුම් මංකඩකුත් තබනවා. වහං පැලේ වහලයක් නැහැ. අතුකොටුව, වහංකොටුව, අතුමඩුව ආදී නම් ද එයට භාවිත කරන බව ජනශ්‍රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත සඳහන් කරනවා.

පැරණි පනා -facebook

 

මී අං පනාව

පුරාණයේ කාන්තාවන්ගේ කොණ්ඩය ඉතා දිගට පැවතුණා. දිගු කෙස් කලබ පිළිවෙළකට පීරා ගත යුතු වුණා. නැත්නම් කොණ්ඩය පැටලී කැඩී යාම සිදුවුණා. දිගු කොණ්ඩය පිළිවෙළට පීරා ගැනීමට යොදාගත් පනාව තමයි මීඅං පනාව කියන්නේ. එය පැරණි ඇත්දත් පනාවට පෙනුමෙන් සමානයි. එය මීදෙනුන්ගේ අංවලින් තමයි කපාගෙන නිර්මාණය කර තිබුණේ. එයට හේතුව පිරිමි මී හරකුන්ගේ අංවලින් තැනූ විට ඉක්මනට පුපුරා යාමට ඉඩ තිබූ නිසා කියලයි පැවසෙන්නේ.

පනාව තනවාගෙන තිබෙන්නේ ගාඩි ජනතාවට කියලයි. ඔවුන් පනා තැනීමට දක්ෂයන් ලෙස සැලකුණා. එය වියත් බාගයක් නැත්නම් අඟල් 5ක් විතර දිගයි. එහි මැද කොටස පනා දාරය ලෙස හැඳින්වූවා. එම දාරය දෙපසින් ම පනාව තිබුණා. පනා කොටසට කිව්වේ පනාදත් කියලයි. එක් කොටසක පනා දත් ළං ළංව කපා තිබුණා. ඒවා පීරුම් දත් වුණා. අනෙක් කොටසේ දත් තරමක් ඈතින් තමයි තිබුණේ. ඒවා කොණ්ඩයේ අවුල් හැර ගැනීමට යොදාගත් නිසා අවුල් දත් කියලා හැඳින්වුණා.

 නෑමට යන කාන්තාවන්-  britishmuseum.org

 

වැටකොලු කොස්ස

වැවට හෝ දොළට ගිහින් ස්නානය කරන කාන්තාවන් සිරුරේ කුණුඅතුල්ලා ගැනීමට යොදාගත්තේ හොඳින් පැසී වේලුණු වැටකොලු කරල්වලින් තැනු කොස්සක්. කාන්තාවන්ගේ සියුම් සමට හානියක් නොවීමටයි වැටකොළු කොස්ස යොදාගත්තේ. සිරුර පාට වැටීමට සහ සම සුමුදුවීමට කොකුම් පොතු අඹරාගත් තලපය සිරුරේ ආලෙප කර ඒවා සෝදා හරින්නේ ඉන් පසුවයි. පිරිමි නම් ඇඟ අතුල්ලා ගැනීමට සියුම් තිරිවාන ගල් වගේ දේවල් භාවිත කළා. නැත්නම් නාන මංකඩ අසල තිබෙන ගසක පිට අතුල්ලා ගැනීමත් කළා.  

 වර්තමාන වැටකොලු කොස්සක්- චීනය- amazon.com

 

වේළුණු වැටකොලු කරල් මඩේ ගිල්වා දින 10ක් තරම් තබා පදම් කර ගැනීම සිදුවුණා. එවිට කොස්ස දිරා නොගොස් වැඩිකලක් පාවිච්චි කළ හැකියි. අදත් වැටකොළු කොස්ස චීනය, මැලේසියාව, ඉන්දියාව ඇතුළු බොහෝ ආසියානු රටවල වාණිජ පරමාර්ථයෙන් නිපදවා අලෙවි කරන බව අන්තර්ජාලයේ සැරිසරන විට පැහැදිලි වෙනවා.

කවරයේ ඡායාරූපය: අතීතයේ ගැමි කතුන් දෙදෙනෙක්-lankapura.com

මූලාශ්‍ර:

ගොවිගෙදර මෙවලම්- මහින්ද කුමාර දළුපොත

නුවර කලාවියේ නිමිති- ඔරුක්මාන්කුලමේ චන්දන හිමි

Related Articles