Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අරගලය ඉදිරියට ගෙන ගිය ගෝඨාගෝගම සුවිශේෂී තැන්

ගාලුමුවදොර ජන අරගලය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් බවට පත් ව අවසන්. ලංකාව යටත් විජිත යුගයේ පටන් ම දේශපාලන අරගලවලින් පිරී පැවතුණා. නමුත්, මෙවැනි සාමකාමී, ලොව පුරා ආදරයට ලක්වූ අරගල බිමක් නම් ඒ ඉතිහාසයේ හමුවන්නේ නැහැ. එම අරගලයේ නවාතැන් පොළ වුණේ ගෝඨා ගෝ ගමයි. එය සාර්ථක කර ගැනිමට තරුණයන් විවිධ උපක්‍රම භාවිත කළා.

මේ නිසා අරගලය ජනතාව අතර වඩාත් කතාබහට ලක්වුණා. ජුලි 9 වැනි දා ජනපති ගෙදර යැවීමෙන් අරගලයේ ජය සටහන් වුණා. දැන් ජන වරමක් නැතිව වැඩබලන ජනපති වූ රනිල් වික්‍රමසිංහ ගෙදර යැවීම සඳහා මේ වනවිට එම ස්ථානය කැපවී තිබෙනවා. මේ ගෝඨා ගෝ ගම පිහිටි අපූරු තැන් කිහිපයක් ගැන මතකය අවදි කිරීමක්.

ගෝඨාගෝගම පිහිටවූ පසු – aithiya.lk

ගෝඨාගෝගම පිහිටුවයි

පසුගිය අප්‍රේල් 9 වැනිදා, සෙනසුරාදා දිනයේ අරගලය පටන් ගත්තේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ගාලුමුවදොරට ඇදී ආ මහජනතාවකගේ දායකත්වයෙන්. ‘ගෝඨා එළවන්න කොළඹට දස ලක්ෂයක්’ යන තේමාව යටතේ තමයි එදා ජනතාව ගාලු මුවදොරට පැමිණියේ. එකිනෙකා පෞද්ගලික ව නොහඳුනන දස දහස් ගණනක ජන ගංගාවක් එදා මෙතැනට විවිධ පෙදෙස්වලින් පැමිණියා. සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ආදි රටේ හැම ජන වර්ගයක්ම නියෝජනය කරන මහා ජන ගංගාවක් තමයි ගාලු මුවදොරට පැමිණියේ.

ඒ හැමෝගෙම එකම පාඨය වුණේ‘ගෝටා ගෝ හෝම්’යන්න යි. එදා පැමිණි පිරිස අතරින් කොටසක් ගාලු මුවදොර කඳවුරු බැන්දේ ජනපති ගෝඨා එළවන තුරු ආපසු නොයන බව අදිටන් කරගෙන යි. ආණ්ඩුවේ බාධා කිරීම් මැද කූඩාරම් පිහිටුවා කඳවුරු පිහිටුවා ගත් ඔවුන් දින කිහිපයක් යන විට එහි විවිධ අංග ස්ථාපිත කළා. ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානය, නීති ආධාර සේවය, විවෘත වේදිකාව., මහජන සරසවිය, පුස්තකාලය, සූර්ය බලාගාරය, ප්‍රථමාධාර මධ්‍යස්ථානය, සිනමා ශාලාව ඒ අතරින් කිහිපයක්.

 අරගල බිමේ පොත් ගුල – confused facebook page

ගෝඨාගෝගම පුස්තකාලය

අරගලය ආරම්භ වී දින 3 කට පසු එනම් අප්‍රේල් 12 වැනිදා පොත් 15 කින් තමයි කූඩාරමක පුස්තකාලය ආරම්භ කළේ. මෙම පුස්තකාලයට මැයි අග වනවිට විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් පොත් පන්දහසකට අධික ප්‍රමාණයක් ලැබී තිබුණු බව පැවසුණා. පැමිණෙන කාටත් පොත් කියවීමට වාගේම පොත් රැගෙන යාමටත් හැකියාව තිබෙනවා. මුහුණු පොතේ දැමූ පෝස්ටුවකින් කැමති අයට පුස්තකාලයට පොත් පරිත්‍යාග කරන ලෙස තරුණයන් ඉල්ලීමක් කළා. ඒ පෝස්ට් එක දුටු බොහෝ පිරිස් මෙතැනට පැමිණ පොත් පරිත්‍යාග කළා.

ලේඛකයන් පවා පැමිණ තමන්ගගේ පොත් පරිත්‍යාග කර තිබෙනවා. එහි ඇති පොත් රාක්ක, කබඩ් සියල්ල පරිත්‍යාග කළ ඒවායි. තරුණයන් 15 දෙනෙක් පමණ පුස්තකාලයේ කටයුතු කරන්නේ ස්වෙච්ඡාවෙන්. ඔවුන්ගේ බලාපොරොත්තුව අරගලයේ සියලු ජයග්‍රහණවලින් පසුවත් පුස්තකාලය මේ භූමියේ සංකේතාත්මකව පවත්වාගෙන යාමට යි. මේ පුස්තකාලය උදේ 8.00 ට විවෘත කළ පසු රාත්‍රී 12.00 වනතුරු විවෘත ව පවතිනවා.

 පොත් තෝරන තරුණියක් – divaina.lk

 

මැයි අවසන් සතිය වනවිට පාඨකයන් ලක්‍ෂයකට අධික පිරිසක් එහි ඇති පොතපත පරිශීලනය කර තිබෙන බව දැනගන්නට ලැබුණා. මැයි 9 වැනි දා එල්ල වූ පොදුජන පෙරමුණු ආධාරකරුවන්ගේ ම්ලේච්ඡ ප්‍රහාරයේ දී පුස්තකාලයේ පොත්වලින් කොටසක් සහ එය තනා තිබූ කුඩාරම ගිනි තැබීමට දාමරිකයන් ක්‍රියා කළා. නමුත් ඉතිරි කර ගත් පොත්වලින් පුස්තකාලය පසුදින ම ආරම්භ කිරීමට තරුණයන් කටයුතු කළා. ඉන් පසුව එයට තවත් පොත් දහස් ගණනක අලුතෙන් ලැබී තිබෙනවා.

අලුත් පොත්, පාවිච්චි කළ පොත් සහ සඟරා, කර්තෘවරුන් පරිත්‍යාග කළ පොත් ආදී වශයෙන් සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා තුනෙන් ම රචිත පොත් එකතුවක් එහි තිබෙනවා. ඔවුන් මේ සෑම පොතක ම ගෝටා ගෝ හෝම් යන හෑෂ් ටැග් එක සලකුණු කර තිබෙනවා. එහි තවත් විශේෂත්වයක් තමයි ඕනෑම කෙනකුට පොත් රැගෙන යාමට හැකිවීම. කිසිදු ලේඛන පිරවීමක් එහිදී සිදුවන්නේ නැහැ. එහිදී ඉල්ලා සිටින්නේ රැගෙන යන පොත් කියවීමෙන් පසු ආපසු ගෙනත් දීමට නොහැකි නම් ළඟ ම ඇති පොදු පුස්තකාලයට පරිත්‍යාග කරන ලෙස යි. යාපනය පුස්තකාලය ගිනි තබා වසර 41ක් සපිරුණු අවස්ථාව සටහන් කරමින් පසුගිය ජුනි මාසයේ දී යාපනය පුස්තකාලයට පොත් පාර්සල් යැවීමටත් ගොඨා ගෝ ගම තරුණයන් ක්‍රියා කළා.

 යාපනයට ආදරයෙන් යැවූ පොත් – hirufm.lk

 

මවුපියන් සමඟ අරගල බිමට පැමිණෙන කුඩා දරුවන්ට කියවිය හැකි ළමා පොත් මෙහි බහුල යි. චිත්‍ර ඇඳීමටත් පහසුකම් එතැන සලසා තිබෙනවා. අරගලයට පැමිණෙන බොහෝ පිරිස් අව්වෙන් වැස්සකින් විරාමයක් අරගෙන පොතක් කියවන්න මෙතැනට එන බව පේනවා.

ජුලි 9 වැනි දා අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්‍යාලය අත්පත් කරගත් පසුව ජුලි 10 වැනි දා  ගෝඨාගෝගම පුස්තකාලය ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා. නමුත් එම ගොඩනැගිල්ල ආපසු බාරදුන් පසුව ඔවුන්ට නැවත පුස්තකාලය ගාලුමුවදොර කූඩාරමට රැගෙන ඒමට සිදුවේවි.

ගෝඨාගෝගම චිත්‍රාගාරය – www.facebook.com/Roar.Sinhala

 

ගෝඨාගෝගම චිත්‍රාගාරය

මේ ගෝඨාගෝගම අරගල බිම සුන්දර කරන තවත් ඉසව්වක් වන්නේ ගෝඨාගෝගම චිත්‍රාගාරය යි. එය අරගල බිමට එන සිත්තරුන්ගේ නවාතැන යි. 

‘ගෝඨාගෝගම චිත්‍රාගාරය ලස්සන වෙන්නෙ එතැනට එකතු වෙන මිනිස්සු කැන්වස් මත,කොළ මත අතුරන වර්ණවලින් පමණක් නෙමෙයි. මිනිස්සුන්ගේ චර්යාවන්වල වර්ණත් හරියට චිත්‍රාගාරය විචිත්‍ර කරනවා. වැඩිහිටි සහ ළමා කියා වෙනස් නොවුණ හැමෝම තමන්ගෙ හැඟීම මෙහි වර්ණ අතර අතුරන්න උත්සාහ කරනවා වගේම වර්ණ ගැන්වෙන ඒ චිත්‍ර දිහා භාවනායෝගීව බලා ඉන්න බාල මහලු රසවන්තයන්ගේ පරම්පරාවේ අනන්‍යතාවත් එහි ගැබ් වෙනවා.’ -ලංකා නිවුස් වෙබ්

සූර්ය විදුලි බලාගාරය පිහිටි ලොරි රථය – nethgossip.lk

සූර්ය විදුලි බලාගාරය

ගෝඨාගෝගම අවට වීදි ලාම්පු සවිකර තිබුණත් ඔවුන්ට තම භාවිතයට විදුලිය ලබා ගැනිමට අවසරයක් නැහැ. රටේ විදුලිය කැපීම දැන් මාස කිහිපයක සිට සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. නමුත් ගෝඨා ගෝ ගමට එය බලපාන්නේ නෑ. ඔවුන් පුනර්ජනනීය බල ශක්තිය භාවිත කරමින් කුඩා විදුලි බලාගාරයක් ලොරි රථයක පිහිටුවා තිබෙනවා.

එය පිහිටෙව්වේ පසුගිය අප්‍රෙල් තුන් වැනි සතිය වනවිටයි. මැයි 9වැනි දා කළ ප්‍රහාරයේ දී මෙම රථයට ද හානි සිදුකළත් එය යළිත් ස්ථාපිත කිරීමට තරුණයන් ක්‍රියා කළා. මෙම කුඩා විදුලි බලාගාරය ගැන සමාජ මාධ්‍ය තුළත් ජන මාධ්‍ය තුළත් කතාබහක් ඇති වුණා.

  සූර්ය බලාගාරයේ විවිධ අංග – ceylontoday.lk

ලොරි රථයේ වහලය මත සූර්ය විදුලි පැනල හතරක් සවිකර තිබෙනවා. එම විදුලිය ඉන්වර්ටර් හතරක් මගින් බැටරිවල ගබඩා කෙරෙනවා. ඒ සඳහා වාහනවල භාවිතයෙන් ඉවත්කළ බැටරි යොදා ගෙන ඒවා චාජ් කිරීමට සූර්ය පැනල භාවිත කරනවා. මෙහි උපරිම විදුලි සැපයුම කිලෝවොට් 6ක්. සූර්ය බලශක්තිය කිලෝ වොට් 2ක් ද ගබඩා කිරීමේ ධාරිතාව කිලෝ වොට් 8ක් ද වෙනවා. විදුලිබල සැපයුම පැය 24 පුරා සිදුවෙනවා.

දැනට මෙම බලාගාරයෙන් පුස්තකාලයට, පුරවැසි සභාවට, ශාන්ත ජෝන් ගිලන් රථ සේවාවට, ආයුර්වේද මධ්‍යස්ථානයට, නීතීඥ සභාව අවට භූමියට විදුලි බලය ලබාදීමටත් දුරකතන පණගැන්වීමේ ස්ථානයට විදුලිය ලබා දීමත් සිදු කරනවා.

එළිමහන් රංග පීඨය

බණ්ඩාරනායක ප්‍රතිමාව ආසන්නයේ නිර්මාණය වුණු මේ වේදිකාව විවිධ සංස්කෘතික අංග සදහා භාවිත වුණා. අරගලයේ කලා මාධ්‍යයන් ප්‍රබල විය යුතු බව පිළිගන්න කාරණාවක්. වේදිකා, සිනමා හා ටෙලිනාට්‍ය නළු නිළියන්, ගායක ගායිකාවන් රාශියක් අරගලයට සහයෝගය දක්වනවා. නාට්‍ය වගේම සංගීත ප්‍රසංගත් එහි පැවැත්වෙනවා. එමෙන්ම වෙලාවක් වෙන්කර ගැනීමෙන් ඖනෑම කලාකරුවකුට මෙහි සිට සිය කලා නිර්මාණ ඉදිරිපත් කළ හැකිවෙනවා.

‘ටියර්ගෑස් සිනමා’ සිනමා හල- colombotribune.com

ටියර්ගෑස් සිනමා

ගෝඨාගෝගමේ’ අරගල භූමියට මැයි 9 වැනි දා එල්ල කළ ප්‍රහාරයෙන් පසුව පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද තරුණයන් දෙසට එල්ල කළා. නගරයේ විවිධ ස්ථානවල අරගලයේ නිරත තරුණයන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් නිතර සිදුවෙනවා. එය සංකේතවත් කරමින් තමයි මෙම කුඩා සිනමා ශාලාව ‘ටියර් ගෑස් සිනමා’ නමින් හඳුන්වන්නේ. එය විවෘත කෙරුණේ මැයි 13 වැනි දා සවස යි. එහි සංකේතය වශයෙන් යොදා ගෙන ඇත්තේ කඳුළු ගෑස් උණ්ඩ මුදා හරින විට පළඳින ආරක්ෂක මුහුණු ආවරණයක්. තරුණයන් තමන්ට එල්ල කරන මර්දනය සංස්කෘතික අංගයක් බවට හරවා ගැනීමේ හැකියාවත් මින් පිළිබිඹු වෙනවා.

අරගලයේ විරෝධතාවල නිරතවීම අතරතුර විවේකය අර්ථවත්ව ගත කිරීම සඳහා දේශපාලන අභියෝග ජයගත් අය ගැන ඓතිහාසික වාර්තා චිත්‍රපට ඇතුළු සිනමා පට ගණනාවක් මෙහි ප්‍රදර්ශනය කෙරෙනවා. සිනමා ශාලාව සිනමා ප්‍රදර්ශන අංගෝපාංගයන් ගෙන් සමන්විත වන අතර එකවර 100කට පමණ මෙහි සිනමා පට නැරඹිමේ හැකියාව පවතිනවා. මේ ආශ්‍රිතව සිනමා සංවාද සහ වැඩමුළු ඇතුළු සංස්කෘතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද සිදුවෙනවා.  

කවරයේ ඡායාරූපය- ජනතාව පිරුණු අරගල බිම - gotagagama facebook page

මූලාශ්‍ර:
ceylontoday.lk

nethgossip.lk

divaina.lk

sinhala.lankanewsweb.net

Related Articles