ලංකාවෙ අපිට වෙන මොනව නොතිබුණත් ‘ඩ්‍රාමා’වලින් නම් කිසිම අඩුවක් නෑ. ඕන කියල හිතුන, ඕනම වෙලාවක බලන්න, ඕන තරම් ‘ඩ්‍රාමා’ දෙන්න අපේ රටේ රූපවාහිනී නාලිකා ඕන වෙලාවක සැදී පැහැදී ඉන්නවා. ඒවත් මේ කොටස් 15 – 20 ‘ඩ්‍රාමා’ නෙවෙයි. අවුරුදු දෙක තුනක් තිස්සෙ හැමදාම බලන්න පුළුවන් ‘මෙගා ඩ්‍රාමා’. තත්වෙ මෙහෙම තියෙනකොට ‘මෙගා ඩ්‍රාමා’ ගැන මොනවත් ලියවුණේ නැත්නම් හරි නෑනෙ. ඒ නිසා අද කතා කරන්නෙ ශ්‍රී ලංකාවෙ හදන ‘මෙගා ඩ්‍රාමා’ ගැන.

“නවකයන්ට අත දීම අපේ යුතුකමක්..”

හම්මේ කොහොමද ආදරේ? (youtube)

මේ ‘ඩ්‍රාමා’ පෙන්නන්නේ නාට්‍යානුසාරයෙන් කතාවක් කියන්න ද, එහෙමත් නැත්නම් මූණු ටිකක් පෙන්නන්න ද කියලා සැකයක් මතුවෙන තරමට මේ ටෙලිනාට්‍ය වල චරිත වැඩියි. ඒ චරිතවලට ඉන්නෙත් ජීවිතේට දැකපු නැති නළු නිළියෝ. මේකට කියන්නේ නවකයන්ට ‘අත’ දෙනවා කියල. හැබැයි නවක නිළියන්ට නම් මේක එච්චර ලේසි නෑ. සෑහෙන මහන්සියක් වෙලා, test සෑහෙන ගාණක් පාස් කරලා තමා රඟපාන්න අවස්ථාවක්  ගන්න වෙන්නේ. නිළියන්ට සාපේක්ෂව නවක නළුවන්ට නම් ලේසියෙන් අත  ලැබෙනවා. ‘ඩ්‍රාමා’ එකේ පොඩි ‘කෑල්ලක්’ දෙනවා කිව්වොත් ඕන දෙයක් කරන්න සැදී පැහැදී ඉන්න කොටසක් ඉන්න නිසා මේ වැඩේ ලේසියි.

බලාගෙන ඉන්න අපිට මේක පෙන්නේ මොකක්හරි හේතුවකට කොහොමහරි ටීවී එකට මූණත්තහඩුව දාගන්න දෙන අවස්ථාවක් විදිහට වෙන එක තමයි අවුල.

“අම්මේ..ඉක්මනට  එන්ඩෝ..මෙන්න අර අංකල්ගෙ බල්ලා ඉන්නවා ටීවී එකේ”

ප්‍රධාන නිළිය හරි නළුවා  හරි  ජීවත් වෙන ගෙදර අනිවාර්යෙන්ම තට්ටු තුන හතරක තඩි  සයිස් ගෙදරක් වෙන්නම ඕන. හොයාගන්න ගෙදර වලව් පැලැන්තියේ ගෙයක් විදිහට පේනවනම් තවත් හොඳයි.

ඔහොම ගෙයක් හොයාගත්තට පස්සේ ඒ ගෙදර අයිතිකාරයාගෙ දරුවෝ, නෝනා, නෝනගේ යාළුවා, අයිතිකාරයාගෙ නංගි බැඳල ඉන්න කෙනාගෙ මල්ලිගෙ පුතා වගේ අය  විතරක්  නෙවෙයි අයිතිකාරයාගෙ වෑන් එක, කාරෙක වගේ වාහනත් ‘ඩ්‍රාමා’ එකෙන් දැක බලාගැනීමේ වාසනාව ප්‍රේක්ෂකයන්ට උදා වෙනවා. ඔය  මොනවත්ම නැත්නම්  අයිතිකාරයා හුරතලේට ඇති කරන බල්ලට පූසට හරි  ‘ඩ්‍රාමා’ එකේ  ‘පොඩි කෑල්ලක්’ ලැබෙනවාමයි.

“ඒ..අන්න අරයගෙ මූණ වෙනස් වෙලා..”

ලොවෙත් නෑ (giphy.com)

එකම කතාව කිසිම වෙනසක් නොවී එකම විදිහට කොටස් 500 – 600ක් යනකොට මූණු මාරු නොවී තිබුණොත් තමයි පුදුමේ. ගාස්තු ගෙවීමේ හොඳකම නිසාත් ඔය වැඩේ වෙනවා කියන එක ප්‍රසිද්ධ කාරණයක්.

මාරු වෙන මූණු වෙනුවට අළුත් මූණු හොයාගන්න එක සෑහෙන කල් යන වගේම වියදම් එහෙමත් යන වැඩක් නිසා ‘ඩ්‍රාමා’ crew එකේ  හිටිය Assistant Directorsලා, make up දාන්න හිටිය ඈයො, කෑම බීම සපයන තේ හදන ඈයො එතකොට ප්‍රධාන නළු නිළියෝ set එකට යනකොට එයාලගේ පිටිපස්සෙන් කුඩ ඉහළගෙන වගේම තව ආම්පන්න උස්සගෙන යන අයටත් ‘ඩ්‍රාමා’ එකක රඟපෑමේ ‘වාසනාව’ ලැබෙනවා.

“මේ ලෝකෙ හරී ඊ ඊ ඊම කූරයි අයියා!!”

මේවා දැක්කම අඟහරු ලෝකෙට තමා යන්න හිතෙන්නේ (youtube)

වෙන රටවල්වල තිර පිටපත අතේ තියාගෙන ඒකට ගැලපෙන නළු නිළියෝ, locations එහෙම හෙව්වට ලංකාව, ඉන්දියාව වගේ රටවල් වලට ඒවා නම් ලොවෙත් අදාළ වෙන්නේ නෑ. මෙහෙ වෙන්නේ අර මුලින් කීව ඒවා ඔක්කොම හොයාගෙන set එකට ගියාට පස්සේ කතාව ගොතා ගන්න එක, කොටින්ම හෙට දවසේ set එකේ වෙන්නෙ මොනවද කියල රඟපාන ඈයො තියා ඩිරෙක්ටර් මහත්තයාවත් දන්නේ නෑ. (හරිම ආඩම්බරයි නේද බ්‍රෝ?) ගොතාගන්න කතාව ඉතින් කාලෙ හැටියට hit වෙන එකක් වෙන්න ඕන. මේ කාලෙ නම් වැඩියෙන්ම hit වෙන්නේ මේ වගේ ආදර කතා.

ඔන්න ඉන්නවා පෝසත් කෙල්ලයි, දුප්පත් කොල්ලයි (කොල්ලා පෝසත් වෙලා කෙල්ල දුප්පත් වෙන්නත් පුළුවන්).  අහිංසක, පරම පූජනීය විදිහට ගලාගෙන යන මේ දෙන්නගේ ආදර අන්දරේට මුළු ලෝකෙන්ම එල්ල වෙන්න ඕන ගල් මුල් විතරමයි. කොච්චර ගල් මුල්, රැවුම්, ගෙරවුම්, නින්දා අපහාස එල්ල වෙන්න ඕනද කියල කිව්වොත් බලන අයට හිතෙන්න ඕන “අනේ දෙයියනේ මුන් දෙන්නගේ ආදරේට අකුල් හෙළනවා ඇරෙන්න රටේ ලෝකේ මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද?’ කියලා.

ඔය තරම් බාධක මැද්දේ හරිම අමාරුවෙන් ගලාගෙන යන ආදර අන්දරේ ඉවර වෙන්න ඕන අපේ අහිංසක ආදරවන්ත ජෝඩුව අතිනත පටලවගත්තට පස්සේ. දෙන්නා අත් අල්ලාගෙන, මූණෙන් මූණ බලාගෙන, මීදුමෙන් වැහිච්ච දිග ගුරු පාරක් දිගේ ඈතට  ඇවිදගෙන යනවා අන්තිම shot එක විදිහට ගත්තා නම් මරේ මරු.

එක කාලෙ පෙන්නන ‘ඩ්‍රාමා’ දෙක තුනක පිටපත් රචකයා එක්කෙනාම නම් සමහර වෙලාවට අතරමැද වෙන දේවල් මාරු වෙන්නත් පුළුවන් හොඳේ.

“වෙඩිමකට ගියාද?”, “නෑ අනේ මම මේ ඇඳෙන් බැස්සා විතරයි”

මේවයෙ ඉන්න ගෑණු චරිතවලට ඇඳුම් පැළඳුම් වලින් කිසිම අඩුවක් නෑ. ඇඳුම් වැඩි කමට එක කාමරේකින් තව කාමරේකට යන ටිකට ඇඳගෙන ඉන්න ඇඳුම මාරු වෙන වෙලාවලුත් තියෙනවා.කොච්චර දුප්පත් වුණත් මෙයාල අඳින්නේ branded වගේම brand new ඇඳුම්. පාවිච්චි කරන්නෙ අලුත්ම phone models. එක දවසක samsung galaxy එකකින් කොල්ල එක්ක මල් කඩන කෙල්ල අනිත් දවසේ මල් කඩන්නේ iphone එකකින්. කෙල්ල ගමේ කෙල්ලෙක් නම් කටු මැටි ගහපු වහලක් යට ජීවත් වුණත් අඳින්නෙ අලුත් අලුත් මෝස්තරවලට මහපු මල් මල් චීත්ත ගවුම්. මේවගෙ කුණු පොදක් ගෑවිලා නෑ. සාරි අඳින අම්මලා, නැන්දලා නම් නින්දට යන්නෙත් සාරි ඇඳගෙන, ඒ මදිවට ඉහෙන් කණෙන් මාල, වළලු, මුදුත් එල්ලගෙන. උදේ නැගිටිනකොට ඉබේම කොණ්ඩෙ ලස්සනට පීරිලා, දැමිලා, ඇඳුම් මැදිලා තියෙන එකත් මේ ‘මෙගා ඩ්‍රාමා’වල විතරක් දකින්න ලැබෙන ලක්ෂණයක්.

“මා ඔබෙමයි කියන්න – ඔබ මගෙමයි කියන්න”

දැක්කම කඳුළු උනනවා ඉතින් (music.lk)

මේ ‘ඩ්‍රාමා’වල වීරයා, එහෙමත් නැත්නම් කොල්ලා වෙන්න නම් තියෙන්න ඕන හොඳම සුදුසුකම තමයි තැනක් නොතැනක් නොබල හොඳට අඬන්න පුළුවන් වීම. මෙයා ගහකින් කොළයක් අමුතු විදිහට වැටුණත් මූණ පුළුටු කරගෙන ඇස්වලට කඳුළු පුරෝගන්නවා. කාගෙන් හරි ගුටි කන එක හරි වලියක පැටලෙන එක හරිත් මෙයාට පැවරිලා තියෙන රාජකාරියක්. අනිත් මිනිස්සු මෙයාට ගහල බැණල නෙවෙයි මෙයාව හතරට නවල කිහිල්ලෙ ගහගත්තත් මෙයා නෙවෙයි වචනයක් කියන්නෙ.

කෙල්ල පෝසත් පවුලක් නොවී දුප්පත් පවුලක වුණානම් ඒත් අර උඩ කිව්ව ටිකම තමයි. හැබැයි පෝසත් පවුලක කෙල්ලෙක් නම් ඒ මට්ටමෙ අනිත් පවුල්වල කෙල්ලො ඔක්කොම කොල්ලො ඩැහැගන්න බලාන ඉන්න නපුරු මායාකාරියෝ වගේ වෙනකොට මෙයා හොඳ, මනුස්සකම් පිරුණු, අහිංසක,අව්‍යාජ, නිරහංකාර කෙල්ලෙක් වීම අනිවාර්යයයි.

“මට ඇති එකම සතුට ඔබට දුෂ්ටකම් කිරීමයි..සත්තයි!!”

කරුණාකරල අදහස අත් ඇරගන්න… (youtube)

‘ඩ්‍රාමා’ එකේ අනිවාර්යයෙන්ම එක දුෂ්ටයෙක් හරි දුෂ්ටයො දෙතුන් දෙනෙක් හරි ඉන්නවමයි.මේ අයගෙ ඉහේ කෙස්වල ඉඳන් කකුල් දෙකේ නියපොතු අගට යනකල් තියෙන්නෙ දුෂ්ටකම් විතරමයි. මේ දුෂ්ටයො කොල්ලගෙ හරි කෙල්ලගෙ හරි තාත්තා, අම්මා, නැන්දා, කොල්ලට හරි කෙල්ලට හරි ලයින් දාන ඈයො මේ ඕනම කෙනෙක් වෙන්න පුළුවන්. මෙයාලා කන්නෙ, බොන්නෙ, නාන්නෙ මේ ඔක්කොම කරන්නෙ අර කොල්ලගෙයි කෙල්ලගෙයි සම්බන්ධෙ කඩන්නෙ කොහොමද, එහෙමත් නැත්නම් ඒ පවුල්වලට ගේමක් දෙන්නෙ කොහොමද කියන එක ගැන හිත හිත. වෙලාවකට හිතෙනවා මෙච්චර දුෂ්ටකම් කරන්න ආණ්ඩුවෙන් මෙයාලට පඩියක් ගෙවනවද දන්නෙත් නෑ කියල.

මෙයාලා කොල්ලට ගහන්න යවන මැරයො ඒ වැඩේට යවන්නෙ යුනිෆෝම් එකකුත් දීල. ඒ කියන්නෙ යවන හැම මැරයම දඩස් ගාලා වෑන් එකෙන් බහින්නෙ කළු පාට body fit ටී ශර්ට් එකකුයි, කළු බොටම් එකකුයි ඇඳගෙන. “මේ බලපල්ලා අපි මැරයෝ..ඉතින් අපිට බයවෙයල්ලා..”කියල බලන අයට කියන්න වෙන්න ඕන මෙයාලා මෙහෙම අඳින්නෙ. හැබැයි කැමරාව මෙයාලගෙ පැත්තට හරවනකොට මෙයාලා කරන්නෙ ගහන්න ගිය කෙනාට ගහන එක පැත්තකින් තියල එයාලා එයාලා හරි ගහගන්න එක. (කැමරාවට මූණ පෙන්න ගන්නනෙ බ්‍රෝ!)

“ජීවිතේම විහිළුවක් තමයි අප්පා..”

‘ඩ්‍රාමා’ එකට නැතුවම බැරි අනිත් චරිතෙ තමයි විකටයා. මෙයා එක්කො හොඳටම කෙට්ටු එහෙම නැත්නම් හොඳටම මහත කෙනෙක් වෙන්න ඕන. අතරමැද සයිස් අයව මේ චරිතෙට ඔට්ටු නෑ. මේ මනුස්සයා ගොඩක් වෙලාවට කොල්ලගෙ හරි කෙල්ලගෙ හරි ගෙදර වැඩට ඉන්න කෙනා. දවස තිස්සෙ විකාර විදිහට හැසිරෙන එකයි, ගෙදර අයගෙ කතාවලට හොරෙන් ඇහුම්කන් දෙන එකයි ඇරෙන්න මේ මනුස්සයා වෙන කරන වැඩක් නැහැ. කොටින්ම කිව්වොත් ගෙදර අය මෙයාට පඩි ගෙවන්නෙ එයාලගෙ වැඩවලට ඇඟිලි ගහනවට. කොල්ලගෙයි කෙල්ලගෙයි සම්බන්දෙට උදව් කරන්නෙත් මෙයාම තමයි.

“මට ඔයා නැතුව ඉන්නම බෑ රත්තරනේ..”

ඊළඟට වැදගත් දේ තමයි මියුසික්. දුක්බර සීන් එකකට වයලින් එකක් මීයො කනවා වගේ උච්ඡ, ඇදෙන සුළු නාදයක් හරියනවා. දුෂ්ටයා සීන් එකට එන්ටර් වෙනකොට එයාගෙ මූණ අඩුම තරමෙ විනාඩියක්වත් එක එක කැමරා ඈන්ගල්වලින් අරගෙන එතෙන්ට බඩු මුට්ටු පොළොවෙ ගහනකොට ඇහෙන විදියෙ ‘සලාං බලාං..දඩින් බිඩින්..ස්ලාස්” වගේ සද්ද ටිකක් වැටෙන්න ඕන.

‘රත්තරනේ, ඔයා, මම, ඉර, හඳ, තරු, මල්, ගැහැණු, පිරිමි, මල්, පළතුරු, මුහුදේ රළ, පොළොව, මැරෙනවා, ඉවසන්න බෑ, තනියි..’ වගේ වචන ටිකක් එහෙට මෙහෙට කරලා තේමා ගීතෙ ලියාගන්නත් පුළුවන්. මේක කියන ගායකයා/ගායිකාව අඬ අඬා සින්දුව කිව්වනම් තවත් ජාති.

ඉතින් ලංකාවෙ ‘මෙගා ඩ්‍රාමා’ එකක මූලික සොබාවෙ තමයි මේ. කියවන ඔයාලටත් කවද හරි මෙහෙම ‘ඩ්‍රාමා’ එකක් කරන්න අදහසක් තිබුණනම් මේකෙන් පොඩි tips ටිකක් ගන්නත් බැරි වෙන එකක් නෑ. ඒ වගෙම අපිට මොනව හරි මග ඇරිලා තියෙනවනම් යටින් කමෙන්ට් එකක් දාලා ඒකත් මතක් කරල දීලම යන්න.

කවරයේ පින්තුරය: New York Times