‘ගිලුණු නැවක්’ කී සැණින් නිතැතින්ම අපගේ සිහියට නැගෙන්නේ ටයිටැනික් නැවයි. එසේත් නොමැති නම් අර ටින්ටින් ගේ වීරක්‍රියා වල රෙඩ් රැකම්ගේ නිධානය වන් ඈත අතීතයේ මුහුදු පතුලේ ගිලී ගිය රන්රුවන්, මුතු මැණික් පිරි රුවල් නැව්ය. සමුදුරු පත්ලේ සුන්බුන් වී ගිය නැව් ඇත්තේ පොත් වල, චිත්‍රපට වල හෝ කාටුන් වල පමණක් යැයි අප සිතුවද එය එසේ නොවේ. සැබෑ ලෝකයේත්, ඈත අතීතයේ දී සමුදුරු ගැඹරේ සැඟවී ගිය එවන් දියබත් වූ නැව් වල නටඹුන් අද පවා දක්නට තිබේ.  මේ කරුණ සියැසින්ම බලා සැක දුරුකර ගැනීමට අවශ්‍ය නම් ඔබ ඊට වැඩි වෙහෙසක් ගත යුතු නැත. ඒ ලාංකීය වෙරළ තිරය එවන් පෞරාණික, එනම් ක්‍රිස්තු පුර්ව දෙවන තුන්වන සියවස් දක්වා පවා ඈත අතීතයකට දිව යන සුන්බුන් වී ගිය නෞකා වල නටඹුන් වලින් එතරම්ම ගහණ බැවිනි.

මේ කතා මුසාවන්, විශ්වාස කිරීමට අපහසු දේවල් යැයි ඔබට සිතෙයි නම් පහත චායාරූප දෙස මදක් බලන්න. මේවා විදෙස් රටක නොව ලංකාව අවටම මුහුදු තීරයේ සිට ගත චායාරූප බව ඔබ විශ්වාස කරනවා ද?

මිට හොඳම උදාහරණය එච් එම් එස් හර්මිස් නෞකාවයි. දෙවන ලෝක යුද්ධය සමයේ දී 1942 වසරේ අප්‍රේල් නව වන දින ජපානයෙන් ලංකාවට ප්‍රහාරයක් එල්ල වූ අතර ලොව ප්‍රථම ගුවන්යානා වාහකය වන එච් එම් එස් හර්මිස් ඒ කාලයේ මඩකළපු වෙරළ තිරයට ඔබ්බෙන් මුහුදුබත් වී ඇත.

1942 වසරේදී ජපන් ආක්‍රමණ අතරතුර කල්මුණේ මුහුදේ ගිලී ගිය ෆ්ලවර් ක්ලාස් යුධ නැව වන එච් එම් එස් හොලිකොක්

එච් එම් එස් හොලිකොක් නැවේ ඇණිය ආසන්නයේ කිමිදෙන කිමිදුම්කරුවෙක්

ඓතිහාසික වාර්තා අනුව ලාංකීය වෙරළාසන්නව නැව් දෙසීයකට වඩා අධික ප්‍රමාණයක් මුහුදුබත් වී ඇති බවට ගණන් බලා ඇත. මින් බොහෝමයක් දැනට සොයාගෙන ඇති නමුත් තවමත් කිසිවෙකු විසින් සොයා නොගත් නටඹුන් ද නැත්තේම නොවේ. මෙවන් ගිලිණු නැව් සහ ඒවා සොයා යන කිමිදුම් කරුවන්ගේ පාරාදීසය කොළඹ ප්‍රදේශය බව දියබත් වූ  නැව් පිළිබඳ ගවේෂකයෙක් වන දර්ශන ජයවර්ධන මහතා පවසයි.

“කොළඹට ඔබ්බෙන් මේ වගේ නටඹුන් පහලවකට වඩා තිබෙනවා” යි පවසන ඔහු කොළඹ ප්‍රදේශයේ වරායක් තිබීම මිට හේතු වී ඇති බව පැහැදිලි කරයි. ඊට අමතරව පානදුර, දෙහිවල සහ ගල්කිස්ස ප්‍රදේශ වලද මෙය දැකගත හැක.

ගල්කිස්ස මුහුදේදී මුහුදුබත් වූ පර්සියස් 1917 නම් නෞකාව ලෙස සැක කළ හැකි දැනට ලංකාව අවට දක්නට ලැබෙන චමත්කාරජනකම නටඹුන් වී ගිය නැවක් පහත රුපයේ දැක්වේ. මෙය හඳුන්වන්නේ තැප්‍රෝබේන් නෝත් රෙක් ලෙසයි. දර්ශන ගේ සටහනක මේ නටඹුන ගැන කාව්‍යාත්මක ලෙස මෙසේ සටහන්ව තිබිණි

“….යාත්‍රාවේ දෙකොන බැලූ බැල්මට පෙනෙන්නේ අර ගුප්ත කතාන්දර වල එන මුහුදු අහස්යාත්‍රාවක යෝධ තටු දෙකක් මෙන් නිසා අහස උසට නැගුණු මේ දැවැන්ත නෞකාවේ සුන්බුන් මුල් වරට ඇස ගැටුණු මා හට ඇති වූයේ මද තිගැස්මකි.. එහෙත් නොබෝ වේලාවකින්ම එය පහව ගොස් මෙය හුදෙක්ම යෝධ නෞකාවක් පමණක්ම බව මනසට ගෝචර වේ.”

නෞකාවේ වම් පස ඇණියට උඩින් පිහිනා යන කිමිදුම්කරුවෙක්

පර්සියස් 1917 ට අයත් යැයි විශ්වාස කෙරෙන සුන්බුන් අතර ඇති යෝධ අවරපෙත්ත

මේ දැවැන්ත රෝදය නෞකාවේ සුක්කානම හැසිරවීමට උපකාර කරගෙන ඇත

නිල් වයිරම් වැටුණු මාළු රෑන් පිටින් පර්සියස් නෞකාව ආක්‍රමණය කර ගෙන සිටී

තැප්‍රෝබේන් නෝත් රෙක් මෙන්ම ඉහත රූප වල දැක්වුණු මඩකළපුව මුහුදු ගැඹුරේ හමුවන එච් එම් එස් හර්මිස් නෞකාවද එවන් නටඹුන් නරඹන්නන් අතර ලෝකප්‍රසිද්ධය. දිවියේ අමතක නොවන අත්දැකීමක් ලෙස සැලකෙන මෙය “ලෝකේ දැනට තියෙන ප්‍රසිද්ධම තැන් වලින් එකක්. හරියටම කිව්වොත්, කිමිඳුම් කරුවන් නැරඹීමට බලාපොරොත්තු වන ලොව ඇති මනස්කාන්තම ස්ථාන සියයට මෙයත් ඇතුළත්” යැයි ජයවර්ධන මහතා විස්තර කරයි.

මෙවන් සුවිශේෂී නටඹුන් ලංකාවට එතරම් අලුත් දෙයක් නොවන බව පසක් කරමින් සාගර පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ අප හා පවසා සිටියේ ක්‍රි.පූ. 2-1 සියවසට අයත් යාත්‍රාවක සුන්බුන් පවා ලක් මුහුදු තිරයෙන් සොයාගැනීමට හැකිවී ඇති බවකි.

“ඒක හම්බ වුණේ අහම්බෙන්. අම්බලන්තොට හා හම්බන්තොට අතර කුඩා ධීවර ගම්මානයක් තිබෙනවා ගොඩවාය කියලා. හක්ගෙඩි සොයන කිමිදුම් කරුවන් දෙදෙනෙකු 2003 වසරේ දී මෙය දැක තිබුණා, අපට තොරතුර ලැබුනේ 2008 වර්ෂයේදීයි. සාමාන්‍යයෙන් මුහුදු පතුලේ  තිබෙන්නට ඉඩක් නැති තැනක ගලින් නිම වූ බංකුවක් වැනි යමක් සහ මැටි බඳුන් කිහිපයක් ඔවුන්ට හමුවී තිබුණා” යැයි ඔහු පවසයි. “මෙම ස්ථානය අපි සොයා ගත්තා, නමුත් සුන්බුන් කිහිපයක් හැරුණු විට නැව පේන්නට නැහැ. ඉතිරි වෙලා තිබෙන්නේ මැටි භාණ්ඩ කිහිපයක් විසිරී ගිය ගොඩැල්ලක් පමණයි. ලීයෙන් නිමවා තිබූ කොටස් කොරල්, මුහුදු පැළෑටි ආදියෙන් වැසී ගිහින්. ලංකාවේ පමණක් නොවෙයි, මුළු ආසියානු පැසිෆික් ප්‍රදේශයේම දැනට සොයාගෙන තිබෙන පැරණිතම දියබත් වූ නැව මෙයයි”

එසේම ඔහු තරවදුරටත් පැවසුවේ දිවයිනට ලැබෙන නිවර්තන දේශගුණය නිසා දැවයෙන් නිම වූ කොටස් විනාශවී යන බැවින් ලෝහමය සුන්බුන් පමණක් සාමාන්‍යයෙන් වැඩි කාලයක් සුරැකී තිබෙන බවය.

“ගොඩක් නැව් දියබත් වී විනාශ වී ගියත් ඒවායේ ව්‍යුහය බොහෝ දුරට ආරක්ෂා වී තිබෙනවා. නමුත් මේවා බොහොමයක් පසුගිය වසර දෙසීය තුල නිමවන ලද ලෝහමය නැව්. දැවයෙන් නිම වූ නෞකා මේ ප්‍රදේශයේ මුහුදු වතුරට ඉක්මනින්ම දිරා යනවා. මෙම ප්‍රදේශ වල මුහුදු ජලය සාමාන්‍යයෙන් උණුසුම්. හිරුඑළිය සහ ඔක්සිජන් ඉහළ මට්ටම් වල පවතින මුහුදු ජලයේ දැවමය නැව් වල සුන්බුන් වැඩි කාලයක් පවතින්නේ නැහැ” යි ඔහු පැවසිය.

දැවයෙන් තැනූ නෞකා කාලයත් සමඟ වැලි වලින් සහ මුහුදු ජීවින්ගෙන් වැසී ගොස් කෙමෙන් මුහුදු පත්ලට සමතලා වී යන නිසා එවන් නටඹුන් පසු කාලයේ උපකරණයක් ආධාරයෙන් වත් සොයා ගැන්මට නොහැකි තත්වයකට පත් වේ.

එච් එම් එස් හර්මිස් නෞකාවේ පහළ නැව් තට්ටුවට ඔබ්බෙන් නැව්බඳ ප්‍රදේශය ගවේෂණය කරන කිමිදුම්කරුවෙක්

“අපි භාවිතා කරන්නේ සෝනාර් තාක්ෂණය. හැබැයි ඒක වැඩ කරන්න නම් සොයන දෙය මුහුදු පතුලේ තැන්පත් වෙලා තිබිය යුතුයි” ඔහු විස්තර කරයි. ලංකාවට ලන්දේසීන්ගේ ආක්‍රමණ ඇති වූ සමයේ මුහුදුබත්වූ දැවමය නෞකා රාශියක් තිබෙන නමුත් ඒවා සොයා ගැනීමට අපහසු වී ඇත්තේ මේ හේතුව නිසා බව ඔහු සඳහන් කළේය. එම නිසා, දැනට සොයාගෙන ඇති නටඹුන් වලින් බොහොමයක් මෑත කාලීනව මුහුදේ ගිලුණු, දැවයෙන් නොව ලෝහයෙන් නිමවන ලද නෞකාය.

ඒ කෙසේ වුවද, කුමන කාලයට අයත් වුවත් මෙවැනි විනාශයට, අභාග්‍යයට ලක් වී ගිය සෑම නෞකාවක් පිටුපසම යම් ශෝචනීය ඛේදවාචකයක කතාන්දරයක් සැඟව තිබෙන බව නම් සත්‍යයකි. මුතුකුමාරණ මහතා වැනි සාගර පුරාවිද්‍යාඥයින් කාලයේ වැලිතලාවේ සැඟව ගිය මේ අතීත මතක සටහන් හෙළිදරව් කිරීමට නිරන්තර උත්සාහයක යෙදෙයි.

එපමණක් නොව, දියබත් වූ නැවක සුන්බුන් සොයාගෙන ඒවා සංරක්ෂණය කිරීමම වුවත් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මුතුකුමාරණ මහතාට අනුව, මේ සම්බන්ධයෙන් මතුවිය හැකි තවත් බාධක එමටය. ඔහු එක් පර්යේෂණ සංග්‍රහයක සඳහන් කර ඇති පරිදි ලංකාවේ “නවීන තාක්ෂණයෙන් යුත් සංවිධානාත්මක නිධන් හොරු” නොමැති නමුත් මෙම නටඹුන් හා සම්බන්ධ “සුළු සුළු මංකොල්ලකෑම් සහ ඇඟිලි ගැසීම්” නිසා  ගැටළුකාරී තත්වයක් පැන නැගී තිබේ. ලංකාවේ දැනට තිබෙන නවතම සෙල්ලම මෙම නටඹුන් වලට හොරෙන් කඩා වැදී ලෝහ කොටස් එකතු කිරීම බව ඔහු පවසයි.

“මෙයට බලපා තිබෙන ප්‍රධානතම හේතුව වන්නේ නෞකා නටඹුන් වල අගය ගැන කිසිදු අවබෝධයකින් තොරව සහ අදාළ බලධාරීන්ගේ අනුමැතියෙන් තොරව ගොඩදැමීමේ බලපත්‍ර මේ මිනිසුන් හට නිකුත් කිරීමයි” ඔහු සඳහන් කර සිටියි.

“පුපුරන ද්‍රව්‍ය සහ විශාල යන්ත්‍ර භාවිතා කිරීමට ගොස් මෙම මංකොල්ලකරුවන් සුන්බුන් විනාශ කර දමයි. ලෝහ කොටස් පුපුරවා දමා බැරල් භාවිතයෙන් ඒවා ගොඩ ඇදගනු ලැබේ. මෙවන් අනුවණ ක්‍රියා නිසා සුන්බුන් අවට තිබිය හැකි සියලුම පුරාවිද්‍යාත්මක තොරතුරු පමණක් නොව අවට ස්වාභාවික පරිසරයද විනාශ වී යයි” යනුවෙන් සඳහන් කරන ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ “ජලය තුළ සිදුකරන පිපිරවීම් නිසා ඇතිවන කම්පන තරංග ගොඩබිම දී මෙන් සිව් ගුණයක වේගයෙන් හාත්පස පැතිරී යන බවත්, මසුන් ක්ෂණිකව මරණය පත් කිරීමට පවා මෙම කම්පන තරංග වලට හැකියාවක් තිබෙන බවත්” ය.

පුපුරන ද්‍රව්‍ය භාවිතා කර මසුන් ඇල්ලීම නීතියෙන් තහනම් වුවත් මෙය අද ලංකාවේ බහුල වශයෙන් භාවිතා වන උපක්‍රමයක් බවද මුතුකුමාරණ මහතා සඳහන් කරයි

“ලංකාවේ සිදුකෙරෙන අවසරලත් සහ අනවසරයෙන් සිදු කරන ගොඩගැනීම් වලදී බහුලව පුපුරන ද්‍රව්‍ය භාවිතා වේ” යැයි ඔහු පැවසීය.

කිමිදුම්කරුවන් හටද මෙම ක්‍රියාවලින් එල්ල වන්නේ විශාල තර්ජනයකි. “පිපිරිම ආසන්නයේ සිටින කිමිදුම්කරුවෙකු අනතුරකට භාජනය කිරීමටත් මරණය පවා ගෙන ඒමටත් මෙවන් පිපිරිම හේතුවිය හැකි” බැවින් මෙය සංචාරක ව්‍යාපාරයට පමණක් නොව සාගර පුරාවිද්‍යාත්මක වශයෙන් ද අතිශය ගැටලුකාරී තත්වයකි.

කෙසේ නමුදු, විශ්වාස කිරීමට අපහසු ලෙස හැඟුණ ද මුතුකුමාරණ මහතාට අනුව මෙම බොහොමයක් නෞකා සුන්බුන් සෑහෙන තරම් ස්ථායි නිසා නටඹුන් සොයා යන මෙවන් කිමිදුම් ඉතා ආරාක්ෂා සහගතය.

“ගොඩාක් පතුලට කිමිදෙන විට නම් එය භයානක විය හැකියි, නමුත් එවැනි අවස්ථා ඉතා දුර්ලභයි” ඔහු සඳහන් කර සිටියි.

ජයවර්ධන මහතා මෙහිදී තවදුරටත් සඳහන් කරේ නටඹුන් සොයා යන්නෙකු නියමිත පුහුණුවක් සහ උපකරණ වලින් සන්නද්ධව කිමිදෙන්නේ නම් ඔහුට කිසිදු අනතුරුදායක බවක් නොමැති බවය.

සාමාන්‍යයෙන් මෙවන් දියබත් වූ නැව් වලින් සංකේතවත් වන්නේ විනාශයකි, ඛේදවාචකයකි. එනමුත් කාලාන්තරයක් මුළුල්ලේ සාගර පතුලේ තැන්පත්ව ඇති මේ නටඹුන් දැන් වෙනස් වෙනස් ජීවී කොට්ටාශ වල රජදහන් බවට පත්ව ඇත.

“නටඹුන් වී ගිය නෞකා මත්ස්යයිනට හා කොරල් වලට තිඹිරි ගෙයකි” යි මුතුකුමාරණ මහතා පැහැදිලි කරයි. මෙය මෙම යෝධ මතක සටහන් සංරක්ෂණය කර ගැනීමට තවත් වැදගත් හේතුවක්  බව අමුතුවෙන් කිවයුතු නොවේ.  අතීතයේ බිහිසුණු ඛේදවාචකයකින් අවසන් වී ගිය මෙම නෞකා වලට නැවත පණ පෙවීමට, නැවතත් ජීවයෙන් පිරීගිය පාරාදීසයක් බවට පත් කිරීමට මෙම සාගර ජීවින් සමත්ව ඇත්තේ කෙතරම් චමත්කාරජනක අයුරින් දැයි ඉහත චායාරූප අපට මොනවට පැහැදිලි කර දෙයි.