Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තැඹිලි: ලංකාවටම ආවේනික ස්වභාවධර්මයේ වෙද අරිෂ්ඨය

මේ දවස්වල පාරක එලියට බැහැල යනකොට දැනෙන රස්නෙ කොහොමද? විනාඩි පහක් යන්නට පෙර දහඩියෙන් නෑවී උගුර කට වේලි යන ඔබේ ඔලුවේ එවිට ඇත්තේ යනතැනකට පනපිටින් යාහැකිවේදෝ යන්න පමණි. ඉතින් මෙහෙම රස්නෙයි දුවිල්ලයි කොහොමහරි විඳදරාගෙන යන ඔබට ඉදිරියෙන් තැඹිලි වෙළෙන්දෙක් දැක්කාම දැනෙන සතුට කොහොමද? සිනහවක් මුව දරාගත් වෙළෙන්දා තැඹිලි ගෙඩියක් තෝරා එය කපා දෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටින ඔබ එය බී දමන්නේ තත්පර ගණනකිනි.

ලංකාවට විශේෂිත පොල් වර්ගයක් වන තැඹිලි (cocos nucifera var. aurontiaca) මෙරට සුලභ දර්ශනයකි. රස්නයක් දැනුනු විට තැඹිලි ගෙඩියක් බීම ලාංකික අපට නම් සාමාන්‍ය දෙයක් වුවත්, තැඹිලි වල ඇති විශේෂ ගුණාංග ගැන ඔබ දැන සිටියාද? මෙහි දක්වා ඇති දේ ඔබත් කියවා බලන්න.

විකිනීමට තබා ඇති තැඹිලි (riceandcurry.wordpress.com)

විකිනීමට තබා ඇති තැඹිලි (riceandcurry.wordpress.com)

ශක්තිජනක පානයක් ලෙස

‘Electrolyte’ වලින් සපිරි තැඹිලිවල ඊට අමතරව පොටෑසියම්, ක්ලෝරයිඩ් සහ කැල්සියම් අඩංගු අතර කඩෙන් ගන්නා ශක්තිජනක පානවලට වඩා සෞඛ්‍යයටද හිතකර වේ. ඊළඟ සැරේ හොඳ මහන්සියක් දැනෙන කොට හෝ ව්‍යායාම කිරීමෙන් පසුව තැඹිලි ගෙඩියක් බීලා බලන්න. හොඳ වෙනසක් දැනෙනු ඇත.

ප්‍රතිශක්තිමය ගුණ

දෙවන ලෝක යුද්ධය කාලයේදී තුවාල ලද සෙබළුන් හට සේලයින් වෙනුවට තැඹිලි දුන් බව ඔබ දැන සිටියාද? අපේ රුධිර ප්ලාස්මාවේ අඩංගු electrolyte ප්‍රතිෂතයම අඩංගු වන තැඹිලි රුධිරයට එක්කිරීමෙන් කිසිදු හානියක් සිදු නොවන අතර එය සේලයින් මෙන්ම නැවත ඔබට ශක්තියද ගෙනදේ.

පෝර දැමීමකින් තොරව ලංකාවේ හැමතැනම වැවෙන තැඹිලි නිසා බොහෝවිට ඔබ පානය කරන තැඹිලි ගෙඩියේ කෘත්‍රිම ද්‍රව්‍ය අඩංගු වන්නේ නැත. (allunderabowl.blogspot.com)

පෝර දැමීමකින් තොරව ලංකාවේ හැමතැනම වැවෙන නිසා බොහෝවිට ඔබ පානය කරන තැඹිලි ගෙඩියේ කෘත්‍රිම ද්‍රව්‍ය අඩංගු වන්නේ නැත. (allunderabowl.blogspot.com)

වයස්ගත ලක්ෂණ පහකිරීමේ හැකියාව

තැඹිලි වතුර වල අඩංගු තවත් විශේෂී දෙයක් වන්නේ cyotokinins ය. දැනට ඔප්පු කර නැතත් පර්යේෂකයින් විසින් කියන ආකාරයට නම් cyotokinins වැඩිපුර අඩංගු ආහාරපාන ගැනීමෙන් සිරුරේ වයස්ගත වීමේ ලක්ෂණ බොහෝදුරට අඩුවන අතර මිට අමතර එහි පිලිකා වලකන ගුණයක්ද ඇතිබවයි කියවෙන්නේ.

බර පාලනය කිරීමේ හැකියාව

සීනි වලින් අඩුවුනත් ප්‍රනීත රසයකින් සහ අමතර පෝෂණමය ගුණාංග රැසකින් යුත් තැඹිලි තියෙද්දී සිරුරට කොහෙත්ම හොඳ නැති සෝඩා වර්ග මොකටද? මිට අමතරව තැඹිලි වල අඩංගු වන කෙඳි සහිත භාවය සහ අමයිනෝ ඇසිඩ් වර්ග නිසා සිරුරේ ඉන්සියුලින් සංවේදීතාව දියුණු වන අතර රස්නේ යන්නටත් තිබහ සන්සිදෙන්නටත් තිබෙන හොඳම පානය තැඹිලි වේ.

වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්ව පාලනය කිරීමේ හැකියාව

මුත්‍රාශය ආශ්‍රිත ආසාධන තත්ත්ව පාලනයට තැඹිලි පානය ඉතා හොඳ වන අතර වකුගඩු සහ මුත්‍රාශයේ ඇතිවන ගල් වලටද පිලියමක් ලෙස මෙය යොදාගත හැක. (වකුගඩු ආශ්‍රිත ගල් වලින් පීඩා විඳි අය තැඹිලි පානයෙන් එම ගල් ප්‍රමාණයෙන් අඩුවී සැත්කම් කොට ඒවා ඉවත්කිරීම අවශ්‍ය නොවූ බව වාර්ථා වී ඇත)

තැඹිලි වල ඇති තවත් විශේෂී ගුණාංගයක් වන්නේ සිරුරේ ඇති විෂ ඉවත්කිරීමේ හැකියාවයි.

එහි අඩංගු වන විටමින් ප්‍රමාණය

විටමින් වර්ග අපේ ශරීරයට අවශ්‍ය බව අපි හැමෝම දන්නා කරුණකි. තැඹිලි වතුර විටමින් වලින් සපිරි බව ඔබ දැන සිටියාද? එනම්, විටමින් C (ඇස්කෝබික් ඇසිඩ්), විටමින් B1 (තයමින්), විටමින් B2 (රයිබෝෆ්ලෙවින්), විටමින් B3, විටමින් B5 (පැන්ටොතෙනික් ඇසිඩ්), විටමින් B6 (පයිරීඩොක්සින්), විටමින් B7 (බයෝටින්) සහ විටමින් B9 (ෆොලික් ඇසිඩ්) යන සියල්ල එහි අඩංගු වේ. ජලයේ දියවී ඇති මෙම විටමින් වර්ග කොඑන්සයිම ලෙස සිරුරේ සිදුවන සෛළමය ක්‍රියා සඳහා අත්‍යවශ්‍ය වේ. නිරෝගී හිසකෙස් සඳහා බයෝටින්ද, දරු උපත් වලදී ඇතිවියහැකි රක්තහිනතාව වැළකීමට විටමින් B9 ද උපකාරී වන අතර මේආකාරයට ඉහත දැක්වූ සියලු විටමින් වර්ග සිරුරට යම්ආකාරයකින් උපකාරී වේ.

පානය කිරීමට සූදානම් තැඹිලි (flickr.com)

පානය කිරීමට සූදානම් තැඹිලි (flickr.com)

ආයුර්වේදමය ගුණාංග

අපි දන්නා කලක පටන් ලංකාවේ වෙදමහතුන් විසින් විවිධ ප්‍රතිකර්ම සඳහා තැඹිලි වතුර භාවිතා කර ඇත. ඒ ලොව පුරා විද්‍යාඥයින් සහ පර්යේෂකයින් තැඹිලි ගැන දැනගන්නටත් පෙර කලක සිටය. ආයුර්වේදයේ තැඹිලි භාවිතයට හොඳම උදාහරණය නම් සුප්‍රසිද්ධ අරළු පානයයි. සිරුරට සිසිලසක් ගෙනදේ යයි පැවසෙන මෙම පානය සාදාගන්නේ අරළු කුඩු සහ තැඹිලි වතුර මිශ්‍ර කිරීමෙනි.

මෙය කාර්යක්ෂම laxative එකක් ලෙසද භාවිතා වේ.

අධි රුධිර පිඩනයට

තැඹිලි වතුර වල ඇති පොටෑසියම් සහ මැග්නීසියම් මගින් අධි රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වන අතර රුධිර සන්සරනයටද උපකාරී වේ. හදවත ආශ්‍රිත නහර වල විවිධ සිරවීම් වලක්විමටද තැඹිලි වතුර උපකාරී වේ.

සජලනය සඳහා

අධික පිපාසයෙන් පිඩා විඳ තැඹිලි ගෙඩියක් බිමේදී දැනෙන ආශ්වාදය ගැන ලියලා පිරිමිහන්න බැරි තරම්. සිතා බලන්න කොපමණ ප්‍රබෝධයක් එලෙස තැඹිලි බිමේදී දැනෙනවාද කියා, මෙය සිදුවීමට ප්‍රධානතම හේතුව තැඹිලි වල ඇති electrolyte සහ සිරුර සිසිල් කිරීමේ ගුණාංග වේ. රස්නේ දිනක මෙන්ම අධික පාචනය හෝ වමනය දැමීමෙන් පසුව වුවද බිමට තැඹිලි වඩාත් සුදුසු වන්නේ එහි ඇති මෙම ගුණාංග නිසාය. තැඹිලි බීමෙන් කිසිදු අතුරු අන්තරාවක් නොමැති වුවද ඔබ ඇට වර්ග (nuts ) වලට ආසාත්මිකතා පවතී නම් පමණක් තැඹිලි බිමට පෙර මදක් විමසා බලන්න.

ඉතින් තැඹිලි වලට ජීවනයේ උල්පත යයි කියන්නේ ඇයි කියන එක ඔබට තවමත් ප්‍රශ්නයක්ද?

කෙටි සාරාංශයක් ලෙස ගතහොත් තැඹිලි යනු මිලෙන් අඩු, පහසුවෙන් සොයාගතහැකි, සෞඛ්යමය ගුණාංග වලින් සපිරුණු, මේදයෙන් තොර, ග්ලුටන් සහ කොලේස්ටෝරෝල් නොමැති, දියවැඩියා රෝගීන්ට වුවද සුදුසු 100% ශ්‍රී ලාංකික දිව්‍යමය පානයකි. මෙනිසාමදෝ බොහෝ වෙළඳුන් විසින් බෝතල්කල තැඹිලි වතුර පිටරට යවන්නේ එයට සාමාන්‍ය ජනතාව මෙන්ම ක්‍රීඩකයින් විසින්ද විශාල ඉල්ලුමක් ඇති බැවිනි.

බෝතල්කල තැඹිලි වතුර සඳහා වූ වෙළඳ දැන්වීමක්. තැඹිලි සහ ලාමක/ලපටි පොල් වතුර බිමට පළමු ලොව රටවල්වලින් දැඩි ඉල්ලුමක් තිබේ. (Amazoන.com)

බෝතල්කල තැඹිලි වතුර සඳහා වූ වෙළඳ දැන්වීමක්. තැඹිලි සහ ලාමක/ලපටි පොල් වතුර බිමට පළමු ලොව රටවල්වලින් දැඩි ඉල්ලුමක් තිබේ. (Amazoන.com)

ඉතින් මේ සියල්ල දැනගත් ඔබ ඊළඟ සැරේ තැඹිලි පානය කිරීමේදී පෙරටත් වඩා රසවිඳිනු ඇතැයි අපි සිතමු. මන්ද, සිරුරට හොඳ දේ බොහෝවිට තිත්ත රසක් සහිත යයි පොඩි කාලේ සිට ඔලුවේ තියාගෙන සිටින අපිට තැඹිලි වැනි රසයෙන් ඉහල දෙයක් සෞඛ්යයටද ගුණ බව සිතාගන්නවත් නොහැකි නිසාය.

මේ ගැන කල්පනා කරද්දී නම් සිතෙන්නේ දෙවියන් දිව්‍ය පාන තියාගත්තාදෙන්, අපිට තැඹිලි හොඳයි කියාය.

Related Articles