මහා රාවණගේ රථ මාවත හෙවත් The Chariot Path

ශ්‍රීලංකාව, විස්මයජනක සොබා සුන්දරත්වයක් පැවති අභිමානවත් ඉතිහාසයක් සහිත රටකි. එයිනුදු තවමත් මධ්‍යම කඳුකරයේ ගවේශණය නොකළ තැන් බොහෝමයකි. එහි ඉතිහාසයේ සහ සොබා දහමේ අභිරහස් තවමත් සැඟවී තිබෙන තැන් අප්‍රමාණ ය. Chariot Path හෙවත් මහා රාවණාගේ රථ මාවත සොබා දහමේ අභිරහස් තවමත් සැඟවී තිබෙන එවන් තැනකි. එය සංචාරකයන්ගේ මන දොළ සපුරන, විස්මයජනක සෞන්දර්යයයෙන් පිරුණු ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි සොඳුරු බවින් පිරි ස්ථානයකි.

මහා රාවණ- astrotalk.com

 

ජනප්‍රවාද

මහා රාවණා යනු වසර හයදහසකට, හත්දහසකට පමණ පෙර හෙළදේශය හෙවත් ශ්‍රී ලංකාව මුල්කරගෙන ලෝකයෙන් අඩක් පාලනය කල මහාබලසම්පන්න සත්විති රාජ පරම්පරාවක අවසන් පාලකයා බව සඳහන් ය. මහා බලපරාක්‍රමයෙන් යුක්ත මහාරාවණා ගුවන්යානා තාක්ෂණයෙන් ද කෙල පැමිණි විශිෂ්ට ඉංජිනේරුවෙක් යැයි ද පැවසේ.

ඔහුගේ ගුවන් යානා විශේෂය “විමාන” හෙවත් “දඬුමොණරය” යැයි ලංකාවාසී හැමදෙනා ම දන්නා දෙයකි. පුරාවෘත්තවලට අනුව කිසියම් හේතුවක් නිසා භාරතයේ සිටි රාමාගේ අතිශය රූමත් බිරිය සීතා දේවිය මහාරාවණ හෙළයේ ලංකාපුරයට ගුවනින් රැගෙන ආවේ ය. රාවනාගේ විශිෂ්ටත්වය වූයේ ශිෂ්ට සම්පන්න හෙළයෙක් සහ මහා පෞරුෂයක් සහිත මිනිසෙක් ලෙස සීතා දේවිය කිසිදු කායික මානසික පීඩාවකට යටත් නොකොට ස්වකීය දියණියක සේ රැක බලා ගැනීම ය.

සීතා දේවියගේ සිතුවමක්- ghaziabadbn.com

 

සීතා දේවිය

රාවණා රජු තම රාජ්‍යයේ සුන්දරත්වය සීතා දේවියට පෙන්වීම සඳහා ස්වකීය අගනුවර වූ ලංකාපුර සිට පැමිණ මෙම ප්‍රදේශය තෝරා ගත් බව පුරාවෘත්තවල සඳහන් වේ. මෙම ප්‍රදේශයට “අශෝක විතාක” යන නම ද එකල ජනප්‍රවාදයේ භාවිත වූ අතර, සමහර පුරාණ කථාවල, රාවණා රජුගේ ගගන යානය වූ දඩුමොණරය ගොඩබෑමේ මාර්ගය ලෙස ද මෙම ප්‍රදේශය හැඳින්වේ.

රාවණාගේ කරත්ත පාර පිහිටා ඇති කඳු වැටිය නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිදුරුතලාගල කඳු පන්තියේ රම්බොඩ අන්තයේ ය. පුස්සැල්ලාව ‍’ෆ්‍රොටොෆ්ට් ‘ වතුයායෙන් ඒ ගමන ඇරඹිය යුතු යි.

එය බැලූ බැල්මට විශාල ගස්වැල්වලින් තොර හුදෙකලා භූමි මාවතකි. එහි ඇත්තේ මිටි තෘණ පඳුරු පමණි. හරියට තෘණ කප්පාදු කළ ක්‍රීඩා පිටියක් වැනි ය. එයින් අනුමාන වශයෙන් ගම්‍ය වන්නේ කිසියම් බරැති විශාල වාහනයක් හෝ වාහන සමූහයක් එම භූමිය දිගේ එහා මෙහා ගමන් කරවීම නිසා අදටත් එය උස් ගස්වැල් වලින් ශුන්‍යව මිටි තෘණ පමණක් පලසක් ව පවතිනු ඇති බව යි.

රාවණාගේ අශ්වරථ මාර්ගය හෙවත් The Chariot Path- ramayanatours.com

හොඳින් නිරීක්ෂණය කළහොත් එය වර්තමාන ගුවන් තොටුපළක ගුවන්යානා අහසට නංවන සහ ගොඩබස්වන ධාවන පථවලට සමාන ය. එනිසා ඓතිහාසික හා ජනප්‍රවාදවල එන පරිදි මෙම ස්ථානය මහාරාවණට කිහිප ආකාරයකින් ම වැදගත් ස්ථානයක් වූ බවට පැහැදිලි ය. මෙය හතරවටින් ම උස් කඳුමුදුන් සහිත කඳුවලල්ලකින් වට වූ ස්ථානයකි.

මහාරාවණගේ අද්විතීය ගුවන් යානාව වූ “දඬුමොණරය” සකල දිසාවට ම පියාසර කිරීමෙන් අනතුරු ව ගොබස්වන ලද්දේ මෙතැනට බැව් පැරැනන්ගේ මතය යි.  එතැන් සිට මහාරාවණ ගොඩබිමින් අවශ්‍ය ස්ථාන වෙත අශ්වයන් පිට හෝ වෙනත් කුමන ආකාරයේ රථයකින් හෝ ගමන් කර ඇත්තේ මේ අතිශය මනරම් මාවත ඔස්සේ ය.

ගමන යන අතරමඟ- travelwithramzy.wordpress.com

 

පිහිටීම සහ යා හැකි මාර්ග

ශ්‍රීලංකාවේ මධ්‍යම කඳුකරයේ මහනුවරත් නුවරඑලියත් අතර ඇති පුස්සැල්ලාව ප්‍රදේශයේ පිහිටි රම්බොඩ කඳුමුදුනක මේ සුවිශේෂී ඉපැරණි මාවත පිහිටා ඇත. මේ සඳහා ප්‍රවිශ්ඨ වීමට මාර්ග දෙකක් ඇත.

එයින් වඩාත් පහසු මාර්ගය වන්නේ පේරාදෙණිය – නුවරඑළිය මාර්ගයේ පුස්සැල්ලාව වෙත ගොස්, එතැනින් තවත් කිලෝ මීටර් දෙකක් පමණ ගිය පසු වමට හැරී තවත් කිලෝමීටර දාහතක පමණ දුරක් ගමන් කොට පිදුරුතලාගල රක්ෂිතයට ඇතුළුවීම ය. ගමනාන්තයට ළඟාවීමට ඉතාම අසීරු පටු මාර්ගයක වාහන ධාවනය කළ යුතුව ඇති අතර ඉන්පසුව පාගමනින් වනන්තරය හරහා දුෂ්කර ගමනක යෙදිය යුතු ය. මෙම දුෂ්කර ගමනේ අතරමග “පෙරට්ටාසි” නම් වතු ගම්මානයක් හමු වන අතර පුස්සැල්ලාවේ සිට පෙරට්ටාසි ගම්මානය දක්වා බස් රථයක් ගමන් කරයි.

මහාරාවණ සහ සීතා දේවියගේ සිතුවමක් -astrotalk.com

මෙම සුවිශේෂී සුන්දර ස්ථානයට පිවිසුම හමු වන්නේ පෙරට්ටාසි ගමේ ෆ්‍රොටොෆ්ට් වතුයායෙනි. එහි වසර එකොළහකට පමණ පෙර සිට අතහැර දැමූ ග්‍රාමීය රෝහල් ගොඩනැඟිල්ලක් ද තිබේ. ඒ අසලින් පිහිටි පටු කඳුකර මාර්ගය දිගේ වනන්තරයට පිවිසිය යුතු ය. මෙය නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුහුදු මට්ටමේ සිට මීටර් දෙදහස් එකසීයකට (2100කට) වඩා උසකින් පිහිටා ඇත. මෙම ස්ථානයට ප්‍රවේශ වීමට මූලාරම්භය වන්නේ පුස්සැල්ලාව ‘ෆ්‍රොටොෆ්ට් වතුයායෙනි. මෙය පුද්ගලික සමාගමක තේ වත්තකි. එය ශ්‍රී ලංකාවේ ශීතල අධික ම ස්ථානවලින් එකකි. සමහර දිනවල මෙහි පරිසර උෂ්ණත්වය සෙල්සියස් ඍණ අගයට ආසන්නව පැමිණෙන බැව් සඳහන් ය. එය අධිකතර දැඩි ශීතලකි.

මහාරාවණ නිරන්තරයෙන් ඇසුරු කළ ප්‍රදේශ අතර බළංගොඩ,බෙලිහුල්ඔය, කොත්මලේ, හෝර්ටන්තැන්න,ලකේගල සහ නකල්ස් කඳුවැටි ප්‍රදේශය මෙන්ම මෙම මධ්‍ය කඳුකරය ද ඇතුළත් ය. ඒ ලැයිස්තුව අතරට පිදුරුතලාගල කඳුවැටියේ රම්බොඩ දිශාවේ වර්තමාන පුස්සැල්ලාවට නුදුරු උස් බිමක පිහිටි, ප්‍රදේශවාසීන්  “පිට්ටනි” යනුවෙන් හඳුන්වන මෙම සුවිශේෂී භූමි පිහිටීම Chariot Path හෙවත් මහා රාවණාගේ රථමාවත යනුවෙන් හැඳින් වේ.

සීතා පොකුණ – www.greenholidaytravels.com

 

සීතා පොකුණ

මෙහි එක් තැනක සීතා පොකුණ නම් කුඩා පොකුණක් හමු වේ. එම පොකුණ “සීතා පොකුණ” ලෙසින් හඳුන්වන්නේ මෙම පොකුණෙහි ජලය සීතා දේවියගේ කඳුළු වලින් පිරී ඇතැයි ජනප්‍රවාදයේ එන නිසා ය. කිසිදු නියං සමයක මෙම පොකුණෙහි ජලය නොසිඳෙන බවට ගැමියන් අතර විශ්වාසයක් තිබේ. රාමායන පුරාවෘත්තයට අනුව මෙම පෞරාණික මාවතේ අදටත් විශාල ගස්කොළං දක්නට නොමැත. අක්කර ගණනක් පුරා වපසරියක් තුළ නිල්වන් තෘණ පඳුරු සහිත තැනිතලාව හැරෙන්නට වෙනත් සුවිසල් ශාක වැවී නැත.

එම තෘණ භූමි වපසරිය හාත්පසින් දැවැන්ත කඳුපන්තිවලින් වටවී ඇත. “සීතාමල්” නමින් හැඳින්වෙන ආවේණික මල් ගස් මෙහි සෑම තැනක ම දක්නට ඇති අතර ඒවා රතුපැහැ දීප්තිමත් මල් ය. දුන්නක් රැගෙන යන මිනිසකුගේ හැඩතලවලට සමාන හැඩයක් මෙම මල්වල ඇත. නකල්ස් කඳුවැටියේ පිටවල පතන භූදර්ශනය මෙන් මෙය පතන් බිමක ලක්ෂණ පෙන්වූවත් කිසි ලෙසකින් එය පිටවල පතනට සමාන නොවේ. අධික ශීතල, දැඩි මීදුම, විටින් විට මේ පරිසරය වෙලා ගනියි.

සීතාමල්  – commons.wikimedia.org

 

මෙම පුරාණ මාවත සොයා යන ගමනේ දුෂ්කර ම කොටස වන්නේ දැඩි බෑවුමක් ඔස්සේ වනය තුළ ඇවිද යා යුතු කොටස යි. මෙහි හොර්ටන් තැන්නේ පාරිසරික භූ ලක්ෂණවලට බෙහෙවින් සමාන ලක්ෂණ බොහෝමයක් ඇති අතර දල බෑවුම්, හදිසි ප්‍රපාත මෙන් ම, දැඩි මීදුම ද, ශීඝ්‍රාකාර නැග්ම ද පසුකර යා යුතු ව තිබේ. බොහෝ විට වැඩිහිටි හා මහලු වියේ සිටින අයට සහ කුඩා දරුවන්ට ගමනේ දුෂ්කර වෙහෙසත්, දැඩි පාරිසරික වෙනසත් නිසා මෙම ගමන සුදුසු නැතත්, පරිසරයට ඔරොත්තු දිය හැකි, වෙහෙස මහන්සිය දරා ගත හැකි සෑම අයකු ම ස්වභාව ධර්මය තුළ සැඟ ව ඇති මෙම අතීත පෞරාණික සෞන්දර්යය රසය වින්දනය කිරීම ජීවිතයේ තවත් එක් වටිනා අවස්ථාවක් වනු ඇත.

ලංකා ඉතිහාසයේ මහා රාවණා යුගය ගැනත් කියවන්න.

රාවණාගේ අපරිමිත ප්‍රේමයේ හිමිකාරී, මන්දෝදරී ලිපියටත් පිවිසෙන්න.

රාවණා යුගයේ අහස්යානා වීඩියෝවත් නරඹන්න.

කවරයේ ඡායාරූපය - රාවණාගේ අශ්වරථ මාර්ගය - www.greenholidaytravels.com

මූලාශ්‍ර:

www.watchinglanka.com

www.ceylonexpeditions.com

Related Articles