Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආගම් බේදයක් නැතිව හැමෝ ම යන එන කොච්චිකඩේ පල්ලිය

ශ්‍රී ලංකාවේ ප්‍රධානත ම නත්තල්  නත්තල් දේව මෙහෙයක් සිදු කරන පල්ලියක් ලෙසත්: කතෝලික, බෞද්ධ, හින්දු, මුස්ලිම් සියලු ආගම්වල බැතිමතුන් තම ගැටලු දෙවියන්ට පවසා සහනයක් ලබා ගන්නා ස්ථානයක් ලෙසත් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය වැදගත් වෙනවා. එහි   මැදියම් රෑ නත්තල් දේව මෙහෙයට විශාල බැතිමතුන් පිරිසක් සෑම වසරක ම එක්රොක් වෙනවා.

 මේ පල්ලිය ප්‍රකටව තිබෙන්නේ කතෝලික, බෞද්ධ ,හින්දු, මුස්ලිම් සියලු ආගම්වල බැතිමතුන් තම ගැටලු දෙවියන්ට පවසා සහනයක් ලබාගන්නට එන ස්ථානයක් ලෙස යි.  මේ නිසා 2019 පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පල්ලියේ ආගමික වතාවත්වලට පැමිණි සිටි මේ ආගම් සියල්ලට ම අයත් පුද්ගලයන් රාශියකට ජීවිතය අහිමි වුණා.

පල්ලියේ පැරණි සේයාරුවක්- dailynews.lk

ආගම් බේදයක් නැති පල්ලිය

කොළඹ කොච්චිකඩේ ප්‍රදේශය  කිතුණු බැතිමතුන්ගෙන් පමණක් නොව බුදුනු, මුස්ලිම් සහ හින්දු බැතිමතුන්ගෙන් ද පිරී පැවතීම සාමාන්‍ය දෙයක් . එයට හේතුව ශාන්ත අන්තෝනි දේවස්ථානය වන්දනා කර, බාරහාර වීමට සෑම ආගමක ම බැතිමතුන් එහි පැමිණෙන නිසා යි. එය ආගමික සහජීවනයට ජීවමාන සාක්ෂි සපයන කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකෙනවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ තමන්ගේ ගැටලුවලට ශාන්ති අන්තෝනි මුනිඳුන්ගේ පිහිට ලැබෙන බවයි.

බැතිමතුන්ට ඉටිපන්දම් ඇතුළු පූජා ද්‍රව්‍ය විකුණන ස්ථාන රාශියක් ද දේවස්ථානය ඉදිරිපිට පිහිටා තිබෙනවා. කොච්චිකඩේ පල්ලිය වැඳ පුදා ගැනීමට ශ්‍රී ලංකාවේ දුරබැහැරවලින් පවා කතෝලිකයන් පැමිණීම සිරිතක්. මෙම පල්ලිය බොහෝ දෙනාගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරන ආශ්චර්යමත් පුදබිමක් බවයි බැතිමතුන්ගේ විශ්වාසය.  

දේව මෙහෙයකට පැමිණි බැතිමතුන් – Joinmychurch.com

කොචින් සිට ආ පියනම

ක්‍රිස්තු වර්ෂ 1505 දී පෘතුගීසීන් ලංකාවට ගොඩබැසීමත් සමඟ ම කතෝලික දහම මුහුදුබඩ පළාත්වල ව්‍යාප්ත කිරීම සිදු වුණා. පල්ලි ඉදි කළා.  අනතුරු ව 1658 දී ඕලන්ද ආක්‍රමණයත් සමඟ පෘතුගීසීන්ට මෙරටින් ඉවත් ව යාමට සිදුවුණා.  ඕලන්ද පාලන සමයේ රෙපරමාදු ක්‍රිස්තියානි ආගම ඇදහීම නිසා මෙරට කතෝලික දහම දේශනා කිරීම දඬුවම් ලැබෙන වරදක් වුණා. වර්ෂ 1687 දී ජුසේවාස් මුනිතුමා මන්නාරමින් හොර රහසේ ලංකාවට එන්නේ කිතුදහම නැවත මෙරට ව්‍යාප්ත කිරීමට යි.

ඉන් කලකට පසු මෙරටට දකුණු ඉන්දියාවේ කොචින් සිට තවත් කතෝලික පියනමක් පැමිණෙනවා. ඔහු  අන්තෝනියෝ කොච්චියාල්. ඕලන්දයන්ට හොර රහසේ ම කොළඹට පැමිණ මැලිබන් වීදියේ (කොළඹ මාළු වෙළෙඳ‍පොළ ඒ කාලයේ තිබුණේ එතැනයි) මාළු වෙළෙන්දකුගේ නිවසේ නතර වෙනවා. ඉන් පසු මාළු වෙළෙන්දකු විදිහට වෙස්වලාගෙන ඒ අවට පදිංචි ව සිටි ධීවර කර්මාන්තය කරන කතෝලික බැතිමතුන් රාත්‍රී කාලයේ රහසේ හමුවී ඔවුන්ගේ ආගමික කටයුතු ඉටුකර දීම සිදු කළා. ටික කලක් ගතවන විට කතෝලිකයන් විශාල ප්‍රමාණයක් පියනම හමුවීමට පැමිණෙන්න පටන් ගන්නවා.

පල්ලිය ඇතුළත දසුන් – dailynews.lk

කොච්චිකඩේ

මෙම පියනම පිළිබඳ ව ඕලන්ද පාලකයන්ට ආරංචි වී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ටික කලකට පසු පසු පියනම ඕලන්දයන්ගෙන් මිදී පලා විත් මෝදරට නුදුරු මුහුදුබොඩවත්ත නම් ප්‍රදේශයේ කතෝලික, බෞද්ධ සහ හින්දු ජනකොටස් අතර වාසය කරනවා. මුහුදුබොඩ වත්තේ පියනම වෙස්වලා ගෙන  කුඩා ‍පොල් අතු කඩයක් ආරම්භ කර රාත්‍රියේ දේවමෙහෙයන් සිදු කළ බව සමහර ජනප්‍රවාදවල සඳහන් වෙනවා. කලක් යනවිට දහවල් කාලයේද එහි දිව්‍ය පූජා පැවැත්වීම සිදු වුණා.

අන්තෝනි කොච්චියාලාගේ කුඩා ‍පොල්අතු කඩය මුලින්  කොච්චියා‍ලේ කඩය යනුවෙන් හඳුන්වා පසුව ඒ පෙදෙසත් කොච්චිකඩේ යනුවෙන් හැඳින්වෙන්නට වූ බවයි පැවසෙන්නේ.

දේවස්ථානය ඉදිරිපසින් – Wikipedia.org

ප්‍රාතිහාර්යය දැක්වීම

මුහුදු කෑම ඒ කාලයේ විශාල ගැටලුවක් බවට පත්ව තිබුණු බව සමහර ජනප්‍රවාදවල සඳහන් වෙනවා. න්න පටන් ගන්නවා. මේ නිසා  ධීවරයන්ට  මුහුදු යාමට ඔරු දියත් කිරීමේදී ගැටලු ද ඇතිවුණා. මිනිසුන් පියතුමන් වෙතට පැමිණ එය වළක්වා දෙන්නැයි ඉල්ලා සිටියා. පියතුමන් කළ යාඥාවලින් පසු මුහුදු ඛාදනය නතර වූ අතර එය මේ ප්‍රදේශයේ සිදුවූ පළමු ප්‍රාතිහාර්යය ලෙස සැලකෙනවා.

ඔහු අද කොච්චිකඩේ පල්ලිය පිහිටි ස්ථානයට පැමිණ කුරුසයක් සිටුවා යාඥා කරමින් ජනතාවට සෙත සලසා දුන්බව ඉතිහාසයේ සඳහන්. මෙය ආරංචි වූ එවකට ඕලන්ද ආණ්ඩුකාර විලියම් බ්‍රවුනිංක් ( 1739—742) පියනමට දේව මෙහෙයන් සිදු කිරීමට තැනක් වෙන් කර දුන් බවත් පැවසෙනවා. ඊට පසු පොල්අතු කුටියක් ඉදිකර දේවස්ථානය ආරම්භ කෙරුණා. අන්තෝනියෝ පියතුමා මෙම දෙව්මැදුර සාන්තුවරයා වූ ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන් නමින් නම් කර තිබෙනවා.  

දේවස්ථානය ඉදිවෙයි

කොච්චිකඩේ දේවස්ථානය පිහිටා ඇත්තේ බටහිර කොටහේන ග්‍රාම නිලධාරි වසමේ කොළඹ වරායට ආසන්න ව යි.  1796 දී මුහුදුබඩ පළාත් ඉංග්‍රීසින් සතු වන අතර ඉන් පසු කතෝලික ආගමට රාජ්‍ය අනුග්‍රහය යළිත්  හිමි වෙනවා. වර්ෂ 1806 දී එතෙක් පැවති තාවකාලික පොල් අතු ගොඩනැඟිල්ල වෙනුවට මෙම  ස්ථානයේ ස්ථිරව කුඩා දේවස්ථානයක් ඉදි කෙරුණා.

1822 දී බැතිමතුන් කණ්ඩායමක් ඉන්දියාවේ  ගෝවට ගොස් ශුද්ධ වූ අන්තෝනි මුනිතුමන්ගේ ප්‍රතිමාවක් ගෙනැවිත් පැරණි දෙව්මැදුරේ අල්තාරය මත පිහිටුවා දෙව්මැදුර අන්තෝනි මුනිවරයා නමින් කැපකර තිබෙන බව සඳහන් වෙනවා. 

ශාන්ත අන්තෝනි ප්‍රතිමාව පෙරහරක රැගෙන යමින් – Joinmychurch.com

ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ප්‍රතිමාව

ඉංග්‍රීසි පාලන සමයේ වර්ෂ 1822 දී සහ 1826 දී මෙම දේවස්ථානය වඩාත් විශාල කර ඉදි කර තිබෙනවා. අද අප දකින ඉදිරිපස කොටස පල්ලියට එක් කර තිබෙන්නේ 1834 දි යි. දේවස්ථාන මුහුණත අලංකාර අයුරින් නිම කර තිබෙනවා. එහි මුහුණතේ ආරුක්කු හැඩැති දිගැටි වීදුරු කුටියක ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ප්‍රතිමාවක් තැන්පත් කර තිබෙනවා. එය පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්මාරකයක් ලෙසත් වැදගත්.

මුදුන් කොත්, බීරළු වැට, ඩොරික් කුලුනුවලින් සමන්විත යි. මුහුණත දෙපසින් චතුරස්‍රාකාර සීනු කුලුනු දෙකක් දැකගත හැකි යි. පහත භාගයේ දොරටු හා ජනේල ආරුක්කු ආකාරයට සකසා ඇත්තේ ගොතික් සම්ප්‍රදායට අනුව යි. දේවස්ථානයේ ඉතිහාසය පවසන කුඩා කෞතුකාගාරයක් ද මෙහි තිබෙනවා.

ශාන්ත අන්තෝනි මුනිතුමා

ශ්‍රී ලාංකික කතෝලිකයන් අතර වඩාත් ජනප්‍රිය සහ භක්ත්‍යාදරයට ලක්වන ශුද්ධවන්තයකු ලෙස ශුද්ධ වූ ශාන්ත අන්තෝනි මුනිතුමන් සැලකෙනවා. ක්‍රිස්තු වර්ෂ 1195 අගෝස්තු මස 15 වැනි  දා පෘතුගාලයේ බටහිර ප්‍රදේශයේ උපන් අන්තෝනි මුනිතුමන්ගේ පියා මාටින් අල්‍පෝන්සස් බග්ලියොන් වන අතර මව ආනා තෙරේසා ට්‍රැවේරා යි.  

  ඔහුගේ මුල් නම පර්ඩිනන්ඩ් බුලියන්. උසස් පවුලක උපන් බුලියන් තම දේපළ සහ වෙනත් සැප සම්පත්  අත්හැර ජේසුතුමන්ගේ අනුගාමිකයෙක් බවට පත් වුණා. ඔහු පසු ව ප්‍රැන්සිස්කානු නිකායට ඇතුළත් වූ අතර එහි දී අන්තෝනි යන නම ලැබුණා. යොවුන් වියේදී සාන්ත අගුස්තීනු තාපසාරාමයකට ඇතුළු වූ බුලියන් තාපසවරයකු වශයෙන් එහි ආධ්‍යාත්මික පුහුණුව ලබනවා.  

පල්ලිය තුළ තැන්පත් කර ඇති ශාන්ත අන්තෝනි ප්‍රතිමාව- Wikimapia.org

දුප්පතුන්ගේ ශාන්තුවරයා

පසුකාලයක  ප්‍රැන්සිස්කානු තාපස පිරිසක් සමඟ තුර්කියට ගොස් එහි කිතු දහම පැතිරවීම ආරම්භ කර තිබෙනවා.   ටික කලකින් ම රෝගාතුරවීම නිසා, ඉතාලියට පැමිණි අන්තෝනි මුනිතුමා පාදුවා නගරය තම මූලස්ථානය කරගෙන කිතු දහම දේශනා කිරීම අරඹනවා. වැඩිකල් ජීවත් නොවූ මේ මුනිතුමාක්‍රිස්තු වර්ෂ 1231 දී ස්වර්ගස්ථ වෙනවා.  ස්වර්ගස්ථ වී වසරක් ඇතුළත, අන්තෝනි මුනිතුමන් ශුද්ධවන්තයකු ලෙසට පිළි ගත් බව කතෝලික සභාව ප්‍රකාශයට පත්කරනවා.  

කතෝලික බැතිමතුන් විශ්වාස කරන්නේ දේව වරමින් ප්‍රාතිහාර්යය කිරීමේ බලය ද අනාවැකි පළකිරීමේ හැකියාව ද අන්තෝනි මුනිතුමන් සතු බව යි.  දුප්පතුන්ගේ ශාන්තුවරයා යන නාමයෙන් ද ඔහු හැඳින්වෙනවා. කොච්චිකඩේ පල්ලියට   තම දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට පැමිණෙන ජනතාවගෙන් බහුතරයක් දුප්පතුන් වෙනවා. ධීවරයන් අතරත් මේ මුනිවරයා ඉතා ජනප්‍රිය යි. අන්තෝනි මුනිතුමන් නැති වූ දේවල් සොයා දෙන සහ බලා‍පොරොත්තු සුන්වූ අවස්ථාවලදී පිහිට වන මුනිවරයා ලෙසයි ප්‍රකට ව ඇත්තේ.

මෙරටට වැඩම කළ දෙවන ජුවාම් පාවුලු පාප්තුමන් – GIUSEPPE CACACE/AFP via Getty Images

 පාප්තුමා පැමිණෙයි

1995 ජනවාරි 20 දින මෙරටට වැඩම කළ දෙවන ජුවාම් පාවුලු පාප්තුමන් කටුනායක ගුවන් තොටු‍පොළ සිට විවෘත රථයකින්, ගාලු මුවදොර පිටියේ පැවැත්වූ පිළිගැනීමේ උත්සවයට පැමිණෙන අතර විවේක ගැනීමට පැමිණියේ කොච්චිකඩේ පල්ලියට යි. 

එවකට ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති ඔස්පදෝ පසිල්ලා හිමිපාණන් සහ එවකට කොළඹ අගරදගුරු නික්ලස් මාකස් හිමිපාණන් ද  සමඟින් උන්වහන්සේ එසේ පැමිණ තිබෙනවා.   

ප්‍රහාරයෙන් පසු පිළිසකර කර විවෘත කළ පල්ලිය ඇතුළත- Catholicnewsworld.com

පාස්කු ප්‍රහාරය

2019 අප්‍රෙල් 21 දා සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මුල්ම බෝම්බය පිපිරුණේ කොච්චිකඩේ පල්ලිය තුළ යි. එදින උදෑසන 8.45ට  බෝම්බය පිපිරී ගියා.මාරාන්තික පිපිරීම සිදු වන  විට ජෝයි මරියරත්නම් පියතුමා දෙමළ බසින් යාඥා කිරීමට නියමිත ව තිබුණා. බෝම්බයෙන් කොච්චිකඩේ පල්ලියට පැමිණ සිටි 54 දෙනෙකුට ජීවිත අහිමි වුණා. පල්ලිය කෙටිකලකින් ම ආරක්ෂක හමුදාවල සහායෙන් ප්‍රතිසංස්කරණය කෙරුණා.  ප්‍රාණ පරිත්‍යාශීලින්  වෙනුවෙන් ඔවුන්ගේ නම් සටහන් කළ පලකයක් ද පල්ලියේ ස්ථාපිත කර තිබෙනවා.

කවරයේ ඡායාරූපය-නත්තලට ආලෝකමත් කර ඇති කොච්චිකඩේ පල්ලිය - Nadun kuruppu - commons.wikimedia.org
මූලාශ්‍ර:
පුරාවිද්‍යා ස්ථාන නාමාවලිය- කොළඹ දිස්ත්‍රික්කය, පළමු වෙළුම, පුරාවිද්‍යා දෙපා.
කොළඹ උරුමය නරඹමු- ආචාර්ය බුද්ධිනී වීරසිංහ
Lakbima.lk
Sunday observer.lk
Lankapradeepa.com

Related Articles