දිගාසිරි පතා හිසට ගාන නානු හා තෙල්

සිංහල අවුරුදු චාරිත්‍ර අතර හිසතෙල් ගෑමේ සිරිතට හිමිවන්නේ මුල් තැනක්. අදත් ගම්වල එය හිසතෙල් ගෑමේ අවුරුද්ද කියලා හඳුන්වනවා. අලුත් අවුරුදු දිනයෙන් දින දෙකකට හෝ තුනකට පසුව තමයි නැකත් අනුව හිසතෙල් ගෑමේ දිනය උදාවන්නේ. මේ අවුරුද්දේ හිසතෙල් ගෑමේ දිනය 2022 අප්‍රේල් මස 17 වන දා, ඉරිදා පූර්ව භාග 7.04 ට යෙදී තිබෙනවා.

නානු සෑදීමට ගන්නා ඖෂධ – mihithuru.lk

 

හිසට සත්කාරයක්

ජ්‍යොතිශයට අනුව නව සූර්ය සංක්‍රාන්තියෙන් පසුව උදාවන මෙම සුවිශේෂී අවස්ථාව පදනම් කර ගෙන ඒ ඒ ග්‍රහයනට වෙන වෙනම ශාක පත්‍ර වෙන්ව තිබෙන බව සඳහන්. ඒ අනුව රවි ග්‍රහයාට ඉඹුල් පත්‍ර ද, සඳුට දිවුල් පත්‍ර ද, කුජට කොළොන් පත්‍ර ද, බුධට කොහොඹ පත්‍ර ද, ගුරුට බෝ පත්‍ර ද, සිකුරුට කරඳ පත්‍ර ද, සෙනසුරුට නුග පත්‍ර ද යොදා ගන්නා බව පැවසෙනවා.

ඒ ඒ අවුරුදුවල ග්‍රහ ගමන් හා නැකැත් උදාවන්ට අනුව හිසතෙල් ගෑමේ දී භාවිත කරන පත්‍ර වර්ග වෙනස් වෙනවා. වර්ෂ 2022 අවුරුද්දේ නැකත්වලට අනුව හිසට ඉඹුල් පත් ද පයට නුග පත් ද තබා හිසතෙල් ගෑම කළ යුතු බව සඳහන්.

අප්‍රේල් මාසය යනු අව් රශ්මිය තදින් දැනෙන උණුසුම් මාසයක්. හිරු කිරණ ඉතා තදින් පෘථිවිය මතට පතිත වීම මේ කාලයට සිදුවෙනවා. අව් රශ්මිය ඉතා තද බැවින් මිනිසාගේ ශරීරයේ උෂ්ණත්වය ද ඉහළ නඟිනවා. දහඩිය වැගිරෙනවා. ජ්‍යොතිශයට අනුව මෙසේ පතිත වන හිරුගේ විස කිරණ මිනිස් මොළයට බලපානවා.

සොබා දහමේ මේ විපර්යාසයට පිළිතුරක් ලෙස තමයි සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසට සත්කාරයක් සිදු කරන්නේ. එය හිස තෙල් ගෑමේ මංගල්‍යය යි. මෙම චාරිත්‍රය මගින් අව් රශ්මියෙන් දැඩි ලෙස පීඩාවිඳි හිසටත්, මොළයටත් විරේකයක් ලබා දීම සිදු වෙනවා.

 අලින්ටත් හිසතෙල්-shutterstock.com

 

ජීවිතයේ අලුත් පිටුවක් පරිච්ඡේදයක් පෙරළා ගැනීමේ අරමුණෙන් තමයි අලුත් අවුරුද්දේ සුබ නැකතට හිස තෙල් ගෑම සිදු කරවා ගන්නේ. එළඹෙන අවුරුද්දේ නිරෝගී දිවියක් ගත කිරීම මෙන් ම දීර්ඝායුෂ ලැබීම හා ප්‍රඥාව ලැබීමත් එහි අරමුණු වෙනවා.

මිනිසාට අමතර ව හීලෑ අලි ඇතුන්ටත් නිරෝගී සුවය පතා හිසතෙල් ආලේපය සිදු කරනවා. පසුගිය කාලයේ පින්නවල අලි අනාථාගාරයේදීත් අලින්ට හිසතෙල් ආලේපය සිදුවුණා. වැදි ජනතාවත් පසුගිය කාලයේ නැකතට හිසතෙල් ගෑම සිදු කළ බව වාර්තා වුණා.

දළදා මාලිගාවේ නානු බෙදා දීමේ අවස්ථාවක් – twittet.com – sri dalada maligawa

තෙල් හා නානු

හිසතෙල් ගෑමේ දී ගමේ විහාරස්ථානයට මුල් තැනක් හිමි වුණා. ගමේ පන්සලේ තමයි හිසතෙල් ගෑම සිදුවුණේ. සමහර ගම්වල වෙද මහතාගේ නිවසේදීත් හිසතෙල් ගෑම සිදු කළා. පුරාණයේ දී වැඩි වශයෙන් මේ තෙල් හා නානු සකස් කළේ ගමේ පන්සලේ නායක හාමුදුරුවන්  හෝ වෙද මහත්මයා යි. අද නම් ආයුර්වේද දෙපාර්තමේන්තුව නානු හා තෙල් සකස් කර විහාරවලට බෙදා දෙනවා. මහනුවර අව‍ට විහාර දේවාලවලට නානු බෙදාදෙන්නේ දළදා මාලිගාව යි.

හිස තෙල් ගෑමට ප්‍රථම නානු ගෑම සිදු කරනවා. පැරණි වට්ටෝරුවලට අනුව නානු සෑදීමට ගන්නා ඖෂධ මෙසේයි:

කලාඳුරු අල, කුංකුමප්පු, සුදුහඳුන්, විශ්ණුක්‍රාන්ති, ගෝරෝචන, සස්සඳ මුල්, ඉරිවේරිය, නස්නාරන්මුල්, සැවැන්දරාමුල්, නෙළුම්දඬු, ගොඩමානෙල් අල, බෙලිමුල්, වෙනිවැල්ගැට, ඊතණ යන වර්ග යි. මේ ඔසු 14 සම ව ගෙන තලා අලුත් මුට්ටියක දමා තම්බා පත අට දෙකට සිඳගත යුතු යි. ඉන් පසු නුග පත් කොටා ඒවායේ යුෂ ද දෙහි ඇඹුල් ද ඉහත සඳහන් දියරයට දමා හොඳට කලවම් කළ යුතු වෙනවා. අනතුරු ව පිරිසුදු රෙද්දකින් පෙරාගන්නා අතර එවිට ලැබෙන දියරය ‘නානු’ ලෙස හඳුන්වනවා.

හිසතෙල් සඳහා භාවිත කෙරෙන තෙල් වර්ග හදන්නේ මෙහෙමයි:

තල තෙල්, මී තෙල්, අබතෙල්, කොහොඹ තෙල් හා එඬරුතෙල් එකට මිශ්‍ර කොට ‘තෙල්’ සකසා ගන්නවා.

හිස තෙල් ගෑමේ අවස්ථාවක් – lankadeepa.lk

රෝග නිවාරණය

මිනිසාගේ හිසට වැලඳෙන රෝග නිවාරණය හිසේ තෙල් ගැල්වීමෙන් ලැබෙන ගුණයක්. හිසේ නිතර ඇතිවන වේදනාව, හිසරදය, අව්වේ යෑම අගුණ වීම, අකලට හිසකෙස් පැසීම, නුවණ වැඩීම ආදියට හිසේතෙල් ගැල්වීම ගුණදායක බව ආයුර්වේදයේ කියවෙනවා.

වා පිත් සෙම් නැසීමේ බලයත් උමතු විකාර දොස් නැසීමේ බලයත්, බුද්ධි වර්ධනයත් මෙන් ම, ගතට සිතට සුව සහනය එක් කිරීමේ ප්‍රබල ශක්තියත් මේ ඔසුවල අඩංගු යි.

විහාරයක හිසතෙල් ගෑමට සූදානම් වෙමින් – කලවානේ හාමුදුරුවෝ facebook page

 හිසට හා පයට තබන පත්‍ර

ඒ ඒ වර්ෂවල නැකත්වලට අනුව හිස තෙල් ගෑමට අවශ්‍ය වන ඖෂධ පත්‍ර වර්ග වෙනස් වෙනවා. වසරින් වසර ඒ ඒ නැකතට සහ දිනයට අනුව ද හිසට යොදා ගන්නා පත්‍ර වෙනස් වෙනවා.

ඇතැම් විට බෝ පත්‍ර ද, නා පත්‍ර, කොහොඹ පත්‍ර, කොලොන් පත්‍ර, දිවුල් පත්‍ර, නුග පත්‍ර, ඉඹුල් ආදිය ද යොදා ගන්නවා. මෙම සැම ඖෂධීය පත්‍රයකින් ම මිනිසාට සෙතක් ලබාදෙනවා.

හිසට ඉඹුල් පත්‍ර – apeosupala.com

නුග හා ඉඹුල්

මෙවර හිසට ඉහළින් තැබීමට නියමිත ඉඹුල් පත්‍ර යි. මේ පත්‍ර හිසතෙල් ගාන ස්ථානයේ එල්ලා තැබීම සිරිතක්. මෙහි පොත්තෙහි කටු තිබෙන නිසා කටු ඉඹුල් ලෙසත් හඳුන්වනවා. ඉඹුල්වලට සංස්කෘත භාෂාවෙන් දීර්ඝ ද්‍රැම, ශාල්මලී, රම්‍ය පුෂ්ප, රක්ත පුෂ්ප වැනි නම් යෙදෙනවා. හින්දි බසින් සේමර, සේමල් සහ ශෙම්බල් යන නම් භාවිත කරනවා.

ඉඹුල්වල මුල්,පොතු,මැලියම්,කටු මල්,ඇට ගෙඩි සහ පුළුං ඖෂධ සඳහා යොදා ගන්නවා. ඉඹුල්වල ගුණාගුණ ගැන සැලකීමේ දී ඉඹුල් ශීතල ගුණයෙන් යුත් ශාකයක් ලෙස ආයුර්වේදයේ සැලකෙනවා. එය ශුක්‍ර සහ සෙම වඩනවා. එසේ ම ශරීර ශක්තිය වඩන අතර, සිරුර තර කරනු බවත් සඳහන් වෙනවා. රත්පිත නසන අතර ඉඹුල් මැලියම් කසට රස යි. මලබද්ධය ඇති කර යි. එසේ ම සප්ත ධාතු වඩන අතර, නුවණ ද වඩනවා.

පයට නුග පත් – apeosupala.com

 

මේ අවුරුද්දේ පයට තබන පත්‍ර ලෙස සඳහන් වන්නේ පයට නුග පත්. හිසතෙල් ගාන තැන බිමට එළූ පැදුරක් මත නුග පත්‍ර තබා ඇති අතර ඒවා පාගා සිටින අතර තමයි තෙල් ගෑම සිදු කරන්නේ. එවිට මේ ඔසු පත්‍රවල ශක්තිය සිරුරට ලැබෙන බව ආයුර්වේදයට අනුව විශ්වාස කරනවා. නුග ගස සෙම් හා පිත් සමනය කරන ශාකයක් ලෙස සැලකෙනවා. සෙම් පිත් රෝගවලදී විශේෂයෙන් එම ශාක පත්‍ර යොදා ගන්නවා.

හොඳින් වැඩෙන වනස්පති කුලයට අයත් නුග ගස වර්ග කිහිපයකින් ම දකින්නට පුළුවන්. සුජාතා සිටු දියණිය ගෞතම මහා බෝසතාණන් වහන්සේට කිරිපිඬු පිළිගන්වන ලද්දේ ද අජපල් නුග රුක්ෂය මුලදී යි. ඉන්දියාවේ මෙන්ම ලංකාවේ ද හොඳින් වැඩෙන නුග ගස විශාල ප්‍රමාණයේ ශාකයක්.

කවරයේ ඡායාරූපය - නිරෝගීබව පතා හිසතෙල් ගෑම - subasetha.lk

මූලාශ්‍ර:
dinamina.lk
subasetha.lk
silumina.lk

Related Articles