කොළඹ කියන්නේ අපේ රටේ ගොඩක් දේවල්වල මධ්‍යස්ථානය කියන එකේ වැරැද්දක් නැහැ. අපේ රටේ තියෙන මෙට්‍රොපොලිස් එකක් (මහා නගරයක්) කියලා හඳුන්වන්න පුළුවන් එකම නගරය වන කොළඹ නගර ප්‍රදේශයේ තැනින් තැන අතිශයින් දියුණු ප්‍රදේශ වගේම කොළඹද කියලත් සැක හිතෙන තැන් පැතිරිලා තියෙනවා. ප්‍රධාන පාරවල් වලින් කොළඹට එන ඕනෑම කෙනෙකුට දකින්න ලැබෙන දෙයක් තමයි හැම තැනම අලුතෙන් ඉදි වෙන ගොඩනැගිලි. ඈතින් බැලුවාම කොළඹත් දැන් අහස සිඹින ගොඩනැගිලි පේළියක් වගේ පේන්න පටන් අරන්. එක පැත්තකින් පෝට් සිටි එක, නැතිනම් වරාය නගරයේ මුහුද ගොඩ කිරීම් සිදු වෙනවා, වැටකින් වැහිලා තිබුණත් දැනටත් අක්කර සිය ගාණක මුහුද ගොඩබිමක් බවට පත් වෙලා ඉවරයි. කොළඹ නගරයේ හැඩය පවා වෙනස් කරන මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ දැනට සිදු වූ විශාලතම ව්‍යාපෘති කිහිපයෙන් එකක්. කාලෙකට සැරයක් කොළඹ එන කෙනෙකුට හිතෙන්නේ හැම දේම වෙනස් වෙලා කියලයි.

ඉතින් වේගයෙන් වෙනස් වන කොළඹ නගරයේ සිදු වුණු ඉදිකිරීම් නිසා සැඟවිලා ගිය තැනුත් බොහොමයි. අදටත් කොළඹ-01 හඳුන්වන්න පාවිච්චි වෙන “කොටුව” කියන වචනයෙන් වගේම “FORT” කියන ඉංග්‍රීසි වචනයෙනුත් හැඟෙන්නේ මෙතැන විශාල බලකොටුවක් තිබුණා කියන එකයි. ශ්‍රී ලංකාවේ තියෙන බලකොටුවක් ගැන කිව්වාම කාටත් මතක් වෙන ගාලු කොටුවනේ. ඒත් ගාලු කොටුව එක්ක බැලුවාම හරි, මීගමුවේ සහ යාපනයේ තියෙන ගරා වැටුණු බලකොටු දිහා බැලුවාම හරි කොළඹ ප්‍රදේශයේ ඇත්තටම කොටුවක් තියෙනවාද කියන එක කාට වුණත් ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක්.

තාර්කිකව බැලුවාම නම් කොළඹ ඉස්සර කාලේ හරි පවුරකින් වට වුණු විශාල කොටුවක් තියෙන්න ඇති කියලා හිතන්න පුළුවන්. ශ්‍රී ලංකාවට ආපු යුරෝපීය ජාතීන් තුනම ඔවුන්ගේ ව්‍යාපාර කටයුතුවල වගේම යුද්ධමය කටයුතුවලත් මධ්‍යස්ථානය විදිහට පවත්වා ගත්තේ කොළඹ ප්‍රදේශය නේ. ඒත් කිසිම තැනක ඒ ගැන සඳහනක් නැත්තේ ඇයි? සීගිරිය, ගාලු කොටුව වගේ පුරාතන ස්ථාන විශාල පරිශ්‍රමයක් යොදලා සංරක්ෂණය කෙරුණා නම් ඇයි ඒ සැලකිල්ල කොළඹට හිමි වුණේ නැත්තේ?

කොටුව ප්‍රදේශයේ දකුණු කෙළවරේ ඉඳලා ඈත බලද්දී දකින දකින තැන තියෙන්නේ අලුතෙන් ඉදි වෙන දේවල්.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සිදු වෙන ආකාරය, ඈතින් පෙනෙන්නේ කොළඹ වරාය.

කොළඹ කොටුව මුලින්ම හැදුවේ පෘතුගීසි ජාතිකයන්. ඔවුන්ගේ පාලන ප්‍රදේශ අල්ලා ගත්තු ලන්දේසි ජාතිකයන් මේ බලකොටුව වඩාත් ශක්තිමත් කළා. නමුත් ඉංග්‍රීසින් ඇවිත් එය විනාශ කරලා දැම්මා.

කොළඹ ප්‍රදේශය අපේ රටේ වැඩි දෙනා හැඳින්වූවේ කොළොම්තොට කියලායි. එය වරාය ගැනත් හැඟවෙන වචනයක්. පෘතුගීසීන් මුලින්ම මෙරටට ගොඩ බැස්සෙත් කොළඹ ප්‍රදේශයෙන්. ඔවුන් එතන කඳවුරු බැඳගෙන මුලින්ම ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ගත්තා. පසුව වරායක් විදිහටත්, ඉන් පස්සේ බලකොටුවක් විදිහටත් කොළඹ ශක්තිමත් කරන්න ඔවුන් කටයුතු කළා. මේකට ප්‍රධාන හේතුවක් වුණේ ලංකාවේ ප්‍රධාන රාජධානිය වුණු මහනුවර ප්‍රදේශයේ රජවරුන්ගෙන් ඔවුන්ට එල්ල වුණු තර්ජන යි. මීට අමතරව අනෙක් යුරෝපීය ජාතීන් මුහුදු මගින් ඇවිත් සිදු කරන ආක්‍රමණයකට වුණත් මුහුණ දෙන්න ඔවුන්ට අවශ්‍ය වුණා.

කොළඹ කොටුව ආක්‍රමණය චිත්‍ර ශිල්පී ප්‍රසන්න වීරක්කොඩි ගේ ඇසින්. මෙයින් දැක්වෙන්නේ පළමුවන රාජසිංහ රජතුමාගේ හමුදාවන් 16 වැනි ශතවර්ෂයේදී කොළඹ කොටුව ආක්‍රමණය කළ ආකාරයයි.

1638 අවුරුද්දේදී දෙවැනි රාජසිංහ රජතුමා සහ ලන්දේසි ජාතිකයන් අතර කවුරුත් දන්නා මහනුවර ගිවිසුම අත්සන් කෙරුණා. මේකට ප්‍රධාන වශයෙන් හේතු වුණේ පෘතුගීසීන් මෙරටින් පළවා හරින්න දේශීය පාලකයන්ට තිබුණු උවමනාව යි. 1656 අවුරුද්දේදී පෘතුගීසීන්ගේ කොළඹ කොටුව ලන්දේසීන් විසින් අත්පත් කර ගැනුණා. ඉන් පස්සේ ඔවුන් රට පුරා විවිධ ප්‍රදේශවලට තමන්ගේ බලය ව්‍යාප්ත කර ගන්න ප්‍රධානම පරිපාලන මධස්ථානය බවට කොළඹ පත් වුණා. කොළඹ කොටුව පුළුල් කිරීම, වඩාත් ශක්තිමත් කිරීම වගේම දුර්වල ස්ථාන විනාශ කර දමලා අලුතින් ඉදි කිරීමත් සිදු වුණේ ඒ අනුවයි. රට ඇතුළෙන් එන්න පුළුවන් ආක්‍රමණ වගේම මුහුදින් පැමිණෙන ආක්‍රමණවලටත් මුහුණ දීමට පෘතුගීසීන්ට වගේම ලන්දේසීන්ටත් අවශ්‍ය වුණා.

ලන්දේසි පාලනය යටතේ කොළඹ කොටුව ප්‍රදේශය. මේ දළ සිතියම 1672 දී “ජොහැනස් ජන්සෝනියස් වාස්බර්ගන්” විසින් අඳින ලද්දක්.

කොහොම වුණත් ඉතිහාස තොරතුරු අනුව නම් අපේ රට ගැන මේ කාලය වන විට පවා බ්‍රිතාන්‍ය ජාතිකයන් දැනගෙන ඉඳලාවත් නැහැ. රොබර්ට් නොක්ස් කියන බ්‍රිතාන්‍ය නාවික නිලධාරියා වැරදීමකින් ලංකාවට ගොඩ බැහැපු වෙලාවේ මෙරට රජතුමාගේ අත්අඩංගුවට පත් වීම තමයි ඉතිහාසය පුරාවටම බ්‍රිතාන්‍යයට ලංකාව ගැන දැන ගන්න ලැබුණු මුල්ම කාරණාව වුණේ. 1669 දී මහනුවර රජතුමා යටතේ නිවාස අඩස්සියේ තැබුණු ඔහු අවුරුදු 19කට පස්සේ පලා යන්න සමත් වුණා. ඔහු ආපහු බ්‍රිතාන්‍යයට ගිහින් තමන්ගේ මෙරට අත්දැකීම් ගැන ලියපු පොත අතිශයින් ජනප්‍රිය වුණාම තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ලංකාව ගැන උනන්දුවක් ඇති වෙන්න පටන් ගත්තේ.

සෑහෙන කාලයකට පස්සේ නැපෝලියන්ගේ ප්‍රංශ හමුදාවන් නෙදර්ලන්තය (ලන්දේසි ජාතිකන්ගේ මව් රට) අල්ලා ගැනීමත් එක්ක ශ්‍රී ලංකාවත් ප්‍රංශ ජාතිකයන්ට පවරා දේවි කියලා බ්‍රිතාන්‍යයන් බිය වුණා. වහාම ක්‍රියාත්මක වෙලා ලංකාවේ ලන්දේසි පාලනය යටතේ තිබුණු ප්‍රදේශ අල්ලා ගන්න ඔවුන් කටයුතු කළේ ඒ නිසයි. යුද්ධවලින් වගේම බ්‍රිතාන්‍යයේ ආරක්ෂාව ලබා ගන්න පැනලා ආපු ලන්දේසි කුමාරයාගේ උපදෙස්වලට අනුව යටත් වුණු ලන්දේසි හමුදා නිලධාරීන් නිසාත් බ්‍රිතාන්‍යයන්ට ලංකාවේ බොහෝ ප්‍රදේශවල පාලනය අල්ලා ගන්න ඉඩ ලැබුණා. 1802 අවුරුද්දේ අත්සන් කරපු ඒමියන් ගිවිසුමත් එක්ක තමයි ලංකාවේ සියලු ලන්දේසි ප්‍රදේශ නිල වශයෙන්ම ඉංග්‍රීසීන් වෙත පැවරුණේ. කොළඹ කොටුව ඉංග්‍රීසීන්ගේත් ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය බවට පත් වුණේ ඉන් පස්සෙයි.

ඊට අවුරුදු 13කට පස්සේ 1815 දී අත්සන් කරපු කන්ද උඩරට ගිවිසුමත් එක්ක ශ්‍රී ලංකාවේ තිබුණු එකම දේශීය රාජ්‍යයත් ඉංග්‍රීසීන්ට යටත් වෙලා මුළු දිවයිනම ඔවුන්ගේ කොලනියක් බවට පත් වුණා. ලංකාවේ අවසාන රජු බවට පත් වුණු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බලයෙන් පලවා හැරියාට පස්සේ ලංකාවේ රදල ප්‍රධානීන් සහ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා අතරයි මේ ගිවිසුම ඇති වුණේ. ඒත් සමගම වසර 2300ක කාලයක් පුරාවට පැවති ලංකාවේ රජ පෙළපත අවසන් වුණා. ලංකා දිවයින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් විදිහට නිල වශයෙන් ඈඳා ගත්තා. “බ්‍රිටිෂ් සිලෝන්” (British Ceylon) කියලා අලුතෙන් මෙරට නම් කරලා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ තුන් වැනි ජෝර්ජ් රජතුමා ලංකාවෙත් නිල පාලකයා විදිහට නම් කෙරුණා.

ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම යටත් වීමත් එක්ක රට ඇතුළෙන් ප්‍රහාරයක් එල්ල වෙන්න තිබුණු අවධානම පහ වෙලා ගිය නිසා විශාල කොටුවක් පවත්වා ගන්නා එකේ තේරුමක් තිබුණේ නැහැ. දිගටම කොළඹ ප්‍රදේශය පරිපාලන මධ්‍යස්ථානයක් විදිහට පවත්වා ගැනුණත් 1870 දී කොළඹ කොටු පවුර තමන්ගේ නගර නිර්මාණ සැලැස්මට බාධාවක් විදිහට පෙනීමත් එක්ක එය කඩා ඉවත් කරන්න ඔවුන්ට අළුත් හේතුවක් ලැබුණා. ප්‍රදේශයේ තිබුණු වැඩි හරියක් ලන්දේසි ගොඩනැගිලිත් ඒ එක්කම කඩා ඉවත් කරලා ඉංග්‍රීසි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව අලුත් ගොඩනැගිලි ඉදි කෙරුණේ මේ නගර නිර්මාණ සැලැස්මේ ප්‍රතිඵලයක් විදිහටයි. මේකට සාක්ෂි කාගිල්ස් ගොඩනැගිල්ල වගේ තැන්වල අදටත් දැකගන්න පුළුවන්.

කොහොම වුණත් ලන්දේසි ආණ්ඩුකාරවරයා වාසය කරපු නිල නිවස ඇතුළු තැන් කිහිපයක් ආරක්ෂා වුණා. බ්‍රිතාන්‍ය පාලනය ඇති වුණාට පසුව දිගටම රටේ ආණ්ඩුකාරවරයාගේ නිල නිවස වුණේ මේ ස්ථානයයි. 1972 දක්වාම රජ ගෙදර කියලා හැඳින්වුණු මේ ගොඩනැගිල්ල ශ්‍රී ලංකාව ජනරජයක් වුණාට පස්සෙත් රටේ නායකයාගේ නිල නිවාසය විදිහට පැවතුණා. අදටත් මෙය ජනාධිපති මන්දිරය විදිහට පවතිනවා.

අතීත කොළඹ කොටු පවුරේ ඉතිරි වෙලා තියෙන තැන් හොයාගෙන යනකොට නගරය පුරාම ඇවිදින්න වෙනවා. තැන් කිහිපයක්ම වගේ තිබුණත් ඕනෑම කෙනෙකුට ගිහින් බලන්න අවසර තියෙන්නේ තැන් දෙකක් විතරයි. එයින් පළවැනි ස්ථානය තියෙන්නේ බ්‍රිස්ටල් වීදියේ තියෙන කොමර්ෂල් බැංකු පරිශ්‍රය ඇතුළේ. ඔවුන්ට මේ ස්ථානයේ තමන්ගේ බැංකු ගොඩනැගිල්ල ඉදි කරලා පවත්වාගෙන යන්න අවසර ලැබිලා තියෙන්නේත් ඔවුන් අදාළ ස්ථානය නඩත්තු කරලා සංරක්ෂිතව පවත්වා ගෙන යාමේ කොන්දේසිය මතයි. මේ ඉදිකිරීම දකින්න නම් බැංකුව ඇතුළට ඇවිල්ලම බලන්න වෙනවා. එතැන පහු කරගෙන යනකොට ටිකක් සැලකිල්ලෙන් බැලුවත් යම් තරමකට මේක දැක ගන්න පුළුවන්.

බ්‍රිතාන්‍යයන්ගේ පාලනය යටතේ පවතින කොළඹ කොටුව ප්‍රදේශයේ සිතියමක්. මෙය ඇඳලා තියෙන්නේ J. L. K. වෑන් ඩෝට් විසින් 1888 දීයි.

සුවිසල් ගොඩනැගිලි මැද්දේ ඩෙල්ෆ් මුවදොර තියෙන්නේ එතරම් වැදගත්කමක් නැති පුංචි ඉදිකිරීමක් විදිහටයි. කොළඹ වගේ සුවිසල් පරිපාලන නගරයකට ඇතුළු වෙන්න තිබුණු ප්‍රධාන දොරටුව කියලා කෙනෙකුට හිතන්නත් බැරි තරමට මේ ඉදිකිරීම පොඩියි. නමුත් ඒ අසල තියෙන පුවරුවකින් ඒ බව තහවුරු කෙරෙනවා. ලන්දේසීන් විසින් ඉදි කළ කොටු පවුර ඉංග්‍රීසීන් තමන්ගේ ගොඩනැගිලි ඉදි කරන්න විනාශ කරද්දී ඉතිරි වුණු දුර්ලභ ස්ථානවලින් එකක් විදිහට මෙතැන තවමත් සුරක්ෂිතව තියෙනවා.

ඩෙල්ෆ් මුවදොර (The Delft Gateway). විශේෂයෙන් නොබලන කෙනෙකුට දැකගන්නත් අපහසු තරමටම මේක අලුතෙන් ඉදි වුණු ගොඩනැගිලි නිසා ආවරණය වෙලා.

මේ ඉදිකිරීම ඇතුළේ විශේෂ සලකුණක් දැක ගන්න පුළුවන්. ඉතා සූක්ෂමව කැටයම් කරලා ලීයකට කිඳා බස්වලා තියෙන මේ සලකුණෙන් පෙන්නුම් කෙරෙන්නේ ගසක් සහ ඒ මත තියෙන ඔටුන්නක්. නමුත් ඒකෙ අර්ථය මොකක්ද කියන එකවත්, ඒ ගැන වෙනත් තොරතුරක්වත් මේ ස්ථානයේ ලියැවිලා නැහැ.

තොරතුරු පුවරුවේ වැඩි තොරතුරක් නම් නැහැ.

ගාල්ලේ නාවික කෞතුකාගාරයට ගිහින් බැලුවොත් විතරයි මේ සලකුණේ අර්ථය ගැන දැනගන්න ලැබෙන්නේ. විශාල පුවරුවක තියෙන ශ්‍රී ලංකාවේ සිතියමක වැදගත් නාවික මධ්‍යස්ථාන සහ ඊට තරමක් සමාන සලකුණු දැක්වෙනවා. ඇත්තටම මේ හැම එකක්ම රට පුරා තිබුණු මුහුදුබඩ නගරවලට ලබා දීලා තිබුණු නගර ලාංඡන. ලන්දේසීන් රට පාලනය කරන සමයේ ඔවුන්ගේ බලකොටුවක් තිබුණු හැම ස්ථානයකටම මේ විදිහේ නගර ලාංඡනයක් ලැබිලා තියෙනවා.

ගසක් සහ ඊට ඉහළින් තිබෙන ඔටුන්නක් සහිත සලකුණ.

අපි කලින් කියපු සලකුණෙන් ඇත්තටම දැක්වෙන්නේ අඹ ගසක්. මේක පෘතුගීසීන් කොළඹට පාවිච්චි කරපු සලකුණෙන්ම විකාශය වුණු සලකුණක්.

කොළඹට නම ලැබුණු එක ගැන කතා කිහිපයක්ම තියෙනවා, එකක් තමයි “කැළණි ගඟේ පවතින වරාය” කියන අදහස තියෙන, මේ ප්‍රදේශය හඳුන්වන්න භාවිත වුණු “කොළොම් තොට” කියන නමෙන් කොළඹ කියන නම හැදුණා කියන එක. තවත් අදහසක් තමයි ආදිකාලීන සිංහල භාෂාවෙන් වරාය නැතිනම් කොටුව හඳුන්වන්න භාවිත කරපු වචනය “කොළඹ” කියන එක. කොහොම වුණත් පෘතුගීසීන්ගේ කොළඹ නිල ලාංඡනයට අඹ ගසක් ඇතුළත් වීමත් එක්ක මේකට අඹ ගසේ සම්බන්ධයක් තිබුණා වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා. පෘතුගීසීන් එන්න කලින් මේ ප්‍රදේශයේ අඹ ගස් බොහොමයක් තිබුණාලු. සිංහලෙන් “කොළ-අඹ-තොට” තියන වචන තුන එකතු වෙලා “කොලොම් තොට” හැදිලා ඒක “කොළඹ” බවට පත් වුණා කියන අදහසට ඒ නිසා ලොකු පිළිගැනීමක් තියෙනවා.

අපි කලින් කියපු ඩෙල්ෆ් මුවදොර ගේට්ටුවට පැත්තකින් තියෙන ඒ තරම් ඇස නොගැටෙන යමක් තමයි 1854 කියලා කොටලා තියෙන ගල් පුවරුව. කොළඹ කොටු පවුර කඩා දැමුණේ 1870 අවුරුද්දේ නිසා මේ ගල් පුවරුවේවත්, 1854 කියන අවුරුද්දේවත් වැදගත්කම කියවෙන කිසිම සාක්ෂියක් ඉතිරි වෙලා නැහැ.

ශ්‍රී ලංකාවේ ලන්දේසි බලකොටු තිබුණු මුහුදුබඩ නගරවල නිල ලාංඡන සහ ඒවා හැඳින්වුණු නම්. දැන් හැඳින්වෙන නම් වම් යට කෙළවරේ ඉඳලා පිළිවෙලින් ගත්තොත් මෙහෙමයි: මීගමුව, හලාවත, කල්පිටිය, මන්නාරම, යාපනය, කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, මුතූර් (ඉස්සර කාලේ කොඩ්ඩියාර්), මඩකලපුව සහ මාතර.

අපි ඒ කිව්වේ කොළඹ කොටුවේ ඉතිරි වෙලා තියෙන එක පොදු ස්ථානයක් ගැනයි. අනික් තැන හොයා ගන්න නම් පිටකොටුව ප්‍රදේශයට යන්න වෙනවා. පිටකොටුවට ඉංග්‍රීසියෙන් කියන “Pettah” කියන වචනය නිර්මාණය වෙලා තියෙන්නේ දෙමළ භාෂාවේ “පෙට්ටායි” කියන වචනයෙන්. මේක බ්‍රිතාන්‍ය-ඉන්දීය ආභාෂයක් තියෙන, බළකොටුවක පිටත සීමාව හඳුන්වන්න පාවිච්චි වුණු වචනයක්. සිංහල භාෂාවෙනුත් “පිටත-කොටුව” කියන එක තමයි පිටකොටුව බවට පත් වෙලා තියෙන්නේ.

පිටකොටුව කොයි වෙලාවෙත් කාර්යබහුල, ජනාකීර්ණ තැනක් නිසා එක එක දේවල් විකුණන්න එන වෙළෙන්දන්, දහස් ගාණක් මිනිසුන් සහ ත්‍රීවීල් මැද්දේ හරි තැන හොයා ගන්න එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. කොහොම නමුත් හොයන්න අවශ්‍ය වෙන්නේ සීනුවක් සහිත කණුවක්. කොළඹ කොටු පවුරේ නැගෙනහිර බිත්තියේ තිබුණු දොරටුවක් කියලා සැලකෙන මේ ස්ථානය හඳුන්වන නම කිව්වොත් නම් වැඩි දෙනා දන්නවා.

මේකට තමයි “කයිමන් දොරකඩ” කියලා කියන්නේ.

පිටකොටුවේ ප්‍රධාන වීදියේ සහ 4 වැනි හරස් වීදියේ කෙළවරට වෙන්න මේ කයිමන් දොරකඩ සීනු කුළුණ තියෙන්නේ අවට ඉදි වුණු ගොඩනැගිලිවලට ආවරණය වෙලා බොහොම හුදෙකලා තත්වයක. කම්බි දැලකින් ආවරණය කෙරුණු විදුලි ට්‍රාන්ස්ෆෝමර් එකකුයි, කඩලා දාපු ඉදිකිරීම් ද්‍රව්‍ය ගොඩකුයි ඊට ඉදිරියෙන් දකින්න ලැබෙනවා. සීනුව කපුටන් ඇතුළු වෙනත් කුරුල්ලන්ගේ වසුරුවලින් වැහිලා ගිහින්. ගොඩක් පැරණි ගොඩනැගිලිවල වගේම මේ සීනු කුළුණ මුදුනේත් කපුටු බෝ පැළයක් සරුවට වැවිලා තියෙනවා දකින්න පුළුවන්.

1854 කියලා කොටලා තියෙන මේ ගල් පුවරුව ගැන වැඩි විස්තරයක් දැන ගන්න ක්‍රමයක් නැහැ.

කම්බි වැටට ඇතුළෙන් දීර්ඝ විස්තරයක් අඩංගු විස්තර පුවරුවක් දැක ගන්න පුළුවන්. (ඩෙල්ෆ් මුවදොර තියෙන පුවරුවත් එක්ක බැලුවාම මේක සෑහෙන ප්‍රයෝජනවත්) කොළඹ කොටුව, ඇතුළත සහ පිටත බිත්ති, නම හැදුණු හැටි ඇතුළු බොහෝ කරුණු මේ තුළ අඩංගුයි. කොහොම වුණත් ඒ මතට වැටිලා තියෙන කුරුල්ලන්ගේ වසුරු, අකුරුවල කුඩා කම සහ වැටකට ඇතුළෙන් පිහිටා තිබීම වගේ හේතු නිසා මේක පැහැදිලිව කියවා ගන්න එක නම් තරමක් අසීරුයි.

කයිමන් දොරකඩ සීනු කුළුණ. කයිමන් කියන නම හැල කිඹුලා හඳුන්වන කේමන් (Caiman) කියන නම බිඳිලා හැදුණු එකක්. කොටුවේ නැගෙනහිර දිශාවට වෙන්න තියෙන බේරේ වැව ඒ දවස්වල කිඹුලන්ගෙන් පිරිලා තිබුණු එක මේ නම හැදෙන්න හේතු වුණා.

කොළඹ කොටුවේ නටබුන් අතරින් ඉතිරි ස්ථානය හොයා ගන්න එක තමයි වඩාත්ම අමාරු වුණේ. අන්තර්ජාලයේ සමහරු කතා වෙන විදිහට තාප්පයේ කොටසක් වරාය ප්‍රදේශයේ තවමත් තියෙනවා කියලා අහන්න ලැබුණා: නමුත් පින්තූරයක් නම් හොයා ගන්න පුළුවන් වුණේ නැහැ. කොළඹ ප්‍රදීපාගාරයට කිට්ටුවෙන් තියෙන සම්බෝධි විහාරයේ චෛත්‍යයේ අත්වැල දිගේ ඉහළට නැගලා බැලුවාම බොහොම ඈතින් මේ ස්ථානය දැක ගන්න පුළුවන් ලු. නමුත් ඊට ඉදිරියෙන් තියෙන අලුත් තාප්පය නිසා මේක නොදන්නා කෙනෙකුට හොයා ගන්න නම් සෑහෙන අසීරුයි.

සීනු කුළුණ අසල ඇති තොරතුරු පුවරුව

මිතුරෙක්ගේ මාර්ගයෙන් වරාය ඇතුළතට ගිහින් බලන්න අවසර ගන්න හැකියාව ලැබුණා. ඒ වරාය දැක්වෙන කිසිම ඡායාරූපයක් නොගන්නා පොරොන්දුව මත සහ මුළු ගමන පුරාවටම මාත් එක්ක නාවික හමුදාවේ නිලධාරීන් දෙන්නෙක් එන කොන්දේසිය උඩ. මේ ස්ථානයට ගියාම උඩ රූපයේ රතු රවුමෙන් දක්වලා තියෙන ස්ථානයට කෙටි පාගමනකින් ළඟා වෙන්න පුළුවන්. දැකපු පමණින් මේක අඳුර ගන්න බැරි වෙන එක බොහොම සාධාරණයි, ඇත්තටම එතැනට යනකල්ම කොටු පවුරක කොටසක් බලන්න යන ගමනක් කියලා හිතෙන්නේ වත් නැහැ. මේ ස්ථානය තියෙන්නේ බිත්තියකට වසන් වෙලා නිසා කොයි පැත්තේ ඉඳලා බැලුවත් දැක ගන්න හරිම අපහසුයි.

මේ කොටු පවුරු කොටස තියෙන්නේ බොහොම හුදෙකලා තැනක. ගස් වැල් වැවිලා නටබුන් වෙලා තියෙන මේ බිත්ති කැබැල්ල කපරාරුව ගැලවිලා ගිහින් තැන් තැන්වල පුපුරලා ගිහින් තියෙනවා දකින්න ලැබුණා. ප්‍රදේශය පුරාවටම කුණු දමන තැන් සහ කුඩා ප්‍රමාණයේ ඉදිකිරීම් දැකගන්න ලැබෙනවා. මළකඩ කාපු වැටක් ගහලා තියෙන්නේ එතැනට එන අයගෙන් යම් ආරක්ෂාවක් ලබා ගන්න කියලා හිතන්න පුළුවන්. ඒත් මෙතැනට විශේෂ අවසරයක් නැතිව කාටවත් එන්න බැරි නිසා අමුතුවෙන් වැටක් ගහලා තියෙන්නේ ඇයි කියන එක නම් මටත් ගැටළුවක්.

සම්බෝධි විහාරයේ චෛත්‍යයේ ඉහළට තවමත් ආරක්ෂිතව පවතින කොටු පවුරේ කොටස පෙනෙන්නේ මේ වගේලු. වම් පැත්තේ මැද හරියේ තියෙන රතු පාට රවුමෙන් දැක්වෙන්නේ ඒ කොටස. මේක සලකුණු කරලා තියෙන්නේ වරායට ගිහින් තැන බලාගෙන ඇවිත් මිසක් සම්බෝධි විහාරයේ ඉඳලා පිරික්සලා නෙවෙයි.

ගාලු කොටුවත් එක්ක බැලුවාම කොළඹ කොටුවේ තත්වය ඇත්තටම දකින්නත් දුකයි.

කොළඹ කොටුවේ නටබුන් හොයාගෙන ගිය ගමනේ අවසාන වගේම දුක්මුසුම ගමනාන්තය වුණේ මේ කොටු පවුරු කොටසයි. එක අතකින් බැලුවාම මම මේ ගියේ අපි වැඩි දෙනා එන යන නගරයක් වටා ගියපු තවත් ගමනක්, හැබැයි හිතනවාට වඩා ගැඹුරු, රසවත් අතීතයක් තියෙන නගරයක් බලන්න ගිය චාරිකාවක්. ඒත් මේ ගමන අවසානයේ ඓතිහාසික නටබුන් අද පවතින තත්වය ගැන ලොකු දුකක් ඉතිරි වුණා. මීට වඩා බොහොමයක් තොරතුරු මේ හැම දෙයක් පිටුපසම ඇති, නමුත් ඒ කිසිවක් අද හොයා ගන්න නැහැ. අතීත කොළඹ කොටුව විරාජමානව තිබුණු ආකාරය හිතෙන් මවා ගන්න හිතාගෙනයි මම මේ ගමන ඇරඹුවේ. නමුත් ඒක සාර්ථක වුණා කියන්න බැහැ.

කොහොම වුණත් තව දුරටත් හිතලා බැලුවාම මේ දේවල් සංරක්ෂණය කරලා, පහසුවෙන් හොයා ගන්න පුළුවන් විදිහට තිබුණා නම් ඇත්තෙන්ම ඒක ගවේෂණ චාරිකාවක්, අලුත් දෙයක් හොයා ගත්තු ගමනක් වෙන්නේ නැහැනේ. ඉතින් මේ දේවල් සැඟවිලා තියෙන තැන්වලින් එළියට ගෙනැවිත් මේ ලිපිය කියවන කවුරුන් හෝ වෙත කියා පාන්න මට හැකියාවක් ලැබුණු එක ගැන ඇත්තටම සතුටුයි. මේ ස්ථාන ජරාජීර්ණ වෙලා, විනාශ වෙලා ගිහින් තිබුණු එක ගැන ඇති වුණු කණගාටුව ඒකෙන් යම් තරමකට හරි තුනී වේවි කියලා මම විශ්වාස කරනවා.

පරිවර්තනය: ඉන්ද්‍රජිත් ගමගේ