පුහුල් පහනෙන් පුද ලබන – දේවත්වයට පත් වූ රංවල මුත්තා

සීතාවකින් පහළට වන්නට කැලණි ගං දෙගම්බඩ පිහිටි හිඟුරල, රන්වල, ඇස්වත්ත, පූගොඩ, මීතිරිගල, නිකවල, කුමාරිමුල්ල, කපුගොඩ, හංවැල්ල, මල්වාන වැනි ගම්වල ගොක්කොළවලින් තැනූ ‘පුහුල් පහන්’ නමින් හැඳින්වෙන, පුහුල් ගෙඩියක් ආකාරයේ පහනක් දැල්වීම සිදු කරනවා.

ගමට විපතක් පැමිණි විට, ගංවතුර උවදුරු අවස්ථාවල දී , රෝග වසංගත කාලවල දී මේ පහන්, වැලක් සේ දැල්වීම දැක ගත හැකි යි.  එම පහන් දල්වන්නේ රංවල දෙවියන්ගේ පිහිට පතාගෙන යි.   

දෙගොඩතලා යන කැලණි නදිය – efi.lk

කැලණි ගඟබඩ දේව ඇදහිල්ල

වර්ග කිලෝමීටර හත්සිය හැත්තෑ පහක්‌ පමණ වූ භූමි භාගයකින් සමන්විත සියනෑ කෝරළය පැතිර තිබෙන්නේ කැලණි නදිය හා අත්තනගලු ඔය යන දෙගංවලට සීමාවුණු තැනිතලාවෙ යි.  පුරාණයේ වැසි දියෙන් ගොවිතැන් කළ මේ කලාපය අද නම් කර්මාන්ත පැතිර ගිය අර්ධ නාගරික පෙදෙසක්. අනුරාධපුර රාජධානි සමයේ සිට විවිධ ප්‍රාදේශීය දෙවිවරුන් මේ අවට වන්දනා මානනයට ලක්වුණා.

රන්වල දෙවියන් උදෙසා වූ දේවාල කිහිපයක් ද මේ ප්‍රදේශවල පිහිටා තිබෙනවා. දෙවියන්ට වූ බාරහාර ඔප්පු කිරීමට පූජාවක් ලෙසත් දේවාල බිමේ වැලක් ඇද එහි පුහුල් පහන් කිහිපයක් පත්තු කර වන්දනා කිරීම අදටත් සිදුවනවා.  බොහෝ පැරණි ගම් පිහිටි ප්‍රදේශවල එම පෙදෙස් වලට ම සීමා වූ  ප්‍රාදේශීය දෙවිවරුන් වන්දනා කිරීම අදටත් දැකගත හැකි සිරිතක්. ඒ අතර සියනෑ කෝරළේ ගඟබඩ පත්තුවට සීමාවූ දෙවි  වරයකු ලෙස රංවල දෙවියන් සැලකිය හැකි යි.

කැලණියට අධිගෘහිත සේ සැලකෙන විභීෂණ හෙවත් ගම්බාර, කෑරගල සුදුමල් බණ්‌ඩාර, මොරටු, කළුකුමාර, දුනුමාලේ බිසෝබණ්‌ඩාර, වීරමුණ්‌ඩ යන දෙවිවරුත් මේ පෙදෙසේ ප්‍රචලිත යි.   බව බෝග ආරක්‌ෂා කර දීම, ලෙඩ රෝග සුව කරදීම, දරු පල ලබා දීම, ආරක්‌ෂාව සැලසීම, මෙන්ම දෙවියන් කෝප වීමෙන් අසුබ පල විපාක සිදුකරන බව ද කැලණි ගංගාබඩ දේව බැතිමතුන්ගේ විශ්වාසය යි. මෙම දෙවිවරුන් ඇදහීමේ දී  ජනතාව, දෙවි පිහිට පතා ගම්මඩු, පුනාමඩු, දෙවොල්මඩු, නැටීම මෙන් ම පුදපූජා පැවැත්වීම ද සිදුකරනවා.

2  පුවක්පිටියේ පළමු රංවල දේවාලය- avissawella.com

රංවල දෙවියෝ

කැලණි ගඟබඩට අධිපති ලෙස සැලකෙන  ‘රංවල දෙවියෝ’ කැලණි නදියේ එගොඩින් ගම් තිස්‌දෙකක, මෙගොඩින් ගම් තිස්‌දෙකක ජනතාවගේ පුද පූජාවන්ට ලක්වන බව රංවල දේව කන්නලව්වේ කියවෙනවා. රංවල දෙවියන් උදෙසා සෑම කෙම්මුර දිනයක දී ම දෙගම්බඩ, මෙන් ම වෙහෙර විහාරස්‌ථානවල ද පුහුල් පහන් දැල්වීම දැකගත හැකි යි.  මේ හැරෙන්නට රංවල දෙවියන් සඳහා දානය පිරිනමන්නට ද ජනතාව පෙලඹී සිටිනවා. රංවල දෙවියන්ට ම විශේෂිත වූ ගංගාරෝහණ පූජාව නම්   පිංකමක් ද මෑත අතීතයේ සිට ආරම්භ වී තිබෙනවා.

කැලණි ගඟේ පූගොඩ තොටුපළ මෙන් ම ඒ අවට දිනෙන් දින  මිනිස්‌ ජීවිත බිලි ගැනීම ඉහළ ගියා. ගංවතුර කාලයට මේ මිනිස් ජීවිත විනාශය ඉහළ ගියා. ඒ නිසා  රංවල දෙවියන්ගේ ආරක්‌ෂාව පතා  දන් පිරිනමා පිරිත් දේශනා  පවත්වා රන්වල දෙවියන්ට පිං පැමිණවීමට ගම්මු පෙලඹුණා.

වර්ෂ 1960 දී පමණ ලුසීහාමි නමැති උපාසිකාවක්‌  රන්වල දේව දානය දීම ආරම්භ කළ අතර එය ගංගාරෝහණ පූජාවක් බවට පත් වූ බව පැවසෙනවා. කනම්පැල්ල සුමනාරාම විහාරස්‌ථානයේ වැඩසිටි හිමිවරුන්ගේ අනුශාසනා පරිදි ගඟ මැද පාරුවක දර්ශනීය ලෙස නිර්මාණය කළ මණ්‌ඩපයක පිරිත් දේශනාවක්‌ පැවැත්වීමටත්, මහ පෙරහරක්‌ පවත්වා රංවල දේව දානය පිරිනැමීමත්  ගංගා රෝහණ පූජාවේ දී සිදු වෙනවා.  අවුරුද්දේ දෙසැම්බර් මස 28, 29, 30 දිනවල තමයි මේ පිංකම පැවැත්වෙන්නේ.

කනම්පැල්ල තොටුපොළේ ( පාලම අසල) මෑතක දී ඉදි වූ රංවල දේවාලය -mapio.net

 

රංවල දෙවියන්ගේ උපත පිළිබඳ ව විවිධ ජනප්‍රවාද තිබෙනවා. ඒ සැම එකක් ම තරමක් සමාන යි. ඒ අතරින් වඩාත් ප්‍රකට ජනප්‍රවාදය මෙයයි:

 ක්‍රිස්තු වර්ෂ 1635 දී රජ පැමිණ 1687 දක්වා මහනුවර රාජධානියේ කිරුළු දැරූ දෙවැනි රාජසිංහ රජුට අයත් වී අටුවක් ‌ සතර කෝරළේ කෑගල්ල  රංවල ගමේ තිබුණා. මෙම අටුව කඩා, එහි තිබූ වී  සොරුන් ගෙන ගිය අවස්‌ථාවේ මේ සොරකම එවක ඒ ගමේ විසූ අලවතුරේ රාළත්, ගණේගොඩ රාළත් සිදු කරන්නට ඇතැයි රාජසිංහ රජුට ගම්මුන් සැලකර සිටියා. රාජ උදහසට ලක්‌වූ මේ දෙදෙනා ඉන් බේරීමට ගම අතහැර පලා ගියා.

කරවැල්ලේ දී කැලණි නදිය – ianlockwood –   ianlockwood.blogspot.com

 

සබරගමුවේ ගුරුගොඩ ඔය හරහා කැලණි ගඟබඩට පැමිණි ඔවුන් උණගස්‌ කපා සාදා ගත් පහුරක නැඟී කැලණි ගඟේ පහළට පාවී එන්නට වූහ.  තරමක දුරක් ගමන් කිරීමේ දී  ගනේගොඩ රාළ  පහුරෙන් නික් ම ගොස් තිබෙනවා.  තවත් පහළට පැදගෙන ගිය අලවතුරේ රාළ දංගල්ල ප්‍රදේශයේ දී තරුණියකගේ කවි ගායනයක් ඇසී පහුර නවතා ගඟින් ගොඩව තිබෙනවා.

එකල කිසි ම දියුණුවක්‌ නොමැති ව කැලෑබද ව තිබු ප්‍රදේශයක් වූ දංගල්ලේ නැවතුණු ඔහු කවි කියූ තරුණිය සමඟ හාද වී ඇය හා දීග කන්නට පටන් ගන්නවා. ඒ අතර කැලෑව එළි පෙහෙළි කොට ගමක්‌ තනනවා. දැහැමි ව ජීවත් වූ ඔහු පස්කම් සැප ගැන කලකිරී කෙටිකලකින් විවාහ ජීවිතය  අත්හැර අසපුවක් තනාගෙන හුදෙකලා ජීවිතයක් ආරම්භ කරනවා.   ඔහු ඒ ගමේ ලෙනක පදිංචි වුණා. තමා උපන්ගම සිහිවීම පිණිස මෙම ගමට “රන්වල” යනුවෙන් නම් තබා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළා.

පුහුල් පහන් – eatuwawa.blogspot.com

 

ගමේ දියුණුවට කටයුතු කළ මොහුට ගම්මුන්ගේ ගරු බුහුමන් හිමි වෙනවා.  සැමට කරුණාව මෛත්‍රිය දක්වමින් අලවතුරේ රාළ සෑම පොහොය දිනක ම සිල් සමාදන් වීම සඳහා සුදුවතින් සැරසී ගඟ දිගේ පාරුවකින් කැලණි විහාරයට යාම සිදු කර තිබෙනවා. මේ නිසා ම ඔහු ගංදෑලේ කා අතරත් ප්‍රසිද්ධ වුණේ රංවල උපාසක කියල යි.

කැලණි ගඟේ නයිගල වක්කලමේ පහුරු හරවා ගත නොහැකි ව රාත්‍රියට විනාශ වීමත් නිතර සිදුවුණු දෙයක්. මේ නිසා රංවල උපාසක රාත්‍රියට එහි පහනක් දැල්වීම පටන් ගන්නවා. පහන නිවෙන නිසා ගොක්කොළවලින් එය වටා ආවරණය කර තිබෙනවා. මේ අවදානම දැනුම් දීම නිසා පහුරුකරුවන් ආරක්ෂිත ව ගමන් කර තිබෙනවා. පුහුල් ගෙඩියක හැඩයෙන් යුක්ත නිසා පුහුල් පහන ලෙස එය ප්‍රකට වුණා. රංවල මුත්තා  ලෙස ද ඔහු හඳුන්වා තිබෙනවා. ඔහු වෙදකමට ද ප්‍රසිද්ධ වෙනවා.

‘පුහුල් පහන්’ උපහාර

රංවල උපාසකගේ මරණයෙන් පසු ගම්වාසීන් ගං ඉවුර දිගේ ‘පුහුල් පහන්’ දල්වා උපහාර දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහු දේවත්වයට පත් ව ගැමියන්ට පිහිට වන දෙවි කෙනකු ලෙස ප්‍රකට වූ බව ද ජනප්‍රවාදයෙහි පැවසෙනවා. මෙම ජනකතාව ඇතැම් අවස්ථාවල දී පැවසෙන්නේ මෙම පුද්ගලයන් දෙදෙනා සහෝදරයන් බවත්, ඔවුන් ඇස්වත්ත තොටුළේ ඔරු පැදි තොටියන් දෙදෙනකු බවත් විදියට යි.

  කහටපිටියේ මුහන්දිරම්, ඔහුගේ රංවල උපාසක ගේ මරණයෙන් කාලයකට පසු  ගඟෙන් එගොඩ දේවාලයක් ඉදිකර තිබෙනවා. අද අවිස්සාවේල්ල පුවක්පිටියේ එම දේවාලය දකින්න ලැබෙනවා. එය හඳුන්වන්නේ රංවල පහන ලෙස යි.

 පුවක්පිටිය රංවල පහනේ දේව ප්‍රතිමාව – sinhalajanakatha.blogspot.com

රංවල දේවාල

හිසෙහි තලප්පාවක් බැඳගෙන සුදු හැඳගෙන අතකින් හැරමිටියක් දරාගෙන උපාසක පෙනුමකින් තමයි රංවල දෙවියන් මූර්තිමත් කරන්නේ. ඔහුගේ වාහනය රං අඟුල යි. රංවල දෙවියන් උදෙසා සැදුණු ප්‍රසිද්ධ දේවාල කීපයක්‌ ම තිබෙනවා. 17 වන සියවසේ සිට ම රංවල දේවාල ඉදි වූ බව පෙනෙනවා.  සියනෑ කෝරළේ රංවල ගමේ ශෛලාසනාරාම පුරාණ විහාරස්‌ථානයේ පිහිටි රංවල දේවාලය දැනට පවතින පැරණි ම දේවාලය ලෙස සැලකෙනවා.

දංගල්ල පුරාණ රජමහා විහාරස්‌ථානයේ ද පැරණි රංවල දේවාලයක්‌ තිබෙනවා. නිකවල බෝධිය අසල ඉදි කර ඇති රන්දෙව්පාය මෑත කාලයේ ඉදිවුණු දේවාලයක්. එම ස්ථානයට ද විශාල පිරිසක් බාරහාර වීමට ඇදී එනවා.  එදිනෙදා එම මාර්ගයේ ගමන් බිමන් යන ජනතාව සිය වාහන නවතා පඬුරු දමා දේවාශිර්වාදය ලැබීමටත් පුරුදු ව සිටිනවා.

ගමනේ ආරක්ෂාවට පඬුරු දැමීම

මණ්ඩාවලද මෑතක දී රංවල දේවාලයක් ඉදි වුණා. කැලණි ගඟින් එගොඩ අවිස්‌සාවේල්ල, කොළඹ මාර්ගයේ කොස්‌ගම හිඟුරළ පිහිටි “රන්වල පහන” නමින් ප්‍රසිද්ධ දේවාලය ද බැතිමතුන්ගේ පුදපෙත්වලට ලක්වන තැනක්.  හයිලෙවල් පාරේ ගමන් ගන්නා වාහන  එහි නවතා ගමනේ ආරක්ෂාවට පඬුරු දැමීම සිරිතක් කරගෙන තිබෙනවා. එහි  මෑත අතීතයේ ඉදිවූ අලංකාර චිත්‍ර හා මූර්ති සහිත විහාරයක් ද දැකගත හැකියි.

රන්වල ඇල්ලට, කොග්ගලට, හද්දුවන්ඇල්ලට, හිඟුරල අඹ වෘක්‌ෂයට, දංගල්ල රජමහා විහාරයට, නිකවල බෝධීන් වහන්සේට, කැලණි ගං මිටියාවතට රන්වල දෙවියන්ගේ අණසක පවතින බව රංවල දේව කන්නලව්වේ කියැවෙනවා.  වැලිතොටුපළ ඇරඹීමේ දී, අලුත් බස්‌ රථ ගමන් සඳහා යෙදවීමේ දී, ගඩොල් පෝරණු පටන් ගැනීමේ දී මෙන් ම නොයෙකුත් සුබ කටයුතුවල දී රංවල දෙවියන්ට බාර හාරවීමට ද එම බාරහාර නියමිත දිනයන්ට ඔප්පු සිද්ධ කිරීමට ද කැලණි නිම්නයේ බැතිමතුන් පුරුදු ව සිටිනවා.

කැලණි ගගේ පාරු දැක්වෙන පැරණි සේයාරුවක්- lankapura.com

පාරු කවි

කලකට පෙර දැව ප්‍රවාහනයට මෙන් ම භාණ්ඩ ප්‍රවාහනයට ද කැලණි ගංබඩ පාරු භාවිත වුණා. ගඟේ පාරු පදින පාරුකරුවන් කියන  සීපදවලත් රංවල දෙවියන් ගැන සඳහන් වෙනවා. මේ එවැනි පාරු කවියක්:

පහළ යන්නෙ නැකතින් පහුර පැදගෙන

රංවල දෙවිඳු හය පුද පඬුරු බැඳගෙන

කැලණි ගඟේ දිය අඩු වැඩි බලාගෙන

අපිත් යමුකො රංවල දෙවිඳු වැදගෙන

කවරයේ පින්තූරය - අර්නස්ට් හේකල් කැලණි ගඟ ගැන 1882 දී ඇඳි චිත්‍රයක් - commons.wikimedia.org 

මූලාශ්‍ර:

avissawella.com

සියනෑ කෝරළේ පුරාණ ජනවිත්ති- ඩී. බී. දසනායක

සිංහල දේව පුරාණය - මහාචාර්ය කේ. එන්.ඕ ධර්මදාස සහ එච්. එම්. එස් තුන්දෙනිය   

 

Related Articles