Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දඹරන් පිළිම සොරකමින් පොහොසත් වුණේ කව්ද?

ඇළහැරදී දඹරන් පිළිමයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

කොටසර විහාරයේ දඹරන් පිළිම සොරකමට හිමිනමකුත් හවුල්

පුසුල්පිටිය විහාරයේ රන් පිළිමය තැන්පත් කර තිබූ මකර තොරණත් උස්සලා

ගම්පොල රජමහා විහාරවල පුරාවස්තු උස්සන කල්ලියක්

තායිලන්තයේ රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාවක්. (theroadtoanywhere.com)

මේ පසුගිය කාලයේ අපට අසන්නට ලැබුණු මාධ්‍ය වාර්තා කිහිපයක්. වසර දෙදහස් පන්සියයක ලිඛිත ඉතිහාසයක් ඇති අපේ රටේ නිදන් හොරකම එදා ඉදන් අද දක්වාත් අඩුවක් නැතිව සිදුවෙනවා. සමාජය කෙතරම් දියුණූ වුණත් නිදන් ගැනීමේ ආසාව තුරන් වන්නේ නැහැ.

කොත්මලේ පුසුල්පිටිය රජමහ විහාරය බිඳ එහි තිබූ දඹරන් යයි පැවසෙන බුදු පිළිමය සොරා ගෙන ගිය අතර මෙයට මාස කිහිපයකට පෙර එහි තිබූ ගම්පොළ බුවනෙකබා රජ විසින් කරවන ලද ඇත්දළ හා මුතු මැණික් එබ්බ වූ මකර තොරණද සොරකම් කළා. මෑතකදී ගම්පොළ ඇත්ගාල විහාරය, පුස්සැල්ලාව ඉබ්බන් වැව විහාරය, මන්තින්දාරාම විහාරය, නාවලපිටිය වේළුවනාරාමය, ගම්පොළ රතනසාර විහාරය, උලපනේ බෝධිරුක්ඛාරාමය, ඇල්පිටිය පොත් ගුල් රජමහ විහාරය, ලබුවැල්පොළ පිරිවෙන ඇතුළු විහාර ගණනාවක පැරැණි කෞතුක භාණ්ඩ, චූඩා මාණික්‍ය  නිදන් හොරු අරන් ගිහින්. දිගින් දිගටම සිදුවන මෙම සොරකම් නිසා විහාරාධිපති හිමිවරු හා දේවාලවල නිලමේවරු මෙන්ම කපු මහත්වරුද මෙම පුරාවස්තුවල  ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක් යොදන ලෙසට ඉල්ලා සිටිනවා.

IMAGE 2 

නිදන් හාරා පොහොසත් වුණේ කව්ද?

බොහෝ දෙනා නිදන් සොයන්නේ දඹරන් පිළිම ලබාගෙන ඉක්මනින් පොහොසත් වන්නටයි. අප රටේ නිදන හොරු දඹරන් කියන වචනයේ තේරුමවත් දන්නේ නැත. දඹ රන් කියා ඔවුන් විශ්වාස කරන්නේ ඝන රන් ය. ඒ කියන්නේ 100%ක් පිරිසිදු රත්තරන්.

නිදන් හොරු කොතරම් කට්ට කයිරාටික පුද්ගලයන් වුණත් ඝනරන්වලින් ප්‍රතිමා නිර්මාණය කළ නොහැකි බව ඔවුන් දන්නේ කැහැ. මෙතෙක් අප රටේ කළ කිසිම පුරාවිද්‍යා කැණීමකින් හෝ අහඹු ලෙස ලැබීමකින් හෝ ඝනරන්වලින් කළ පුරාවස්තු හමුවී නැහැ. මෙරටින් බහුලව ලැබී ඇත්තේ ලෝකඩවලන් කර පසුව රන් ආලේප කළ බුද්ධ ප්‍රතිමා. මේවා රන් පැහැ ගැන්වීමට සියුම් රන් තට්ටුවක් ආලේප කර තිබෙනවා. ඒ පිළිමවල පුරාවිද්‍යාත්මක වටිනාකම හැරෙන්නට රන්මය වටිනාකමක් නැහැ.

පුසුල්පිටිය රන් පිළිමය වැඩ හිඳවා තිබූ මකර තොරණ සොරකම් කිරීමට පෙර. (කුසුම්සිරි විජයවර්ධන)

නිදන් හොරකම් කර කෝටිපතියන් වූ කිසිම කෙනෙක් ලංකාවෙන් හමුවන්නේ නැහැ. ඒත් රන් මිත්‍යාව නිසා අපේ පුරාවස්තු නිකරුණ් වැනසෙනවා.

දඹරන් කියන්නේ මොනවද?

බොහෝ දෙනා අතර තිබෙන මතයක්‌ වන්නේ ශ්‍රී ලංකාවේ තිබෙන්නේ දඹරන් පිළිම බවයි. පස්වැනි සියවසේදී මහාවංශය ලියූ මහානාම හිමියෝ දඹරන් කියන වචනය බුද්ධ ප්‍රතිමා හැඳින්වීමට යොදාගත්තා. දඹ රන් යනුවෙන් අදහස් වන්නේ ජම්බු නදී රත්රන් (ජම්බෝනාද ස්වර්ණ) කියන එකයි.

එලෙස පැවසීමට හේතුව ඉන්දියාවේ ජම්බු නදිය ආශ්‍රිත ප්‍රදේශයෙන් හමු වන රත්තරන් නිසයි. ශ්‍රී ලංකාවේ වලවේ ගඟ ආශ්‍රිත වේලිඔය ප්‍රදේශයෙන්, කළුගඟ ආශ්‍රිත රත්නපුර හා ගිලීමලේ, කැලණි ගඟේ පූගොඩ හා මාඔය ආශ්‍රිත ප්‍රදේශවලින් රත්රන් හමු වෙනවා. මේවා පිහිටා ඇත්තේ නිධි වශයෙන් නො වෙයි. ඉතා කුඩා වැලි කැට වැනි කැබැලි වශයෙන්.

බෙන්තර ගලපාත විහාරයේ ලෝකඩ බුද්ධ ප්‍රතිමාව හොරු ගෙන යාමට පෙර. (කුසුම්සිරි විජයවර්ධන)

ඉන්දියාවේ ජම්බු නදිය ආශ්‍රිතවත් රත්රන් හමු වන්නේ මේ කුඩා කැබැලි ලෙසටයි.  ඉංග්‍රීසියෙන් මේවාට කියන්නේ Stream gold කියලයි. දඹ රන් කියල හඳුන්වන්නේ අතීතයේ දී ඉන්දියාවේ ජම්බු නදී ආශ්‍රිත ප්‍රදේශයෙන් ශ්‍රී ලංකාවට රැගෙන ආ නිසා විය හැකියි. මෙරට රන් කාසි තැනීම සඳහා ශ්‍රී ලංකාවෙන් සුළු ප්‍රමාණයක්‌ රන් ලබා ගන්නට ඇති. පිටරටවලින් රැගෙන එන්නටත් ඇති. අප රටේ රන් කාසි ඉතා අඩුවෙන් තමයි නිෂ්පාදනය කරල තිබෙන්නේ. වැඩිපුර හමුවන්නේ තඹ කාසි.

දඹරන් පිළිම තියෙන්නේ කොහෙද?

මාදන්වල, කටාරංගල, කොත්මලේ පුසුල්පිටිය, මොරපාය, බිබිල කොටසර පියංගල, හම්බන්තොට කසාගල දඹරන් පිළිම තිබෙන බවට ප්‍රසිද්ධ විහාර කිහිපයක්. මේ අතරින් කොටසර විහාරයේ පිළිමය නිදන් හොරු සොරකම් කළා. පසුව එය කොටස් කපා පරික්ෂා කිරීෙම්දී රන් රන් නොවන බව හෙළිවීම නිසා ඉවත දමා තිබුණා.

සොරකමට සම්බන්ධ වූ විහාරයේ භික්ෂූ නමක් ලැජ්ජාව නිසා සියදිවි හානිකර ගත්තා. කටාරංගල සහ කොත්මලේ පිළිම හොරු විසින් ගෙන ගොස් පසුව හමුවූයේ නැහැ.  දනකිරිගල විහාරයේ රන්  ප්‍රතිමාවද හොරු විසින් ගෙන ගොස් පසුව ළීඳකට වීසිකර තිබී හමුවී දැන් කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කෙරෙනවා.

දැදිගම කොටවෙහෙරෙන් ලැබුණු රන් කරඩුව. (කුසුම්සිරි විජයවර්ධන)

මේ සියල්ල රන් ආලේපිත ලෝකඩ ප්‍රතිමා. මේවාට ආලේප කර ඇත්තේ ලූනු සිවියක් තරම් තුනී රන් තට්ටුවක්. හගුරන්කෙත මාදන්වල විහාරයේ ඇති රන් ආලේපිත ලෝකඩ ප්‍රතිමාව ශ්‍රී ලංකාවේ ලෝකඩ පිළිම අතර ඉහළ ස්ථානයක වැජඹෙනවා. මේ ප්‍රතිමාව කිර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ කරවුවක්. මේ පිළිමය නිදන් හොරුන්ගෙන් බේරා ගැනීම සඳහා දැඩි රැකවල් යෙදීමට සිදුවෙලා.

මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට අප කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය මාලිංග අමරසිංහට කතා කළා.

ඹරන් කතාව මිනිස්සු හදාගත් එකක්. බොහෝවිට දැකගත හැක්කේ පුරාණ තාක්ෂණයට අනුව ඝන ක්‍රමයට හෝ වාත්තු ක්‍රමයට ලෝකඩවලින් තැනූ පිළිම මත රන් ආලේප කිරීමක්. පුරාණයේ රන් ආලේප කිරීමේ දියුණු තාක්ෂණයක් අප රටේ පැවතුණු බව හමුවන පුරාවස්තුවලින් පැහැදිලියි. තවත් ප්‍රතිමා තැනූ ක්‍රමයක් පැවතුණා. ඒ මැටියෙක් කුඩාවට ප්‍රතිමාව හදලා ඒ මත රන් තහඩු ඇලවීමයි. දැදිගම කොටවෙහෙරෙන් ඒ ආකාරයේ ප්‍රතිමාවක් ලැබුණා.

මේ මොන ක්‍රමයකට හැදුවත් ඒ ප්‍රතිමාවල අමුද්‍රව්‍යවලට විශාල වටිනාකමක් නැහැ. ඒත් ජනමාධ්‍යවලින් ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇති කරනවා. ප්‍රතිමා සොරකම් කළ විට මාධ්‍ය වාර්තා පළ වන්නේ දඹරන් පිළිමයක් කියලයි. මේවායේ ඇත්තේ මිලකළ නොහැකි පුරාවිද්‍යාත්මක වටිනාකමක් පමණයි.

මහාචාර්යවරයා අපට පැවසුවා

රන් පිළිමයේ ඉතිහාසය

මහාවංශයට අනුව රුවන්වැලි සෑ ධාතු නිධානෝත්සවයේදී සෑයේ නිදන් කරන රන් පිළිම ගැන සඳහන් වෙනවා. ධාතුසේන (455-473), දෙවැනි මහින්ද (777-797) දෙවන සේන (853-887), හයවැනි මහින්ද යන රජවරු දඹරන් පිළිම තැනවූ බව මහාවංශය සඳහන් කරනවා.

නිශ්ශංකමල්ල රජු දඹුල්ල විහාරයේ රන් පිළිම කරවූ බව ඔහුගේ සෙල්ලිපිවල දක්වා තිබෙනවා. එය ශෛලමය ප්‍රතිමාවල රන් ආලේප කිරීමක් වියහැකි බව ඉතිහාසඥයන් පවසනවා. දැදිගම සූතිඝර දාගැබේ කැණීම්වලදී හමුවූ ප්‍රතිමාව තනා තිබුණේ රන් තහඩුවලින්. එය 12 වැනි සියවසට අයත්.  අභයගිරි  දාගැබෙන්ද රන් තහඩුවලින් නිර්මිත ප්‍රතිමාවක් ලැබුණා. අනුරාධපුර වෙහෙරගලින් ලැබුණු රන් ආලේපිත බුද්ධ ප්‍රතිමාව සහ අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාව ඉතා ඉහළ ශිල්පීය ලක්ෂණ පළ කරනවා. ඒවා අනුරාධපුර යුගයට අයත්. උඩරට සම්ප්‍රදායයට අයත් රන් ආලේපිත ප්‍රතිමා කිහිපයක්ද  ලැබී තිබෙනවා.

පැරණි ශ්‍රී ලංකාවේ රන් භාවිතය

ශ්‍රී ලංකාවේ පැරණි රන් කාසි. (lakdiva.org)

අපට හොඳ තඹ නිධියක් සේරුවිල තිබුණත් රන් නිධි තිබී නැහැ. මේ නිසා  ලංකාවේ රත්රන් නිෂ්පාදනය කෙරී ඇත්තේ ඉතා සුළු වශයෙන්. ඉබ්බන්කටුව සුසාන භූමියෙන් හමු වූ ඉතා තුනී රන් තහඩුව මෙරටින් ලැබුණු රන් පිළිබඳ පැරණිම සාක්ෂයයි.  අනුරාධපුර මුල් කාලයේ දී රන් කරඬු හමු වෙනවා. මේවා උණු කර වාත්තු කරන ලද ඒවා නෙවෙයි. රත්රන් සුළු ප්‍රමාණයක්‌ තලා සකස්‌ කළ ඒවා. අනුරාධපුර යුගයේ දී අභයගිරිය කැණීම්වල දී රත්රන් හමුවෙනවා.

නිදන් හොරුන්ට දෙන දඩුවම්

පුරාවස්තු ආඥා පනත අනුව පැරණි පිළිම හොරකම් කරන්නන්ට සහ නිදන් සොයා කැණීම් කරන්නන්ට දරුණූ දඩුවම් හිමි වෙනවා. එමෙන්ම මේ සැකකරුවන්ට ඇප ලබාදෙන්නෙත් නැහැ.

එවැනි සැකකරුවන්ට එරෙහිව රු. 50,000 සිට 250,000 දක්වා දඩ මුදල් හෝ වසර 2-5 දක්වා සිරදඩුවම් හෝ ඒ දෙකම නියම කළ හැකියි. මේ නිසා නිදන් හොරුන්ට කියන්න තියෙන්නේ නම් මුදල්මය වටිනාකමක් නැති, අපේ රටේ ඉතිහාසයේ කොටස්  වන නිදන් සොයා හෝ ඒවා විනාශ කොට හිරේ විලංගුවේ නොවැටෙන්න කියා පමණයි.

Related Articles