පහන් ආලෝකයෙන් දසත බබළවන කාර්තික මංගල්‍යය

මානව ඉතිහාසයේ ආරම්භයේ පටන් ම අග්නි හෙවත් ගිනි දෙවියන්ට පූජා පැවැත්වීම සිරිතක් විය. බුද්ධ කාලයේ දී සිදු කළ පහන් දැල්වීම ප්‍රදීප පූජාව විය. එතැන් පටන් අද දක්වා සියලු ම ආගම්වල පාහේ දැකිය හැකි පූජා ක්‍රමයක් ලෙස පහන් සහ ඉටිපහන් දැල්වීම හැඳින්විය හැකි ය.

බෞද්ධාගමිකයන් දිනපතා ම නිවසේ පහන් දල්වා බුදුන් වහන්සේ  නමඳියි. විහාරස්ථානවල සහ දේවාලවල ද පහන් දැල්වීම සිදු වේ. ඊට අමතරව හින්දු බැතිමතුන් ද ඔවුන්ගේ පූජා විධිවල දී පහන් දැල්වීම බහුල ව සිදු කරයි.

හින්දු සහ බෞද්ධ බැතිමතුන් ද දීර්ඝ කාලයක් තිස්සේ සමරන කාර්තික මංගල්‍යය පහන් පූජාව පදනම් කරගත් එකකි. පෙර රජ සමයේ සිට සෑම වසරක ම ඉල් මස, එනම් නොවැම්බර් මස පුරපසළොස්වක පොහොය දිනයේ දී යෙදෙන කාර්තික පූජා උත්සවය පිළිබඳ ව මෙම ලිපියෙන් සොයා බලමු.

කාර්තික පූජාවේ ආරම්භය හා ඉන්දියාවේ කාර්තික පූජාව

ස්කන්ධ පුරාණයට අනුව කැති නැකැතින් උපන් කාර්තිකේය හෙවත් කතරගම දෙවියන් උදෙසා ඉල් පොහොය දින පූජා පැවැත්වීම හින්දු බැතිමතුන්ගේ සිරිතක් විය. මෙම පසළොස්වක පොහොය දිනය කැති නැකැත අනුව යෙදීම අනිවාර්යය වේ. මෙම හේතුව නිසා නොවැම්බර් මාසයේ පසළොස්වක පොහෝ දිනයේ අධික පොහොය යෙදෙන අවස්ථාවල දී දෙසැම්බර් මාසයේ පසළොස්වක පොහොය දින කාර්තික පූජාව පවත්වයි.

ඉන්දියාවේ කාර්තික පූජාවක් – www.rudraksharatna.com

බුදු සමයෙහි සඳහන් තොරතුරුවල ද, අතීත ඉන්දියාවේ කාර්තික පූජාව සැමරූ බව සඳහන් වේ.  කුරුධර්ම ජාතකයෙහි කුරු රට විසූ ධනංජය නම් රජතුමා ඉල් මාසයේ දී කාර්තික නම් සැණකෙළියක් පැවැත්වූ බව සඳහන් වේ. ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ අගසව් දෙනමගෙන් එක් නමක් වූ සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ ද, අනාගතයෙහි මතු බුදුවන මෛත්‍රෙය ‌බෝධිසත්වයන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ  ලද්දේ ද, මේ කාර්තික දින හෙවත් ඉල් පොහොය දිනයේ දී බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ කාර්තික පූජාව

ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව මූලික කොට ගෙන සිදු කරන සතර මංගල්‍යය, එනම් අලුත් සහල් මංගල්‍යය හෙවත් අගසස් පිදීම, අලුත් අවුරුදු මංගල්‍යය හෙවත් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම, ඇසළ මංගල්‍යය හෙවත් දළදා පෙරහර සහ කාර්තික මංගල්‍යය හෙවත් ප්‍රදීප පූජාව රාජ නියෝගයෙන් එදා පටන් අද දක්වා නොකඩවා සිදු කරයි. ඒ අනුව වර්ෂයක දී සිදු වන අවසාන මංගල්‍යය වූ කාර්තික මංගල්‍යය යෙදෙන්නේ නොවැම්බර් මාසයේ පුරපසළොස්වක පොහොය දිනයේ දී ය.

කාර්තික මංගල්‍යය යනු පහන් පූජාවක් බැවින් එය ප්‍රදීප පූජාව යනුවෙන් ද හඳුන්වයි. ශ්‍රී දළඳා මාළිගාව, සතර මහා දේවාල, උභය මහා විහාර සහ උඩරට පිහිටි අනෙකුත් ඉපැරැණි රජමහා විහාර සහ දේවාල 82 ක පමණ පහන් පූජා පැවැත්වීම මෙහි දී සිදුකරයි. මෙහි ඇති විශේෂත්වය නම් රාජ නියෝගයෙන් රජතුමාට හා රටවැසියන්ට සෙත්පතා එකම අවස්ථාවේ මෙම පහන් දැල්වීම සිදු කිරීම යි.

අතීතයේ දී රජතුමන් සිදු කළේ පොහොය එළැඹීමට දින කිහිපයකට පෙර ඉහත කී විහාරස්ථානවලට සහ දේවාලවලට පණිවිඩකරුවකු මගින් අසවල් දින නාථ දේවාලයට රැස්වෙන ලෙසත්, එහිදී කාර්තික මංගල්‍යය සඳහා අවශ්‍ය තෙල් බෙදා දෙන බවත් දැන්වීම යි. ඒ අනුව අදාළ විහාරස්ථාන සහ දේවාලවලින් නියෝජිතයකු බැගින් නාථ දේවාලයට පැමිණෙයි.

රජුගේ නියමය අනුව පළමුව දළදා මාලිගාවටත්, දෙවනුව සතර දේවාලවලටත්, අනතුරුව උභය මහා විහාරයටත් පිළිවෙළින් තෙල් නැලිය බැගින් බෙදා දෙයි. ඇතැම් සිද්ධස්ථානවලට තෙල් නැලි දෙක, තුන, හතර සහ හය ආදී වශයෙන් බෙදා දෙන අවස්ථා ද ඇත. තෙල් නැලියක් යනු නූතන මිණුම් ක්‍රමයට අනුව ලීටර් බාගයක් තරම් වන අතර එසේ ලබා ගත් තෙල් විහාර හා දේවාල කරා ඉතා ගෞරවාකාරයෙන්, පුද පෙරහරකින්, රැගෙන ගොස් ඉල් පොහොය එළැඹෙන තෙක් සුරක්ෂිත ව තබා ගත යුතු ය.

කාර්තික මංගල්‍යය සඳහා අවශ්‍ය තෙල් බෙදා දීම – www.sridaladamaligawa.com

මෙම තෙල් හිමි වන විහාරස්ථාන හා දේවාල ද රජුගේ අනුග්‍රහය ලැබූ ඒවා ය. ඒවා පිහිටා ඇත්තේ ද දළදා මාලිගාව ආසන්නයේ වීම සුවිශේෂි කරුණකි. රජතුමන් අතීතයේ දී තම ආගමික කටයුතු සඳහා ආ ගිය රාජකීය විහාරස්ථාන මීට ඇතුළත් වේ. රජතුමන් සිදු කළ තෙල් බෙදා දීමේ චාරිත්‍රය අද ඉටුකරනුයේ දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් අතිනි. ඔහු  වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේ කාරියකරවන රාල මෙම කටයුත්ත සංවිධානය කරයි.

නියමිත දින, එනම්, ඉල් පොහෝ දින සවස අඳුර වැටෙත් ම මේ සෑම සිද්ධස්ථානයක ම එකී තෙල්වලින් පහන් දල්වා බුදුන් පිදිය යුතු ය. එකල දළදා මාලිගාවේ පහන් පූජාවට රජතුමන් ඇතුළු රාජකීයන් සහභාගී වූ අතර එය වාර්ෂික දළදා මංගල්‍යයක් ලෙස පැවැත්වීමට ද විධිවිධාන යොදා තිබිණි. එදිනට දළදා මාලිගාවේ හේවිසිකරුවන්, කවිකාර මඩුව, ආලත්ති අම්මලා සහ ගම් දහයේ විදානේවරුන් එහි පැමිණ සිටිය යුතු ය.

දළදා වහන්සේ වැඩසිටින මාලිගාව ගොක් අතුවලින් සැරසීම මෙහිදී විශේෂත්වයක් වන අතර එය ගම් හයේ විදානේවරුන් සිදු කර ඇත. ගොක් අතුවලින් සැරසීම සිදු කරනුයේ දළදා මාලිගාවේ විශේෂ මංගල්‍යයවලදී පමණි. වර්තමානයේ දී දළදා සමිඳුන්ගේ භාරකාරත්වය දරන මල්වතු සහ අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා දෙනමත්, එම වර්ෂයේ තේවාව භාර නාහිමියන් හා  දියවඩන නිලමේතුමාත් මෙම පහන් දැල්වීමේ චාරිත්‍රය සිදු කරති. ඒ සඳහා අනිකුත් සියලු රාජකාරිකරුවෝ ද සහභාගී වෙති.

තේවාව භාර හිමියන් සහ දියවඩන නිලමේතුමන් පහන් දැල්වීම – Facebook- Sri Dalada Maligawa

දළදා මාලිගාවට අමතරව පහන් දල්වන අනිකුත් සිද්ධස්ථානවල ද ගොක් අතු සැරසිලි සිදු කොට ඉපැරණි චාරිත්‍ර සියල්ල ඉටු කළ යුතු වේ.

මෙදින ඇති තවත් විශේෂත්වයක් නම් කාර්තික පෙරහර නමින් හඳුන්වන පෙරහරක් පැවැත්වීම යි. මේ සඳහා ඇසළ පෙරහරේ මෙන්ම සධාතුක කරඬුව ද වැඩම කරවයි. ඒ නිසාම ඒ හා සම්බන්ධ සියලු චාරිත්‍ර විධි නිසි ලෙස ඉටුකරමින් මෙම පෙරහර පවත්වයි. කෙසේ වෙතත් මෙම පෙරහර කුඩා පෙරහරක් බැවින් දළදා මාලිගාවේ චතුරස්‍රය වටා පමණක් ගමන් කරයි.

කාර්තික පෙරහරක් – Facebook- Sri Dalada Maligawa

මහනුවර කතරගම දේවාලයේ විශේෂ චාරිත්‍ර

වප් අව පොහොය දින සිට දින හයක් ගත වූ විට එලැඹෙන දිනය ස්කන්ධ ශෂ්ටි නම් වේ. කතරගම දෙවියන් දින හයක් පුරා සූරපද්ම නම් අසුරයා සමග සටන් කොට වේලායුධයෙන් ඔහු විනාශ කර දැමුයේ මෙදින ය. හින්දු බැතිමතුන් එදින විශේෂ උපවාස දිනයක් ලෙස සලකා කතරගම දෙවියන් වෙත පූජෝපහාර දක්වයි.

මහනුවර සතර මහා දේවාලයන්ගෙන් කතරගම දේවාලය හින්දු භක්තිකයන් සමඟ වැඩි සබඳතාවක් පවත්වන බැවින් මෙදිනට අසුර සංහාරය නම් වූ විශේෂ පෙරහරක් පැවැත්වීම ද දක්නට ලැ‌බේ. සුරපද්ම අසුරයාගේ රුවක් සහ කතරගම දෙවියන්ගේ රිදියෙන් කළ රැවක් එහිදී වැඩමවයි. පෙරහර අතර දී මේ ප්‍රතිමා උසුලා සිටින පිරිස වීදි පුරා ගමන් කරමින් අසුර සංහාරය සිදු වූ ආකාරය නිරූපණය කරයි. මෙම චාරිත්‍රය නායක්කර් වංශික යුගයේ දී ඇති වූ බව සිතිය හැකි ය. දිගු කලක් තිස්සේ පවත්වා නොතිබූ එය 2019 වර්ෂයේ දී නැවැතත් ආරම්භ කර ඇත.

මහනුවර කතරගම දේවාලයේ අසුර සංහාර පෙරහර – Facebook- Sri Kataragama Maha Devalaya

රුහුණු කතරගම මහා දේවාලයේ චාරිත්‍ර

‍රුහුණු කතරගම මහා දේවාලය මුල් කර ගෙන පවත්වන මංගල්‍යයගෙන් කාර්තික මහා මංගල්‍යය සුවිශේෂී වේ. දුටුගැමුණු මහ රජතුමාගේ කාලයේ සිට රාජ අණ ඉටු කරමින් සිදුකරන මෙම මංගල්‍යය අංග රැසකින් විචිත්‍රවත් වේ.

එදින සවස් කාලයේ ඇරඹෙන පෙරහර මංගල්‍යයට ප්‍රථම දේව මාලිගයට දෙවියන් වැඩමවීම සිදුකරයි. දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීමෙන් අනතුරුව දේව මාලිගය අසලින් පෙරහර ගමන් අරඹයි. බස්නායක නිලමේතුමන්, ආලත්ති අම්මාවරුන් සහ කපු මණ්ඩලය පෙරටු කොට ගත් පෙරහරට විවිධ නැටුම් මෙන් ම සම්ප්‍රදායයානුකූල අංග ද ඇතුළත් වේ.

පෙරහරෙහි කරඬුව වැඩමවන්නේ මංගල හස්තියා ය. මෙලෙස ගමන් අරඹන ලබන පෙරහර කතරගම දේවාල පරිශ්‍රයෙහි මැද වීදිය ඔස්සේ වල්ලිමාතා දේවාලය වෙත පැමිණෙයි. එම දේවාලයෙහි යාතිකා වතාවත් සිදු කිරීමෙන් අනතුරු ව පෙරහර නැවැත මැද වීදිය ඔස්සේ ප්‍රධාන දේව මාලිගය වෙත පැමිණෙයි. කතරගම දෙවියන් වෙනුවෙන් පුද පූජා පැවැත්වීම ආරම්භ වන්නේ ඉන් පසුව ය. මෙහිදී කැවුම්, කිරිබත් සහ එළවළු සහිත මුරුතැන් පූජාව දෙවියන් වෙනුවෙන් පිළිගන්වයි. ඉන් අනතුරු ව දේව මාලිගයේ අනෙකුත් වතාවත් ආරම්භ වේ. එම වතාවත්වලින් පසුව කාර්තික මංගල්‍යය හෙවත් ඉල් මහා මංගල්‍යය නිමාවට පත් වේ.

කතරගම දේවාලයේ ඉල් මහා මංගල්‍යය – Facebook- Ruhunu Maha Kataragama Devalaya

 

කාර්තික නක්ෂත්‍රම්

හින්දු බැතිමතුන් කාර්තික මංගල්‍යය, කාර්තික නක්ෂත්‍රම් ලෙස ද හඳුන්වයි. අපේ රටේ සියලු ම ප්‍රදේශ නියෝජනය කරමින් මෙම මංගල්‍යය සඳහා බැතිමතුන් පැමිණීම සුවිශේෂී කරුණකි. විශේෂයෙන් ම යාපනයේ තොන්ඩමනාරුහි සෙල්ලසන්නිධි කෝවිල සහ නාගදීපයේ නාගපූශානි අම්මාන් කෝවිල නියෝජනය කරමින් බැතිමතුන් විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගී වේ.

ඇසළ මංගල්‍යයට ප්‍රථම සෙල්ලසන්නිධි කෝවිලෙන් ගමන් අරඹා කුමන ජාතික වනෝද්‍යාන පිවිසුමෙන් කතරගම බලා පා ගමනින් වන්දනාවේ පැමිණෙන බැතිමතුන් බොහොමයක් නැවත මිත්‍රත්වයෙන් හමුවන්නේ කාර්තික මංගල්‍යයේදී ය. දින දහයක් පමණ ඇසළ මංගල්‍යය වෙනුවෙන් පා ගමනින් කතරගමට පැමිණ තම ගම්බිම් බලා පිට ව යන බැතිමතුන් වෙන් ව යාමේදී “කාර්තික මංගල්ලයේදී හමුවෙමු ” යැයි පවසන්නේ ඇසළ මංගල්‍යය තරමට ම ඉල් මහා මංගල්‍යය හෙවත් කාර්තික මංගල්‍යය ද විශේෂ උත්සවයක් නිසා ය.

කවරයේ පින්තූරය- කාර්තික මංගල්‍යය දා දළදා මාළිගා පරිශ්‍රයේ බැතිමතුන් පහන් දැල්වීම - www.sridaladamaligawa.com

මූලාශ්‍ර:

ශ්‍රී දළදා මාළිගාවේ කාර්තික මංගල්‍යය - නාරන්පනාවේ ආනන්ද නාහිමි -www.budusarana.lk 

කඳ සුරිඳු උපත සමරන කාර්තික මංගල්ලය - චතුර ගීතනාත් බණ්ඩාර - www.dinamina.lk 

සිරි දළදා උරුමය - කේ. මීගහකුඹුර

Related Articles