Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නව ශිලා යුගයේ මානවයාත් වගා කළ කුරක්කන්වල වගතුග

කුරක්කන් හෙවත් කුරහං අපේ පුරාණ ම හේන් බෝගයක් විදිහට සැලකෙනවා. එය දම්පැහැති අලංකාර කරලකින් යුත් බෝගයක්. නව ශිලා යුග මානවයා ස්ථිර වාසස්ථානවල ජීවත්වෙමින් කෘෂිකර්මයට යොමු වූ අවස්ථාවේ කුරක්කන් වගා කළ බව වරකාපොළ දොරවක ලෙන කැණීම්වලින් හෙළි වී තිබෙනවා.  සිරුරේ ප්‍රතිශක්තිය ඉහළ නංවන බෝගයක් ලෙස විද්‍යාත්මකව ඔප්පු වී ඇති නිසා මේ වගේ වසංගත කාලයක කුරහන් ගැන ජනතාව වැඩිපුර සැලකිලිමත් වෙන්න පටන් අරන්. කුරක්කන් වගාවේ සුලමුල සොයා යාමට දැරූ උත්සාහයක් තමයි මේ. 

කුරහන් ඇට සහ කරල්-dinamina.lk

ලෝකයේ කුරක්කන්

අප්‍රිකාවේ, ඉතියෝපියාවේ තමයි මුලින් ම කුරක්කන් භාවිතය සිදුවූ බව සොයා ගෙන තිබෙන්නේ. ඒ ධාන්‍ය බෝගය දැනට වසර 3000 කට පමණ පෙර ඉන්දියාවට පැමිණ ඇති බව පුරාවිද්‍යාත්මක දත්තවලින් පැහැදිලි වෙනවා. ඒ ආසන්න කාලයක ලංකාවෙත් කුරහන් භාවිතය සිදු ව තිබෙනවා. පෙර දවසේ සිටි රජවරුන්ගේ යෝධයක් ශක්තිය ලබාගත්තේ කුරහන් අනුභවයෙන් බව ජනප්‍රවාදවල සඳහන් වෙනවා.

මෑතක් වනතුරු වියළි කලාපයේ බොහෝ ගම්මානවල දිනපතා ම කුරහන් තලප ආහාරයට ගැනීම සිදු වුණා. කුරහන් අඹරා ගැනීමට කුරහන් ගලක් ද සෑම ගැමි නිවසක ම පාහේ තිබුණා.  අදත් රජරට වගේ ම රුහුණේ ගම්මානවල කුරහන් තලප ජනප්‍රියයි. ඒ වගේ ම කුරහන් පිටිත් දැන් ලංකාව පුරා ම වෙළෙඳ සල්වල අලෙවියට තිබෙනවා.

කුරහන් හේනක අස්වැන්න නෙළමින් – youtube.com

කුරක්කන් හේන්

අපරටේ වියළි හා අතරමැද කලාපවල සාර්ථක ව වගා කළ හැකි බෝගයක් වන කුරක්කන් පුරාණයේ වගා කළේ වන ගත හේන්වල බෝගයක් ලෙස යි. මෙම ධාන්‍යය මාස් කන්නයේ ප්‍රධාන භෝගය වුණා. මාර්තු මැදට පෙර නෙළන කුරහන් නොවැම්බර් ඉක්මවීමට පෙරාතු ව වැපිරිය යුතුයි. හේන් බිමේ වප් ඉරි ඇද කුරහන් වපුරනවා.

උදැල්ලෙන් එසේ ඉරි ඇඳ සලකුණු කරන්නේ ඉතා කුඩා බීජයක් නිසා වැපිරූ ස්ථාන පසුව සොයා ගැනීමට යි. වර්තමානයේ දී අප රටේ හෙක්ටයාර් 5000 පමණ භූමි ප්‍රමාණයකට කුරක්කන් වගාව සීමාවී ති‍බෙනවා. ඖෂධීය ගුණ නිසා නාගරික ව ඉල්ලුම මෑතක සිට ඉහළ යාම නිසා ඉන්දියාවෙන් වාර්ෂිකව වාර්ෂික ව මෙට්‍රික් ටොන් 1400 ක පමණ කුරක්කන් ප්‍රමාණයක් ආනයනය කිරීමත් සිදුවෙනවා.  

කුරහන් හේනක පැලක්-  වන්නියේ හඬ  facebook page

 අතීතයේ කැලය කපා ගිනි තබා පුළුස්සා සකස් කර ගන්නා නවදැලි හේන්වල උස්බිම්වල තමයි කුරක්කන් වැපිරුවේ.  ඒ නිසා වෙනත් එළවළු හෝ ධාන්‍ය මෙන් විශේෂ බිම් සැකසීමක් සිදුවන්නේ නැහැ. අද කැලෑ කැපීමට අවසර නැති නිසා ස්ථිර හේන්වල  කුරහන් වගාව සිදුවෙනවා. බිම් පෙරළා සකස් කරන වගාවල  කුරක්කන් වැපිරීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැකි බව ඔප්පු වී තිබෙනවා.

පුරාණයේ  පොහොර හෝ කෘමිනාශක මේ  වගාව සඳහා භාවිත කළේ නැහැ. කෘමි රෝග ඇතිවූයේත් ඉතාමත් කලාතුරකින්. ඒත් අද නම් කුරක්කන් වගාවටත් පොහොර සහ කෘෂි රසායනික අවශ්‍ය වෙලා.  නව කෘෂි තාක්ෂණය අනුව රාවණා, ඕෂධී ආදී නම් ලද වැඩි පලදාවක් ලබා ගත හැකි කුරක්කන් වර්ග හඳුන්වා දී තිබෙනවා.  ඒවා වගා කිරිමේදී පොහොර මෙන්ම කෘමිනාශක ද භාවිත කෙරෙනවා.

සාරවත් කුරක්කන් වගාවක්- bfsrilanka.org

කුරක්කන් වගා කරන ප්‍රදේශ

අප රටේ අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ, මොණරාගල, කිලිනොච්චිය, හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවල කුරක්කන් වගාව පැතිර තිබෙනවා. අනෙක් වියළි කලාපීය දිස්ත්‍රික්කවල ද සමහර ප්‍රදේශවල කුරහන් වගා කෙරෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල සහ විල්ගමුව  කුරක්කන් බහුල ව වගාකරන ප්‍රදේශ යි.

මෙරට කුරක්කන් බිජ අවශ්‍යතාවයෙන් 75% ක ප්‍රමාණයක් ලබා දෙන  සාර්ථක බීජ කුරක්කන් වගාවකුත් මාතලේ මකුලේතැන්න ගොවි ව්‍යාපාරය වර්ෂ කිහිපයකට පෙර ආරම්භ කළ බව වාර්තා වුණා.

අස්වැන්න කැපීමට සූදානම්- වන්නියේ හඬ  facebook page

කුරක්කන් අස්වැන්න

පැරණි සම්ප්‍රදායික කුරක්කන් බීජවලින් අස්වැන්න ලබා ගැනීමට මාස 4-5ක් ගතවුව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මහඉලුප්පල්ලම පර්යේෂණ ආයතනය  මාස තුනකින් අස්වැන්න ලබාගත හැකි කුරහන් ප්‍රභේද වර්ධනය කර තිබෙන්වා. එම්. අයි. 301, එම්. අයි. 302 හා රවි යන ප්‍රභේද ඒවායි.  

මේ අතුරින් රවි ප්‍රභේදය මගින් වැඩි අස්වැන්නක් ලබාගත හැකි අතර ගතවන කාලය දින 90 පමණ වෙනවා. ඒ වගේම රාවණ නම් වර්ගය ද මාස තුනකින් අස්වැන්න ලබා දෙනවා. ‘මහගල්මොර’ නමැති සාම්ප්‍රදායික කුරක්කන් වර්ගය අස්වනු ලබාදීමට මාස 4ක් කල්ගත වන අතර එය නියඟයට ද ඔරොත්තු දෙනවා.

 මේරුණු කුරක්කන් කරල්- facebook

 හොඳින් මෝරා පැසී ඇති කරල් දෑකැතිවලින් කපා ගත යුතු යි. ඉන්පසු කරල් පැදුරුවල දමා අව්වේ වියළා ගන්නවා. ඉන්පසු බීජ වංගෙඩියේ හෝ ගලක දා කොටා ගැනීමෙන් කරලෙන් බීජ වෙන්කර ගන්නවා. පොලා රොඩු ඉවත්කරගත් ඒ බීජ අඹරා ගත්තේ කුරහන් ගලේ දමා කරකැවීමෙන්. කුරහන් පොලා ඉවත දමන දහයියා හැඳින්වුණේ කුරහන් පයියං කියල යි.

 අප රටේ   කුරක්කන් වගාවේ සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 700ක් පමණ වෙනවා.  නමුත් පොහොර භාවිතය, වල් මර්ධනය වැනි කටයුතු මැනවින් ඉටු කළ වගාවන්ගෙන් හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 2500 – 3000 පමණ අස්වැන්නක් ලබාගත හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.  

කුරක්කන් ඉඳිආප්ප- facebook

කුරහන් රසය

 හෙළයේ මුතුන්මිත්තන්ගේ ප්‍රමුඛ ආහාරය වූයේ කුරක්කන්. කුරක්කන්වලින් හදන හැලප, තලප මෙන් ම කුරක්කන් රොටී, කැඳ එදා මෙන් ම අදත් එකසේ ජනප්‍රිය යි. මෑතක සිට නාගරික ප්‍රදේශවල  කුරක්කන් මිශ්‍ර පිට්ටු, ඉඳිආප්ප, කුරක්කන් පාන්, කුරක්කන් බිස්කට්, කුරක්කන් නූඩ්ල්ස් ආදී ආහාර වර්ගත් ජනප්‍රිය වී තිබෙනවා. අතීතයේ කුරක්කන් තලප අනුභව කළේ දඩමස් හොද්දක් එක්ක යි. එමෙන්ම කොල්ලු, මුං ඇට සහ වැව් මාළු ආනම සමඟ කුරක්කන් තලප ගම්බද ප්‍රදේශවල ජනප්‍රිය ආහාරයක්. ගිරුවාපත්තුවේ, වෙල්ලස්ස බින්තැන්නේ මෙන්ම රජරටත් කුරක්කන් තලප සහ රොටී ප්‍රධාන ආහාරයක් වෙනවා.

කුරක්කන් කැඳ- dailylife.lk

ඖෂධීය ගුණය

කුරක්කන් පෝෂණීය ආහාරයක් වගේ ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව අගනා ඖෂධයක්. බටහිර වෛද්‍ය පර්යේෂණවලිනුත් මෙහි ගුණය හෙළි වී තිබෙනවා. කුරක්කන්වල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ආහාරමය කෙඳි, කැල්සියම්, ඛනිජ ලවණ, මේදය අඩංගු යි. කුරක්කන් රළු ආහාරයක් නිසා අවශෝෂණය සිදුවන්නේ මන්දගාමීව යි. ඒ නිසා බඩගින්න ඇති වන්නේ ප්‍රමාද ව යි. එය තරබාරු අයට ගත හැකි සෞඛ්‍ය සම්පන්න ආහාරයක්.

ප්‍රතිඔක්සිකාරක ගුණය ඉතා ඉහළින් ම ඇති නිසා බෝනොවන රෝග වැලැක්වීමේ හැකියාව ඉහළ බව ඔප්පු වෙලා.  වයසට යෑමේදී සමේ රැළි ඇති වීම වළක්වනවා. කුරක්කන්වල ඇති ආහාරමය කෙඳි (තන්තු) නිසා මල බද්ධය සඳහා කුරක්කන් කැඳ මහඟු ඖෂධයක් ලෙස සැලකෙනවා. යකඩ හා කැල්සියම් බහුල ව ඇති නිසා කිරි දෙන මව්වරුන්ට සහ මාස 6 ඉක්මවූ ඕනෑ ම දරුවකුට පෝෂ්‍යදායි ආහාරයක්.  

කුරක්කන් පිට්ටු – lankaepress.com

ආර්තවහරණය සිදු වූ කතුන්ටත් කුරක්කන් ඉතාමත් සුදුසු ආහාරයක් ලෙස ආයුර්වේදයේ සඳහන් වෙනවා. රුධිරයේ අඩංගු මේදය ඉවත් කිරීමටත් කුරක්කන් උපකාරි වෙනවා.  මුත්‍රාශයේ ගල් ඇතිවීම වළක්වමින් සිරුරේ තෙල් මට්ටම පාලනය කරනවා. පිතට සහ කැස්සට ගුණදායක යි. කුරක්කන් නියුමෝනියා රෝගීන්ටත් පෙණහලු දුර්වල අයටත්  යෝග්‍ය ආහාරයක්. කොලෙස්ටරෝල් පාලනයට ඍජු දායකත්වයක් කුරක්කන්වල පවතිනවා. කුරක්කන්වල බහුල ව ඇති පයිටික් අම්ලය පිළිකා සෛල වර්ධනය අඩාල කරනවා.

 අද වන විට දියවැඩියාව, හෘද රෝග, කොලෙස්ටරෝල්, අධික ස්ථූලතාවය පාලනයට සහ රෝග වළක්වා ගැනීමේ ආහාරයක් ලෙස කුරක්කන් ආහාරයට ගැනීමට වැඩි දෙනා හුරුවී සිටීම සතුටට කරුණක්. මැග්නීසියම් බහුල නිසා කුරක්කන් දියවැඩියා රෝගීන්ට ආහාරයක් මෙන් ම  ඖෂධයක් ලෙසත් ආයුර්වේදයේ නිර්දේශ කරනවා.ප්‍

රතිඔක්සිකාරක ගුණය ඉහළින්ම ඇති නිසා කුරක්කන් මඟින් වයසට යාමේදී ඇතිවන සිරුර වැහැරීමේ තත්ත්වය පාලනය කරනවා. දැනට ලොව පැතිරී යන Gluten allergy නම් අසාත්මිකතාව වළක්වා ගැනීමට කුරක්කන් යෝග්‍ය ආහාරයක් වී තිබෙනවා. එයට හේතුව පාන් පිටිවල තිබෙන ග්ලූටන් කුරක්කන්වල නොමැති වීමයි.

 කුරහන් හේනක්- dinamina.lk

කුරක්කන් කවි

හේනවල මහ රෑට මේ වගාව රකින ගොවියා තම පාළුව දුරුකර ගැනීමට උස් හඬින් කවි ගායනය සිදු කළා. කුරක්කන් වගාවේ අත්දැකීම් තමයි මේ කවිවල අඩංගු වුණේ. ඒ නිසා කුරක්කන් කවි ලෙස වෙනම ජන කවි විශේෂයක් බිහි වී තිබෙනවා. කුරක්කන් පැහෙන කාලයට වගාවට සිටින ලොකුම සතුරා වල් ඌරා යි. ගොවියා රෑ එළිවන තුරු නිදි නොලබා පැල් රකින්නේ ඌරන්ගෙන් කුරක්කන් අස්වැන්න බේරා ගැනීමටයි. ඒ පිළිබඳව කුරක්කන් කවියක මෙසේ සඳහන් වෙනවා:

කටුඇල්ලේ මගෙ හේනේ කුරක්කන්

වැට අහුරා   ඌරන්ගෙන් වලක්කන්

කරගන්නට බැරි උන් මහ කුරක්කන්

ඌරනි නොකා පලයව් මගෙ කුරක්කන්

කවරයේ ඡායාරූපය: - කුරහන් ගලක කුරහන් අඹරමින් - exploresrilnaka.lk / dinamina.lk

 මූලාශ්‍ර :

හේන, ජනවහර අධ්‍යයනය- ඔරුක්මාන්කුලමේ චන්දන හිමි

ජනකවි සාහිත්‍යය- පී. ඩී. ඇස්. වීරසූරිය

lankaepress.com

doa.gov.lk

news.lk

subasetha.lk

Related Articles