ප්‍රාග් ඓතිහාසික කාලෙට දිවෙන අගස්ති මාලේ කතාව

උඩරට මංගල ඇඳුමෙන් සැරසෙන මනාලියන් පළඳින ආභරණ අතර “අගස්ති පබළු මාලය” ප්‍රධාන තැනක් ගන්නවා. මේ “අගස්ති පබළු මාලය” රතු පැහැයට හුරු තද තැඹිලි පැහැයක් ගන්නවා. මේ නිසා එය ආභරණ අතර කැපී පෙනෙනවා. අගස්ති කියන්නේ අර්ධ මැණික් විශේෂයක්.

අගස්ති පබළු මහනුවර රජ කරපු නායක්කර් රජ කාලේ අපේ රටේ ප්‍රචලිත වුණු බව තමයි සාමාන්‍ය පිළිගැනීම. අදින් අවුරුදු 2700 – 2900 කට පෙර මහා ශිලා සංස්කෘතිය පැවති කාලෙත් අපේ කාන්තාවන් අගස්ති මාල පැළඳි බව පුරාවිද්‍යා කැණීම්වලින් හෙළි වූ කරුණක්.

 උඩරට ඇඳුමට යොදාගන්නා අගස්ති මාල- timeout.com

උඩරට මුල් ඇඳුමේ අගස්ති

උඩරට මඟු‍ල් ඇඳුමේ ඇති අලංකාර පෙනුම  නිසා ම මංගල අවස්ථාවේ දී ඉන් සැරසීමටබොහෝ තරුණ, තරුණියන් කැමැත්ත දක්වනවා. මේ ඇඳුම් කට්ටලය, මහනුවර  ශ්‍රී විජය රාජසිංහගෙන් ඇරඹුණු නායක්කාර් වංශික රජවරුන්ගේ ඥාතින් ලෙස  ලංකාවට පැමිණි දකුණු ඉන්දීය කුමාරිකාවන් හඳුන්වා දුන් එකක් බවට සැලකෙනවා. එම කාන්තා ඇඳුමේ ලොකු පබළු විශේෂයක් වන අගස්ති මාලයට ලැබුණේ මුල් තැනක්.

උඩරට කාන්තාවන් අතර ජනප්‍රිය, මෙම මාලයේ පබළු නිර්මාණය කර තිබෙන්නේ අගස්ති පාෂාණයෙන්. මාලය පමණක් නොව ඔසරි කටු, කොණ්ඩා කටු, මාල, ගෙඩි වළලු‍ හා හවඩි ද, ඔප දමා විවිධ හැඩයෙන් අලංකාර කළ අගස්ති පාෂාණ කැබලිවලින් අලංකාර කර තිබෙනවා. මංගල ඇඳුමේ පමණක් නොව උත්සව අවස්ථාවලදීත් බොහෝ උඩරට කාන්තාවන් මාල හතක් පැළඳීම දකින්න පුළුවන්. මේ මාල අතර අගස්ති මාලයක් ද තිබෙනවා. අගස්ති පාෂාණය අදටත් ලංකාවට ගෙන්වන්නේ ඉන්දියාවෙන්.  

ඉබ්බන්කටුවේ කැණීම්වලින් ලැබුණු අගස්ති මාලය- youtube.com

ඉබ්බන්කටුවේ අගස්ති මාල

ලංකාවේ අගස්ති පිළිබඳ පැරණි ම තොරතුරු ලැබෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගය හා ඓතිහාසික යුගය වෙන් කරන මායිමට අයත් මූල ඓතිහාසික යුගය හෙවත් ප්‍රොටෝ ඓතිහාසික යුගයෙන්. මෙම යුගයේ පැවති සංස්කෘතියට කියන්නේ මහා ශිලා (මෙගලිතික) සංස්කෘතික අවදිය කියා යි. කුරුණෑගල දඹුලු‍ පාරේ පිහිටි ඉබ්බන්කට්ටුව මහා ශිලා සුසාන භූමියෙන් ලැබුණු පුරාවස්තු අතර පබළු රාශියක් ලැබී තිබෙනවා.     

එම පබළු වර්ගවලින් වැඩි ප්‍රතිශතයක් කානිලියන්, අගස්ති (ඇගේට්) ඛනිජ වර්ගවලින් නිමවා තිබෙනවා. එම ඛනිජ වර්ග මෙරට හමු නොවන  අතර  ඒවා වයඹදිග හෝ නැගෙනහිර ඉන්දියාවෙන් ආනයනය කර ඇති බව ආචාර්ය ඔස්මන්ඞ් බෝපේආරච්චි සඳහන් කරනවා.  ඇත්දළ, පබළු, රන් ආලේප කළ පබළු ඇටයක් මෙන් ම පබළු මාල ද මෙහි දී හමු වී තිබෙනවා. ප්‍රභූවරයකුට අයත්යැයි උපකල්පනය කළ හැකි රත්රන් සිරස් පටියක් ද පවා මෙහි දි හඳුනා ගෙන තිබෙනවා.

ඉබ්බන්කටුව කැණිම් බිම -classicsrilanka.com

මිය ගිය තැනැත්තන් භාවිත කළ ආභරණ ආදියත් මැටි බරණිවල දැමූ භෂ්මාවශේෂ සමඟ තැන්පත් කර තිබෙනවා. මෙබඳු පිළිවෙතක් අනුගමනය කරන්නට ඇත්තේ මිය ගිය තැනැත්තාගේ මරණින් මතු ජීවිතයේ දී භාවිත කිරීම පිණිස බව විද්වත් මතය යි.   ඊජිප්තුවේ පිරමිඩවල ද මේ සිරිත දකින්නට පුළුවන්.

 

මෙසේ තැන්පත් කළ ද්‍රව්‍ය අතර, විවිධ ලෝහ, මැටි හා පාෂාණවලින් නිම වූ විවිධ දේවල් හමුවී තිබෙනවා.  සුසාන භූමියේ එක් ශෛලමය සොහොන් කුටියකින් මතු වූ අගස්ති මාලයට අයත් පබළු සියල්ල යොදාපුරාවිද්‍යාඥයන් එම මාලය  පසුව ප්‍රතිනිර්මාණය කළා.  එය පොටවල් හතරකින් යුතු අලංකාර, නිමාවකින් යුතු මාලයක් බව එවිට හෙළි වුණා.

ඉබ්බන්කටුව කැණීම්වලින් ලැබුණු ටෙරාකොටා ( මැටි) මාලයක් -facebook

දියුණු මැටි භාණ්ඩ, ලෝහ භාණ්ඩ සහ ආභරණ මහා ශිලා සංස්කෘතියට අයත් ඉබ්බන්කටුව මානවයා භාවිත කර තිබෙනවා. 1982 සිට 1990 දක්වා වූ කැණිම්වලින් තමයි මේවා හමුවී තිබෙන්නේ. විජයාගමනය හෙවත් ආර්යාගමනයට පෙර සිට ම ලංකාවේ ස්වදේශිකයන් සතු ව පැවති දියුණු සංස්කෘතික ලක්ෂණ මේ කැණීම්වලින් ලෝකයට හෙළිදරව් වී තිබෙනවා. 

පුරාණ මාල පබළු

අගස්ති පමණක් නොවේ, කානීලියන්, ටෙරාකොටා (මැටි) පබළු ද විශාල වශයෙන් ඉබ්බන්කටුව සුසාන කැණීමෙන් හමු වුණා. ඒවා කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ සහ සීගිරිය කෞතුකාගාරයේ දැකගත හැකි යි.

ලංකාවේ ආභරණවල ඉතිහාසය සොයා යාමේ දී ප්‍රාග් ඓතිහාසික බලංගොඩ මානවයා අවුරුදු 28000කට ඉහත දී පවා පබළු පැළඳි බවට සාධක සිදුරු විදින ලද සත්ව ඇටකටු හා බෙලිකටුවලින් පැහැදිලි වෙනවා. සීගිරිය පොතාන ලෙන ඇතුළු බොහෝ ප්‍රාග් ඓතිහාසික ලෙන්වලින් සිදුරු කරන ලද කිරිඳිඇට හමුවී තිබෙනවා. ඒවා මාලයක් මෙන් අමුණා භාවිත කරන්නට ඇති බවයි සිතන්නේ.

 විවිධ වර්ණයේ අගස්ති – amazon.com

පිටරටින් ගෙනා අගස්ති

 ඉබ්බන්කට්ටුව මහා ශිලා සුසානයෙන් හමු වූ “අගස්ති ”හෙවත් “කානේලියන් පබළු” ලංකාවේ නිපදවූ ඒවා නොවේ. හෙන්රි පාකර්, ආචාර්ය ශිරාන් දැරණියගල, මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න, මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි වැනි විද්වතුන්ගේ මතය වන්නේ, අගස්ති සෑදීමට අවශ්‍ය කැල්සිඩෝනි පාෂාණය ලංකාවෙන් හමු නොවන බවයි.

එසේවුවත්, මේ පිළිබඳ ව ආචාර්ය පී.ජී. කුරේගේ අදහස වන්නේ උතුරු ප්‍රදේශයේ කල්ආරු ආශ්‍රිත ව සුළු වශයෙන් මෙම පාෂාණ නිධි ලැබෙන බව යි. මෙයින් පෙනී යන්නේ ලංකාව ආශ්‍රිත ව මෙම පාෂාණය ලැබුණ ද, ඒ ඉතා සුළු වශයෙන් බව යි. ඒ නිසා ආභරණ නිපදවීමට තරම් සුදුසු අගස්ති මෙරටින් නොලැබෙන්නට ඇති.

 අගස්ති මාල සඳහා අවශ්‍ය පබළු

 අගස්ති මාල සඳහා අවශ්‍ය පබළු විදෙස් රටකින් ගෙන එන්නට ඇති බව ඉහත කරුණු අනුව පැහැදිලි යි.  ඒ අනුව එකල විදේශ වෙළඳාම සිදු ව ඇති බව ඔප්පු වෙන කරුණක්. ආර්යාගමනයට පෙර ස්වදේශිකයන් පෙර ඉතා නොදියුණු ජාතියක් ව සිටියා යැයි කියන සමහර අයගේ මත මෙම සොයාගැනීම් නිසා නිෂ්ප්‍රභ වෙනවා. මෙසේ ගෙන් වූවිදේශීය ද්‍රව්‍ය සමඟ හුවමාරු කිරීමට වටිනාකමින් යුතු නිෂ්පාදන පුරාණ ලාංකිකයන් සතු ව තිබෙන්නට ඇති. එදා සිට අද දක්වා ම අගස්ති මාල අපේ කාන්තාවන්ගේ ගෙල අලංකාර කිරීමත් විශේෂත්වයක්.    

අගස්ති පාෂාණ -etsy.com

අගස්ති පාෂාණ

පොදුවේ මෙම පාෂාණය වර්ග ‘කහඳ’ කුලයට අයිති වන අතර කැල්සිඩොනි, ජස්‌පර්, ඔනික්‌ස්‌, ෆලින්ට්‌ වැනි ඛනිජ ද මෙම කුලයට ම අයත් වෙනවා. 

අගස්ති කියන්නේ කැල්සිඩෝනි නම් ප්‍රධාන පාෂාණයෙන් ලබා ගන්නා උප පාෂාණයක්. කාර්නේලියන් වශයෙන් ද ඒ උප ඛනිජ වර්ගය හඳුන්වනවා. බොහොමයක්‌ අගස්‌ති නිර්මාණය වන්නේ ගිනිකඳු ලාවා ආශ්‍රිතව බව යි විදයාඥයන් සඳහන් කරන්නේ. පාෂාණවල තත්ත්වය මනින ඒකකය වන දෘඩතාව හයත් හතත් අතර අගයක්‌ අගස්තිවල තිබෙනවා. 

අගස්තිවලින් ලංකාවේ තැනූ අත් පළදනාවක්- facebook

 

අගස්තිවල විශේෂත්වය නම් වර්ණ කිහිපයකින් පාෂාණ නිර්මාණය වී තිබීම යි. එම වර්ණ විවිධත්වයට පාෂාණවල අඩංගු යකඩ, මැංගනීස්, ටයිටේනියම්, ක්‍රෝමියම් වැනි ලෝහ බලපානවා. වර්ණය වඩාත් දීප්තිමත් කර ගැනීම පිණිස පුරාණයේ දී පාෂාණ කොටස් දැඩි උණුසුමකට ලක් කර ඇති බව හෙළි ව තිබෙනවා.

තාක්ෂණය නොදැන එය සිදු කිරීමට නොහැකි බැවින් එය අප දැන ගෙන සිටින්නට ඇති. මෙහිදී සිදු වන්නේ, දැඩි උණුසුමට ලක් කිරීමෙන් පාෂාණයේ ඇති යකඩ කොටස් රතු වර්ණයට හැරීම යි. මෙම තාක්ෂණය අදින් වසර පන්දහසකටපෙර කාලයේ දී පවා හරප්පා ශිෂ්ටාචාරයේ ජනයා භාවිත කර අඳුරු පැහැයෙන් යුතු කැල්සිඩෝනි පාෂාණ දීප්තිමත් රතු තැඹිලි පැහැයට හරවාගෙන තිබෙන බවට සාධක හමුව පවතිනවා. මෙසේ දීප්තිමත් වර්ණ ලබා ගැනීමට ඇති හැකියාව නිසාලොව පුරා අලංකාර ආභරණ තැනීමට  අදත් අගස්ති බහුල ව භාවිත වෙනවා.

අගස්ති පෙන්ඩන්ට් – Litairian.com

 

මාල, වළලු, බොත්තම්, කෝප්ප, පිඟන් මෙන්ම විවිධ සතුන්ගේ ආකෘති ද පුරාණයේ පටන්ම අගස්තිවලින් නිර්මාණය කර තිබෙනවා. ඉතා අඩුවෙන්ජීර්ණයට ලක්‌ වෙන නිසා බොහෝ කාලයක්‌ සුරැකී පැවතිම  මේ පාෂාණ නිර්මාණවලට අත්වන වාසියක්.

පුරාණ අගස්ති පබළු හමුවෙන තැන්

මූල ඓතිහාසික යුගයේ සිට ඇරඹුණු ශ්‍රී ලාංකිකයන්ගේ අගස්ති භාවිතය  ඉබ්බන්කට්ටුවෙන් නොනැවතුණු බව, පුරා විද්‍යා කැණීම්වලින් හෙළි වී තිබෙන කරුණක්. අනුරාධපුර ඇතුළුනුවර ගෙඩිගේ, අනුරාධපුර – සල්ගහවත්ත, තිස්සමහාරාම – අකුරුගොඩ, අම්බලන්තොට, රිදියගම ආදී ප්‍රදේශවල කළ කැණීම්වලින් අගස්ති පබළු හමු වී තිබෙනවා. යටාල වෙහෙර, ජේතවනාරාමය, අභයගිරිය ආදී අනුරාධපුර යුගයට අයත් දාගබ් කැණීමෙන් ද, “අගස්ති ”පාෂාණයෙන් නිමවූ විවිධ ආකාරයේ පබළු හා පූජා වස්තු ලැබී තිබෙනවා.

අගස්ති පබළු හමුවූ යටාල වෙහෙර –  srilankatravelnotes.com

යටාල දාගබ කැණීමේ දී,  නිදන් වස්තු අතර, මුද්දක ඔබ්බවා තිබූ අගස්ති ගල් හමු වුණා. හෙන්රි පාකර් සඳහන් කර ඇත්තේ එය තනා ඇති  ආකාරය අනුවඋතුරු ඉන්දීය ආභාෂයක් පෙන්වන බව යි.  ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසට අයත් එම දාගබ ඉදි කිරීමේ දී සහභාගි වූ  ප්‍රභූ පන්තියේ  නිලධාරියකු හෝ රජ කුමරකු තමාගේ අගස්ති මුද්ද එහි ගර්භ නිධාන උත්සවයේ දී පූජා කළ බව ඉන් පෙනෙනවා.  ජේතවන පුරා විද්‍යා කෞතුකාගාරයේ ද අගස්ති පබළු විශාල සංඛ්‍යාවක් තැන්පත් කර තිබෙනවා.

කවරයේ ඡායාරූපය: අගස්ති මාල ඇතුළු ආභරණවලින් සැරසුණු අතීත උඩරට කාන්තාවක් සහ ඉබ්බන්කටුවේ අගස්ති මාලය  -facebook

 මූලාශ්‍ර:

ඉබ්බන්කටුව උරුමය නරඹමු- ප්‍රිශාන්ත ගුණවර්ධන

ලක්දිව ආභරණ ඉතිහාසය- මාලිංග අමරසිංහ

archaeology.lk

Lankadeepa.lk

gemsociety.org

Related Articles