ලංකාව කියන්නේ කාලයකට ඉහත බොහොම දියුණු තත්වයක තිබුණු රටක් බව අපි කවුරුත් අහලා තියෙනවා. සිංගප්පුරුව ලංකාවක් වගේ කරනවා කියලා සිංගප්පුරු අගමැති ලී ක්වාන් යූ මහත්තයා කරපු ප්‍රකාශය ගැන අහපු නැති කෙනෙක් නැති තරම්. ලෝකයේ අනිත් රටවල් එක්ක ගත්තාම ලංකාව තිබිලා තියෙන්නේ බොහොම ඉහළ අගයක. වෙන එකක් තියා ලෝකයේ දියුණුව මනින දර්ශක වලින් වුණත් ලංකාව තිබිලා තියෙන්නේ බොහොම ඉහල තැනක. අපේ රටේ ඇති වුනු කඩා වැටීම ගැන කතා කරද්දී ඕනෑම වැඩිහිටියෙක්ට දුක හිතෙන්නේ ඒ නිසාමයි.

රටක දියුණුව මනින ප්‍රධාන මිනුම් දණ්ඩක් තමයි විනිමය අනුපාතික. රටේ පාවිච්චි වෙන මුදල් වර්ගය ඉතා ඉක්මනින් බාල්දු වෙනවා කියන්නේ ඇත්තටම ඒ රට අනිත් රටවල් වලට සාපේක්ෂව ආර්ථිකය අතින් පස්සට යනවා කියන එකයි. රුපියල හඳුන්වලා දුන්නු මුල් කාලේ ඇත්තටම බ්‍රිතාන්‍ය පවුමටත් වඩා රුපියල වටිනාකමින් වැඩියි. ඒ කිව්වේ අද රුපියල් දෙසිය ගානක් දීල පවුමක් ගත්තට ඒ කාලේ රුපියලක් දීල පවුමකට වඩා ගන්න පුළුවන්. අතීත පාලකයන්ට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් පඩි ගෙවපු විස්තර හොයලා බැලුවාම මේක පැහැදිලිව පෙන්න තියෙනවා. ඔවුන්ගේ පඩිය රුපියල් වලින් තියෙන ගානට වඩා පවුම් වලින් තියෙන ගාන වැඩියි (උදා : පඩිය පවුම් 500යි නම් ඒක රුපියල් වලින් 360ක් විතර!)

ඉතින් ඔබ හිතාවි මේ බොහොම කාලයකට ඉහතදී කියලා. හැබැයි ඇත්තටම එහෙම නැහැ. මම කාට වුණත් තේරෙන උදාහරණයක් දෙන්නම්, ඩොලර් එකේ අගය ගැනනේ කවුරුත් හොඳටම දන්නේ. අද ඩොලර් එක රුපියල් 150ට කිට්ටු වෙලා තියනවා. ඉතින් හිතලා බලන්න මේක ඒ අගයෙන් භාගයක තියෙන්න ඇත්තේ කොයි කාලේද කියලා? ගොඩක් දෙනෙක් අනුමාන කරන අවුරුද්ද වැරදියි. 2000 අවුරුද්දේ, ඒ කියන්නේ මේ සහස්‍රය පටන් ගත්තු අවුරුද්දේදී ඩොලර් එකක් රුපියල් වලින් 75යි! අවුරුදු 16ක් ඇතුලත ඒ වගේ දෙගුණයකට සෑහෙන්න ආසන්න වෙලා.

මේවා ඉතින් මෙහෙම කිව්වට වඩා බොහොම හොඳට තේරුම් ගන්න පුළුවන් ඉස්සර කාලේ තිබුණු බඩු ලැයිස්තු දිහා බලලා. අපි මේ සඳහා උපයෝගී කර ගන්නේ අහම්බෙන් අපේ අතට පත් වුණු පැරණි දින පොතක්. පැරණි කිව්වට ඒ තරම් පරණත් නැහැ, මේ ලිපිය කියවන වැඩි දෙනෙක්ගේ අම්මලා තාත්තලා ඉපදුණු අවුරුද්දට ආසන්න කාලයකදී මුද්‍රණය කරපු එකක්. රිචඩ් සහ සමාගම විසින් මුදා හැරලා තියෙන මේ දින පොත, නැතිනම් ඩයරිය තුල අදාළ සමාගමේ ලිපිනය විදිහට තැපැල් පෙට්ටිය අංක 851 කියලාත්, දුරකථන අංකය 25981 කියලාත් සඳහන් වෙනවා. මේ දින පොත ටිකක් පෙරළලා බලලා පුදුම හිතුණු නිසා තමයි අපි මේ ලිපිය පළ කරන්න හිතුවෙත්. අපි මෙච්චර වෙලා කතා කරපු විනිමය අනුපාතය වගේම තැපැල් ගාස්තු, නිවාඩු දවස් වගේ දේවල් ගැනත් අපිට අපූරු තොරතුරු සොයා ගන්න ලැබුණා.

ආදී කාලේ දිනපොතක්.

ඉතින් මේ තියෙන්නේ අපි එයින් උපුටා ගත්තු කරුණු කිහිපයක් ගැනයි. ටිකක් කියවලා බලන්න ඒ කාලය ගැන කොයි තරම් සුන්දර දේ හිතෙනවද කියලා.

දුරකථන අංකය

ඉස්සර කාගේ ළඟවත් ෆෝන් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික් උපකරණ තිබුනේ නැති නිසා කවුරුත් තමන්ට වැදගත් කියලා හිතෙන අයගේ දුරකථන අංක තියා ගත්තේ මේ වගේ ඩයරි එකක ලියලයි. නමුත් පේන විදිහට ඒක ඒ තරම් අමාරු වැඩකුත් නෙවෙයි වගේ. මේ සමාගමේ අංකයම ගමුකො. 25981 කියන්නේ මොන තරම් පහසුවෙන් මතක තියා ගන්න පුළුවන් අංකයක්ද? දැන් අපේ රටේ හැම අංකයකටම ඉලක්කම් 10ක් තියනවා. කවුරු හරි ෆෝන් නම්බර් එක දුන්නොත් කවුරු වුණත් ටිකක් ගැනලා බලනවා අංක දහයක්ම තියෙනවද කියලා. ඇයි ඉතින් එක පාරට දැක්කම අංකයක් අඩුවෙන් ගැහුවද කියලා හිතා ගන්න බැහැනේ. විශේෂයෙන්ම ජංගම දුරකථන අංක වල 7 ඉලක්කම කී පාරක් යෙදෙනවාද කියන එක නිතර පැටලෙනවා. නමුත් ඒ කාලේ එහෙම ප්‍රශ්නයක් නැහැ. පොලීසිය අමතන්න පුළුවන් 3333න්, ගිනි නිවන ඒකකය 22222 සහ ගිලන් රථයක් ගෙන්නා ගන්න 23157. හැම අංකයක්ම කාට වුණත් බොහොම පහසුවෙන් මතක තියා ගන්න පුළුවන්.

තැපැල් ගාස්තු

දැන් වැඩිපුර තැපැල් ගනුදෙනු කෙරෙන්නේ නැහැනේ. නමුත් 60’ ගණන් වල ෆෝන් තිබුනේ ලොකු ලොකු සමාගම් වලට විතරයි. එහෙමත් ගෙදරක තමයි දුරකථනයක් තිබුණේ. ඉතින් කවුරු කවුරුත් සන්නිවේදනයට පාවිච්චි කලේ තැපෑල තමයි. ඉතින් තැපැල් ගාස්තු මොන ඩයරි එකෙත් තිබුණු බොහොම වැදගත් තොරතුරක්. හැබැයි අපි ඒ පිටුව පෙරළුවාම නම් හිනාත් ගියා. ලියුමක් යවන්න තැපැල් ගාස්තුව සත 10යි කියලා තියෙන හැටි බලන්නකෝ. තැපැල් පතක් සත 5යි! බලාගෙන ගියාම ඒ කාලේ සත පහක් කියන්නෙත් වැදගත් අගයක්. පත්තරයක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් ඒ ගාණට. මතක තියා ගන්න මේ අපේ අම්මලා තාත්තලා ඉපදුණු කාලේ. සාපේක්ෂව බොහොම මෑත කාලේ.

කොහොමද පිටරට යවන්න ගණන්?

වෙනත් රටවල් වල ඉගෙන ගන්න යන පිරිස් ඒ කාලේ හරිම බහුලයි. ඉතින් රට රටවල් අතර පාර්සල් ගනු දෙනු එහෙමත් බොහොම ජනප්‍රියයි. රාත්තල් 22ක් හෙවත් කිලෝ ග්‍රෑම් 10ක විතර බරක් තියෙන පාර්සලයක් එංගලන්තයේ ඉන්න පුතාට දුවට යවන්න වැය වෙන්නේ රුපියල් 16.50ක් විතරයි! ඇමරිකාවට මේ පාර්සලය යවන්නත් යන්නේ රුපියල් 27.25ක් විතරයි.

විනිමය අනුපාත

මේ පින්තුරය බලන්න. ඩොලර් එකක් රුපියල් 6කට අඩුයි, පවුමක් රුපියල් 14ක් විතර. අද ඒ වගේ අනුපාතයක් තිබුණොත් මිලට ගන්න පුළුවන් දේවල් ගැන හිතලා බලන්නකෝ. දැන් තියෙන ඩොලර් – රුපියල් අනුපාතය මේ වගේ 25 ගුණයකට ලඟයි. පවුම් රුපියල් අනුපාතය 16 ගුණයකට වැඩියි.

දැන් තියෙන ගණන් එක්ක බලනකොට පුදුම හිතෙනවා.

නිවාඩු දවස්

ලංකාව මේ අතින් නම් ඉස්සර ඉඳන්ම තැනක් හිමි කරගෙනයි හිටියේ. ලෝකයේ අනිත් මොන රටක් එක්ක බැලුවත් අපි ජීවත් වෙන්නේ අමුතුම කැලැන්ඩර් එකකට අනුවයි. නිවාඩු දවස් අතින් ගත්තාම ලංකාවේ විදිහට නිවාඩු දින තියෙන රටක් හොයා ගන්න හරිම අමාරුයි. විශේෂයෙන්ම සති අන්තයේ දවස් දෙකක් නිවාඩු කියන දේ ගැන ලංකාවේ ලොකු පිලි ගැනීමක් තිබුනේ නැහැ. (මේක කිව්වාම පුදුම හිතුණද? ටිකක් දිගට කියවලා බලන්නකෝ. ඒකට හරි යන්න නිවාඩු ලැබෙන ක්‍රමයක් තිබුණා)

අමුතු නිවාඩු ක්‍රමයක් තමයි ඒකාලේ පැවතුනේ.

බැංකු නිලධාරීන්ට නම් මේක හරිම ප්‍රශ්නයක් වුනා අනිත් රටවල් එක්ක ගනුදෙනු කරද්දී. මොකද ලංකාවේ සෙනසුරාදා කියන්නෙත් සම්පූර්ණ වැඩ කරන දිනයක්. වෙනත් රටවල් වල කට්ටිය සෙනසුරාදාට පාටි දැම්මත් අපේ රටේ අය කවදත් සෙනසුරාදට වැඩට ගිහින් තියනවා.

ලංකාව කියලා අපිට නම ලැබුණේ 1972දි, ඒ වගේම ශ්‍රී ලංකාව කියන නම ලැබුණේ 1978දි. ඉතින් ලංකාව අපි මේ කතා කරන කාලයේ තිබුණේ සිලෝන් හැටියටයි. සිලෝන් රටේ කාටත් නිවාඩු දෙන දවස් 16ක් තිබුණ බව මේ රූපයෙන් පේනවා. ජනවාරි 1 වැනිදා තිබුණු ජාතික වීර දිනය, පෙබරවාරි 4 යෙදිලා තිබුණු නිදහස් දිනය සහ නත්තල වගේ නිවාඩු මේකට ඇතුළත් වුණා. මේවා වැඩි හරියක් තවමත් අපේ කැලැන්ඩර් එකේ තියෙනවා.

කොහොම වුණත් පෝය නිවාඩු වලට වෙනමම අවධානයක් හිමි වෙලා තිබුණා මේ දවස් වල. ඒ වගේම දැන් තියෙන ක්‍රමයට මාසෙකට එක දවසක් පෝය නිවාඩු ලැබුණත් 1969දී හතර පෝයටම නිවාඩු දීල තිබුණා. වැඩි දෙනෙක් මේ ගැන ඇත්තටම දැනුමක් නැහැ. දැන් අපිට නිවාඩු දෙන්නේ පුර පසළොස්වක හඳ තියෙන දවස් වලට විතරනේ. ඒ කාලේ පුර අටවක, පසළොස්වක, අව අටවක සහ අමාවක කියන පෝය හතරටම නිවාඩු ලැබුණා. ඉතින් බලාගෙන ගියාම සෙනසුරාදා වැඩ කරන එකත් ලොකු අමාරුවක් නැහැ නේද?

මේ බලන්නකෝ පෝය නිවාඩු ටික.

වෙනත් දේවල්

අපි මේ කියපු දේවල් වගේම කාව වුණත් පුදුමයට පත් කරවන දේවල් බොහොමයක් මේ ඩයරි එකේ තිබුණා. මෙන්න එයින් කිහිපයක්.

  • විදුලි පණිවුඩ වල මිල. ඉස්සර කාලේ දුර පළාත් වලට හදිස්සි පණිවිඩ යැව්වේ මේ ක්‍රමයටයි. මේකට අය කරපු මිල සත 20ක ඉඳන් රුපියල් 25ක් දක්වා වෙනස් වෙනවා.
  • මනින ඒකක. – ඒ කාලේ ලංකාව වැඩිපුර භාවිත කරේ බ්‍රිතාන්‍ය ක්‍රමය. (අඩි, අඟල්, රාත්තල්, අවුන්ස, හැතැප්ම එහෙම) දැන් නම් හැම දෙයක්ම මෙට්‍රික් ක්‍රමයටයි පාවිච්චි වෙන්නේ.
  • ලියාපදිංචි ගාස්තු – ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න අරන් තියෙන්නේ රුපියල් 5යි! දැන් කොහොමද?

මුද්දර ගාස්තු.

ආදායම් බද්ද ගැන වගුව බැලුවම පේනවා ආදායම රුපියල් 4500ට වඩා අඩුයි නම් ඒ කවුරුත් ආදායම් බද්දෙන් නිදහස් බව.

ආදායම් බදු පිලිබඳ විස්තර.

මේ ඩයරි එකේ තිබුණා ඔබේ වගාව කෘමි සහ වල් පැළ උවදුරු වලින් ආරක්ෂා කර ගන්න විදි ගැනත්. මේ ගැන බොහොම පුළුල් වගුවක් දකින්න ලැබෙනවා. ඕනෑම වැදගත් උවදුරකට හොඳම බෙහෙත් මේකෙන් පහසුවෙන් හොයා ගන්න පුළුවන්. මේකට පාවිච්චි වුණු භාෂාවත් හරිම අපුරුයි: මේවා හඳුන්වලා තිබුණේ “Injurious organisms and weeds” හෙවත් “හානිදායක ජීවින් සහ වැල් වර්ග” කියලයි.

ඒ වගේම ඩයරි එකේ තිබුණ දැන්වීම් කිහිපයකුත් අපි මෙතන ඇතුළත් කරලා තියෙනවා. ඒ කාලේ තිබුණු සරල වගේම ඍජු දැන්වීම්කරණය දකින්නත් සතුටුයි. දැන් වගේ වැල්වටාරම් කියවන්නේවත්, අනෙත් අයට මඩ ගහන්නෙත් නැතිව බොහොම වැදගත් විදිහට දැන්වීමක අවශ්‍යතාව ඉටු කරගෙන තියනවා.

පළමු උදාහරණය.

දෙවන උදාහරණය.

ලංකාව ගැනත්, ලෝකය ගැනත් ලොකු දැනුමක් ලබා ගන්න පුළුවන් මේ වගේ පැරණි දේවල් කියවලා බැලුවාම. ඒක ඇත්තටම බොහොම සුන්දර කාලයක්. ඒ කාලේ තිබුණු දියුණුව පවත්වා ගන්න බැරි වුණු එක ගැනත් අපිට ලොකු කනගාටුවක් දැනෙනවා. හැබැයි අපේම රට කවදා හරි මේ තරම් සුන්දරව තිබුණා කියලා දැනගෙන ලබා ගන්න සතුට බොහොම උසස්. මේ ලිපිය කියවලා ඔබටත් ඒ වගේ පැරණි දේවල් කියවන්න ආසාවක් ඇති වෙන්න ඇති කියලා විශ්වාස කරනවා.

කවරයේ පින්තුරය: Bruce Thomas/ බ්රූස් තෝමස්