“ගෙදර තරම් තැනක් වෙන කොහේවත් නෑ”

තමන්ගේ නිවසින් පිට, රටින් පිට ජීවත් වන බොහොමයක් දෙනා කියන කතාවක් මේ. උසස් අධ්‍යාපනය ලැබීම, ‍රැකියාවක නිරතවීම ආදී විවිධාකාර හේතු නිසා වසරකට දහස් ගණනක් ශ්‍රී ලාංකිකයින් තමන්ගේ මව් රට අතහැර විදේශ ගත වනවා. නුපුරුදු රටවල, නුහුරු සමාජයක් මැද මාස ගණන අවුරුදු ගණන් ජීවත් වෙනකොට, තමන්ගේ උපන් රට ගැන සාංකාවක් හැදෙන්නෙ නැත්තෙ කාටද?

මේ සාංකාව පුද්ගලයා අනුව වෙනස් විය හැකි වුණත්, ලංකාවෙන් එපිට වාසය කරන බොහොමයක් දෙනා පොදුවේ තමන්ට ‘නැතිවම බැරි’, එහෙමත් නැතිනම්, ‘මෙහෙත් තිබුණා නම් කොච්චර හොඳද’  යැයි කියන දේ කීපයක් ගැන ලියන්න කල්පනා කළේ ඒ නිසායි.

පරිප්පු

පරිප්පු! හම්මේ ඉතින්… (islandsmile.org)

පරිප්පු! ලංකාවෙදි පරිප්පු නැතිව එක වේලක්වත් ගෙවාගන්න අපහසු අපට, පරිප්පු නැති රටක අවුරුදු කීපයක් ගෙවන එක කොතරම් අමාරුද කියලා හිතන එකත් ඇ‍ඟේ හිරිගඩු පිපෙන වැඩක්. කිරට උයපු පරිප්පු, පරිප්පු තෙල් දාලා, හොදි නැතිව උයපු පරිප්පු, නිවිති දාපු පරිප්පු, අල එක්ක උයපු පරිප්පු.. හම්මේ තවත් කී විදියකට පරිප්පු උයන්න පුළුවන් ද නේද? පානුයි පරිප්පුයි? මාසයක් වුණත් කන්න පුළුවන්.

පිටරටක ජීවත් වෙනකොට ලංකාවෙදි අම්මා පරිප්පු උයලා, පොල් සම්බෝලෙකුයි, කට්ට කරවල බැදුමකුයි, තම්බපු බිත්තරේකුයි එක්ක අතට ගෙනැත් දෙන බත් පිඟාන මතක් වෙනවා තරම් තවත් හිත් වේදනාවක් තවත් නෑ. ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය වගෙ බොහොමයක් ආසියාතික රටවල් පරිප්පු ආහාරයට ගන්නවා තමයි. නමුත් ලංකාවෙ පරිප්පු හොද්දට ගහන්න ඒ ඉන්දියන් හොදි වලට බැහැ!

එහෙම නේද?

කටට සැරට කෑම

අල නැතත්, ලූණු ටිකක් තෙල් දාලා ගත්තා නම්… (recipehubs.com)

ශ්‍රී ලංකික අපි කුළුබඩු රසට, කටට සැරට ආහාර ගන්න කැමති ජාතියක්. නමුත් බොහොමයක් යුරෝපීය රටවල පමණක් නොවෙයි, බහුතරයක් ආසියාතික රටවලත් මේ සිරිත නැහැ. බොහොමයක් කුළුබඩු භාවිතා කරන ඉන්දියානු උපමහද්වීපයේ ආහාර වර්ගවල පවා මිරිස් සැර බොහොම අඩුයි. යුරෝපීයයන් කටට සැර ආහාර නොකන තරම්. නිවාඩුවට ලංකාවට ඇවිත් යන බොහොමයක් ශ්‍රී ලාංකිකයින් සීනි සම්බෝල, ලුණු මිරිස්, අච්චාරු බෝතල් පිටින් අරගෙන යන්නෙ මෙන්න මේ නිසා.

නිවාඩු දවස්

පුළුවන් නම් නිවාඩු තුනක්වත් නැති එක මාසයක් පෙන්නන්න! (holidaystracker.com)

නිවාඩු දවස්? ඔව්, නිවාඩු දවස්. ලංකාවෙ වාසය කරන අපට මේ නිවාඩු දවස් කොතරම් විශේෂද යන්න තවම වැටහිලා නැති වෙන්න පුළුවන්. නමුත් විදේශයක වාසය කරන ශ්‍රී ලංකිකයෙක් නම් මේවායේ වටිනාකම හොඳට දන්නවා. ලාංකික අපි ලෝකෙන්ම වැඩිම නිවාඩු ගණනක් භුක්ති විඳින රටක්.

විවිධාකර හේතු නිසා නිවාඩු දෙකක්වත් නැති මාසයක් තිබෙන්නේ හරිම කලාතුරකින්. අඩුම තරමින් මසකට වරක් පෝය නිවාඩුවක් හෝ ලැබෙනවාමයි. විදේශීය රටක වාසයට ගියොත් නම් ඔබට අවුරුද්දටම ලැබෙනවා ඇත්තෙ මෙවැනි පොදු නිවාඩු දවස් හතරක් වැනි ප්‍රමාණයක් පමණයි. ලංකාවෙ දි පෝය නිවාඩුව එනකල් ඇඟිලි ගැන ගැන ඉන්න අපට, පිට රටක ජීවත් වෙන්න වුණොත් කොහොමට තියෙයිද?

බිඩේ ශවර්

ඔව්. මෙන්න මේක. (ourstorybooks.blogspot.com)

මෙන්න මේක නම් හරිම බරපතල ප්‍රශ්නයක්. බිඩේ ශවර්, ඒ කිව්වෙ, අර කතාවට අපි ‘හෑන්ඩ් ශවර්’ එක කියලා කියන උපකරණය (ටොයිලට් එකක ළඟින්ම සවිකරලා තියෙන්නෙ?) ඇමරිකාවේ හෝ බහුතරයක් යුරෝපීය රටවල නම් සොයාගන්න ලැබෙන්නෙ නැහැ. ඔවුන් බොහොමයක් දෙනා සනීපාරක්ෂක පිරිසිදු කිරීම් වලට භාවිතා කරන්නෙ ටිෂූ කඩදාසි මිස ජලය නොවන නිසා, ලංකාවෙන් එවැනි රටකට යන ශ්‍රී ලාංකිකයො බොහොමයක් දෙනා සැහෙන්න අපහසුතාවයට පත්වෙනවා. හිතේ හැටියට ජලය භාවිතා කරන ඔබට, තමන් මේ දැන් භාවිතා කළ වැසිකිළියේ බිඩේ ශවර් එකක් නෑ කියලා හොයාගන්න වුණොත්? හිත හදාගන්න. ලංකාවෙන් පිට බොහොමයක් ශ්‍රී ලාංකිකයින් එක් වරක්වත් මුහුණ පා ඇති අත්දැකීමකුයි ඒ.

උත්සව සීසන්

පැටලිලා වැ‍ටුණොත් නම් ඉතින් නහයක් අලුතෙන් දාන්න වෙනවා. (Getty Images)

අලුත් අවුරුදු, තෛපොංගල්, රාමසාන්, වෙසක්, පොසොන්, ඇසළ, නත්තල්… ශ්‍රී ලාංකික අප කෙතරම් උත්සව සමරන්න හුරු වෙලා ඉන්නවා ද? බහුවාර්ගික, බහු ආගමික රටක ජීවත්වන අපි, සිංහල නොවුණත් අවුරුදු සමරන්න, බෞද්ධ නොවුණත් තොරණ බලන්න යන්න, ක‍තෝලික නොවුණත් නත්තල් සමරන්න හුරු වෙලා සිටින ජාතියක්. විවිධාකාර වූ රස කැවිලි වර්ග, අලුත් ඇඳුම් පැළඳුම්, නෑගම් යෑම්, සැණකෙළි, තොරණ, පෙරහැර ආදී බොහොමයක් අංගයන්ගෙන් පිරිපුන්, ඉතාම වර්ණවත් සහ විනෝදජනක මෙම උත්සව සමයන් ලාංකික අප ඉතාමත්ම සතුටෙන් සමරනවා.

ඉතින් පිට රටකට යන ඔබට අහිමි වෙන්නෙ අවුරුද්ද පුරාම තිබෙන නිවාඩු දවස් සහ රස කෑම වර්ග පමණක්ම නෙවෙයි.

සිගරට් එකයි ප්ලේන්ටියයි

පෙට්ටි කඩේකට, ටකරන් හෝටලේකට ගිහින් ‘සිගරට් එකයි ප්ලේන්ටියයි ගහන්න’ හුරු වෙලා ඉන්න පිරිසක් ලංකාවෙ ඕනෑම අස්සකින් මුල්ලකින් සොයාගන්න පුළුවන් වෙයි. ඒ වින්දනය හෝ ‘පහසුකම’ ඔබට පිට රටක දී ලබන්න බැහැ. ලංකාවෙ දි වගේ සිගරට් එකක්, ඇල්පෙනෙති කීපයක්, ඉටිපන්දමක් දෙකක්, හාෆ්ශීට් කොළ පහක් සිල්ලරට ගන්න පිට රටක දී නම් පුළුවන් වෙන්න තිබෙන ඉඩකඩ ඉතාමත්ම අඩුයි. ඔබට එකක් ඕනෙ නම් පැකට් එකක්ම හෝ බන්ඩලයක්ම ගන්න වෙනවා.

ත්‍රීවීලර්

ඕනෑම හදිස්සි ගමනකට සූදානම් වෙලා පාරට බැස්සොත් විනාඩි කීපයක් ඇතුලත් ත්‍රීවීලරයක් නවත්වාගෙන අපේ ගමන යන්න පුළුවන්. ගමන යන්න පරක්කු බව ත්‍රීවිල් අයියාට/ අංකල්ට කිව්වොත්, මොන බාධකයක් හෝ හරහා වෙට්‍ටු දමාගෙන හැකි ඉක්මනින් අපව ගමනාන්තයට ගෙන යන්න ඔවුන් උත්සාහ කරනවා. බස් නැති වෙලාවට, බස් වල සෙනඟ වැඩි වෙලාවට, පයින් යන්න කම්මැලි හිතෙන වෙලාවට, සැපට යන්න ආස හිතෙන වෙලාවට, එහෙමත් නැත්නම් තදින් වහින වෙලාවක අපි කවුරුත් පළමුවෙන්ම කතා කරන්නෙ ත්‍රී වීලර් එකකට (හෝ නැනෝ කැබ් එකකට).

ත්‍රීවීලර් වල වටිනාකම අපට නොදැනුනාට පිට රටක වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට නම් තදට දැනෙන බව කියන්න ඕනෙ. බොහොමයක් ආසියාතික සහ යුරෝපීය රටවල කැබ් සේවයන් මිළ අධිකයි. ඇතැම්විට අප ත්‍රීවීලරයකට ගෙවන මුදල මෙන් කීප ගුණයක් ගෙවීමට සිදුවන්න පුළුවන්. මේ නිසා අධ්‍යාපනය ලැබීම සඳහා විදේශගත වන බහුතරයක් ශිෂ්‍යයින්ගේ එකම පිහිට පොදු ප්‍රවාහන සේවය පමණයි.

ශෝටීට්ස්, කොත්තු, රොටී

මේවට වඩා රසයි කූණිස්සො වඩේ. (Pinterest)

මේ ලිපිය ලියන මම නම් පාර අයිනෙ කඩචෝරු කරත්තෙකින් සමෝසා, වඩේ වගේ කෑම වර්ග කන්න, පෙට්ටි කඩ වලින් රොටී වගේ කෑම කන්න හරිම කැමතියි. සෞඛ්‍යාරක්ෂිත බව කොහොම වුණත්, ලොකු රෙස්ටරෝන්ට් එකකින් කන කෑම එකකට වඩා, පාර අයිනෙ තැනකින් කන කෑම එකේ රසයක් සහ මානසික වින්දනයක් ලැබෙනවා.

හවසක වැඩ ඇරිලා ගෙදර එන අතරෙ ‘ටේස් කඩල’ කකා එන එකේ කොච්චර විනෝදයක් තියෙනව ද? ක්ලාස් එකක, එහෙමත් නැත්නම් කැම්පස් එකේ ලෙක්චර්ස් අතරෙ පොඩි හෝටලේකට රිංගලා ‘ශෝටීස්’ කාලා බඩගින්න නිවාගෙන නැති කෙනෙක් මේ ලිපිය කියවන්නන් අතරෙ ඉන්න විදියක් නෑ. අජිනමෝටෝ දාන බව දැන දැනත් කොත්තු රොටි, ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස් වගෙ කෑම අපි කන්නෙ ආසාවෙන්. ලංකාවෙන් විදේශයකට යන ඔබට අහිවි වන තවත් එක් ‘විනෝදයක්’ තමයි මේ. බොහොමයක් රටවල ‘ස්ට්‍රීට් ෆූඩ්’ සංස්කෘතියක් තිබුණත්, ලංකාවෙ ස්ට්‍රීට් ෆූඩ් වලට ගහන්න නම් ඒවට බැහැ!

ඔබ සමහරෙක් විදේශයක වාසය කරන්නන් වෙන්න පුළුවන්. තවත් සමහරෙක් බොහොමයක් කල් විදේශගතව සිටියා වෙන්නත් පුළුවන්. නුපුරුදු සංස්කෘතියකට හැඩගැහෙන්නට උත්සාහ කළ ඔබට ලංකාව ගැන පාළුවක් අනිවාර්යයෙන්ම දැනෙන්නට ඇති. මෙවැනි ‘නැතුවම බැරි’ ලිස්ට් එකක් ඔබටත් තිබුණා ද? පහතින් කමෙන්ට් කරලා අපට කියන්න.

කවරයේ පින්තුරය: mytourorganizer.com