Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බණ්ඩාරනායක පවුලට නිවස වූ ටින්ටජෙල් මන්දිරය

කොළඹ 7, එසේ නැත්නම් කුරුඳුවත්ත, පිළිබඳව අසන විට සුඛෝපභෝගි ජීවිත ගත කරන ධනවත් පන්තියේ ජනතාව ජීවත්වන ප්‍රදේශයක් බව ඔබට නිතැතින්ම සිහිවනු නොඅනුමාන යි. සැබැවින්ම මේ ප්‍රදේශයේ දක්නට ලැබෙන නිවාස බොහොමයක් ප්‍රභූ පැළැන්තියේ පවුල්වලට අයත්. ඉන් සමහරක් මේ වන විට කඩා බිඳ දමා, ඒ වෙනුවට නවීන පන්නයේ නිවාස ඉදිකර තිබෙන අතර, තවත් සමහරක් සංචාරක හෝටල් සහ වෙනත් ව්‍යාපාර කටයුතු වෙනුවෙන් බදු දී හෝ අලෙවි කර තිබෙනවා. 

මේ ලිපිය ලියැවෙන්නේ කොළඹ 7 රොස්මිඩ් පෙදෙසේ පිහිටි ශ්‍රී ලංකාවේ සුවිශේෂී දේශපාලන පවුලකට අයත් එවැනි නිවසක් පිළිබඳව යි.

පිහිටීම

ශ්‍රී ලංකා ජාතික රෝහල අසලින් වෝඩ් පෙදෙස දක්වා දිවෙන මාර්ගයේ ටික දුරක් යන විට, දකුණු පසට දිවෙන විජේරාම මාවත හමු වෙනවා. මේ සුවිශේෂී නිවස පිහිටා තිබෙන්නේ විජේරාම මාවතේ ටික දුරක් යන විට හමුවන “රොස්මිඩ් පෙදෙස” නම් නාම පුවරුව අසලින් වම් පසට හැරුණු විට යි.

ඊට අමතරව කොළඹ නගර ශාලාව අවට පිහිටි දවටගහ පල්ලිය අසලින් දිවෙන රොස්මිඩ් පෙදෙස දක්වා යන මාර්ගය, බොරැල්ල කිංසි පාරේ ටික දුරක් යන විට හමුවන රොස්මිඩ් පෙදෙස මාර්ගය වැනි තවත් මාර්ග කිහිපයක් ඔස්සේ මෙම ස්ථානයට ළඟා විය හැකි යි.

රොස්මිඩ් නිවසේ ඉදිරිපස පෙනුම/paradisehotels.com

කුමක්ද මේ සුවිශේෂී නිවස?

මේ සුවිශේෂී නිවස ප්‍රසිද්ධ වන්නේ මෙරට සිව්වන අග්‍රාමාත්‍යවරයා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක සහ එම පවුලේ සාමාජිකයන් ජීවත් වූ නිවස ලෙස යි. ඔවුන්ට අයත් නිට්ටඹුව ප්‍රදේශයේ පිහිටි හොරගොල්ල බණ්ඩාරනායක වලව්වට අමතරව මෙම නිවසේත් ඔවුන් ජීවත් වුණා. මෙම නිවස අතීතයේ පටන් හැඳින්වුනේ “ටින්ටජෙල්”, එසේත් නැත්නම් “රොස්මිඩ් නිවෙස” යනුවෙනු යි.

හොරගොල්ල වලව්ව ගැන ලිපියක් මෙතැනින් කියවන්න: ලාංකික දේශපාලකයින් බොහෝ බිහිකළ “හොරගොල්ල වලව්ව”

නිවස ඉදිකිරීම සහ මුල් හිමිකරු

මූලාශ්‍රයයන්ට අනුව මෙම නිවසේ ඉදිකිරීම් කටයුතු අවසන්කර ඇත්තේ 1930 වසරේ දී යි. එකල සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු වූ ලූෂන් ද සිල්වාගේ නිවහන ලෙස ඉදිකෙරුණු මෙය ඔහු විසින් භාවිතා කරනු ලැබුවේ වසර 10ක් වැනි ඉතාමත් කෙටි කාලයක් පමණ යි.

ලංකාව එවකට මහා බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක්ව පැවැතියා. එබැවින් වර්ෂ 1940 දී වරක් මෙම නිවස බ්‍රිතාන්‍ය සොල්දාදුවන් සියයකට නවාතැන් පහසුකම් සැපයීම සඳහා ලබා දීමට වෛද්‍ය. සිල්වාට සිදු වුණා. ඒ අනුව වසරකට ආසන්න කාලයක් තිස්සේ මෙම නිවස බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන්ගේ නවාතැනක් ලෙස භාවිතා කරනු ලැබුවා. නැවැත මෙම නිවස හිමිකරුට භාරදෙන අවස්ථාව වන විට, පෙර ඉතාමත් අලංකාර අන්දමින් ඉදිකර තිබූ නිවස ජරාජීර්ණ වී තිබුණා.

නිවස බණ්ඩාරනායකවරුන්ට හිමි වූ අයුරු

සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලි/National Potraits Gallery

නිට්ටඹුව හොරගොල්ලේ පිහිටි බණ්ඩාරනායක වලව්වේ විසූ සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලිතුමන්ගේ සහ ඩේසි ඇසිලින් ඔබේසේකර මැතිණියගේ පුත්‍රයා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක, එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උසස් අධ්‍යාපනය ලබා නැවැතත් මෙරටට පැමිණ තිබූ අතර 1940 වසරේ දී ඔහුගේ විවාහය සිදු කෙරුණා. මහනුවර රාජ සභාවේ විවිධ තනතුරු දැරූ ප්‍රභූ පරම්පරාවක් වන රත්වත්තේ පරම්පරාවෙන් පැවැත එන බාන්ස් රත්වත්තේ රටේ මහත්මයාගේ (පසුකාලීනව සබරගමුවේ දිසාවේ) දියණිය වූ සිරිමා රත්වත්තේ සමග විවාහ වූ බණ්ඩාරනායක, විවාහයෙන් අනතුරුව කොළඹ ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වුනේ සිය දේශපාලන කටයුතු කරගැනීම සඳහා එය පහසු වීම නිසා යි.

කෙසේ වෙතත් සිය පුත්‍රයා කුලී නිවෙසක ජීවත්වීම පිළිබඳව කණගාටුවට පත්වූ සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලි, නව යුවළට ජීවත් වීම සඳහා සුදුසු නිවෙසක් කොළඹ ප්‍රදේශයෙන් මිළ දී ගැනීමට තීරණය කළා. ඒ අනුව ඔහුට රොස්මිඩ් පෙදෙසේ පිහිටි ටින්ටජෙල් මන්දිරය පිළිබඳව දැනගන්නට ලැබුණු අතර, 1940 දශකයේ මුල් භාගයේ දී ඔහු වෛද්‍ය ලූෂන් ද සිල්වාගෙන් මෙම නිවස රුපියල් 160,000කට මිළ දී ගත්තා.

දේශපාලන ක්ශේත්‍රයේ කැපී පෙනෙන ස්ථානයක් බවට පත්වීම

ටින්ටජෙල් නිවසේ පදිංචියට පැමිණි බණ්ඩාරනායක සිය දේශපාලන කටයුතු සඳහා බොහෝ විට යොදාගත්තේ මෙම නිවස යි. එබැවින් විවිධ තරාතිරම්වලට අයත් දේශපාලඥයන් නිතටම ආගිය ස්ථානයක් බවට මෙම නිවස පත්වුණා. ඔහු විසින් පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීම්, මහජන හමුවීම් ඇතුළු විශේෂ අවස්ථා රැසක් සඳහා මෙම නිවස යොදාගැනුණා. එමෙන්ම පසුකාලීනව ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බවට පත් වූ සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක ද සිය දේශපාලන කටයුතු සඳහා බොහෝ විට යොදාගත්තේ මෙම නිවස යි.

S.W.R.D. බණ්ඩාරනායක මහතා/swrdbandaranaike.lk

 

රොස්මිඩ් නිවස ආශ්‍රිත විශේෂ සිදුවීම්

දේශපාලන ක්ශේත්‍රයේ කැපී පෙනෙන ස්ථානයක් බවට පත් වූ මෙම නිවසේ ඉතාමත් සතුටුදායක මෙන්ම කණගාටුදායක සිදුවීම් සිදුව තිබෙනවා. ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ 1959 සැප්තැම්බර් මස 25 වන දින අග්‍රාමාත්‍ය බණ්ඩාරනායකට වෙඩි තැබූ සිදුවීම යි.

1959 සැප්තැම්බර් මස 25 වන දින උදෑසන බණ්ඩාරනායක ඝාතකයා වූ තල්දූවේ සෝමාරාම නම් භික්ෂුව අගමැති බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා ජීවත් වූ නිවස වෙත පැමිණියා. එදින උදෑසන අගමැති බණ්ඩාරනායක මහජනයා හමුවෙමින් සිටි අතර, උදෑසන 09.45ට පමණ සෝමාරාම භික්ෂුව අගමැතිට වෙඩි තැබුවා. අනතුරුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ද ඊට පසුදින අගමැතිවරයා අභාවප්‍රාප්ත වුණා.

බණ්ඩාරනායක ඝාතනය ගැන මෙතැනින් කියවන්න: සඟ පරපුරටම නිගාකළ තල්දූවේ සෝමාරාම භික්ෂුව

විජය- චන්ද්‍රිකා විවාහය

මෙම නිවසේ සිදු වූ තවත් විශේෂ සිදුවීමක් වන්නේ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ කණිටු දියණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක, මෙරට අග්‍රගණ්‍ය රංගන ශිල්පියෙකු, ගායකයෙකු, සහ දේශපාලඥයෙකු ද වූ විජය කුමාරතුංග සමග අතිනත ගැනීම යි. 1978 වසරේ පෙබරවාරි මස ඔවුන් දෙදෙනාගේ විවාහය සිදු වූ අතර, ඊට දෙපාර්ශවයම නියෝජනය කරමින් සහභාගී වූයේ අමුත්තන් විස්සකට ආසන්න පිරිසක් පමණක් වීම විශේෂත්වයක්.

ඊට අමතරව, මෙම නිවසේ ජීවත් වූ සිරිමාවෝ බණ්ඩාරනායක ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය බවට පත්වීම, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග දෙවරක්ම ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය ලෙස තේරී පත්වීම, සහ අනුර බණ්ඩාරනායක අමාත්‍යවරයෙකු, විපක්ෂ නායකවරයෙකු, සහ කථානායකවරයෙකු ලෙස පත්වීම මෙම නිවසේ ඉතිහාසයට තව තවත් අභිමානයක් එක් කරන ලද සිදුවීම් ලෙස හැඳින්විය හැකියි.

නිවසේ ඇතුළත ඡායාරූපයක්/paradisehotels.com

මෑතකාලීනව මෙම නිවසේ සිදුවූ විශේෂ සිදුවීමක් වන්නේ, 2013 වසරේ දී ශ්‍රී ලංකාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා පැමිණි මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරු (වේල්සයේ කුමරු) සහ ඔහුගේ බිරිඳ, කැමිලා පාකර් (කොන්වෝල් හි ආදිපාදවරිය) මෙරට සිටි කාලය තුළ නවාතැන් ගත්තේ මෙහි වීම යි.

නිවසේ වර්තමාන තත්ත්වය

හිටපු අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක 2000 වසරේ ඔක්තෝබර් 10 වන දින අභාවප්‍රාප්ත වන තුරුම මෙම නිවසේ සහ හොරගොල්ල වලව්වේ ජීවත් වුණා. 2005 වසරේ දී මෙය සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු විසින් බදු පදනම මත ලබාගනු ලැබුණා. වර්තමානයේ දී දේශීය විදේශීය සංචාරකයින් සඳහා නවාතැන් සහ ආහාර පාන පහසුකම් සපයන සංචාරක හෝටලයක් ලෙස මෙය භාවිතා කෙරෙනවා.

Related Articles