අදටත් ගැළපෙන පුරාණ ලංකාවේ පැවති වෙළෙඳ නීති

පසුගිය කාලයේ දී අප රට තුළ ඇතැම් පාරිභෝගික භාණ්ඩ ගණනාවක හිඟයක් පවතින බවට ආරංචි පැතිර ගියා. එනිසා එම පාරිභෝගික භාණ්ඩ ඉතාමත් අධික මිල ගණන්වලට අලෙවි කිරීමට ඇතැම් වෙළෙඳුන් කටයුතු කළා. ඉන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවකට පත්වුණා.

අද වන විට මෙරට වෙළෙඳාම ආශ්‍රිත ව පවතින නීතිරීති තදින් ක්‍රියාත්මක නොවුණත් පුරාණ ලංකාවේ වෙළෙඳ නීතිරීති දැඩි ව ක්‍රියාත්මක වූ බව ඉතිහාසය පවසනවා. එනිසා එකල පාරිභෝගිකයන්ට විශාල සහනයක් සැලසුණා. මේ ඔබට කියන්නට යන්නේ පාරිභෝගිකයන්ට සහනයක් එදා ගෙන දුන් පුරාණ ලංකාවේ වෙළෙඳ නීතිරීති පිළිබඳව යි.

පුරාණ ලංකාවේ දියුණු වෙළෙඳ ක්‍රමයක් පැවතුණා 

ඉන්දියන් සාගරයේ මධ්‍යගත ව පිහිටා තිබෙන ශ්‍රී ලංකාව ඈත අතීතයේ දී ලොව ප්‍රසිද්ධ වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් ව තිබුණා. ඒ, සේද මාර්ගය අප රට ආසන්නයෙන් වැටී තිබුණු නිසා යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එකල බොහෝ විදෙස් වෙළෙන්දන් මෙරට වරායවල් හරහා රටට පැමිණියා. අනුරාධපුර යුගයේ මෙරටට පැමිණ වෙළෙඳාම් කළ විදෙස් වෙළෙඳුන් පිළිබඳ ව මහාවංසයේත් ලියැ වී තිබෙනවා. 

සිතුල්පව්ව කොරවක්ගල ශිලා ලිපි, බෝවත්තගල ශිලා ලිපිය, කදුරුවැව ශිලා ලිපිය, තිරියාය ශිලා ලිපිය වැනි ශිලා ලිපි ද ඊට සාක්ෂ්‍ය දරනවා. කැණීම්වල දී රෝම සහ චීන කාසි හමුවීමත් මෙරටට විදෙස් වෙළෙඳුන් පැමිණි බවට කදිම සාක්ෂ්‍යයක්. ඊට අමතර ව පාහියන්, කොස්මොස්, මෙගස්තනිස් වැනි අයගේ දේශාටන වාර්තාවල ද ලංකාවට විදෙස් වෙළෙඳුන් පැමිණි බව ලියැ වී තිබෙනවා. 

මෙරටින් හමුවුණු පැරණි රෝම කාසි – www.desertcart.lk 

 

එකල ලංකාවේ ගොඩවාය, මහාතිත්ථ, ගෝකණ්න, ඌරාතොට, දඹකොළ පටුන, දේව නගර වැනි වරාය ගණනාවක් පිහිටා තිබුණා. එම වරාය හරහා මෙරටට පැමිණි විදෙස් වෙළෙඳුන් විවිධ භාණ්ඩ රට පුරා බෙදා හැරියා. ඒ අනුව බලද්දී පුරාණ ලංකාවේ වඩාත් දියුණු අභ්‍යන්තර වෙළෙඳාමක් පැවතුණා. ඒ බවට උදාහරණ රැසක් මෙරට පැරණි ඉතිහාස මූලාශ්‍රවලින් හමුවනවා.

අප රටේ රජකම් කළ මුල් ම රජතුමා යැයි සැලකෙන විජය රජ දවස තම්මැන්නා නුවර සරු අභ්‍යන්තර වෙළෙඳාමක් තිබුණු බව දීපවංසයේ ලියැවී තිබෙනවා. සද්ධාතිස්ස රාජ්‍ය සමයේ මිහින්තලයේ පිහිටා තිබුණු විශාල කඩ වීදීයක් පිළිබඳත්, වලගම්බා රාජ්‍ය සමයේ අනුරාධපුරයේ ජීවත් වුණු බලවත් වෙළෙඳ පවුලක් පිළිබඳත්, සිහළවත්ථුපකරණය නම් ග්‍රන්ථයේ දක්වා තිබෙනවා. පසු කලෙක ලියවුණු බොහෝ ග්‍රන්ථවල ද මෙරට වෙළෙඳාම් කටයුතු සිදුවුණු ආකාරය පිළිබඳ ව යම් යම් කරුණු සඳහන් ව තිබෙන නිසා පුරාණ ලංකාවේ දියුණු වෙළෙඳ ක්‍රමයක් පැවති බව පිළිගත හැකි කාරණයක්.

එදාත් අද වගේම වංචනික වෙළෙඳුන් සිටියා    

අද මෙන්ම එදාත් අප රටේ වංචනික වෙළෙඳුන් සිටි බව පැරණි ඉතිහාස මූලාශ්‍ර හැදෑරීමේ දී පෙනී යන කරුණක්. අනුරාධපුර යුගයේ අග භාගයේ රජකම් කළ 4 වන උදය රජතුමාට අයත් බදුලු ටැම් ලිපියේ පුරාණ ලංකාවේ සිටි වංචනික වෙළෙඳුන් පිළිබඳ ව කරුණු කාරණා ඇතුළත් ව තිබෙනවා. එකල සිටි බොහෝ වෙළෙඳුන් තරාදි පඩි භාවිතයෙන් කිරුම් මිනුම් කරද්දී වංචනික ක්‍රියාවල නිරත වුණා.

එහි දී ඔවුන් ව්‍යාජ ලෙස සකස් කළ පඩිවලින් කිරුම් මිනුම් කටයුතු කිරීම හේතුවෙන් පාරිභෝගිකයන්ට පාඩු සිදුවුණා. එදා වංචා සහගත ආයුරින් ධනවතුන්ට රන් බඳුන් විකිණූ වෙළෙඳුන් පිරිසක් සිටි බව පැරණි ඉතිහාස ලේඛනවල ලියැවී තිබෙනවා. එහි දී එම වෙළෙන්ඳන් ධනවතුන්ව රවටා ඇත්තේ පහත සඳහන් ආකාරයට යි. 

“එම වෙළෙන්ඳන් මුලින්ම නියම රත්තරන් යොදාගෙන රන් බඳුනක් පිළියෙළ කර ගත්තා. ඉන් පසුව කිසිදු  වටිනාකමක් නැති ලෝහයකින් සාදාගත් බඳුන්වලට රන් ආලේප කරමින් තවත් බඳුන් රැසක් පිළියෙළ කරගැනීම සිදුකළා. නියමිත අයුරින් බඳුන් පිළියෙළ කරගැනීමෙන් පසුව ධනවතුන්ගේ නිවෙස්වලට ගිය රන් බඳුන් වෙළෙන්ඳන් මුලින් ම නියම රත්තරන්වලින් සෑදූ බඳුන පෙන්වා ධනවතුන් මුළාවට පත්කළා. එහි දී වංචනික වෙළෙන්දන්ගේ ව්‍යාජ රන් බඳුන්වලට රැවටුණු බොහෝ ධනවතුන් අධික මිල ගණන්වලට කිසිම වටිනාකමක් නැති බඳුන් මිල දී ගත්තා”. 

ඒ අයුරින් විවිධ ආකාරයේ වංචා සිදු කළ වෙළෙන්දන් එකල රටේ බොහෝ ප්‍රදේශවල සිටි නිසා රටේ අභ්‍යන්තර වෙළෙඳ කටයුතු හැසිරවීම සඳහා වෙනම නීති පද්ධතියක් සකස් කර තිබුණා. එම නීතිරීති කඩ කළ උදවියට එකල දැඩි දඬුවම් ලැබුණා.

ඈත අතීතයේ දී වෙළෙඳාම් කළ ආකාරය – Pinterest.com

 

වෙළෙන්ඳුන්ට පනවා තිබුණු නීතිරීති 

එදා වෙළෙන්දන් වංචනික ව වෙළෙඳාම් කටයුතු සිදුකරමින් තවත් බොහෝ අකටයුතුකම් කළා. ඒ අතුරින් කැපී පෙනුණේ ප්‍රමිතියකින් තොර ආහාර වර්ග අලෙවිය යි. එසේ ම ආහාර ගබඩා කර තැබීමේ දී ඇතැම් වෙළෙඳුන් පාරිභෝගිකයන් පිළිබඳ ව තැකීමක් කළේ නැහැ. එහි ප්‍රතිඵලයක් වශයෙන් තත්ත්වයෙන් බාල ආහාර වර්ග අලෙවිය සුලබ ව සිදුවුණා. එනිසා පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා දැඩි නීතිරීති පැනවීමට එදා පාලකයන් කටයුතු කළා. එකල සිදුවුණු අභ්‍යන්තර වෙළෙඳාම් කටයුතුවල දී වෙළෙන්දන්ට පනවා තිබුණු නීතිරීති කිහිපයක් බදුලු ටැම් ලිපියෙහි දැක්වෙන ආකාරය යි මේ. 

1) පාරිභෝගිකයාට නොපෙන්වා අලෙවි කරන භාණ්ඩවලට දෙගුණයක් අය බදු ගෙවිය යුතුයි. 

2) භාණ්ඩ අලෙවියේ දී කිරුම් මිනුම් කටයුතු සඳහා අනුමත කළ තරාඩි පඩි පමණක් භාවිත කළ යුතුයි.

3) වටිනා භාණ්ඩ අලෙවි කිරීමේ දී ඒ සඳහා සුදුසු ස්ථාන භාවිත කළ යුතුයි.

4) සුදුසු ස්ථානවල භාණ්ඩ ගබඩා කළ යුතුයි. 

5) අපිරිසිදු ස්ථානවල තබා ආහාර අලෙවි නොකළ යුතුයි. 

6) වැරදි ආකාරයට අලෙවි කරන භාණ්ඩ, නිලධාරින්ට අසුවුණොත් ඒවා රාජසන්තක කිරීමට ඉඩ දිය යුතුයි.

එදා වෙළෙඳාම සිදුවුණු ආකාරය – pinterest.com/old-ceylon 

වැරදි කළේ වෙළෙන්දන් පමණක් ම නොවෙයි 

එකල වෙළෙඳුන් අතින් සිදුවුණු වැරදිවලට දඬුවම් කිරීමට සහ ඔවුන්ගෙන් අය බදු එකතු කිරීමට නිලධාරින් පිරිසක් පත් කර තිබුණා. එම නිලධාරින් දැරූ තනතුර ‘පදිලද්’ යන නමින් හැඳින්වුණා. සෑම ගමක ම වෙළෙඳ කටයුතු සොයා බැලීම සඳහා එක පදිලද් නිලධාරියකු බැගින් පත් කර  තිබුණා. එම නිලධාරින්ගේ රාජකාරි පිළිබඳ සොයා බැලීම පැවරී තිබුණේ උසස් නිලධාරින් කිහිප දෙනකුගෙන් යුත් මණ්ඩලයකට යි.

එදා ගම්වල වෙළෙඳ කටයුතු පාලනය කිරීම සඳහා යොදවා තිබුණු පදිලද් නිලධාරින්ගෙන් සැලකිය යුතු පිරිසක් වංචනික ක්‍රියාවල නිරත වුණු බවත් ආරංචි යි. ඔවුන් අල්ලස් ලබාගෙන වෙළෙඳුන්ගේ අවශ්‍යතා බොහෝ විට ඉටුකර දුන්නා. තෑගි බෝග ලබා ගෙන වැරදි කළ වෙළෙඳුන්ගේ දඬුවම් ලිහිල් කිරීමට අවශ්‍ය සහායත් ලබා දුන්නා. තවත් සමහර නිලධාරින් වැරදි කළ වෙළෙන්දන්ට දඬුවම් කිරීමෙන් පසු ඔවුන්ගේ පවුල්වලටත් දිගින් දිගට ම හිරිහැර කිරීම සිදු කළා.ඒ විදිහට නිලධාරින් අතින් අකටයුතුකම් රැසක් සිදුවුණු නිසා ඔවුන්ට එරෙහි ව දැඩි නීතිරීති පද්ධතියක් ක්‍රියාත්මක වුණා. බදුලු ටැම් ලිපියෙහි දැක්වෙන එම නීතිරීතිවලින් කිහිපයක් පහතින් දක්වා තිබෙනවා.

1) ගම්වලට අනවසරයෙන් ඇතුළු වී අය බදු නොගත යුතුයි. 

2) අය බදු ලබා ගැනීම ගම තුළ දී පමණක් සිදු කළ යුතුයි. අය බදු ලබාගැනීමට වෙළෙන්ඳන් ගමෙන් පිටතට රැගෙන යාමට කිසිදු අවසරයක් හිමිවන්නේ නැහැ. 

3) උසස් නිලධාරින්ගෙන් සමන්විත මණ්ඩලය නිර්දේශ කළ දඬුවම් පමණක් වෙළෙඳුන්ට ලබා දිය යුතුයි. 

4) යම් වෙළෙන්දකු දඩයකට යටත් කළ විට එය අය කර ගත හැක්කේ ඔහුගෙන් පමණ යි. ඔහුගේ පවුලේ වෙනත්  කිසිදු කෙනෙක්ගෙන් එය අයකර ගැනීමට අවසර හිමි වන්නේ නැහැ.

5) තමන් රාජකාරි කරන ගමේ වෙළෙඳ කටයුතු සොයා බැලීමට යන අවස්ථාවල දී වෙළෙන්දන්ගෙන් විවිධ තෑගි බෝග භාර ගැනීමට අවසරයක් නැහැ.

6) රාජකාරි සඳහා යන පදිලද් නිලධාරින් රාජකාරි කාලය අතරතුර සුරා පානය කිරීමෙන් වැලකිය යුතුයි. 

7)  තමන් රාජකාරි කරන ගමට වෙළෙඳාම් සඳහා පිටින් එන වෙළෙඳුන්ගෙන් කප්පම් නොගත යුතුයි. 

8) රාජකාරි කරන ප්‍රදේශයෙන් බැහැර සිටින වෙළෙඳුන්ගේ කටයුතුවලට බාධා කිරීමට පදිලද් නිලධාරින්ට අවසරයක් නැත.

9) අදාළ රාජකාරි ප්‍රදේශයේ ජීවත් වන වෙළෙන්දකුගෙන් අය බදු ලබාගත හැක්කේ රාජකාරි කරන සීමාව තුළ දී පමණ යි. 

10) රජයෙන් පිනට ලබා දුන් වෙළෙඳ ස්ථානවල වෙළෙඳාම් කරන උදවියගෙන් අය බදු ලබාගන්නට කිසිදු අවසරයක් නැත. 

11) වෙළෙඳුන් සිදුකළ වැරදිවලට දඩ ගැසීමේ දී නියම කර තිබෙන මුදලට වඩා වැඩි මුදලක් අයකරගන්නට අවසරයක් නැත. 

12) යම් වෙළෙන්දකු නීතිවිරෝධී ආකාරයට විකිණූ භාණ්ඩයකට දෙගුණයක් දඩ ගැසීමෙන් පසු ඔහුට වෙනත් කිසිදු ආකාරයේ හිරිහැරයක් නොකළ යුතුයි.

පැරණි වෙළෙඳපොළක දර්ශනයක් (Lankapura)

 

එදා වංචනික වෙළෙඳුන්ට පමණක් නොව දූෂිත නිලධාරින්ට ද එරෙහි ව දැඩි නීතිරීති පද්ධතියක් මේ අයුරින් ක්‍රියාත්මක වුණා. එම නීතිරීති කඩ කළ අයට එකල දැඩි දඬුවම් ලැබුණා. එනිසා වෙළෙඳුන් පමණක් නොව ඔවුන්ගේ කටයුතු පාලනය කළ නිලධාරින් පවා වැරදි කිරීමට බිය වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් පාරිභෝගිකයන්ට පමණක් නොව වෙළෙඳුන්ට ද සහනයක් සැලසුණා. වර්තමානයේ දී වෙළෙඳුන් නිසා පාරිභෝගිකයන් ද, දූෂිත නිලධාරින් නිසා වෙළෙඳුන් ද පීඩාවට පත් ව සිටිනවා.  ඒ නිසා ම පුරාණ ලංකාවේ වෙළෙඳ නීතිරීති අදටත් ඉතා හොඳින් ගැළපෙනවා. 

කවරයේ ඡායාරූපය- පැරණි කඩමණ්ඩියක්- Pinterest.com

මූලාශ්‍ර:

පුරාණ ලංකාවේ වෙළෙඳාම - ජී.ඒ ලෙස්ලි ගාමිණී

අනුරාධපුර ආර්ථික ඉතිහාසය- ආර්.එච් උදේපාල

අනුරාධපුර යුගයේ වෙළෙඳාම- මධ්‍යම සංස්කෘතික අරමුදල

මහාවංසය

 

Related Articles