පසුගිය ලිපියක් තුළින් අප ශ්‍රී ලාංකිකයන් ඈත අතීතයේ මගී ගමනාගමනය සඳහා යොදාගත් ක්‍රම හා විධි පිළිබඳව ඔබව දැනුවත් කළා. අද ලිපිය තුළින් අපි බලාපොරොත්තු වන්නේ අපේ පැරැන්නන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදාගත් ක්‍රම පිළිබඳව පොඩි හොයා බැලීමක් කරන්න.

අද කාලේ වගේම ඉතින් ඒ කාලෙත් භාණ්ඩ ප්‍රවාහනය සෑහෙන දුරට තිබිල තියනවා කියලා ඉතිහාස සාක්ෂි තුළින් ඔප්පු වෙනවා. පැරණි ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහනය පිළිබඳව ඔබත් මිට අමතරව මොනවා හරි දන්නවනම් අපිට කියන්නත් අමතක කරන්න එපා.

ගමන් බිමන් යාමේදී භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ විධි කිහිපයක් පුරාතන ශ්‍රී ලංකාවේ දකින්නට පුළුවන්. නමුත් සාමාන්‍ය ජනතාව බොහෝ විට භාණ්ඩ ගෙන ගියේ මලු වල හෝ පෙට්ටි වල හෝ බහා හිස මත හෝ කරමත තබාගෙනයි. ගමටම අනන්‍ය වූ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයකට උරුමකම් කී සාමාන්‍ය ජනතාවට භාණ්ඩ ප්‍රවාහනය අවශ්‍ය වුයේ ඉතාමත්ම කලාතුරකින්. නමුත් වෙළ-හෙළදාම් කටයුතු වලදී මෙන්ම යුධමය කටයුතු වලදීත් අනතුරුව ඉංග්‍රීසි යටත් විජිත සමයේ සිදු වූ ආර්ථික පෙරළියත් සමඟ භාණ්ඩ ප්‍රවාහනය සීග්‍ර වූ බව පෙනෙනවා.

කද

කදක චිත්‍ර සටහනක්  (dreamstime.com)

කද යනු එකල භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙළදාම් කරුවන් අතර ඉතාමත්ම ජනප්‍රිය වූ උපකරණයක්. අඩි පහක් පමණ දික් වූ ලියක දෙකෙළවර බඩු එල්ලා මිනිසාගේ කරේ තබාගෙන එල්ලාගෙන යාම තුළින් භාන්ඩ ප්‍රවාහනය එකල රජ දවසේ සිදු වූ බවට සාක්ෂි හමු වෙනවා.

හොදින් පිරවූ කදක් බිම නොතබා ගමන් කළ හැකි උපරිම දුර හූ දෙකක දුර බව හර්බර්ට් වයිට් තම කෘතියේ සදහන් කරනවා. හූ දෙකකින් මනින දුර ප්‍රමාණය හෙවත් සැතපුම  නිර්මාණය වුයේ කද බිම නොතබා රැගෙන යා හැකි දුර ප්‍රමාණයෙනි. ඇතැම් ප්‍රදේශ වල මෙය පිල්ලුමක් දුර ලෙසද හදුන්වලා තිබෙනවා.

විදේශීය ආක්‍රමණ හමුවේ උඩරට රාජධානියට ඇතුළු විය හැකි සියලුම කපොලු මුරකාවල් මගින් තර කර ඇති අවස්ථාවන් වල දී රාජධානියට ඇතුළු විය හැකි අවසර පත් ලෙස මුද්‍රා තබන ලද තහඩු පත් භාවිතා කළ බවත් එහි කදක් කර පිට තබාගෙන යන මිනිසෙක් නිරූපිත තහඩු පත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා නිකුත් කළ බවත් රොබට් නොක්ස් එදා හෙළ දිව කෘතියේ සදහන් කරනවා.

උඩරට රාජධානි සමයේ සියලුම උඩරට වී වගා කළ හැකි කුඹුරු වලින් ඒ ඒ අයිතිකාර ගොවීන් වී කඳක් රැගෙන උඩරට මාලිගාවේ රජුගේ ගබඩාවට පැමිණිය යුතු බව රාජ නියෝගයක සඳහන් කර තිබෙනවා.

නව මනාලියක් බැලීමට යන මනමාලයා ප්‍රමුඛ නෑදෑ පිරිස පෙට්ටි වල පුරවාගෙන කද බැදගෙන ගිය බව පුරාවෘත වල සදහන් වෙනවා. සාමාන්‍ය මිනිසුන් හතර පස් දෙනෙකුගේ බරට සමාන බරින් යුත් මේ කදවල් ‘යෙලේදා කද’ ලෙස හදුන්වා තිබෙනවා. යටත් විජිත යුගයේ ආණ්ඩුකාරවරුන් වූ පෙඩ්රික් නොර්ත් හා රොබර්ට් බ්‍රවුන්රි යන ආණ්ඩුකාරවරුන්  රට පුරා කරන ලද සංචාර වලදී ඔවුන්ට අවශ්‍ය සියළුම භාණ්ඩ ප්‍රවාහනය කරන ලද්දේ කදවල් මගිනි.

මහා මාර්ග ඉදි කරන ලද යුගයේ වුවත් කරත්ත වලට අවශ්‍ය ගොනුන් සොයා ගැනීමට නොහැකි වූ අවස්ථා වලදී කෝපි ප්‍රවාහනය කරන ලද්දේ කද උපයෝගී කර ගනිමින්. බ්‍රිතාන්‍ය යටත් යුගයේ මහා මාර්ග ඉදිකරන ලද්දේ ඔවුන්ට අවශ්‍ය ආර්ථිකමය වශයෙන් වැදගත් දිස්ත්‍රික්ක හරහා පමණි. එනම් 1880 පවා ඈත පොලොන්නරුව, මොනරාගල, ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්ක වල ගැමියන් කද භාවිතා කරමින් භාණ්ඩ ප්‍රවාහනය කළ බව සදහන් වෙනවා.

ගැල් නොහොත් බර කරත්ත

ශ්‍රී ලංකාවේ බර කරත්තයක් (lankapura.com)

ඉතා ඈත අතීතයේ පටන් කරත්ත මගින් භාණ්ඩ ප්‍රවාහනය ඉතාමත්ම ජනප්‍රිය ක්‍රමයක් විය. විශේෂයෙන් වෙළදාම් කටයුතු සඳහා ගැල් භාවිතා කළ බව විවිධ මුලාශ්‍ර වල සදහන් වෙනවා. ගැල් වල භාණ්ඩ පුරවාගෙන ගොස් වෙළදාම් කළබව මුලින්ම මහා වංශයේ සදහන් වෙන්නේ දුටු ගැමුණු රජුගේ කාළ වකවානුවේදීය. ගැල් අදිනු ලැබුවේ ගොනුන් හෝ මී හරකුන් විසින්. පොලොන්නරුව ,මිහින්තලේ , නාච්චදුව වැනි ස්ථාන වල පිහිටුවා ඇති ටැම් ලිපි රාශියක මේ බව සදහන් වෙනවා.

එක ගැලකට ගොනුන් දෙදෙනා බැගින් බැඳ ගැල් කිහිපයක් එකිනෙකට ආසන්නව ගමන් කළ බවත් සහල් වී ඇතුළු ධාන්‍ය වර්ග ප්‍රවාහනය සඳහා විශේෂයෙන් ගැල් භාවිතා  කළ බවත් ගැලේ රැගෙන යන ද්‍රව්‍ය අනුව ගොනුන් ප්‍රමාණය වෙනස් වූ බවත් මහාවංශයේ තවදුරටත් සදහන් වෙනවා. එකළ සැටක් නමින්ද මෙම ප්‍රවාහන ක්‍රමය හදුන්වලා තිබෙනවා.

19වන සියවසේ ආරම්භක කාලයේ ඉංග්‍රීසින්ගේ පාලනයට යටත්ව තිබු උඩරට ප්‍රදේශයේ සිට කෝපි, සහල්, පොහොර වැනි වැවිලි ආර්ථිකයට සම්බන්ධ දේවල් ප්‍රවාහනය කරනු ලැබුවේ ගැල් මගින්. වතුකරයේ සිට කොලඹ වරාය දක්වා කෝපි ප්‍රවාහනයත් කොලඹ සිට වතුකරය දක්වා පොහොර, වගාවන්ට අවශ්‍ය උපකරණ මෙන්ම වතු කම්කරුවන්ට අවශ්‍ය හාල්, කරවල, සීනි හා පොල් ප්‍රවාහනය කිරීමට කරත්ත වලට තිබු ඉහළ ඉල්ලුම නිසා එකළ ගැල් යනු ප්‍රසිද්ධම භාණ්ඩ ප්‍රවාහන රථය වුණා.

1845 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ බලපත්‍ර ලැබූ කරත්ත ගණන 5000ක් වුණා. 1847 කොලඹ මහනුවර මාර්ගයේ පමණක් කරත්ත ගමන් වාර 79000 ක් සිදුවිය. බර කරත්තයට පිටු පසින් තවත් ගොනෙකු බැදගෙන ගොස් ඇත්තේ කරත්තය අදින ගොනුන්ට මහන්සි වූ විට ඒ සඳහා යෙදවීමටයි. මෙය තන්ඩලේ ලෙස හදුන්වනු ලබනවා.

දැඩි වර්ෂා සහිත කාල වලදී ගොනුන් දැඩි ලෙස කුර රෝගයන්ට ගොදුරු වූ අවස්ථාවන් බොහෝ නිසාත්, ගොනුන්ට දෙන ආහර වර්ග වල මිල ඉහළ යාමත්, මාර්ගයේ පවතින අධික දුෂ්කරතාවයන් නිසාත්, උස කදු මුදුන් වලදී ගමන් කිරීම අපහසු වීමත් ක්‍රමයෙන් කරත්ත ගාස්තුව ඉහළ යාමට හේතූන් ලෙස දක්වන්න පුළුවන්. කරත්ත නඩත්තුවට විශාල මුදලක් වැය වීම මිනිසුන් ප්‍රවාහනය සඳහා ගැල් භාවිත කිරීමෙන් ඉවත් වීමට හේතු ලෙස දක්වන්නට පුළුවන්.

ඒ වගේම කරත්ත හා සම්බන්ධ ජනකවි රාශියක්ද බිහිවී තියනවා. මේ හැම එකකින්ම පාහේ කියවෙන්නේ කරත්තකරුවන් මෙන්ම කරත්තය අදිනු ලබන ගොනුන් විදිනු ලබන දුක් කම්කටෝලූන්ය.

සමාජගත වූ එවැනි කවි කිහිපයකින් කවි දෙකක් පහත දැක්වෙනවා.

බත් උයලා කා බී අපි සිත්          අයුර

තන කවලා ගොන් දෙන්නට දී  වතුර

නතර වෙලා අද රෑ ගලෙහී       වැතිර

දෙකට මෙයින් පිට වී යමු අපි    මිතුර.

දුප්පත් කමට ගොන් බැදගෙන        දක්වනවා

කන්ට නැතිව දිව රෑ දෙක         වෙහෙසෙනවා

ගොන්ටත් නොයෙක් වධ දී අපි     ගෙනියනවා

දැන්වත් අපිට දෙවියෝ පිහිටක්           වෙනවා.

බර කරත්ත හා බැඳී ප්‍රස්තා පිරුලුත් කිහිපයක් සමාජගත වෙලා තියනවා. ඉන් කිහිපයක් අපිට හොයා ගන්න පුළුවන් වුණා.

“ඒරියා කඳට ගොඩ වුණාම කරත්තකාරයාත් සක්විති රජෙක් වගේලු”

“ගොනාට ඉස්සර වෙලා කරත්තය දුවන්නා වාගේ”

තවලම්

තවලම් ගොනුන් (traveljournals.net)

ගොනුන්ගේ පිට උඩ සමබරව සිටින සේ භාණ්ඩ පැටවූ ගෝනි පටවා ප්‍රවාහනය කිරීම තවලම් නමින් හදුන්වනු ලබනවා. ගෝනිගොන් නමින් හදුන්වන මෙම ක්‍රමයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයක්. මෙසේ ගෝනි පටවන ලද ගොනුන් පෙළක් එක දිගට දක්කාගෙන යාම තුළින් භාණ්ඩ ප්‍රවාහනය අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා පැවතුනා.

ගොන්නුන්ගේ පිටේ බැඳී ගෝනි ඉවත් කර විවේක ගන්නා ස්ථානය තවලම් පොළ ලෙස හැදින්වූ අතර ඒ සඳහා රජයෙන් බද්දක් අය කළ බව අනුරාධපුර යුගයේ සෙල්ලිපි වල සදහන්. බදුල්ල සෙන්කඩගල මාර්ගයේ මෙවැනි තවලම් පොළක් තිබු බව සදහන් වෙනවා.

කන්ද උඩරටට ලුණු සැපයීම සඳහා මුහුදු බද ප්‍රදේශ වල සිට තවලම් ක්‍රියාත්මක වුනු බවත් රජුගේ ගොනුන් දෙදහසකින් යුත් තවලමක් පෘතුග්‍රීසීන් විසින් අල්වා ගත් බවත් විදෙස් ලේඛක රුබේරු තම කෘතියේ සදහන් කරනවා.

යටත් විජිත යුගයේදී මහා මාර්ග ප්‍රතිසංස්කරණය කර දිවයින පුරා ප්‍රවාහන යටිතල පහසුකම් දියුණු කළත් මාදුගොඩ වැනි මාර්ග නොමැති කදු ආශ්‍රිත ප්‍රදේශ වල තවලම් ප්‍රවාහනය නිදහස ලැබෙන විටත් තිබී තියනවා. 1946 වන විට තවලම් අයිතිකරුවෝ 56 දෙනෙක් හා සේවයේ යෙදුනු කම්කරුවන් 61 දෙනෙකු සිටීම එයට සාක්ෂියි.

පසුව යටත් විජිත සමයේ වැවිලි ආර්ථිකය මුල් කරගෙන හදුන්වා දුන් දුම්රිය සේවාව නිසා පැරණි භාණ්ඩ ප්‍රවාහන ක්‍රම හා විධි ක්‍රමයෙන් අභාවයට පත් වෙනවා. කන්ද උඩරට වගා කරන ලද කෝපි හා තේ කොලඹ වරායට ප්‍රවාහනය කිරීමට මෙමගින් ඉතාමත්ම පහසු විය. පසුව මහා මාර්ග වල යටිතල ව්‍යුහ දියුණු වීමත් සමඟ ප්‍රචලිත වූ ලොරි මගින් භාණ්ඩ ප්‍රවාහනය නිසා දුම්රිය සේවාව පාඩු ලබන්නට විය. එයට හේතු වුයේ දුම්රිය ගමන් මාර්ගයට වඩා මහා මාර්ග දුර ප්‍රමාණය අවම වීම හා ලොරි මගින් භාණ්ඩ ප්‍රවාහනය අවශ්‍ය ස්ථානයටම සිදු කරවාගත හැකි වීමත්ය.

මේ ලිපිය ගැන ඔබේ අදහස කුමක්ද? comment එකකින් අපිට කියන්නත් අමතක කරන්න එපා.

කවරයේ පින්තුරය: magazine.lankahelp.com