වාහන පිරුණු පාරවල් දිගේ කලර් ලයිට් වල හිරවුණු බස්, කාර්, ලොරි අස්සෙන් වෙට්ටු දාගෙන මහා හයියෙන් නලාව හඬවමින්, මාර්ග නීති තඹයකට මායිම් නොකර, සමහර වෙලාවට තමන්ට අයිති නැති මංතීරු වල පවා ධාවනය වන අපේ රටේ, අනාරක්ෂිත වුණාට විශාල ජනප්‍රියතාවයක් හිමි මගී ප්‍රවාහන රථ වර්ගය කුමක්දැයි ඔබෙන් කවුරුන් හෝ ඇසුවොත් දෙපාරක් නොසිතා දෙන උත්තරේ තමයි ‘ත්‍රීවිලර් එක’. හරි නේද?

ටක් ටුක්, ආටා, රික්ෂෝ, බජට් ටැක්සි.. විවිධ නගර වල දී මේ නම් වලින් හදුන්වන ත්‍රීවීලරය අපේ රටේ ප්‍රවාහන පද්ධතියට කරන බලපෑම නම් සුළුපටු නෑ. ත්‍රීවීලර වලින් තොර වූ නාගරික ප්‍රවාහන පද්ධතියක් ගැන හිතන්නවත් බැරි තරමට මේ වාහනය අපි කා අතරෙත් ජනප්‍රිය වෙලා අවසානයි. ඉතින් ත්‍රීවිලරය ප්‍රවාහන පද්ධතියට අවශ්‍ය වන්නේ ඇයි? එය ප්‍රවාහනය සඳහා යොදා ගැනීමේ වාසි මොනවාද? අවාසි මොනවාද? මෙය නිසා ප්‍රවාහන පද්ධතිය සම්පූර්ණයෙන්ම අවුල් වෙනවද? එහෙමත් නැතිනම්, ත්‍රීවිලරය අවශ්‍යම නැද්ද? මේක වැඩිදියුණු කරලා මගීන්ට හා ප්‍රවාහන පද්ධතියට උපරිම සේවාවක් දෙන්න පුළුවන් ද? මේ ලිපියෙන් අප බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන්න. ලංකාවට ‘ත්‍රීවීල්’ ඕන කියන අයයි, එක ඇත්තටම හිසරදයක් කියන අයයි මේක කියවලම බලන්නකෝ.

ත්‍රී වීලරය කියන්නේ Para Transit Mode එකක්. ඒ කියන්නේ මගී ප්‍රවාහනයට යොදාගත්තත් මේවට නිශ්චිත ගමන් මාර්ගයක්වත්, ගමනට නිශ්චිත වෙලාවක්වත් නෑ. මුල් කාලයේ දී ත්‍රීවීලරය පාවිච්චි කර තිබෙන්නේ වෙනත් ප්‍රවාහන මාධ්‍යයකට ළඟා වෙන්න. නමුත් අද වන විට තත්ත්වය ගොඩක් වෙනස්. රැකියාවට, පාසලට, වෙළදපොලට යන්න, විශේෂයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා යාමට යොදා ගන්නවා. අපේ රට වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල අනාගතයේ දී ත්‍රීවීලර භාවිතය දෙගුණයක් විතර වෙනවා කියල සමීක්ෂණ වලින් හෙළි වෙලා තියනවා. ඒකට හේතුව වෙන්නේ රටේ වැඩිහිටි ජනගහනය ඉක්මනින් වැඩි වීම.

ත්‍රී විලරය නැතිවම බැරි අවස්ථා

(amillionsmilesmovie.com)

ජනගහනය අඩු ප්‍රදේශ, විශේෂයෙන්ම ජනගහනය අඩු දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ වලට පොදු ප්‍රවාහන සේවය ලැබෙන්නෙ නැති තරම්. ඒ ප්‍රදේශ වල ප්‍රවාහන කටයුතු උදෙසා ත්‍රීවිලරය මහත් පිටිවහලක් වෙනවා.

නිකමට හිතමු, ඔබට ජනාකීර්ණ නගරයක අතුරු පාරක් දිගේ කිලෝමීටර දෙකක් පමණ ඇවිදගෙන යන්න සිද්ධ වෙනවා. පොදු ප්‍රවාහනය කොහොමත් නෑ. ඒ වගේ වෙලාවක ත්‍රී විල් එකක් වෙන ඕනෑම වාහනයක් තරමටම වටිනවා.

හදිසි අවස්ථවන් වල දී වගේම, විශේෂයෙන් රාත්‍රී කාල වල දී නාගරික ප්‍රදේශ වල වුණත් පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වෙන්නේ නෑ. එවැනි වේලාවන් වලට අතේ තියන මුදලට සරිලන වටිනාම ප්‍රවාහන මාධ්‍යයක් නම් ඉතින් ත්‍රීවිල් එක තමයි.

තවත් අවස්ථා වල දී සාමාන්‍ය පොදු ප්‍රවාහනය වෙනුවට ආදේශකයක් විදිහටත් ත්‍රීවීලර් භාවිත කරනවා. ඊට අමතරව, ත්‍රීවීලර් වලම ගමන් කරන මගීන් පිරිසක් උදෙසාම මේවා ක්‍රියාත්මක වෙන අවස්ථාත් තියනවා.

ඕන වේලාවක ඕන තැනකට ක්ෂණිකව

මගීන්ට නම්‍යශීලි වගේම විශ්වාසදායක සේවාවක් ලබාදෙනවා. ඒ වගේම දොරින් දොර සේවාව, ඒ කියන්නේ පොදු ප්‍රවාහන සේවය වගේ නෙවේ, අපිට අවශ්‍ය ස්ථානයටම ගමන් කිරීමේ හැකියාව තිබෙනවා. මොකද මේවාට නිශ්චිත ගමන් මාර්ගයක් නෑනේ. විසි හතර පැය සේවාව ලබාගන්න පුළුවන් ලංකාවේ එකම ප්‍රවාහන සේවය ත්‍රීවීලරය විතරයි. බලන්න මධ්‍යම රාත්‍රියේ පවා ත්‍රීවීලර පාර දිගේ යන අපූරුව.

අවාසිදායක පැතිකඩකුත් තියනවා

(sixinsrilanka.wordpress.com)

ත්‍රීවීලරයක් මිලදී ගැනීමට වැයවන මුදල සාපේක්ෂව අඩු බැවිනුත්, සෑහෙන ආදායමක් උපයාගත හැකි බැවිනුත් බොහෝ දෙනා මේ ත්‍රීවීලර් රියදුරු රස්සාවට හුරු වෙනවා. විශේෂයෙන්ම තරුණයන් අතරේ මෙය විලාසිතාවක් දක්වා පැතිර ගොස් අවසන්. අතට ලැබෙන මුදල ප්‍රමාණය පමණක් ඉලක්කකර ක්‍රියාකරන රියදුරන් නිසා බොහෝවිට ත්‍රීවීලර ප්‍රවාහන සේවයේ ගුණාත්මක භාවය අඩු වී, මගීන්ට අසාධාරනකම් වලට මුහුණ දීමට සිදු වෙනවා. දියුණු රටවල පොදු ප්‍රවාහන සේවයේ මුදලට සමාන මුදලක් para transit වලට වැය වුණත්, අපේ රටේ නම් ත්‍රීවීලර වලට ගෙවන්න ඕන ගාස්තුව තීරණය කරන්නේ ත්‍රීවීලර් රියදුරන් කියලයි අපට හැඟෙන්නෙ. විශේෂයෙන් රාත්‍රී කාලයේ දී ඔවුන් කලුකඩ මුදලාලිලා වගේ. කිසිම සම්මත ගාස්තුවක් නෑ. සමහර විට දවල් ගාස්තුව වගේ හතර ගුණයක් ගෙවන්න වෙන අවස්ථාත් තිබෙනවා. ත්‍රීවීලරය සැලසුම් කරලා තියන ආකාරය කොහොමත් අනාරක්ෂිතයි. අනතුරු වලට ලක්වීමේ අවධානම අනෙකුත් වාහන වලට වඩා වැඩි අගයක් ගන්නවා. පමණට වඩා වැඩි වේගයෙන් ගමන් කිරීම හා නියමිත ගණනට වඩා වැඩිපුර මගීන් පැටවීම එම අනතුරු වලට ලක් විමේ හැකියාව තවත් වැඩි කරනවා.

කොහොමද ටුක්-ටුක් දියුණු කරන්නේ

(worldthruoureyes.com)

ශ්‍රී ලංකාවේ ත්‍රීවීලර මගී ප්‍රවාහනය සදහා වෙන්වූ නීති හා රෙගුලාසි පද්ධතියක් නෑ. එවැනි නීති පද්ධතියක අවශ්‍යතාවය මේ වනවිට මගීන්ට දැනෙමින් පවතිනවා. ගාස්තු සම්බන්ධයෙන් බලනවිට මෙය ඉතා වැදගත්, මොකද සම්මත ගාස්තු ක්‍රමයක් අනිවාර්ය කිරීම මගින් අසාධාරණ ගාස්තු ක්‍රමයෙන් මගීන් නිදහස් කරගත හැකි වෙනවා. දියුණු රටවල පොදු ප්‍රවාහන සේවයේත් මේ para transit වලත් අයකරන ගාස්තුව සමාන අගයක් ගන්නේ රජය මගින් එම රියදුරන්ට ලබාදෙන සහනාධාරය නිසා. ලංකාවටත් එවැනි ක්‍රමවේදයක් අනුගමනය කරන්න පුළුවන් නම් මෙම සේවාව දියුණු කරන්න පුළුවන්. ත්‍රීවීලර ගමනාගමනය වැඩි මාර්ග වල ඒ සඳහා වෙනම ධාවන තීරුවක් වෙන් කිරීමෙන් නගර ආශ්‍රිත තදබදය අඩු කරගන්න පුළුවන්. වාහන තදබදය වැඩි වෙන්න තවත් එක් හේතුවක් තමයි ත්‍රීවීලර ගාල් පාර දෙපස පිහිටා තිබීම. ත්‍රීවිලර ගාල්කිරීම සදහා වෙනම ස්ථාන ලබාදීම මගින් තදබදය අවම කරගැනීමට හැකියාව තිබෙනවා.

තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් නියමිත ප්‍රමිතියෙන් යුතු ටැක්සි මීටර සවි කිරීම හා GPS තාක්ෂණය හරහා ත්‍රීවීලර ජාල ගතකොට මගීන්ට ළඟම ත්‍රීවිලරය හා එය තමා සිටින ස්ථානයට ඒමට ගතවන කාලය, ගමනට වැය වන මුදල හා කාලය අන්තර්ජාලය හරහා දැන ගැනීමේ හැකියාව දක්වා මෙම සේවය දියුණු කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම ත්‍රීවිලරය ලියාපදිංචි කිරීමේ දී එය පරිසර හිතකාමී බව තහවුරු කරගත යුතු වෙනවා. විශේෂයෙන් ත්‍රීවිලර රියදුරන් ලියාපදිංචි කිරීම නව මුහුණුවරකින් සිදුකිරීම යෝග්‍යයි. ඔවුන්ගේ ආකල්ප,මාර්ග නීති දැනුම, හා සේවය සදහා යෝග්‍යතාවය තහවුරු කරගත යුතු වෙනවා. විශේෂයෙන්ම රියදුරන් මගීන් සමග කටයුතු කළ යුතු ආකාරය පුහුණු කිරීම සදහා නිසි ක්‍රමවේදයක් හඳුන්වාදීම අත්‍යවශ්‍ය කරුණක්.

ඉතින් ලංකාවේ මේ තිබෙන ත්‍රීවීලර් ප්‍රවාහන ක්‍රමවේදය හොඳ ද? ලංකාවට ත්‍රීවීලර් අවශ්‍යම නැද්ද? නැතිනම් මෙම පද්ධතිය රටට ගැලපෙන ලෙස වැඩි දියුණු කළ යුතුද? ඔබේ අදහස් අපට කියන්න.

කවරයේ පින්තුරය: isthistoospicy.com