Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම මැයි මස 12 සිට 14 දක්වා කොළඹදී සහ මහනුවරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. මෙය එක්සත් ජාතීන් ගේ 14 වන වෙසක් දින සැමරුම වන අතර ශ්‍රී ලංකාවේදී එය පවත්වනු ලබන්නේ පළමු වතාවටයි.

මැයි මස 12 වනදා ආරම්භක උළෙල කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වනු ලබන අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි එහි ප්‍රධාන ආරාධිතයා වනවා. මැයි 14 වනදා පවත්වනු ලබන සමාප්ති උළෙලෙහි ප්‍රධාන ආරාධිතයා වන්නේ නේපාල ජනාධිපතිණී බිද්‍යා දේවි බන්දාරි මහත්මිය යි.

මෙම කරුණු හෙළි කරනු ලැබුණේ අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී.

මැයි මස 13 වනදා වෙසක් දිනය අළලා ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් පවත්වනු ලබන අතර එදිනම නෙලුම් පොකුණ රඟහලේ දී සංස්කෘතික සංදර්ශනයක් ද පවත්වනු ලබනවා.

මැයි 14 වනදා සමාප්ති උළෙල සඳහා සම්භාවනීය අමුත්තන් ඇතුලු පිරිස පිරිස දුම්රියෙන් මහනුවර බලා යාමට නියමිතයි. එමෙන්ම දළදා මාළිගාවේදී ඔවුන් වෙනුවෙන් විශේෂ ධාතු ප්‍රදර්ශනයක් සහ විශේෂ පෙරහරක් සංවිධානය කර තිබෙනවා.

ඉන්දීය අගමැති මෝඩි ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම යම් ආන්දෝලනාත්මක කරුණක් බවට පත් වූයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජනා වී ඇති එට්කා ගිවිසුම සම්බන්ධව මතුව ඇති විරෝධතා හේතුවෙන්. මෝඩිගේ සංචාරය අතරතුර යම් ගිවිසුමකට එළඹේ යයි රාවයක් ද මේ හේතුවෙන් පැතිර ගියා. නමුත් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම රාවයන් ප්‍රතික්ෂේප කළා. ඔහු සඳහන් කළේ මෝඩි ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ඇත්තේ වෙසක් දින සැමරුමට සහභාගී වීමට පමණක් බවයි.

දියවන්නා වෙසක් කලාපය

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශ සම්බන්ධ කරමින් විශේෂ වෙසක් කලාපයක් වෙසක් උත්සව සැමරුම වෙනුවෙන් සංවිධානය කෙරෙනවා.

වෙසක් පහන් කූඩු (travioor.com)

පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයත්, දියවන්නාවත්, රාජගිරිය පෙදෙසින් පාර්ලිමේන්තුවට පිවිසෙන ප‍්‍රධාන පාලම අසල සිට පාර්ලිමේන්තු පාර, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, අපේ ගම පරිශ‍්‍රය, ජයවර්ධන පුර රෝහළ දක්වා කලාපය එකම වෙසක් කලාපයක් ලෙස කලාප 21 කට වෙන් කර සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෑතදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

දියවන්නා වෙසක් කලාපයෙහි මූලික වෙසක් කලාපය පිහිටා තිබෙන්නේ අපේ ගම පරිශ‍්‍රය පිටුපස ඇති චෝගම් ප‍්‍රදර්ශන භූමිය ලෙස භාවිත කරනු ලැබූ අක්කර 6 ක පමණ වූ භූමි භාගයේ යි. මෙහි රටවල් 10 ක බෞද්ධ සම්ප‍්‍රදායන් නියෝජනය වන ආකාරයේ  බෞද්ධ මධ්‍යස්ථාන 10 ක් ඉදිකෙරෙනවා. ඉන්දියාව, පකිස්ථානය, චීනය, තායිලන්තය,  ජපානය, සිංගප්පූරුව, මියන්මාරය, කාම්බෝජය , මැලේසියාව වැනි රටවල් මෙම කලාපය සඳහා සහභාගී වනවා. ඒ ඒ රටවල විහාරස්ථාන අදාළ වගකීම භාරගෙන එම ප්‍රදර්ශන අංග නිර්මාණය කරන බව රණවක මහතා කියා සිටියා.

මේ අතර දියත උයන පරිශ්‍රයේ ජල ආලෝකකරණ ක්‍රියාවලියක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත වනවා. ප්‍රදේශයේ වෙසක් කූඩු 4,500 ක් ප්‍රදර්ශනය කෙරෙන අතර ඉන් 2,500 ක් පමණ පාවෙන වෙසක් කූඩු වනු ඇති.

තවද, ඇමතිවරයා සඳහන් කරන පරිදි වෙසක් කලාපයේ විශේෂ තොරණ් වර්ග තුනක් මෙහි ප්‍රදර්ශනය කෙරෙනවා. ජල තිරයක් මත ලේසර් කිරන මගින් සිදු කරනු ලබන කි‍්‍රයාදාමය මින් එකක්. දෙවැන්න විශාල තලයක් මතට ඇතිකරන ති‍්‍රමාණ රූප කැටි කරන කි‍්‍රයාවලිය වන අතර තුන්වැන්න සාමාන්‍ය ඩිජිටල් තිරයක ජාතක කතා හයක් ප්‍රදර්ශනය කිරීමයි.

එක්සත් ජාතීන් ගේ වෙසක් දිනය සහ ශ්‍රී ලංකාව

එක්සත් ජාතීන් ගේ සංවිධානය විසින් වෙසක් දිනය අන්තර්ජාතික දිනයක් ලෙස පිළිගන්නා ලද්දේ 1999 දී. ඒ සඳහා විශාල කර්තව්‍යයක් කළ පුද්ගලයා වන්නේ හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් මහතා යි.

ලක්ෂ්මන් කදිරගාමර් මහතා (Getty)

කෙසේ වෙතත් මෙතෙක් කිසිදු අවස්ථාවක එක්සත් ජාතීන් ගේ වෙසක් උත්සවය ශ්‍රී ලංකාවේදී සමරනු ලැබුණේ නැහැ.

මේ හේතුවෙන් මෙවර වෙසක් උළෙල ශ්‍රී ලාංකිකයන්ට විශේෂිත වූ වෙසක් දිනයක් වනු ඇති.

Cover Image: ජගත් ජයසිංහ මහතා විසින් අඳින ලද 2017 එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවයේ නිල ලාංඡනය (unvesak2017.org)

Related Articles