Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අවුරුදු නැකතේ ගුණාගුණ

අවුරුද්ද ගැන අපට මුලින් ම මතක් කරන්නේ කොහාගේ නාදය යි. අවට පරිසරයෙන් නෑසුණත් රූපවාහිනී දැන්වීම්වලින් හෝ කොහා හඬ අදත් අපට ඇසෙනවා. අවුරුදු උදාවෙන් සංකේතවත් කරන්නේ ගැමි සමාජය සොබාදහම සමඟ සමඟ පැවති සම්බන්ධය යි. එකමුතුව වැඩක් කිරීමේ වැදගත්කම මෙන් ම සශ්‍රීකත්වය ගැන හැඟීමක් ඇති කිරීම ද අවුරුදු සිරිත්වල අරමුණක්.

අද බොහෝ පෙදෙස් නාගරික බවට පත් ව තිබුණත් නගරයේ මහල් නිවාසවල පවා අවුරුදු සිරිත් නැකත් අනුගමනය කිරීම නම් දකින්නට පුළුවන්. බොහෝ ගම්වල නම්අකුරට ම අවුරුදු නැකත්  අදත් අනුගමනය කරනවා.

 අවුරුදු පණිවිඩය කියන කොහා – ebird.org

අවුරුද්ද ගැන මත

සිංහල භාෂාවේ ‘අවුර්’ කියන්නේ සූර්යයා හඳුන්වන නමක්. ‘ඉද්ද’ යන්නෙන් ‘සෘජු, කෙළින්’ යන අර්ථය මතු කරනවා. සූර්යයා සෘජුව පිහිටීම ‘අවුරුද්ද’ යන්නෙහි අර්ථය බවට එක්‌ මතයක් පවතිනවා. සිංහල මාස ක්‍රමය අනුව ‘බක්‌’ මාසය ලෙස හැඳින්වන්නේ අවුරුද්ද සමරන ‘අප්‍රේල් මාසය’ යි. එය සිංහල මාස ක්‍රමයේ පළමුවැනි මාසයයි.

මෙම කාලය වන විට කුඹුරුවල අස්‌වනු නෙළා ගෙන අවසන්. වී අටුවල වී පිරිලා. පලතුරු ගස්වල ගෙඩි හට ගෙන‍. කෘෂිකර්මයේ ‘භාග්‍යවන්ත’ යන අර්ථයෙන් තමයි ‘බක්‌ මාසය’ ලෙස හැඳින්වුණේ. රජරට නුවරකලාවියේ අවුරුද්ද හැඳින්වූයේ ‘කෝණ මංගල්ලේ’ කියා යි. ‘කෝණ’ යනුවෙන් පැවසුණේ රාශි චක්‍රයේ ‘කොණ’ හෙවත් අවසාන රාශිය (මීන රාශිය) යි. එසේ ම කෝණම යනු ඇඳුම හැඳින් වූ නාමයක් ලෙසත් සැලකෙනවා.

 අවුරුද්දට නැතුවම බැරි කැවිලි- dinnerstalk.com

නැකත් රාළ

ජ්‍යොතිෂය අනුව පෘථීවිය මේෂ රාශියේ සිට මීන රාශිය දක්‌වා රාශි දොළහක්‌ ගමන් කිරීමෙන් එක් වසරක් නිමාකර අලුත් අවුරුද්දක් උදා වීම සිදුවෙනවා. මෙම සිදුවීම සෑම වසරක ම සිදුවන්නේ අප්‍රේල් 13 – 14 දිනවල යි. සූර්ය උදාව කේන්ද්‍ර කර ගනිමින් අවුරුද්ද පැවැත්වෙන නිසා සූර්ය මංගල්‍යය’ ලෙසත් මේ උළෙල හැඳින්වෙනවා.

අවුරුදු සිරිත්වලට ඇතුළත් නැකත්, චාරිත්‍ර අනුගමනය කිරීමෙන් ජීවිතයට නව නව ජීවයක් ලැබෙන බව ගැමි සමාජය විශ්වාස කළා. අවුරුද්දට පරණ කෝන්තර අමතක කර අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට නැකත්වලින් උදව්වක් ලැබෙන බව සැලකුණා. අවුරුදු නැකත් සකස් කිරීම කළේ නැකත් රාළ යි. එය ‘අවුරුදු සීට්‌ටුව’ හෙවත් ‘නැකැත් සීට්‌ටුව’ වශයෙන් හැඳින්වුණා. පුරාණයේ හැම ගමක ම නැකත් රාළ කෙනෙක් හිටියා. අද නම් අවුරුදු නැකත් සකස් කරන්නේ ජාතික නැකත් කමිටුව යි. ඒ නැකත් ජනාධිපතිවරයාට මුලින් ම පිළිගැන්වූ පසු ජනමාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරනවා.

 නැකතට ලිපි ගිනි මොලවමින්- pinterest.com

අලුත් අවුරුදු නැකත්

අලුත් අවුරුදු උදාවත් සමඟ සෑම කටයුත්තක්ම ආරම්භ කරන්නේ සුබ වේලාවක් අනුවයි. එම සුබ වේලාව තමයි ‘නැකැත් වේලාව’. ‘නැකත’ යන්නේ තේරුම නම් ‘ යහපත් වැඩක් ‌ ඉටු කිරීමට යහපත් වූ සුබ වේලාව යන්නයි’. අලුත් අවුරුද්දක්‌ උදාවීමේ දී ඉටු කරන චාරිත්‍ර ප්‍රධාන කොටස්‌ දෙකකින් යුක්තයි.
ඒ පරණ අවුරුද්ද වෙනුවෙන් ඉටුකරන සිරිත් සහ අලුත් අවුරැද්ද සඳහා ඉටුකරන සිරිත් වශයෙනුයි.

අලුත් අවුරුද්දට සූදානම් වන ගැමියා පරණ අවුරුද්ද අමතක කළේ නැහැ. පරණ අවුරුද්ද වෙනුවෙන් ඉටු කරන චාරිත්‍ර ලෙස නව සඳ බැලීම, කුණු මුත්තා පිදීම, පරණ අවුරුද්ද සඳහා ස්‌නානය යනාදිය දැක්‌විය හැකි ය.

අලුත් අවුරුදු සිරිත්

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශිය වෙත ගමන් කිරීමෙන් අනතුරු ව තමයි අලුත් අවුරුදු දිනය උදාවන්නේ. ඒ කාලය ලබන දිනයේ නැකතට අනුව එදිනෙදා කටයුතු කිහිපයක් ඉටුකිරීම පුරාණයේ පටන් දකින්න ලැබෙන සිරිතක්. නොනගත කාලය, ආහාර පිසීම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා හිසතෙල් ගෑම, රැකී රක්‍ෂා සඳහා පිටත්ව යාම එම නැකතට කරන කටයුතුයි.

 පිංදහම් කළ පුණ්‍ය කාලය-subasetha.lk

නොනගතයට බියවූ ගැමියා

සිංහල අවුරුද්දෙන් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට නම් නැකත්වලට පෙරාතු ව යෙදෙන නැකත් නැති කාලය ලෙස හඳුන්වන ‘නොනගත කාලය’ ද හොඳින් ගත කළ යුතු වෙනවා. එයට හේතුව ලෙස ජ්‍යොතිශයේ සඳහන් වන්නේ සූර්යාගේ කිරණ නොනගත කාලයේ දී නිසි ලෙස පතිත නොවන බව යි. මේ නිසා හිරු මීන රාශියෙන් මේෂ රාශියට ප්‍රවිෂ්ට වීමේ හෝරාව නැකත් නැති කාලයක් ලෙස සලකනවා. නොනගතය යනු පරණ අවුරුද්දටත් නැති, අලුත් අවුරුද්දටත් නැති කාල පරිච්ඡේදයක් නිසා ‘දෙකට ම නැති’ ඒ කාල පරිච්ඡේදය කෙරේ විමතියක් හා බියක් පැරණි ගැමි සිංහලයා තුළ පැවතුණා. මේ කාලයේදී කිසිදු සුබ වැඩක් නොකළේ ඒ නිසයි.

ජනසම්මත පුරාණ සිරිත වුණේ ‘නැකතක් නැති නොනගත කාලයේදී’ පුණ්‍ය කටයුතුවල පමණක් නිරත විය යුතු බව යි. ඒ නිසා ඒ සිරිත පුණ්‍ය කාලය ලෙසින් ද හැඳින්වුණා. පන්සල්වලට ගොස් පිංදහම්වල යෙදීම තමයි ඒ කාලයේදී කළේ. දරුවන් නම් කෙළි සෙල්ලම් කිරීම සිදු කළා. ආහාර පිසීම හෝ ආහාර ගැනීම පවා මේ කාලයේ දී කළේ නැහැ. අද නම් වැඩිදෙනෙක් නොනගතය කියා සලකන්නේ නැහැ.

 නැකතට සිරිත් කරමින්- budusarana.lk

ළිප් ගිනි දැල්වීම හා ආහාර පිසීම

අලුත් අවුරුද්දේ නොනගතය උදාවීමට පෙර ළිපේ අළු ඉවත් කර ළිප සුද්ද කර එහි ගිනි නිවා දැමීම සිරිතක්. නැකැත් සීට්‌ටුව අනුව සිංහල අලුත් අවුරුද්දේ පළමු ව ඉටු කරන සිරිත වන්නේ ළිප ගිනි දැල්වීම යි. ඇද ගෑස් ලිප් භාවිත කරන නිවෙස්වල පවා සාලය මැද දර ළිපක් පත්තු කර කිරි ඉතිරවීම දකින්නට ලැබෙනවා. එසේ නැත්නම් නැකතට කිරිබත් පිසිනවා.

 අවුරුද්දට පිසින කිරිබත – dinnerstalk.com

වැඩ ඇල්ලීම ආහාර අනුභවය

මේ නැකත වැඩ ඇල්ලීම, ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීම ලෙස යි සඳහන් ව ඇත්තේ. අවුරුදු කෑම මේසයේ සකස්‌ වන සෑම කැවිලි වර්ගයකින් ම වෙන් කරගත් කොටසක්‌ බුදුන් වහන්සේට පූජා කිරීමත්, දෙවියන් සඳහා නිවස ඉදිරියේ පහන් දැල්වූ මල්පැලේ වෙන්කර තැබීමත් සිදුකරනවාඑය අවුරුදු චාරිත්‍ර අතර ප්‍රධාන සිරිත ලෙස සැලකෙනවා.

මුලින් ම නැකතට ආහාර ගැනීමෙන් පසුව අනෙක් සිරිත් සිදු කරනවා. ගැමියන් ආහාර අනුභවය පටන් ගන්නේ අවුරුදු කෑම මේසයේ පොල්තෙල් පහනක්‌ දැල්වීමෙන් පසුව යි.

වැඩ ඇල්ලීමේ චාරිත්‍රයේ විවිධ අයගේ වෘත්තිය අනුව වැඩ ඇල්ලීම සිදුවනවා. ගොවීන් කරන්නේ උදැල්ලෙන් පස් කපා ගසක් සිටුවීම යි. කුඩා දරුවන් නම් අකුරු ලිවීම හෝ පොතක්‌ කියවීම සිදු කරනවා.

 සුබ නැකතට ගනුදෙනු කරමින් – serendib.btoptions.lk

ගනුදෙනු කිරීම

වැඩ ඇල්ලීමෙන් පසුව සිදු කරන්නේ ගනුදෙනු කිරීම යි. එසේ ගනුදෙනු කිරීමේ අරුත නම් තමන් උපයා ගත් මුදල් ගෞරවාන්විත ව බෙදා හදා ගැනීම යි. අද නම් ගනුදෙනු කිරීමේ දී කරන්නේ බුලත් කොළයක තැබූ මුදලක් යම් කෙනකුට හෝ පවුලේ කෙනකුට ලබා දීමයි. පුරාණයේ දී නම් ළිඳ සමඟ ගනුදෙනු කිරීමක් ද සිදු වුණා. රජරට වැව්ගම්මානවල නම් ගනුදෙනු කිරීමේ දී අත්වාසිය ඇති වැඩිහිටි පුද්ගලයකුගේ අතට බුලත් කොළයක මුදල් තබා ලබාදී වැඳීම සිදු කරනවා. එවිට එම වැඩිහිටි පුද්ගලයා ද බුලත් කොළයක්‌ මත තමාට ලැබුණ මුදලට වඩා වැඩි මුදලක්‌ තබා එම පුද්ගලයාට ලබාදෙනවා. මෙම චාරිත්‍රය සශ්‍රීකත්වය මූලික කරග් සිරිතක්.
ළිඳ සමඟ ගනුදෙනු කිරීමේ සිරිතක් ද ගම්මානවල පැවතුණා. නිවසට ජලය ලබා ගන්නා ‘ළිඳ’ට ගොස්‌ සුබ පැත්තට හැරී ළිඳට මල්, අගුරු දමා වතුර කළයක්‌ පුරවා ගැනීම සිදු කෙරෙනවා. එහිදී ළිඳට තඹ කාසියක්‌ දැමීමත් සිදුවෙනවා.

 නිරෝගිත්වය පතා හිසතෙල් ගාමින්-serendib.btoptions

හිසතෙල් ගෑම හා ස්‌නානය

මෙය යෙදෙන්නේ අවුරුදු දිනය පසු වී දිනකට හෝ දෙකකට පසු ව යි. පුරාණ ගැමියා නම් පරණ අවුරුද්දේ ස්නානය කිරීමෙන් පසු යළිත් නාන්නේ හිසතෙල් ගෑමෙන් පසු ව යි. අදත් බොහෝ ගම්මානවල හිසතෙල් ගැල්වීම ගමේ විහාරස්‌ථාන මුල් කර ගෙන සිදුවනවා.

එහිදී හිසට සහ පයට ඖෂධීය ශාකමය ද්‍රව්‍ය සහිත වියනක්‌ සකස්‌ කර එහි හිඳිමින් හිසතෙල් ගල්වනවා. එහිදී තෙල් හිස ගැල්වීම සිදු කරන්නේ වෙද මහත්මයකු හෝ ගමේ පන්සලේ හාමුදුරුවන්. ගාථා පාඨයක් කියමින් දිර්ඝායුෂ සහ නිරෝගීත්වය ප්‍රාර්ථනා කරමින් සේ සිරිත ඉටු කරනවා. අද නම් ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් හිසතෙල් සහ නානු විහාරවලට බෙදා දීම සිදුවෙනවා. පුරාණයේ හිස ගල්වන නානු සකස් කළේ ගමේ වෙදමහත්මයා යි.

රැකී රක්‍ෂා සඳහා පිටත්ව යැම

පුරාණ ගොවි සමාජයේ ජනතාව අවුරුදු සැමරීමෙන් පසුගොවිතැනට සහ වෙනත් වැඩකටයුතුවලට යළිත්  පිටත් ව ගියේ රැකී රක්ෂා සඳහා පිටත්වන නැකතට පසු ව යි. එය යෙදෙන්නේ අවුරුදු දිනයෙන් සතියකට පමණ පසු ව යි.

නැකතට අනුව සුබ දිසාව බලා රැකියාවට ගමන් ආරම්භ කිරීමේ දී බිරිය දිය පිරුණු කළයක් අරන් ඉදිරියට ඒමේ සිරිතක් පැවතුණා. අද නම් මේ සිරිත දැක ගැනීම අසීරු යි. ඒ ගැමි කෘෂි සමාජය අද බිඳ වැටී ඇති නිස යි.

කවරයේ ඡායාරූපය- එකමුතුකම හා සෞභාග්‍යය කියන අවුරුදු සිරිත් - sundayobserver.lk

මූලාශ්‍ර:
divaina.com
sathmandala.lk
dinamina.lk

Related Articles