Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුධ සමයේ ස්ථාපිත වූ කොමිෂන් සභා හා ඒවායේ නිර්දේශ

යුධ සමයේ සිදුවී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුධ අපරාධ පිළිබඳව ඇති කතාබහත් උණුසුමත් වර්තමානය වන විට පවා පහවී ගොස් නෑ. ඒ හා සම්බන්ධ, යුධ සමයේ හා පශ්චාත් යුධ සමයේ බිහි වූ කොමිෂන් සභා හා ඒවාගේ යෝජනා පිළිබඳව ඔබ දැනුවත් ද?

හිටපු ජනපතිවරයාගේ පාලන සමයේ දී ස්ථාපිත කරන ලද උදලාගම කොමිසම, යුධ සමයෙන් පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම, එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම්වරයා වූ බැංකි මූන් විසින් ලංකාවේ සිදු වූ මානව හිමිකම් කඩවීම පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද දරුස්මාන් කොමිසම හා 2013 වසරේ පත් කරන ලද මැක්ස්වෙල් පරණගම කොමිසම යන කොමිෂන් සභා පිළිබඳව හා ඒවා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවන් පිළිබඳව ඉතා සරළ ලෙස පැහැදිලි කිරීමක් තමයි අද ලිපියෙන් ගෙන එන්නේ.

යුද්ධ සමයේ සිදු වූ ඝාතන සිදුවීම් 16ක් පිළිබඳ විමර්ශණය කිරීමට පත්කරන ලද උදලාගම කොමිසම

LTTE සංවිධානය විසින් ඝාතනය කරන ලද හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් (Theindependent.lk Media)

2006 වසරේ යුද්ධය පවතින කාල සීමාවේ දී විනිසුරු උදලාගම ප්‍රමුඛ උපවංශ යාපා, ආචාර්ය දේවනේසන් තේසයියා, ඩග්ලස් ප්‍රේමරත්න, හා ඩෙන්සිල් ගුණරත්න ඇතුළු සාමාජිකයන් 10 දෙනෙකුගෙන් යුතුව ස්ථාපිත වූ උදලාගම කොමිෂන් සභාවේ කාර්යය වූයේ යුධ සමයේ මානව හිමිකම් කඩවීම, හා එම කාලයේ දී සිදු වූ ඝාතන සිදුවීම් 16ක් පිළිබඳව විමර්ශණය කිරීම යි.

හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය, දිගම්පතානේ දී නිරායුධ නාවික භටයන් 98 දෙනා ඝාතනය, ප්‍රංශයේ රාජ්‍ය නොවන සංවිධානයක පුද්ගලයන් 17 දෙනෙකු ඝාතනයට ලක්වීම, පොතුවිල් මුස්ලිම් වැසියන් 10 දෙනෙකු ඝාතනය වීම, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පුද්ගලයන් 68 දෙනාගේ ඝාතනය, හා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ ඝාතනය කොමිසම මඟින් විමර්ශනය කළ ඝාතන සිදුවීම් 16න් කිහිපයක් ලෙස දක්වන්නට පුළුවන්.

2006 වසරේ පත්කළ කොමිෂන් සභාවේ වාර්තාව 2015 වසරේ එළිදැක්වූ අතර, එහි නිර්දේශයන් ලෙස ඝාතනය වූ  හා අතුරුදහන්වූවන්ගේ පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කිරීම හා මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ස්වාධීන කමිටුවක් පත් කිරීම වැනි යෝජනා ප්‍රමුඛ ලෙස සැලකිය හැකියි.

සාක්ෂි 4000ක් පදනම් කරගෙන වාර්තාවක් සැකසූ දරුස්මාන් කොමිසම

කමිටුවේ ප්‍රධානී දරුස්මාන් (38 North)

යුද්ධය අවසන් වීමෙන් පසු දරුස්මාන් ප්‍රමුඛ ත්‍රිපුද්ගල කමිටුවකින් යුක්ත මෙම කොමිසම එක්සත් ජාතීන්ගේ එවකට මහලේකම් වූ බැංකි මූන් විසින් පිටුවන්නේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හා ජාත්‍යන්තර මානව හිතවාදී නීතිය කඩවී ඇතැයි පවසමින්.

පොකුරු ෂෙල් වෙඩිලි වලින් සිවිල් වැසියන් ඝාතනය කිරීම, ආණ්ඩු විරෝධී ජනමාධ්‍යවේදීන් ඝාතනය, රෝහල් හා තහනම් ස්ථානවලට ෂෙල් වෙඩි එල්ල කිරීම ඇතුළු කරුණු පහක් මත මෙහි දී කමිටුව ආණ්ඩුවට චෝදනා එල්ල කරන අතර, සිවිල් ජනතාව පළිහක් ලෙස භාවිතා කිරීම, LTTE පාලන ප්‍රදේශ වලින් පලා එන සිවිල් වැසියන් ඝාතනය කිරීම, මරාගෙන මැරෙන ප්‍රහාර මඟින් සිවිල් වැසියන් ඝාතනය, හා ළමා සොල්දාදුවන් බදවා ගැනීම ඇතුළු ප්‍රබල චෝදනා හයක් LTTE සංවිධානයට එල්ල වෙනවා.

යුද්ධයෙන් අවතැන් වූවන්ට කඩිනමින් සහන සැලසීම, යුද්ධයට තුඩු දුන් හේතු සඳහා දේශපාලන විසඳුමක් ලබා දීම මහලේකම් වරයාගේ යෝජනාවන්ට ඇතුළත් වෙනවා.

දරුස්මාන් වාර්තා අසත්‍ය යැයි පැවසූ මැක්ස්වෙල් පරණගම කොමිසම

කමිටුවේ ප්‍රධානී විනිසුරු මැක්ස්වෙල් පරණගම (The New Indian Express)

අතුරුදන් වූවන් හා යුද්ධය අවසාන සමයේ රජය හා LTTE සංවිධානය සිදු කළායැ යි පැවසෙන යුධ අපරාධ පිළිබඳව සොයා බැලීමට 2013 වසරේ මහාධිකරණ විනිසුරු මැක්ස්වෙල් පරණගම ප්‍රමුඛ සුරංජනා විද්‍යාරත්න, මනෝ රාමනාදන් ඇතුළු සාමාජිකයන් 4 දෙනෙකුගෙන් යුත් කොමිසමක් පත් කළ අතර, අතුරුදහන්වූවන්ගේ පැමිණිලි 1000ක් පමණ විමර්ශනයෙන් ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශයන් 11ක් අඩංගු විය.

අතුරුදන්වූවන් පිළිබඳව සොයා බැලීමට නීතිමය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම හා එම පවුල් වලට මූල්‍යමය වන්දි ලබා දීම, අත්අඩංගුවේ පසුවන LTTE සැකකරුවන්ගේ නඩු කඩිනම් කිරීම, මායිම් ගම්මාන වල LTTEයෙන් පීඩා විඳි සිංහල ජනයාගේ මූලික අවශ්‍යතා සම්පුර්ණ කර දීම, තවමත් සරණාගත කඳවුරු වල සිටින ජනතාවට ස්ථිර නිවාස සාදා දීම ඒවායින් කිහිපයක්.

යුධ අපරාධ සිදු වී ඇති බව හෝ ඒවා සනාථ වී ඇති බව මෙම වාර්තාවේ සඳහන් නොවන අතර LTTE සංවිධානය විසින් බලෙන් සිවිල් පුරවැසියන් රඳවාගත් බවත්, පැන යන්නට උත්සාහ කරන්නන් වෙඩි තබා මරා දැමූ බවත් සඳහන් වෙනවා.

දරුස්මාන් කොමිසමට අනුව යුද්ධයේ අවසන් සමයේ සිවිල් වැසියන් 40,000ක් මියගොස් ඇතත්, එය ප්‍රතික්ෂේප කරන පරණගම කොමිසම සැබෑ ලෙසම එම ගණන 7000 – 7500 අතර බව සඳහන් කරනවා.

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම (LLRC)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය (YouTube)

2010 නොවැම්බර් මාසයේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත්කරන ලද මෙම කොමිෂන් සභාවේ සභාපති වූයේ හිටපු නීතිපති රන්ජන් ද සිල්වා යි. මහාචාර්ය කරුණාරත්න හඟවත්ත, නීතිඥ රෝහන් පෙරේරා, මහාචාර්ය මොහමඩ් ජිෆ්රි ඇතුළු සාමාජිකයන් 8 දෙනෙකුගෙන් මෙම කොමිෂන් සභාව සමන්විත වුණා.

අවතැන් වූ ජනතාව සඳහා නිවාස ලබා දීම, ශ්‍රී ලංකාවට පැමිණීමට කැමති යුධ සමයේ ඉන්දියාවට පලා ගිය පුද්ගලයන්ට නැවත පැමිණීමට ඉඩ විවර කිරීම, යුද්ධයෙන් බැට කෑ උතුරු නැගෙනහිර සියළු ජනතාවගේ සුභ සාධනය සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, හා විනාශ වී ඇති පොදු දේපළ හැකි ඉක්මනින් නැවත පිහිටුවීම වැනි කරුණු එම කොමිසම විසින් ඉදිරිපත් කළ විශාල ප්‍රමාණයක යෝජනා අතරින් කිහිපයක්.

2012 මාර්තු මාසයේ දී එක්සත් ජාතින් විසින් මෙම LLRC යෝජනා සියල්ල ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයට දැනුම් දෙනවා. 2015 වසරේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා වූ ජෝර්දානයේ හුසේන් කුමරු ශ්‍රී ලංකාව පිළිබඳව තවත් වාර්තාවක් ඉදිරිපත් කළ අතර, එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සමග මෙරට දී සහයෝගයෙන් වැඩ කිරීම, 13 වන සංශෝධනය බලාත්මක කිරීම, හා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම වැනි කරුණු ඇතුලත් වූ මෙම වාර්තාවට ශ්‍රී ලංකා රජය සිය එකඟත්වය පළ කර සිටිනවා.

මානව හිමිකම් කඩ වීම හා යුධ අපරාධ පිළිබඳව රටට එල්ල වී තිබෙන චෝදනා නිසා මෙවැනි කොමිෂන් සභා ක්‍රියාත්මක වූ ආකාරය හා ඒවගේ නිර්දේශ පිළිබඳව දැනුවත් වී සිටීම ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියළු දෙනාටම වැදගත් වෙනවා.

කවරයේ ජායාරූපය – Groundviews

මූලාශ්‍රයයන් – dailymirror.lk, .sundaytimes.lk, mfa.gov.lk

Related Articles