රුහුණුපුර සද්දන්ත සලකුණ: කතරගම වාසනා

බෞද්ධ සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහර මංගල්‍යය දීර්ඝ කාලයක් තිස්සේ පැවැත එන්නකි. මිනිසුන්ට අමතර ව ඒවා සාර්ථක ව පැවැත්වීම සඳහා දායක වන ප්‍රධානත ම කොටස්කරුවන් ලෙස අලි ඇතුන් හැඳින්විය හැකි ය. පෙරහරක වැදගත් ම අංගය වන සධාතුක කරඬුව වැඩමවීමේ කාර්‍යය සිදු කරන්නේ අලිඇතුන් ය. කන්ද උඩරට ඇසළ පෙරහර, කතරගම දේවාලයේ වාර්ෂික පෙරහර, සපරගමු මහ සමන් දේවාලයේ පෙරහර වැනි පෙරහැරවල එම කාර්‍යය ඉටු කරන්නේ ඇතුන් ය.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්වෙන පෙරහර මංගල්‍ය සඳහා සිය දායකත්වය ලබාදෙන ඇතකු ලෙස වාසනා ඇතා හැඳින්විය හැකි ය. මෙම ඇතා අවස්ථා දෙකක දී පමණ ත්‍රස්ත ප්‍රහාරයන්ට ලක් වී තුවාල ලබා තිබීම ද කනගාටුදායක කරුණකි. එක් අවස්ථාවක බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් අනතුරුවත් සිය වගකීම් එලෙසින් ම ඉටු කළ වාසනා ඇතා ජනතාව ගේ නොමඳ ගෞරවයට ලක්ව සිටියි. මෙම ලිපිය සෙංකඩගල ඇසළ  පෙරහර සමඟ අපට සිහි වන නැදුන්ගමුවේ රාජා ඇත්රජු හා සමාන වාසනා ඇතු පිළිබඳව යි.

රුහුණු මහා කතරගම දේවාල අතු පන්දලම බැඳීම සඳහා කොළ අතු මිටි රැගෙන එන වාසනා ඇතා – Facebook.com

උපත සහ කතරගම දේවාලයට ලැබීම

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැළෑ බද ප්‍රදේශයක අතරමං ව සිට සොයාගත්  මෙම ඇත් පැටවා පින්නවල අලි අනාථාගාරයට රැගෙන ඒමෙන් පසු 1978 වසරේ දී එවකට අමාත්‍යවරියක වූ විමලා කන්නන්ගර, රුහුණු මහා කතරගම දේවාලයට පූජා කොට ඇත. එතැන් පටන් අද දක්වා ම මෙම ඇතා රුහුණු මහා කතරගම දේවාලය භාරයේ සිටියි. ඉතා ආකර්ෂණීය මෙන් ම තේජන්විත පෙනුමකට හිමිකම් කියන වාසනා ඇතාගේ වයස මේ වන විට අවුරුදු 48 කි. උස අඩි 10ක් පමණ වේ.

වර්තමානයේ වාසනා ඇතා ගේ පාලකවරයා ලෙස කටයුතු කරන්නේ අජිත් අශෝක ලියනගේ වන අතර දැනට ඔහු වසර විස්සක පමණ කාලයක් ඇතා සමඟ කටයුතු කර තිබේ. ඔහුට පෙර ඔහුගේ පියා ද වාසනා ඇතා රැක බලා ගත් අතර වර්තමානයේ අජිත්ගේ පුතුන් ද වාසනා රැක බලා ගැනීමේ කටයුත්තට දායක වේ.

වාසනා සමග අජිත් – Rasika Sandakelum – Facebook.com

ඇතාගේ ගති ලක්ෂණ

මංගල කුලයට අයත් ඇතකු ලෙස සැලකෙන වාසනා, අලිඇතුන්ගේ බුද්ධිමත් බව යන ලක්ෂණයට කදි ම උදාහරණයක් වේ. සාමාන්‍යය සත්ත්වයකුට වඩා පැසුණු බුද්ධියකින් යුතු වාසනා ඇතා පුද්ගලයන් හා පරිසරයේ සිදුවන යම් යම් සිදුවීම් වටහා ගැනීමේ බුද්ධියෙන් යුතු වේ. අලි භාෂාව හැරුණු විට සාමාන්‍ය භාෂා ව්‍යවහාරය ද වාසනා ඇතාට ඉතා හොදින් හුරු වී තිබේ. උදාහරණයක් ලෙස ඇතාගේ පාලක අජිත්  ඇතාට අවශ්‍ය තෙක් වතුර ‌බොන ලෙස පවසන්නේ ‘Full Tank ගහන්න’ කියමිනි. එයින් පෙනෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ඇතා ලැබූ පුහුණුව හා බුද්ධිමත්භාවයයි. යම්කිසි බියක් දැනෙන අවස්ථාවක ඒ පිළිබඳ ව සංඥාවක් ලබා දීම ද වාසනා ඇතාගේ සිරිතකි.

සුදු ඇඳුමින් සැරසුණු පුද්ගලයන්ට වාසනා ඇතා වැඩි ඇල්මක් දක්වන අතර භික්ෂූන් වහන්සේලා ඉදිරියේ දී ඉතා කීකරු ව කටයුතු කරයි. මත්පැන් පානය කළ පුද්ගලයන් තමන් අසලට ළංවීම පිළිබඳ කිසිසේත් ම සතුටු නොවන බැවින් වාසනා ඇතා එවැනි අවස්ථාවල සොඬවැලෙන් ඇන හස්ති පාලකට ඒ බව පෙන්වා දෙයි.

වාසනා ඇතාගේ එක් දුර්වලතාවක් ලෙස සිය දළ යුගළ පිළිබඳ ප්‍රවේශම් නොවීම පෙන්වා දිය හැකි ය. වෙන ඇතුන්ගේ මෙන් නොව මෙම ඇතාගේ දළ ගෙවී යාම නිසා ස්ථිර කොපු සවිකර ඇති අතර මීට වසර කිහිපයකට පෙර මද කිපෙන කාල සීමාවේ දී වම් දළයේ අග කොටස කැඩී ගියේ ය.  පෙරහරේ ගමන් කිරීමේ දී සිය හොඬවැල දළ අතර රඳවා ගෙන ගමන් කිරීම ද වාසනා ඇතාගේ තවත් විශේෂ ලක්ෂණයකි. 

හානි වී ඇති වාසනාගේ දළ යුගළය – Renuka Lakmal  

වාසනා ඇතාගේ මද කිපීමේ කාලය මාර්තු සිට ජුලි දක්වා මාස තුනක් හෝ හතරක් වැනි කාලයක් වන අතර සාමාන්‍යයෙන් ඇසළ පෙරහැර ආරම්භ වීමට සතියකට පමණ පෙර මද කිපීමේ කාලය අවසන් වේ.

තරුණ කාලය හා බිහිසුණු අත්දැකීම්

1989 මෙරට පැවති භීෂණකාරී වාතාවරණය යටතේ කැරලිකරුවන් කතරගම දේවාලයේ පෙරහර නොපවත්වන ලෙස නියෝග කර තිබිණි. එයට එක්  හේතුවක් වූයේ එවකට එහි බස්නායක ධූරය දැරෑ තැනැත්තා දේශපාලන ක්‍රියාකාරියකු වීමයි. මෙම තර්ජන හමුවේ වුව ද අනාදිමත් කාලයක පටන් රාජකීය නියෝග මත පවත්වා ගෙන ආ දේවාලයේ මහ පෙරහර නැවැත්වීමට දේවාලයේ භාරකාරීත්වය කැමැති නොවූ බැවින් 1989 වසරේ දී ද සුපුරුදු පරිදි පෙරහැර පැවැත්විණි.

එවකට තරුණ වියේ පසු වූ වාසනා ඇතා දේවාභරණ වැඩමවීමේ රාජකාරිය ඉටු කළ අතර නොසිතූ අයුරින් 1989 ජුලි 18 වැනිදා පැවැත් වූ අවසන් මහා පෙරහරට කැරලිකරුවන් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබිණි. එම ප්‍රහාරයෙන් කතරගම දේවාලයේ ලේකම් පැල්වත්ත අදිකාරම්, ආලත්ති අම්මලා සහ පෙරහර නැරඹීමට පැමිණි පිරිසෙන් නව දෙනකු පමණ ජීවිතක්ෂයට පත් වූ අතර ප්‍රහාරයෙන් වාසනා ඇතා ද තුවාල ලැබීය.

සිදු වු ව්‍යසනය හමුවේ ඇතාගේ පාලකවරයා ද තුවාල ලබා සිටි බැවින් වාසනා පිළිබඳ ව හෝ දේවාභරණ පිළිබද ව ජනතාවට අවධානයක් නොවූවත් වාසනා තමන්ගේ රාජකාරිය පිළිබඳ වටහා ගෙන සිටි නිසා ඔහු තුවාල සහිත ව ඉතා  අපහසුවෙන් කොර ගසමින් වුවත් නැවැතත් දේවාලය කරා පැමිණි දේවාභරණ තැන්පත් කරන මණ්ඩපය වෙත ගොස් ඇත. ඒ වන විට එහි රැදී සිටි ප්‍රධාන කපු මහතා වූ සොමිපාල ටී. රත්නායක ඇතුළු කපුමහතුන් වහා ම දේවාභරණ දේවාලය වෙත වඩමවා ඇත. එතෙක් සියලු අපහසුකම් දරා ගෙන සිටි වාසනා ඇතා ඉන් අනතුරු ව ඇද වැටුණු අතර මාස තුනකට අධික කාලයක් ප්‍රතිකාර කිරීමෙන් අනතුරු ව වාසනා සුවය ලැබී ය. 

වාසනා කතරගම දේවාලයේ පෙරහැර අතරතුර – Sandima Devapriya – Facebook.com

නැවැත වරක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහරට සහභාගී වී ආපසු පැමිණෙමින් සිටින අතරතුර 18 වංගුව ප්‍රදේශයේ දී වාසනාට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර එම අවස්ථාවේ දී ද ඇතාගේ ගෙල ප්‍රදේශයට හානි වී ති‌බේ. මෙම හේතූන් නිසා වාසනා ඇතා රතිඤ්ඤා, මල්වෙඩි ආදියට බියක් දක්වන අතර සෙනඟ ගැවසෙන ඝෝෂාකාරී මෙන් ම කලබලකාරී ස්ථාන ද ප්‍රිය නොකරයි.

සංස්කෘතිකමය වශයෙන් වැදගත්කම

රුහුණු කතරගම මහා දේවාලයේ චාරිත්‍රවිධි අතර දේවාලයේ මංගල හස්තියා වන වාසනාට ලැ‌‌‌‌බෙන්නේ සුවිශේෂී ස්ථානයකි. දින පහළොවක් පුරා පැවැත්වෙන ඇසළ පෙරහරත්, නොවැම්බර් මස පැවැත්වෙන ඉල්මහ පෙරහරත්, අප්‍රේල් මස පැවැත්වෙන අලුත් අවුරුදු පෙරහරත් යන පෙරහර මංගල්‍යන්හිදී කතරගම දෙවියන්ගේ දේවාභරණ වැඩමවීම වාසනා සතු වගකීමකි. වාසනා ඇතා ඇසළ මංගල්‍යයේ දින පහළොව ම නොකඩවා දේවාභරණ වැඩමවීම සිදු කරන අතර පෙරහර මංගල්‍යයේ සයවැනි දිනයේ දහවල් සිදු කෙරෙන අතු පන්දලම බැඳීම චාරිත්‍රය සඳහා කොළ අතු මිටි රැගෙන ඒමේ මූලිකත්වය  ද දරයි. අතු පන්දලමට අතු තැන්පත් කිරීම ද වාසනාට පැවරී ඇති කාර්යයකි.

කතරගම දේවාලයේ පෙරහරේ මංගල හස්තියා වන වාසනා ඇතා සුවිශේෂී වන්නේ අනෙක් පෙරහරවලට වඩා එහි දක්නට ලැබෙන චාරිත්‍රවිධි වෙනස් වීම නිසා ය. එම පෙරහරේ දේවාභරණ භාරව ‘පෙරහර භාර කපුරාළ’ නමින් විශේෂ රාජකාරි හිමි කපු මහතකු ඇතුගේ පිට ගමන් කරන අතර එසේ ගමන් කරන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයකු ඇතකු පිට ගමන් කරනවාට වඩා වෙනස් ඉරියව්වකිනි. එනම් මුළු පෙරහර කාලය පුරාවට ම ඇතු පිට ඔහු ගමන් කරන්නේ දෙපා ඇතාගේ දකුණු පසට වන්නට දමාගෙන ය. මේ නිසා දේවාභරණ වඩමවන ඇතා මේ පිළිබඳ ව ද සැලකිලිමත් වෙමින් ගමන් කළ යුතු ය.

රාජකාරිය ආරම්භයට පෙර බුදුන්ට මල්මිටක්

පෙරහරේ දී ඇතා සම්පූර්ණයෙන් මල්මාලාවලින් සරසවයි. පෙරහර ගමන් කරන අතරතුර නඩත්තු පොළවල් නමින් හඳුන්වන විශේෂ ස්ථානවල පෙරහර මඳ වේලාවක් නතර කොට දේවාභරණ සහිත රන්සිවිගෙයට මල් පෙති ඉසීම, සුවඳ පැන් ඉසීම සිදු කරයි. පෙරහර අතරතුර දී වාසනා මේ කටයුතු පිළිබඳ ව ‌සැලකිලිමත් වෙමින් ඉතා ම කීකරු ව පෙරහරේ ගමන් කරයි.

කතරගම මහා දේවාලයේ පෙරහර හැරුණු කොට රත්නපුර මහ සමන් දේවාල පෙරහර, ගැටබරුව, සීනිගම, කෝට්ටේ සහ කැලණිය ආදී ශ්‍රී ලංකාව පුරා පැවැත්වෙන සුප්‍රසිද්ධ පෙරහර මංගල්‍යයන්ට ද වාසනා ඇතා සහභාගී වේ. කුමන පෙරහරකට ගිය ද තමන්ගේ රාජකාරිය ආරම්භයට පෙර මල්මිටක් රැගෙන ගොස් සොඬය ඔසවා  බුදුරජාණන් වහන්සේට හා දෙවිවරුන්ට වන්දනාමාන කිරීම මෙම ඇතාගේ චාරිත්‍රයක් වන අතර පෙරහර අවසානයේ දී ද ඒ අයුරින් ම වන්දනාමාන කරයි.

දළඳා පෙරහරේ කරඬුව වඩමවන වාසනා ඇතා (මැද) – Sri Dalanda Maligawa – Facebook,com

දළදා පෙරහර රාජකාරි

2005 වර්ෂයේ සිට වාසනා ඇතාට තවත් භාරදූර රාජකාරියක් පැවරණි. ඒ කන්ද උඩරට මහා මංගල්‍යය ලෙසින් ප්‍රචලිත ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩම කිරීමේ කාර්‍යයයි. දළඳා කරඩුව තැන්පත් කිරීමට ප්‍රථමයෙන් ඇඳුම් ඇඟලෑම සිදු කරන අවස්ථාවේ දී පවා ඇතා ඉතා කීකරු ව කටයුතු කරයි. දළඳා කරඬුව වැඩමවීමේ දී පාවඩ මත අතිශය ප්‍රවේශම් සහගත ව හා තැන්පත් ස්වභාවයකින් පියවර තබයි. වාසනා අවසාන මහා රන්දෝලි පෙරහරේ කරඩුව වැඩමවීම ද වාර ගණනාවක් ඉටු කර ඇති අතර අවසන් වරට 2019 වසරේ දී අවසන් මහා රන්දෝලි පෙරහරේ කරඬුව වැඩමවීම සිදු කර ඇත. කතරගම සිට මහනුවරට ලොරි රථයෙන් වාසනා රැගෙන ඒමට එක් දිනක් ගත වන අතර ඒ අතරතුර කොමඩු, බඩඉරිඟු ආදී සංග්‍රහ ද ජනතාව අතරමඟ දී ඔහුට ලබා දෙයි.

රන්සිවිගෙයක් තැන්පත් නොකොට පෙරහරවලට සහභාගි වන අවස්ථාවේ ඉතා සැහැල්ලුවෙන් වාසනා ඒ සඳහා සහභාගි වන අතර ‌බෙර නාදයට නර්තනයන් ඉදිරිපත් කිරීමට ද වාසනා ඇතා දක්ෂයෙකි. වර්තමානයේ දළදා කරඬුව වැඩමවීමට සුදුසුකම් ඇති ඇතුන් අතරින් අත්දැකීම් බහුල ශ්‍රී ලාංකික හස්තියා වන්නේ ද වාසනා ය.

කවරයේ පින්තූරය; රුහුණු කතරගම මහා දේවාල වාසනා ඇතා - Facebook.com

මූලාශ්‍ර:

කතරගම පුද සිරිත් - ආචාර්ය අලුත්වැව සෝරත හිමි

කතරගම පුදබිමේ අනුහස් රටම අත්දුටු හැටි - තරංග රත්නවීර

කතරගම වාසනා හස්තියා භාර අජිත්ගේ ජීවිත කතාව - Sinhala Sri lanka Youtube Channel

වාසනා - රසික සඳකැලුම්

Related Articles