Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මීටර් ටැක්සි- හොඳද? නරකද?

මීටර් ටැක්සි කියන්නේ මොනවද කියලා වැඩි දෙනෙක් දන්නවා. ගමේ පාරවල් වල හයර් දුවන ත්‍රී වීල් වලින් නම් හිතලා ගානක් කිව්වට ගොඩක් වෙලාවට නගරබද ත්‍රී වීල් වලට දැන් මීටර් එකක් හයි කරලා තියෙනවා. යන දුර සහ ගත වෙන කාලය එක්ක මුදලක් ගණනය වෙන එක තමයි මෙතැනදී සිද්ධ වෙන්නේ. මේ නිසා මීටර් එක බලලා වැටිලා තියෙන මුදල ගෙව්වම හරි. ඉස්සර වගේ ගාන වැඩිද අඩුද කියලා ත්‍රී වීල් මනුස්සයා එක්ක වාද කරන්නවත්, එක එක් කෙනා තමන්ට හිතුනු ගණන් කියන්නවත් යන්න ඕන නෑ. ඒ වගේම යන ගමන් නවත්තලා මොනවා හරි ගන්න ඕනේ වුණා කියලා හිතුනු හිතුනු ගණන් එකතු කරන්නත් බෑ.

නගරබද ප්‍රදේශ වල ඔබ නිතර ත්‍රී වීල් වලින් ගමන් බිමන් යන්න පුරුදු වුනු කෙනෙක් නම් ඉස්සර කාලේ පොඩි දුරක් යන්න වැය කරපු මුදලට වඩා මීටර් ටැක්සි වල ගමනක් යද්දී ගෙවන්න වෙන ගාන අඩු බව හිතේවි. පොඩි දුරකටත් රුපියල් සීයක් ගන්න අවස්ථා ඕන තරම්. විශේෂයෙන්ම බස් වල තත්වයත් හරිම බාල නිසා මේ වගේ මීටර් ක්‍රමයක් හඳුන්වලා දීපු එක ගැන ත්‍රී වීල් වල නිතර යන අය හරිම සතුටු වුණා. මේක වැඩි දෙනෙක් මාකට් කළේ බජට් ටැක්සි කියන නමෙන්. දැන් නගර ප්‍රදේශ වල මීටර් සවි කරපු නැති ත්‍රී වීල් එකක් හොයා ගන්නත් අමාරුයි. (හයි කරපු මීටර් වැඩ නොකරන වෙලාවල් නම් ඕන තරම්. වැස්ස වහින වෙලාවක, හදිස්සි ගමනක් යන්න තියෙන වෙලාවට අහු වෙන එකම ත්‍රී වීල් එක බොහෝ වෙලාවට මේ වගේ එකක්!) විශාල ප්‍රමාණයෙන් බිස්නස් එක කරන Fair Taxi, Online Cabs, Budget Taxi සහ Pick Me වගේ කොම්පැනි වලින් දාපු ත්‍රී වීල් වලට නම් නියමිත ගානක් තියෙනවා. කොහොම වුණත් හදිස්සියකදී අත දාන ත්‍රී වීල් එක කිලෝ මීටරයට රුපියල් 60ක් විතර ඉල්ලන වෙලාවල් නැතිව නෙවෙයි. බහින්න ලෑස්ති වෙලා ගාන ඇහුවම තමයි දෙවියෝ සිහි වෙන්නේ.

ත්‍රී වීල් බලලා අඳුර ගන්නේ කොහොමද?

කලින් කිව්වා වගේ කොම්පැනියකට කතා කරලා ත්‍රී වීල් එකක් ගෙන්නා ගන්න වෙලාවක් නැත්නම් බලන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා. ලංකාවේ හැම ත්‍රී වීල් එකක්ම එකම ගාන ගන්න ඕනේ කියලා නීතියක් තවම හදලා නැති නිසා එක එක අය එක එක ගනන් මීටර් ඒකට දානවා. අපි හැම ත්‍රී වීල් එකක්ම එකම ගාන ගනීවි කියලනේ සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ. ඉතින් නැගලා ගිහින් බැස්සට පස්සේ තමයි දැන ගන්නේ කිලෝමීටර් එකකට වැඩි ගානක් අය කරලා කියල. ඉතින් මෙන්න හොයලා බලන්න අවශ්‍ය දේවල් කිහිපයක්.

ත්‍රී වීල් රියදුරෙක් ටැක්සි මීටර් එකක් සවි කරන විදිහ

ත්‍රී වීල් රියදුරෙක් ටැක්සි මීටර් එකක් සවි කරන විදිහ

 

  • නගින්න කලින් කිලෝ මීටර් එකකට අය කරන ගාන අහලා ඉන්න. කිලෝමීටර් එකකට රුපියල් 40ට අඩුවෙන් අය කරන ත්‍රී වීල් දැන් හරිම අඩුයි. ගොඩක් තැන් වල සාමාන්‍යය රුපියල් 40 තමයි. 45 වගේ ගන්න ත්‍රී වීල් වගේම 50කටත් වඩා අය කරන ත්‍රී වීල් පවා තියෙනවා. ඒවා ගැන හොඳ අවධානෙකින් ඉන්න.
  • ප්‍රශ්නය එතනින් ඉවර වෙන්නේ නෑ. ත්‍රී වීල් එකේ යන අතරෙත් වෙන කරන්න විශේෂ වැඩක් නැතිනම් මීටර් එක දිහා ටිකක් අවධානයෙන් බලාගෙන ඉන්න. හිතෙන් පොඩි ගණනයක් කරන්න. මීටර් වල තියෙන ඉලක්කම් ටික බලාගෙන හිටියම හොඳ ඇස්තමේන්තුවක් ගන්න පුළුවන් සම්පුර්ණ ගමනට යන ගාන ගැන. ගොඩක් මීටර් කිලෝමීටර් 0.1ට සැරයක් මාරු වෙන නිසා රුපියල් 4ක් වගේ වැඩි වෙනවා නම් ලොකු ප්‍රශ්නයක් නෑ.
  • බොත්තමක් ඔබන එක ගැන අවධානයෙන් ඉන්න. සමහර ත්‍රී වීල් වල ගාන වැඩියි කියලා හෙට්ටු කරාම සමහර වෙලාවට එයාලා බොත්තමක් ඔබලා කිලෝමීටරේ ගාන රුපියල් 50 ඉඳන් 40ට අඩු කරනවා. මේක එයාලට එළවන අතරේම කරන්න පුළුවන්.
  • නිතර යන්නේ නැති පාරක් නම් 21 වෙනි ශතවර්ෂයේ තියෙන පහසු කම් පාවිච්චි කරන්න. ෆෝන් එක එලියට අරගෙන යන්න තියෙන තැන දාල රූට් එක බලා ගන්න. ඒ අතරේම ගමන පුරාවට ත්‍රී වීල් එක යන්නේ මොන පාරවල් වලද කියලා ෆෝන් එක දිහා බලාගෙන ඉන්න. කෙටිම පාර වෙනුවට කිසිම හේතුවක් නැතිව අමුතු, දිග පාරක යනවා වගේ නම් අහන්න බය වෙන්න එපා. සල්ලි ගන්නම බලාගෙන දුර පාරේ ගිහින් බේරෙන්න බොරු හේතු කියන්නත් සමහරු හරි දක්ෂයි.
  • මීටර් එකේ ප්‍රශ්නයක් තියෙන බව තේරෙනවා නම් කෙලින්ම ඒක කියන්න. සමහර විට ඒක මීටර් එකේම ගැටළුවක් වෙන්න පුළුවන්, (ගොඩක් අය මීටර් එක හදපු කොම්පැනියට බැනලා තමයි ශේප් වෙන්නේ) ඒත් නරක මිනිස්සුත් නැතිවම නෙවෙයි. සමහර අවස්ථා වල අපෙන් රුපියල් 60ක් විතර කිලෝමීටර් එකකට අය කලාම අපි විරෝධය දක්වලා ඒ වගේ ගණන් ගෙවන්න බෑ කියන එක දැනුම් දුන්නා. නිතරම ඒ වගේ දේවල් ගැන තදින් ඉන්න. සමහරු නම් කිව්වම තේරුම් අරගෙන සද්ද නැතුව හිටියත් අනිත් පැත්තට හේතු කියන අයත් ඉන්න නිසා ටිකක් පරිස්සමෙන්.

සමහර ත්‍රී වීල් අනිත් ඒවාට වඩා ගණන් ඇයි?

  • කොළඹ ආශ්‍රිතව මැජෙස්ටික් සිටි (MC), ලිබර්ටි ප්ලාසා සහ ක්‍රෙස්කැට් එක හරියේ තියෙන ත්‍රී වීල් සාමාන්‍යයෙන් වැඩි ගානක් අය කරනවා. මෙයාලගේ සාමාන්‍ය මිල රුපියල් 50ක් කිලෝමීටරයට. මේ වගේ වෙලාවට ත්‍රී වීල් පාක් වලින් ටිකක් එහාට ඇවිදන් ගිහින් පාරේ යන එකකට අත දාල නවත්තගෙන ඒකෙ යන්න. හැබැයි ගාන අහගන්නත් අමතක කරන්න එපා.
  • ගල්කිස්ස පැත්තේ ඉන්න විදේශිකයන් ගාන වැඩි නිසා අපෙනුත් කිලෝමීටර් එකකට රුපියල් 60ක් ගන්නවා ගොඩක් වෙලාවට. මේක ඉතින් අපිට වෙනස් කරන්න විදිහක් නැහැ, කතා කරලා අඩු කර ගන්න පුළුවන් නම් හොඳයි. හැබැයි පරිස්සමෙන්.
  • ගෝල් ෆේස්, ඔඩෙල්, ගංගාරාමය වගේ තැන් වලින් ත්‍රී වීල් එකක් ගන්නවා නම් ගාන මුලින් අහගෙනම නගින්න මතක තියා ගන්න. මේ ත්‍රී වීල් වැඩි ගානක් අය කරන්න තියෙන අවස්ථාව වැඩියි.

අපි මේ දේවල් ගැන හිතවත් පෙනුමක් තියෙන ත්‍රී වීල් රියදුරෙක්ගෙන් අහලා බැලුවා. ඔහුගේ නම H. ජයවර්ධන. මේ කතා බහෙන් අපිට දැන් ගන්න ලැබුනේ MC එක වගේ තැනක වෙනත් තැනකින් එන ත්‍රී වීල් රියදුරන්ට හයර් හොයා ගන්න එක අමාරු බව. මේ වගේ තැන් වල තියෙන ත්‍රී වීල් පාක් වලින් ඒකාධිකාරයක් පවත්වා ගෙන ඉන්න නිසා එකතු වෙලාම ඉහළ මිලක් අය කරනවා. නමුත් පිටින් එන, ඊට වඩා අඩු මුදලකට හයර් යන්න කැමති කාටවත් එතනින් හයර් හොයා ගන්න එයාල ඉඩ දෙන්නේ නෑ. “අපි එතැන ඉන්න මිනිස්සු නග්ග ගත්තොත් අපිට බොහොම නරක විදිහටයි සලකන්නේ” ඔහු කියනවා. “අපිට එතැන ත්‍රී වීල් නවත්තන්න බැරි අනිත් හේතුව එතැන ත්‍රී වීල් පාක් එකේ අයයි පොලීසියේ කට්ටියයි අතර තියෙන සම්බන්ධය. අපි පාක් කරොත් අපිට දඩ ගහනවා. හැමදාම හවසට ත්‍රී වීල් පාක් එකේ ගානේ ඒ වගේ යාලු පොලිසියේ අයට කෑම එකකුත් ලැබෙනවලු”. කියලයි ඔහු කියන්නේ.

MC එක වගේ ප්‍රසිද්ධ බඩු ගන්න තැන් වල ත්‍රී වීල් වැඩි ගානක් අය කරනවා.

MC එක වගේ ප්‍රසිද්ධ බඩු ගන්න තැන් වල ත්‍රී වීල් වැඩි ගානක් අය කරනවා.

මේ වගේ කරන්න ත්‍රී වීල් රියදුරන් පෙළඹෙන්නේ ඇයි?

සාමාන්‍යයෙන් මම නම් වාද කරන්න යන්නේ ත්‍රී වීල් රියදුරෙක් වංක කෙනෙක් බව කෙලින්ම පේන වෙලාවක විතරයි. මම හිතන්නේ මේ වගේ අය කාටත් හමු වෙලා ඇති. එයාලගේ මුහුණ දිහා බැලුවත් පේනවා බොරුකාරයන් බව. කොහොම වුණත් ඇත්ත තත්වය හිතලා බැලුවම මේ මිනිස්සු මෙහෙම කරන්නේ එයාලට සල්ලි ඇත්තටම උවමනා නිසයි. සල්ලි කියන්නේ හම්බ කරන්න අමාරු දෙයක් බව අපි කවුරුත් දන්නවානේ. කොළඹ අවට හැම දෙයක්ම හරිම ගණන්. දවසෙන් දවස බඩු මිල ඉහළ ගියාට අපේ පඩි නම් හැම දාම එක තැනමයි. කොහොම වුණත් ඒක ගැන හිතලම වැඩි ගානක් ගෙවන්න බැහැ. බොහොම සුළු පිරිසකට තමයි මොන ගානක් කිව්වත් ගෙවලා ඒ ගැන නොහිතා ඉන්න පුළුවන්. විශේෂයෙන්ම ටයිට් බජට් එකක ඉන්න අයට ඒ වගේ වැඩිපුර ගෙවන්න පුළුවන් කමක් නෑ.

කොහොම වුණත් මේ ත්‍රී වීල් මිනිස්සුන්ගෙන් බහුතරයක් සල්ලි හොයා ගන්න බොහොම අමාරුවෙන් ඉන්න බව අපි දන්නවා. අපි කතා කරපු ත්‍රී වීල් ඩ්‍රයිවර්ලා වැඩි දෙනෙක් කිව්වේ මාසේ වියදම පියව ගන්නෙත් බොහොම අමාරුවෙන් කියලයි. වැල්ලවත්ත පාක් එකේදී අපිට හමු වුණු වසන්ත කිව්වේ තමන්ට ලැබෙන ආදායමෙන් දරු පවුල නඩත්තු කරන එක බොහොම අපහසු වැඩක් කියලයි. “මොනවා කරන්නද ඉතින්, ජීවිතේට මුහුණ දෙන්නත් එපැයි.” කියලා තමයි ඔහු අන්තිමට කිව්වේ. ජයවර්ධන කිව්වේ ඊට වෙනස්ම කතාවක්. එයා කලින් අවුරුද්දේ තෙල් මිල අඩු කරපු කාලේ ත්‍රී වීල් එකේ මීටර් එක කිලෝමීටරේට රුපියල් 36.50ට අඩු කරාලු.

“මට මේ රස්සාවෙන් සතුටින් ඉන්න පුළුවන් තරමේ ආදායමක් ලැබෙනවා. ලංකාව පුරා ත්‍රී වීල් වලට නියමිත ගානක් තියෙන්න ඕනේ කියන එකයි මගේ නම් අදහස. එහෙම වුණා නම් හිතිච්ච හිතිච්ච ගණන් අය කරලා බේරෙන්න කාටවත් බැරි වෙනවා.” කියලයි ඔහු නම් කියන්නේ.

ඇත්ත තත්වය

නගරයෙන් ටිකක් එහාට වෙන්න තියන ත්‍රී වීල් වල රියදුරන්ට රුපියල් 40ක උපරිමයක තමන්ගේ මීටර් එක තියා ගන්න ඕනේ කියලා කිසිම බලපෑමක් එන්නේ නෑ. ගොඩක් දෙනා කරන චෝදනාවක් තමයි ත්‍රී වීල් කාරයන්ට හිතුණු විදිහට මීටර් වෙනස් කරනවා කියන එක. හැබැයි මේ කතාව ඇත්තක් නෙවෙයි කියලා අපි ටිකක් හොයලා බැලුවම දැන ගන්න ලැබුණා. Link Lanka Limited එකේ කළමනාකාර අධ්‍යක්ෂකට අපි කතා කළාම කිව්වේ එයාලගේ මීටර් එක නම් රියදුරාට ඕන විදිහට වෙනස් කරන්න බැහැ කියලයි. (90%ක්ම ත්‍රී වීල් වල link මීටර් තමයි තියෙන්නේ) “රියදුරාට මීටර් එකේ ගාන වෙනස් කර ගන්න ඕන නම් අපේ ප්‍රධාන ශාඛාවකට හරි නියෝජිතයෙක් ගාවට හරි ගිහින් අපේ පද්ධතිය හරහා ඒක වෙනස් කරන්න ඉල්ලීමක් කරන්න අවශ්‍යයි. නියෝජිතයන්ට වුණත් අපේ පරිගණක පද්ධතිය හරහා තමයි වෙනස් කමක් කරන්න පුළුවන්. අපේ වෙබ් අඩවිය තුල අපි ඒ වගේ වෙනස් කිරීම් ගැන ලොග් පොතකුත් පවත්වා ගෙන යනවා. පරිගණක පද්ධතියෙන් දෙන විශේෂ PIN එකක් පාවිච්චි කරලා තමයි ගාන වෙනස් කරන්න පුළුවන්.” කියලා ඔහු අපිට කිව්වා.

හැබැයි මේකේ පොඩි ගැටළුවකුත් තියනවා. “නීති රෙගුලාසි නැති නිසා අපි වගේ පෞද්ගලික ආයතනයකට නියමිත ගානක් තීරණය කරන්න බෑ. නියමිත විදිහට අපෙන් ඉල්ලීමක් කරොත් එයාල කියන ගානට මීටර් එක වෙනස් කරලා දෙන්න අපිට සිදු වෙනවා. අපි නිතරම රුපියල් 40 සීමාවේ තියා ගන්න කියලා රියදුරන්ට දැනුම් දෙනවා, හැබැයි ඊට වැඩි ගානක් දාන්න කියල ඔවුන් කිව්වොත් අපිට වෙන කරන්න දෙයක් නෑ” කියලත් ඔහු කිව්වා.

ඔහු තව දුරටත් කිව්වේ ත්‍රී වීල් වැඩි ගානක් තියෙන කොම්පැනි වලටත් මේක අදාලයි කියලා. “එහෙම තැනක එක රියදුරෙක් වැඩි ගානක් දා ගන්න ඉල්ලීමක් කරොත් ඒක ගැන අපි අයිතිකාරයාව දැනුවත් කරනවා. මේ නිසා මේක හොරෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.”

ත්‍රී වීල් කර්මාන්තය නියාමනය කිරීම

කලිනුත් අපි කියපු විදිහට මේ කර්මාන්තය නියාමනය කරලා නැහැ. සමස්ත ලංකා ත්‍රී වීල් රියදුරු සංගමේ ලේකම් T. R. R. පල්ලි අපිට කිව්වේ 2013 ඉඳන්ම එයාල ත්‍රී වීල් කර්මාන්තය නියාමනය කරන්න අවශ්‍ය ගැසට් නිවේදන වගයක් ක්‍රියාත්මක කරන්න කියලා ඇපෑල් උසාවියට දාපු ඉල්ලීම ඒ විදිහටම තාම විසඳුමක් නැතිව තියෙනවා කියලයි. “මේක ගැන හිතන එක ආණ්ඩුවේ වගකීමක්. 1978 ඉඳන් ලංකාවට ත්‍රී වීල් ආවා. ඒත් දැන් අවුරුදු තිස් ගානක් පුරාවට කිසිම නියාමනයක් සිද්ධ වුණේ නෑ. අපි මොන තරම් උත්සාහ කරත් ආණ්ඩුව පැත්තෙන් මේ ගැන අවධානයක් දෙන බවක් පේන්න නෑ” ඔහු වැඩි දුරටත් කිව්වා.

අපිට කරන්න පුළුවන් දේ මොනවද?

පුළුවන් හැම වෙලාවකම ප්‍රසිද්ධ ආයතන වලට අයිති ත්‍රී වීල් වල යන්න බලන්න. මේ වගේ ත්‍රී වීල් නියමිත මිලට අය කරනවා වගේම රියදුරන්ට වැඩිපුර සල්ලි හොයන්න හදිස්සියක් නැති නිසා ආරක්ෂාව සහ වගකීමත් ඉහලයි. Online Cabs වගේ සමහර ආයතන වලින් ගමන අවසන් වෙද්දී ඔබට ගෙවපු ගාන සඳහන් කරලා sms එකක් පවා ලැබෙනවා. දැනට තියෙන මිල ගණන් ගත්තොත් Fair Taxi එක කිලෝමීටර් ඒකට රුපියල් 30කුත්, Budget Taxi එක රුපියල් 32කුත්, Online Cabs සහ Pick Me එක රුපියල් 35කුත් අය කරනවා. (අන්තිම දෙක මිලෙන් වැඩි වුණාට ඕනෑම තැනකට ඉක්මනින් ගෙන්වා ගන්න පහසුයි වැඩි ත්‍රී වීල් ගණනක් තියෙන නිසා) මේ හැම එකක්ම සාමාන්‍යයෙන් අය කරන රුපියල් 40ට වඩා අඩුවෙන් සේවාව සපයනවා. මේ නිසා පුළුවන් හැම වෙලාවකම මේ වගේ ත්‍රී වීල් එකක් ගෙන්වා ගන්න බලන්න. එහෙම නැති වුන වෙලාවක වුණත් යන ත්‍රී වීල් එක නියම මිල අය කරනවද කියලා බලන්න. සමහර විට හැම කෙනෙක්ම ත්‍රී වීල් රියදුරන්ගෙන් සම්මත මිලක් දෙන්න කියලා ඉල්ලුවොත් ආණ්ඩුවේ තියන උනන්දුවක් නැති ගතිය අඩු වෙලා යම් නියාමනයක් ඇති වෙන්නත් ඉඩක් තියෙනවා.

 

Related Articles