විශ්ව විද්‍යාල නවක වදය ගැන ඔබ නිසි ලෙස දැනුවත් ද?

සයිටම්, චතුර සේනාරත්න සහ ක්‍රිකට් හැරුණු විට මේ දිනවල වඩාත් කතාබහට ලක් වන මාතෘකාව තමයි, විශ්ව විද්‍යාල නවක වදය. පසු ගිය දිනෙක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර සිසුන් පහළොස් දෙනෙකු පළමු වසර සිසුන්ට නවක වදය ලබා දීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත් වූයේ මේ පිළිබඳ ව ඇති මහජන කතිකාවත තව තවත් උණුසුම් කරමින්.

(ecyouthdiversion.ca)

කාලයක පටන් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල පැවති දරුණු විදියේ නවක වදය හේතුවෙන් එය තහනම් කිරීම සඳහා කලින් කලට රජය විසින් නොයෙකුත් ක්‍රියාමාර්ග ගෙන තිබුණත් නොදැනුවත්කම නිසා හෝ වෙනත් හේතූන් නිසා තවමත් විශ්ව විද්‍යාල තුළ විවිධ ස්වරූපයෙන් නවක වදය ක්‍රියාත්මක වන බව නොරහසක්. ඇතැම් විටෙක ජ්‍යේෂ්ඨ සිසුන්ට ඇති බිය නිසා ම පරිපාලනයට මේ පිළිබඳ පැමිණිලි කිරීමට නවක සිසුන් පසුබට වෙනවා.

මේ ලිපියේ මූලික අරමුණ වන්නේ නවක වදයට එරෙහි ව පවතින ශ්‍රී ලංකාවේ නීතිමය තත්ත්වය පිළිබඳ ව දැනුවත් කිරීමක් සිදු කිරීම යි. එසේ ම නවක වදයට ලක් වූ අයෙකුට අයැද සිටිය හැකි නීතිමය සහනයන් සහ නවක වදය ලබා දෙන අයෙකුට අධිකරණයෙන් නියම කළ හැකි දඬුවම් පිළිබඳ ව දැනුවත් කිරීමත් මේ ඔස්සේ සිදු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා.

(advokat-rulyakov.kiev.ua)

නවක වදය සහ එහි විවිධ ස්වරූප

සරල ව අධ්‍යාපන ආයතනයකට පැමිණෙන නවක සිසුන් ව චාචික, ශාරිරික හෝ මානසික පීඩාවන්ට ලක් කිරීම නවක වදය ලෙස හැඳින්විය හැකි යි. ශ්‍රී ලංකාවේ පවතින අපරාධ නීතිය යටතේ නවක වදය යන්නෙන් අධ්‍යාපන ආයතනයක ශිෂ්‍යයෙකුට හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට ශාරීරික හෝ මානසික හානියක් හෝ මානසික වේදනාවක් හෝ බියක් සිදු කරන හෝ සිදු කිරීමට ඉඩ ඇති යම් ක්‍රියාවක් අදහස් වෙනවා.

මුල් කාලයේ දී විශ්ව විද්‍යාල තුළ දක්නට නොලැබුණු නවක වදය, දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු ව විශ්ව විද්‍යාල තුළට පැමිණියේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හැදැරීම සඳහා පැමිණි හමුදා සොල්දාදුවන් හරහා යි.

(mumbaimessenger.com)

පළමු වසරට පැමිණෙන සිසුන් අතර සුහදතාවය වර්ධනය කිරීමේ මුවාවෙන් සිදු කරන නවක වදය ස්වරූප කිහිපයකින් ක්‍රියාත්මක වෙනවා. ඒ අතරින් සෑම විශ්ව විද්‍යාලයක ම පාහේ දක්නට ලැබෙන ඒවා ලෙස විශ්ව විද්‍යාලයේ ඉතිහාසය කට පාඩම් කිරීම, ගස් සිප ගැනීම, සෙසු නවක සිසුන් සෑම දෙනාගේ ම තොරතුරු දැන සිටීම, දැනුම් දෙන ලද නිශ්චිත ආකාරයකට පමණක් හැඳ පැලඳ සිටීම සහ අභිරූපණය හැඳින්විය හැකි යි. නමුත් වර්තමානය වන විට නවක වදය මෙවැනි සරල ස්වරූපයන් අබිබවා ගොස් ශරීරික වද හිංසා පැමිණ වීමේ සිට ලිංගික හිංසාවන්ට ලක් කිරීම දක්වා දුර දිග ගොස් තිබෙනවා.

නවක වද ඉතිහාසයේ දරුණුතම සිදුවීම් කිහිපයක්

(twitter.com)

1974 වසරේ දී එවකට විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය ලෙස හැඳින් වූ කැලණිය විශ්ව විද්‍යාලයේ දී ගණිත පුහුණු ගුරුවරියන් කිහිප දෙනෙකුට නවක වදය ලබා දීම, රජයේ අවධානය නවක වදය කෙරෙහි යොමු වීමට මූලික ව බලපෑ හේතුවක් ලෙස සැලකිය හැකි යි.

මේ පිළිබඳ ව කරුණු සොයා බැලීම සඳහා එවකට අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක විසින් වී. ඩබ්ලිව්. කුලරත්න කොමිසම පත් කරන ලද අතර එහි ප්‍රතිඵලයක් ලෙස විශ්ව විද්‍යාල සිසුන් දොළොස් දෙනෙකු සරසවියෙන් නෙරපා නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් පරිපාලන නිලධාරී සිව් දෙනෙකුට දඬුවම් නියම කිරීම සිදු වුණා.

ශ්‍රී ලංකා ආණ්ඩුව මගින් නවක වදයට එරෙහි ව ගත් ප්‍රථම බලවත් පියවර ලෙස යි මෙම සිදුවීම සැලකෙන්නේ.

නවක වදයෙන් හේතුවෙන් ප්‍රථම වරට මරණය ගෙන දුන් සිදුවීම ලෙස වාර්තා වන්නේ 1975 වසරේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ සිසුවියක් වූ රූපා රත්නසීලී සිසුවිය සම්බන්ධ සිදුවීම යි. එවකට විසි දෙහැවිරිදි වියේ පසු වූ ඇගේ යෝනි මාර්ගයට ජ්‍යේෂ්ඨයන් විසින් ඉටිපන්දමක් ඇතුළු කිරීමට තැත් කිරීමේ දී ඇය රාමනාදන් ශාලාවේ දෙවැනි මහලෙන් බිමට පැනීම හේතුවෙන් සදාකාලික ව ම ආබාධිත වූ අතර ඇය 2002 වසරේ දී සිය දිවි හානි කර ගත්තා.

එසේ ම අඟුණකොළපැලැස්ස කෘෂි විද්‍යා පාසලේ අධ්‍යාපනය හැදෑරූ ප්‍රසංග නිරෝෂන සිසුවා ද නවක වදයේ ගොදුරක් ව ජීවිතයෙන් සමු ගත්තා.

1997 වසරේ දී පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය හැදෑරු විසි එක් හැවිරිදි එස්. වරප්‍රගාෂ් සිසුවා  මිය යන්නේ දරුණු ලෙස නවක වදයට ලක් වීමෙන් පසු ව ඇති වූ වකුගඩු ක්‍රියා විරහිත වීමෙන්. එම වසරේ දී ම අම්පාරේ හාර්ඩි තාක්ෂණික ආයතනයේ කැලුම් තුෂාර විජේතුංග සිසුවා නවක වදයට ලක් ව වකුගඩු ක්‍රියා විරහිත වීමෙන් මිය යන්නේ අධික ලෙස මත්පැන් පානය කර ශාරීරික අභ්‍යාසවල යෙදීම හේතුවෙන්.

(dailymirror.lk)

නවක වදයට එරෙහි වීමට කටයුතු කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තෙවැනි වසර කළමනාකරණ සිසුවෙක් වූ සමන්ත විතානගේ නවක වදයට එරෙහි ව පැවැත් වූ කතිකාවතක් අතුරතුර 2002 වසරේ දී මරණයට පත් කරන ලද අතර විශ්ව විද්‍යාලයෙන් නවක වදය තුරන් කිරීම සඳහා ලබා දෙන නියෝග සඳහා සිසුන් අවනත නොවීම හේතුවෙන් 2006 වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උප කුලපති වූ මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර මහතා එම තනතුරෙන් ඉල්ලා අස් වුණා.

නීතිමය ප්‍රතිපාදන

නවක වදයට එරෙහි ව ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති මූලික ම නීතිමය ප්‍රතිපාදනය ලෙස 1998 අංක. 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත හැඳින්විය හැකි යි. එම පනතේ පූර්විකාවේ දැක්වෙන ආකාරයට එය පනවා ඇත්තේ අධ්‍යාපන ආයතනවලින් නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා ද කෘෘර, අමානුෂික සහ නින්දිත සැලකීම් ද තුරන් කිරීම සඳහා යි.

(itpro.co.uk)

ඒ අනුව අධ්‍යාපන ආයතනයක් තුළ දී හෝ ඉන් පිටත දී නවක වදය සිදු කරන හෝ නවක වදය සිදු කිරීම සඳහා සහභාගී වන අයෙක් මේ පනත යටතේ වරදකරුවෙකු වෙනවා. එවැනි අයෙකුට මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් අනතුරු ව අවුරුදු දෙකක් නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ සහිත ව බන්ධනාගාර ගත කිරීමක් මගින් දඬුවම් කළ හැකි අතර නවක වදයට ලක් වූ තැනැත්තා සඳහා වන්දි ගෙවන ලෙස නියෝග කිරීම ද සිදු කළ හැකි යි. මෙහි දී සිදු වූ හානියේ ස්වභාවය සලකා බලා අධිකරණය විසින් ගෙවිය යුතු වන්දි මුදල තීරණය කිරීම සිදු කරනවා.

යම් හෙයකින් නවක වදය සිදු කරන අතරතුර දී අධ්‍යාපන ආයතනයේ ශිෂ්‍යයෙකුට හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට ලිංගික අතවරයක් (sexual harassment) හෝ බරපතල තුවාලයක් (grievous hurt) සිදු කළහොත් එය සිදු කරන තැනැත්තා මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් අනතුරු ව වරදකරු වීමෙන් පසු ව අවුරුදු දහය නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කළ හැකි අතර අගතියට පත් පාර්ශවය සඳහා වන්දි ගෙවන ලෙස නියෝග කිරීම ද සිදු කළ හැකි යි.

(blog.ipleaders.in)

මෙහි දී ලිංගික අතවර යනුවෙන් අදහස් වන්නේ කුමක් ද යන්න පිළිබඳ ව දැනුවත් වීම වැදගත්. දණ්ඩ නීති සංග්‍රහයේ 345 වැනි වගන්තියේ දැක්වෙන ආකාරයට අඩත්තේට්ටම් කිරීමෙන් (assault) හෝ සාපරාධී බලහත්කාරයෙන් (use of criminal force) යම් අයෙකුට ලිංගික අතවර කිරීම මෙන් ම වචනයෙන් හෝ ක්‍රියාවෙන් ලිංගික හිරිහැරයක් කිරීම ද ලිංගික අතවරයක් ලෙස සැලකෙනවා.

ඒ අනුව යම් අයෙකුගේ ලිංගිකත්වය පිළිබඳ ව උසුළු විසුළු කිරීම ද ලිංගික අතවරයක් යටතට ගැනෙනවා. මෙහි දී ලිංගික අතවරයට ලක් වූ පුද්ගලයාගේ ස්ත්‍රී-පුරුෂභාවය වැදගත් වන්නේ නැහැ.

බරපතල තුවාල සිදු කිරීම යටතට ගැන්නේ කුමක් ද යන්න පිළිබඳ ව සඳහන් වන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ 311 වැනි වගන්තියේ යි. එහි බරපතල තුවාල නවයක් පිළිබඳ ව සඳහන් වෙනවා. ඒවා නම් –

  1. අපෞරුෂායනය (එනම් පුරුෂ ශක්තිය නැති කිරීම)
  2. දෙඇසින් එක් ඇසක හෝ පෙනීම සදහට ම නැති කිරීම හෝ දුර්වල කිරීම
  3. දෙකනින් එක් කනක හෝ ඇසීම සදහට ම නැති කිරීම හෝ දුර්වල කිරීම
  4. යම් අවයවයක හෝ සන්ධියක ක්‍රියාකාරීත්වය නැති කිරීම
  5. යම් අවයවයක හෝ සන්ධියක ශක්තිය විනාශ කිරීම හෝ සදහට ම දුර්වල කිරීම
  6. හිස හෝ මුහුණ සදහට ම විරූපී කිරීම
  7. අස්ථියක්, කාටිලේජ හෝ දතක් කැපීම හෝ භංග කිරීම (fracture) හෝ අස්ථියක්, කාටිලේජ හෝ දතක් අවසන්ධි කිරීම
  8. ජීවිතයට අන්තරායකාරී වන යම් තුවාලයක් හෝ යම් තුවාලයක ප්‍රතිඵලයක් වශයෙන් උරස්, උදර හෝ කපාල කුහර විවෘත කිරීමට සිදු වන ශල්‍යකර්මයක් සිදු කිරීම සිදු වන ආකාරයේ තුවාලයක් සිදු කිරීම
  9. යම් තුවාලයක් නිසා හෝ එම තුවාලයක් නිසා සිදු කළ ශල්‍යකර්මයක් නිසා දින විස්සක් හෝ ඊට වැඩි කාලයක් තදබල ශාරීරික වේදනා විදීමට හෝ සාමාන්‍ය කටයුතුවල නිරතවීමට නොහැකි වන ආකාරයේ තුවාලයක් සිදු කිරීම

1998 අංක. 20 දරණ අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ පනත යටතේ ශිෂ්‍යයෙකු හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු බිය ගන්වා එම තැනැත්තාට නීතියෙන් නියම කර ඇති කාර්යයක් සිදු නොකිරීමට හෝ නීතියෙන් නියම කර නොමැති කාර්යයක් සිදු කිරීමට තර්ජනය කරන අයෙකුට අවුරුදු පහ නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ සහිත ව බන්ධනාගාර ගත කිරීම මගින් දඬුවම් කළ හැකි යි.

(linkedin.com)

අධ්‍යාපන ආයතනය තුළ දී හෝ එම අධ්‍යාපන ආයතනයේ කළමනාකරණයට සහ පාලනයට යටත් පරිශ්‍රයක දී යම් සිසුවෙකුගේ හෝ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුගේ පෞද්ගලික නිදහස සහ යාමේ ඒමේ නිදහස අවහිර කරන එනම් අඩස්සියට ගැනීම (hostage taking) සිදු කරන අයෙකුට ලබා දිය හැකි දඬුවම වන්නේ අවුරුදු හත නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ සහිත ව බන්ධනාගාර ගත කිරීම යි.

එසේ ම අයුතු ලෙස අවහිර කිරීම සිදු කරන අයෙක්ට අවුරුදු හත නොඉක්මවන කාලයක් සඳහා බරපතල වැඩ සහිත ව බන්ධනාගාර ගත කිරීම මගින් ද අයුතු ලෙස සිර කර තැබීම සිදු කරන අයෙක්ට අවුරුදු හත නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීම මගින් ද දඬුවම් කිරීම සඳහා මෙම පනත මගින් ප්‍රතිපාදන සලසා තිබෙනවා.

නවක වදය සිදු කිරීමේ දී අදාළ අධ්‍යාපන ආයතනයේ දේපළ සඳහා යම් හානියක් සිදු කළහොත් අවුරුදු විස්සක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමට සහ රුපියල් පන්දහසක් හෝ දේපළට සිදු වූ හානියේ ප්‍රමාණය මෙන් තුන් ගුණයක් යන දෙකින් වැඩි ප්‍රමාණය දඩයක් ලෙස ගෙවීමට අධිකරණයට නියෝග කළ හැකි යි.

නවක වදය ලබා දීම අදාළ තැනැත්තා එම අධ්‍යාපන ආයතනයෙන් නෙරපීම සිදු කිරීම සඳහා යටත් වන ආකාරයේ වරදක්. ඒ අනුව සිදු කරන ලද ක්‍රියාවේ බරපතලකම සැලකිල්ලට ගෙන වරදකරු වූ තැනැත්තා එම අධ්‍යාපන ආයතනයෙන් නෙරපීමට නියෝග කිරීම සඳහා අධිකරණයට බලය තිබෙනවා. එසේ ම මෙම පනත මගින් එහි සඳහන් වරදකාරී ක්‍රියා සිදු කරන තැනැත්තන් ව වරෙන්තුවක් රහිත ව අත්අඩංගුවට ගැනීම සඳහා සාම නිලධාරීන්ට බලය ලබා දී තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගන්නා අය වෙනුවෙන් සාමාන්‍යයෙන් ඇප ලබා දීමට නොහැකි (ඇප ලබා දීමට අවශ්‍ය කරන බලය මහාධිකරණ විනිසුරුවරුන් සතු වෙනවා) අතර නඩු විභාගය පවත්වන තුරු අදාළ තැනැත්තන් ව රිමාන්ඩ් භාරයේ රඳවා තබා ගැනීමට මහේස්ත්‍රාත්වරයාට හැකි යි.

(westmifflinpolice.com)

මෙම පනතේ සඳහන් නොවන වරදකාරී ක්‍රියා සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිසිය හරහා නඩු පැවරීම සිදු කළ යුතු වෙනවා.

නවක වදයට එරෙහි ව යොදා ගත හැකි තවත් වැදගත් නීතිමය ප්‍රතිපාදනයක් ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය ලෙස සැලකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සඳහා වන III වැනි පරිච්ඡේදයේ දැක්වෙනවා. එහි 11 වැනි ව්‍යවස්ථාවේ ‘වධ හිංසාවලින් නිදහස’ යන ශීර්ෂය යටතේ “කිසිම තැනැත්තෙකු වධ හිංසාවලට හෝ කෘෘර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේ ය” යනුවෙන් සඳහන් වෙනවා. ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම ව්‍යවස්ථාව අර්ථ නිරූපණයේ දී ‘වධ හිංසාව’ යන්නට කායික වධ හිංසා පමණක් නොව චාචික සහ මානසික වධ හිංසා ද ඇතුළත් වන බව නඩු තීන්දුවල දී ප්‍රකාශ කර තිබෙනවා.

මූලික අයිතිවාසිකම් නඩුකරයක් ගෙන ඒමේ දී එහි වගඋත්තරකරුවෙකු ලෙස නවක වදය සිදු කළ අය මෙන් ම විශ්ව විද්‍යාලය ද නම් කළ යුතු වෙනවා. එයට හේතුව වන්නේ සිසුන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් උපායමාර්ග යොදා ගැනීමට විශ්ව විද්‍යාල පරිපාලනය අපොහොසත් වීම නිසා සිසුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වීම යි. මෙහි දී තමන් අවශ්‍ය කරන මට්ටම පූර්වෝපායන් යොදා ගත් බව ඔප්පු කිරීමට විශ්ව විද්‍යාල පරිපාලනය සමත් වුවහොත් නවක වදය සිදු කළ අයට එරෙහි ව මූලික අයිතිවාසිකම් නඩුකරය පවත්වා ගෙන යා හැකි යි.

නවක වදය ගැන පැමිණිලි කිරීම සිදු කළ යුත්තේ කාට ද?

(primaryclassroomresources.co.uk)

නවක වදය සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි ක්‍රමවේදයක් සකසා ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව 2017 පෙබරවාරි 22 වැනි දින ප්‍රකාශ කළා.

ඒ අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් පිටුව හරහා නවක වදය පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකි යි. එසේ ම 0112-123700 සහ 0112-123456 යන දුරකථන අංක අමතා එයින් ලබා දෙන උපදෙස් අනුව කටයුතු කිරීම මගින් නවක වදය සහ ඒ ස්වරූපයේ වෙනස් ක්‍රියා පිළිබඳ ව නාමික ව හෝ නිර්නාමික ව පැමිණිලි කළ හැකි අතර ඉන් පසු ව ඒ පිළිබඳ ව අදාළ විශ්ව විද්‍යාල පරිපාලනය දැනුවත් කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු යොදා තිබෙනවා.

කවරයේ පින්තූරය: revistasomos.cl

මූලාශ්‍ර: documents.gov.lk, ugc.ac.lk, dailymirror.lk, en.wikipedia.org

Related Articles