Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මොකක්ද මේ ‘නොනගතය’?

අප්‍රේල් මස 14 වන දිනට උදාවන සිංහල අලුත් අවුරුද්ද ලාංකික සිංහලයාගේ වැදගත්ම සංස්කෘතික උත්සවය ලෙස හඳුන්වන්න පුළුවන්. දෙමළ ජනයා උත්සවාකාරයෙන් සමරන ‘පුත්තාණ්ඩු’ නමින් හැඳින්වෙන දෙමළ අලුත් අවුරුදු දිනයත් අප්‍රේල් 14 වන දිනට ම යෙදෙන නිසා ශ්‍රී ලාංකික අප මෙම දිනය ‘සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය’ ලෙස හැඳින්වීමට පුරුදු වෙලා ඉන්නවා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන්නේ සිංහලයා සහ දෙමළා පමණක් නොවෙයි, බහුතරයක් ශ්‍රී ලාංකිකයින් මෙම දිනය මහත් උත්සවාකාරයෙන් සමරනවා.

අලුත් අවුරුදු කැවිලි (bookings.lk)

සිංහල අවුරුද්ද ගැන කතා කරද්දී බොහොම දෙනෙක්ට ඇතිවන ප්‍රශ්නයක් තමයි, “මේක අලුත් අවුරුද්ද නම්, ඇයි වසරේ 4වන මාසයට මේක යෙදෙන්නෙ?” කියන එක. වර්තමානයේ දී අප කවුරුත් භාවිතා කරන ග්‍රෙගරියානු දින දර්ශනයට අනුව සිංහල අලුත් අවුරුද්ද වසරේ 4වන මස මැද භාගයේ දී උදා වුණාට, සූර්ය මාස ක්‍රමයට අනුව අලුත් අවුරුද්ද උදාවන්නේ වසරේ පළමු මාසයේ දී යි.

‘ග්‍රෙගරියානු දින දර්ශනය’ කියන්නේ අප එදිනදා වැඩ කටයුතු සඳහා භාවිතා කරන, ජනවාරියෙන් පටන්ගෙන දෙසැම්බරයෙන් අවසන් වන මාස ක්‍රමයට. එය එසේ වුණත්, ශ්‍රී ලාංකිකයා ජ්‍යෝතිෂ්‍ය කටයුතු, සහ ආගමික කටයුතු ද ඇතුලත්ව වෙනත් බොහොමයක් කාර්යයන් වලට යොදාගන්නේ ග්‍රෙගරියානු කැලැන්ඩරය නොව, චන්ද්‍ර මාස සහ සූර්ය මාස ක්‍රමය යි.

චන්ද්‍ර මාස ගණනය කරන්නේ සඳේ කලාවත් එක්කයි. සඳේ කලා 16ක් තිබෙන බව ඔබ අසා ඇති. පූර්ණ චන්ද්‍රයා, එනම් ස‍ඳෙහි කලා 16ම දර්ශනය වන ‘පුරපසළොස්වක’ දිනයත්, චන්ද්‍රයාගේ එකදු කලාවක්වත් දර්ශනය නොවන ‘අවපසළොස්වක’, එනම් අමාවක දිනයත් අතර කලා දහහතර බැගින් තිබෙනවා. මේ කලා චක්‍රය සම්පූර්ණ කරන්නට සඳට දින 29කුත් මදක් ගතවෙනවා. එක් කලා චක්‍රයක් චන්ද්‍ර මාසයක් ලෙස හැඳින්වෙන අතර, එයින් 12ක් වසරක් ලෙස හැඳින්වෙනවා. චන්ද්‍ර මාස 12ක වසරකට දින 354ක් අයත් වෙනවා.

සිංහල අලුත් අවුරුදු උදාව ගණනය කරන්නේ චන්ද්‍ර මාස ක්‍රමයට අනුව නොව සූර්ය මාස ක්‍රමයට අනුකූලව යි. රාශි 12න් යුතු රාශි චක්‍රය හරහා එක් වටයක් සම්පූර්ණ කිරීමට සූර්යයා ගත කරන කාලය, එනම් පෘථිවියේ සිටින අපට පෘථිවි පරිභ්‍රමණය නිසා සූර්යයා රාශි චක්‍රයේ ඒ ඒ රාශියේ පිහිටන අයුරින් දර්ශනය වී එක් චක්‍රයක් සම්පූර්ණ වීමට ගත වන කාලය සූර්ය වර්ෂයක් වශයෙන් හඳුන්වනවා. සූර්ය මාසයක් නම් කෙරෙන්නේ ඒ එක් එක් රාශිය පසුබිම් කරගෙන සූර්යයා පිහිටන ආකාරය අනුවයි. ඒ අනුව මේෂ රාශිය පසුබිම් කරගෙන ගතවන මාසය ‘මේෂ රවිය’ ලෙසත්, වෘෂභ රාශිය පසුබිම් කරගෙන ගතවන මාසය ‘වෘෂභ රවිය’ ලෙසත් වශයෙන් නම් කර තිබෙනවා. සූර්ය වසර මේෂ රවියෙන් ඇරඹෙන අතර මීන රවියෙන් අවසන් වනවා. එම නිසා සූර්ය මාස ක්‍රමයට අනුව වන ප්‍රථම මාසය වන මේෂ රවියේ පළමු දිනයෙන් සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවනවා.

අප ‘නොනගතය’ කියලා හඳුන්වන්නේ මෙන්න මේ මීන රවියේ සිට මේෂ රවියට සූර්යයා සම්පූර්ණයෙන්ම ගමන් කිරීමට ගතවන කාලය යි.  මෙය සරලවම පැහැදිලි කිරීමට නම් සුළු උදාහරණයක් ගනිමු. මීන රවිය සහ මේෂ රවිය වෙන්වන්නේ තනි රේඛාවකින් යැයි සිතා, සූර්යයා යනු අපට අහසේ පෙනෙන අන්දමට පැතලි තැටියක් යැයි සිතුවොත්, මෙම තැටියට පෙර කිව් සරල රේඛාව පසුකිරීමට ගතවන කාලයයි අප ‘නොනගතය’ යනුවෙන් හඳුන්වන්නේ. සූර්යයාට මෙම ගමන සඳහා පැය 12කුත් මිනිත්තු 48ක් ගත වෙනවා.

සූර්යයා මීන රවියෙන් මේෂ රවියට සංක්‍රාන්තිය (විදුසර)

‘නොනගතය’ යන වචනය සෑදෙන ආකාරය පිළිබඳව මත කීපයක්ම තිබෙනවා. මේ එක් එක් මතය අනුව ‘නොනගතය’ යන වචනයෙහි තේරුම ද වෙනස් වනවා. මෙයින් එක් මතයක් තමයි, ‘සුබ නැකැත් නොපවත්නා කාල පරිච්ඡේදය’ යන අර්ථයෙන්, එනම්, නො-නකත ලෙස හැඳින්වෙන බව. එම නිසා එම කාලය කිසිම ක්‍රියාවක් අලුතින් ආරම්භ කිරීමට නුසුදුසු කාල පරිච්ඡේදයක් ලෙස සලකා පුණ්‍ය කටයුතු වල යෙදෙමින් ගත කිරීමට ශ්‍රී ලාංකිකයා හුරු වී සිටිනවා.

තවත් මතයකට අනුව නොනගතය යන වචනය සෑදෙන්නේ,

න + න + අගත = නනගත –> නොනගත

ලෙස බව ඇතැමුන් පවසනවා. අගත – අනගත යන වචන මූලික කරගනිමින්, මෙම ‘නොනගත’ යන වචනයේ අරුත, පැමිණියා වූ ද නොපැමිණියා වූ ද කාලය යන තේරුම දෙනවා. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණීම සම්පූර්ණව සිදුව නොමැති නිසා එම කාලය ‘නොනගතය’ වන බවට ඔවුන් මත පලකරනවා.

කෙසේ නමුත් පොදුවේ පිළිගත් ජනප්‍රිය මතය වන්නේ සුබ නැකැත් නොමැති නිසා මෙම කාල පරිච්ඡේදය ‘නොනගතය’ යනුවෙන් හැඳින්වෙන බවයි.

සූර්යයාගේ මෙම සංක්‍රාන්තියට ගතවන පෑ 12ත් මිනිත්තු 48 කොටස් දෙකකට බෙදා වෙන්කර තිබෙනවා. එයින් පළමු පැය 6ත් මිනිත්තු 24 නොනගතයේ පූර්ව භාගය හෝ පූර්ව පුණ්‍ය කාලය ලෙස හැඳින්වෙන අතර, දෙවන පැය 6ත් මිනිත්තු 24 නොනගතයේ අපර භාගය, එනම් අපර පුණ්‍ය කාලය ලෙස හැඳින්වෙනවා. කෙසේ නමුත් අලුත් අවුරුදු නැකැත් වලින් බහුතරය යෙදෙන්නේ සුබ නැකැත් නැතැයි සැලකෙන මෙම නොනගතයේ අපර භාගය තුලයි.

අවුරුදු පතා අලුත් අවුරුද්ද ආශ්‍රිතව යෙදෙන ‘නොනගතය’ පිළිබඳව සරලම පැහැදිලි කිරීම් සහ තොරතුරු තමයි අප විසින් මෙම ලිපියෙන් ඉදිරිපත් කර ඇත්තේ. මීට වෙනස් අදහස් හෝ මත පිළිබඳව ඔබ දැනුවත් නම් අප සමඟ බෙදාගන්න.

මූලාශ්‍ර‍: kalaya.org, divaina.lk

කවරයේ පින්තූරය: The Verge

Related Articles